![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/02/tl-2.jpg?itok=SkuD6CYS)
“බොදු බල උන්නාන්සෙට උසාවියට වඩින්ඩ බැරි තරං අසනීපයිලු!”
අබිලිංගෙ මායියා පත්තරේට එබී ගෙන. මයික් විජේගේ මායියා කම්මුලට අත තියාගෙන.
“හද්දෙයියනේ! උන්නාන්සෙට මොකද්ද හදිස්සියෙ හැදුණු අසනීපෙ?” මයික් විජේගෙ මායියා ඇහුවා.
“මහජනයාට ඇති ප්රස්න ගැන හිතලා හිතලා ලෙඩ වෙලා”
“දෙයියෝ සාක්කි! ඕක ඔච්චර කල්පනා කරන්ඩ දෙයද්ද මං අහන්නෙ?”
මහජනයා කියන්නෙ එච්චර වටිනා එවුන් ද?”
“මෝඩ ගෑනියෙ අහගනිං. උඹලා අපි කරන්නේ මිනිස්සු පොළොව මත්තෙ නැහිලා හාල් ඇට ටිකක් ගෙනාපුවාම තම්බලා කාලා හරක් වගේ නිදාගන්න එකනෙ”
“ඉතිං උන්නාන්සෙලා මොකද කරන්නෙ?”
“උන්නාන්සේ. මේ රටේ බවුද්ද ජනතාවට. සිද්දවෙන අසාදාරකං ගැන බඩගින්නෙ කිය කියා ඇවිදිනවා”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ උන්නාන්සෙ බණ කියපු තැනින් තවත් තැනකොට වැඩම කොරන කොට එතන හිටපු කුමන්තරණකාරයෝ මුස්ලිම් පල්ලිවලට ගල් ගහනවා. මුස්ලිම් කඩවලට ගිනි තියනවා. උන්නාන්සෙ ඒවා මෙහෙයවෙව්වා කියලා පොරසිද්ද කොරනවා.”
“හරි අසාදාරණයක් නෙ. දැං ඕකට මැදිහත් වෙන්ඩ කෙනෙක් ඇත්තෙ ම නැද්ද හැබෑට” අබිලිංගෙ මායියයි මයික් විජේගෙ මායියයි උන්නාන්සේ ගැන කතා කොරද්දි නිමලෙ මැද්දට පැන්නා.
“උන්නාන්සෙට මොකද වුණේ කියලා දන්නව ද?” නිමලෙ ඇහුවා.
“අපිත් ඒක තමයි කතා කොරන්නෙ” එහෙම කියද්දි නිමලේ කාරණේ පැහැදිලි කොරන්ඩ පටන් ගත්තෙ.
“බහුජන හිතාය බහුජන සුකාය ගැන හිතමින් උන්වහන්සේ රට පුරා යද්දි උන්වහන්සෙගෙන් ඇතිවෙච්චි බවුද්ද ප්රබෝදයට ඉරිසියා කරපු එවුං උන්නාන්සෙට මරන තර්ජන කොළා”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ බැරි ම තැන සමාපත්ති බලයෙං මහා වනාන්තරේට වැඩම කොළා.”
“පැජරෝවෙං ද ගමේ කරත්තෙකින් ද?”
“මොන පිස්සු ද? එර්දියෙන් වැඩියේ!”
”එර් දියෙන්?”
“ඔව් වොව් එර්දියෙන්”
“ඉතිං පොලීසියෙං හොයන්නෙ අහවල් දේට ද?”
“අලුත්ගම, දර්ගා නගරය වාගෙ තැන්ඔල එක වතාවක් කුමන්ත්රණකාරයො මිනී මරලා ගෙවල් ගිනි තියලා, උන්වහන්සේ කෙරුවැයි කියලා පොරසිද්ද කරද්දි පොලීසිය විතරයි උන්නාන්සෙගෙ ආරස්සාවට හිටියේ”
“මෙදා පාරත් ඒක ද වුණේ?”
“ඔව් වොව් - පොලිස් කණ්ඩායම් ගණනාවක් උන්නාන්සෙගෙ ආරස්සාවට රට පුරා යද්දි තමයි උන්නාන්සෙ ලෙඩ වෙලා ඉන්න බව ආරංචි වෙලා තියෙන්නෙ?”
“ඇත්තට ම ලෙඩවෙලා ද?”
“ඔව් - වොව් - කැලේ දි මදුරුවො කාලා”
“මදුරුවෝ?”
“ඔව් - ඔව්”
ඔය කතා බතා යද්දි මයික් විජේගෙ මායියට මල පැන්නා.
“ඕකුන් නයි පොලොංගු කාලා මැරෙන්ඩ ඕනැ - කොරපු අපරාදෙට”
“කුමන්ත්රණකාරයො ද?”
“නෑ - නෑ මදුරුවන්ට”
ඔන්න ඔහොමයි කතාව ආයිබොවන්ඩ. කොහොම නමුත් නයි පොලොංගු මදුරුවන් කන හැටි දකින එක තමයි මගේ ඊළඟ ලොකුම ආසාව ආයිබොවන්ඩ.