පරිසරයයි - බුදුදහමයි මැයි දිනයයි - කුණු කසළයි | සිළුමිණ

පරිසරයයි - බුදුදහමයි මැයි දිනයයි - කුණු කසළයි

 අප බුදුරජාණන් වහන්සේ ඉපදුණු, බුද්ධත්වය ලැබු හා පිරිනිවන් පෑ වෙසක් මංගල්‍යය ඉදිරි සතියේ 10, 11 දිනවලට යෙදී තිබේ.

බුදු රජාණන් වහන්සේගේ ඉපදීම බුද්ධත්වය ලැබීම හා පිරිනිවන් පෑම සිදු වූයේ සුන්දර පරිසරයක් සහිත ගස් සෙවණකදීය. ලුම්බිනියේ සල් රුකක් යට ඉපදුණු බුදු රජාණන් වහන්සේ බුදු බව ලැබූවේ ඇසතු බෝ සෙවණේදීය. උන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී ඇත්තේද තුරු සෙවණේදීය. ඒ, උපවත්තන සල් උයනේදීය. මේ අනුව බුදු රජාණන් වහන්සේ පරිසරය හා ඉතා සමීපව කටයුතු කළ ආගමික ශාස්තෘවරයකු ලෙස හැඳින්විය හැකිය.

බුදුදහම අනුව අප සිල් සමාදන් වීමේදී මුලින්ම සමාදන් වන ශික්ෂා පදය වන්නේ "පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි" යන්නයි. පර පණ නැසීම ඒ අනුව බරපතළ වරදකි. පරිසරය පිළිබඳව කථා කරන විට අප අපේ ජෛව විවිධත්වය සුරැකීම ඉතා වැදගත්ය. ඒ අනුව පර පණ සුරැකීම අපේ ජෛව විවිධත්වය සුරැකීමට ප්‍රබල හේතුවකි. බුදු රජාණන් වහන්සේ සිය පන්සිල්වල මූලික අංගය ලෙස මෙලෙස පරපණ නැසීම බලවත් වරදක් බව පෙන්වා දීම පරිසරය සුරැකීමට ප්‍රබල පිටුබලයකි.

මිනිසා පමණක් නොව සතාසීපාවා ගහකොළ සුරැකීමටද ධර්ම දේශනා සූත්‍ර ආදිය මඟින් විවිධ ඔවදන් දුන් බුදු රජාණන් වහන්සේ තම බුද්ධ පුත්‍රයන් වහන්සේට නැත් නම් තම සඟ පරපුරට නිතරම උපදෙස් දුන්නේ ද පරිසර හිතකාමීව හැසිරෙන ලෙසයි. ජලය අපවිත්‍ර නොකරන ලෙසත්, කැළි කසළ නිසි ලෙස ඉවත් කරන ලෙසත් උන් වහන්සේ උපදෙස් දී ඇත.

එමෙන්ම තවත් සූත්‍රවල ගාථා මඟින් හා ධර්ම දේශනා මඟින් බුදු රජාණන් වහන්සේ පරපණ නැසීම, ගහකොළ විනාශ කිරීම, ජලය අපිරිසුදු කිරීම නොකරන ලෙසද ඒ දේවල් කරන අයට බලවත් විපාක දෙන බවද වදාරා ඇත.

මේ අයුරින් බුදු රජාණන් වහන්සේ අපේ සරලම ශීලයේ ප්‍රථම ශික්ෂාපදය මඟින් පරපණ නැසීම නොකරන ලෙසට දේශනා කර ඇත්තේ එතෙර මෙතෙර ජෛව විවිධත්වයද සුරැකීම සඳහාය. සාමණේර ශීලය මඟින් වනාන්තර වැවීම හා වනාන්තර සුරැකීම පිළිබඳව අපට පෙන්වා දී තිබේ. එමෙන්ම උන්වහන්සේ "ආරඤ්ඤ ගතෝවා, රුක්ඛමුල ගතෝවා..." යනුවෙන් චිත්ත සමාධි වැඩීමට සුදුසුම ස්ථාන වනාන්තර සෙවණ බවද දේශනා කර තිබේ.

තමන්ට බුදු වීමට සෙවණ දුන් ඇසතු බෝ ගසට උන් වහන්සේ අනිමිසලෝචන පූජාවෙන් උපහාර දැක්වූයේ ගහකොළවල අගය ලොවටම පෙන්වා දෙමිනි. ඒ සමඟම වනරෝප සූත්‍රය මඟින්ද ගහකොළ වනාන්තර සුරැකීමේ වැවීමේ වැදගත්කම පෙන්වා දී තිබේ.

මේ අනුව බුදු රජාණන් වහන්සේ තරම් පරිසරවේදියකු තවම මේ ලොව මත පහළ වී නැතැයි අපට පැවැසීමට පුළුවන.

මේ තොරතුරු අනුව අපේ සතා සීපාවා පරිසරය හා ජෛව විවිධත්වය සුරැකීමට බුදුදහමින් ලැබී ඇති පිටුබලය අතිවිශාලය. ඒ අනුව අපේ රටේ පරිසරය සුරැකීමට බුදුදහමේ ආභාසය ලැබීම ඉහළම මට්ටමක පවතී. ඒ නිසාම අද අපේ රටේ ජෛව විවිධත්වය ඉහළම මට්ටමට පවතී.

සරලව පැවසුවොත් ජෛව විවිධත්වය වනාහි මිහිතලය මත ජීවත්වන සියලු ජීව විශේෂවල විවිධත්වයයි.

අලුත්ම පර්යේෂණ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා පවසන පරිදි අපේ රටේ ඇති සත්ත්ව හා ශාක විශේෂ ගණන 7828කි. ඉන් විශේෂ 6338ක් නේවාසික විශේෂයි. ඊට අමතරව අපේ රටට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ 1691ක්ද මේ අතර තිබීම අපේ ජෛව විවිධත්ව ඝනත්වය පැහැදිලිව පෙන්නුම් කරයි. මේ අනුව සියලු සම්පත් සුරැකීමට බුදුදහම අනුව කටයුතු කිරීම ඉතා සුදුසු බව මේ වෙසක් සමයේ අපි පෙන්වා දෙනු කැමැත්තෙමු.

පරිසරය පූජනීයයි වැඩ සටහන අනුව පසුගිය මැයි දිනය රාත්‍රියේ හා පසු දින මහනුවර ගැටඹේ ශ්‍රීලනිප රැලිය තිබු ස්ථානයේ වූ පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් ජනාධිපතිතුමා ප්‍රමුඛ පක්ෂ නායකයන් එකතු කළ අයුරු අපට දැකගත හැකි විය.

එක්සත් ජාතික පක්ෂය මැයි දිනය පැවැති කැම්බල් පිටියේද, ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනය පැවැති ගෝල්ෆේස් පිටියේ ද තිබු කුණු කසළ එහි සංවිධායකයන් විසින්ම එකතු කිරීම පරිසරවේදීන්ට සතුටට කරුණකි. කෙසේ වුවත් ප්‍රධාන පක්ෂ පෙළපාළි ගිය පාරවල්වලනම් විශාල පොලිතින් ‍තොගයක් ප්ලාස්ටික් බෝතල විසිරී තිබිණි. කොළඹ නගර සභාවේ අපද්‍රව්‍ය මෙහෙයුම් අංශය පැවසුවේ මැයි 2 වැනිදා වෙනදාට වඩා කැලිකසළ කොළඹ එකතු වූ බවයි. එහෙත් මේ කැළි කසළ උවදුර මර්දනයට මඳක් හෝ අවධානය යොමු කිරීම පිළිබඳව අදාළ මැයි දින රැස්වීම් සංවිධානය කළ අයට අපි ස්තූතිවන්ත වෙමු.

මැයි දින රැස්වීම්වලදී සිදුවන පරිසර දූෂණය අවම කිරීමට පෙළ ගැසෙන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබිණි. එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාගේ එම ඉල්ලීම අනුව ප්‍රධාන ලෙසම ඉල්ලා සිටියේ ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කරන ලෙසයි.

එහෙත් එය නම් ඉටු වූයේ අවම ලෙසය. ඊට ද හේතු තිබේ. මේ දිනවල රස්නය වැඩිය. ජලය පානය කිරීම වැඩිය. නගර සභාව මේ මැයි රැලි පවතින ස්ථානවල විශාල ජල ටැංකි තැබුවා නම් කෙතරම් හොඳද? එවිට ප්ලාස්ටික් බෝතල්වල ජලය අවශ්‍ය නොවේ. ඒ පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීම් කරන්නට තිබිණි. බවුසර් මඟින් පානීය ජලය ලබාදීමත් කළ යුතුව තිබිණි. එහෙත් එවැනි වැඩපිළිවෙළක් නැතිව මැයි පළමු වැනිදා කොළඹ කුණු වැඩි බව පැවසුවාට ප්‍රයෝජනයක් නැත.

මැයි දින රැස්වීම් හා පෙළපාළි සඳහා ප්ලාස්ටික් පොලිතීන් පාවිච්චිය අවම කිරීම පිළිබඳව යම් අවධානයක් යොමු කිරීම සතුටුය. එහෙත් ඉදිරියේදී ප්‍රාදේශීය සභා හා පළාත් පාලන ඡන්ද පැවැත්වුව හොත් එහිදී පරිසරය අපවිත්‍ර නොකරන පොලිතීන් ප්ලාස්ටික් පාවිච්චි නොකරන අයට ජනතාව වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි අපි සිතමු.

මේ අනුව පොදුවේ ගත් කල පරිසරය පූජනීය වස්තුවකි. එය කෙලෙසීම බුදුදහමට නිගා කිරීමකි. බුදුදහම අනුව කටයුතු නොකිරීමකි. ඒ ගැන මේ වෙසක් සමයේ සිතිය යුතුය.

ඉදිරි වෙසක් දිනවලදී දන්සල් බහුලව පැවැත්වේ. මේ දන්සල් අසල ද විවිධ අයුරින් පරිසර දූෂණ සිදු කෙරේ. ඒ පිළිබඳව දන්සල සංවිධානය කරන අය සැලකිලිමත් විය යුතුය. මෙහිදී පරිසරය දූෂණය කිරීම නිසා දන්සල දෙන පිනට වඩා යමක් සිදු වන බව පෙනේ.

මේ අනුව පූජනීය පරිසරය සුරැකීමට ඉදිරි වෙසක් සමයේ අපි හැම අයුරින් කටයුතු කරමු. එය ලොකු පින්කමක් කිරීමට සමාන උතුම් කටයුත්තක් බව කිව යුතුය.

නිහාල් පී. අබේසිංහ

 

Comments