![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/28/tl-2.jpg?itok=-cI_QBd1)
අපේ නිමලෙ ලෑ ගෙදර වළං පොඩි වෙන සද්දයක් ඇහුණා. මිදුලෙ දිගෑරිලා හිටපු බල්ලා කන්කෙටි දෙක උස්සලා බැලුවා. මං ඊළඟ සද්දෙට කලිං කඩුල්ලෙං පැනලා නිමලෙගෙ ගෙදෙට්ට ගියා.
නිමලෙ අඹ කොටේ උඩට වෙලා සුරුට්ටුවක් බොනවා. නිමලෙගෙ මායියා ඉදලෙං පොළොවට අනිනව වගේ කේන්තියෙන් මිදුල අතු ගානවා. කුස්සියෙ පිල ළඟ වළංකටු විසිරිලා.
“මොකක්ද මලේ සද්දේ?”
මං ඇහුවා.
“මැයි දිනේට යන්නෙ කොහෙද කියලා වාදෙට පැටලුණා”
“කවුද”
“මායියා”
“ඒක කොහොම ද වුණේ”
“ගෝල්පීස්සෙකට එක්ක ගිහිං දමලා යන මළදානෙක පලයං කියලා මායියා ඊයෙ ඉඳලා රණ්ඩුව”
“ඉතිං නිමලෙ කොහාට ද යන්ඩ හිතාගෙන ඉන්නෙ?”
“යනව නම් ඉතිං එක්කෝ කැම්බල් පිටියට නැත්නං ගැටඹෙට. තව ම හිතුවෙ නෑ.”
“ගෝල්පේස්සෙකට ගෙනිහිං දාන්ඩ කියන්නෙ අහවල් දේට ද? නිමලෙත් එක්ක ම යන්ඩ තිබ්බනේ”
“මායියා හිතාන ඉන්නෙ ගෝල්පීස් ගිහා ම මූදු වැල්ලත් පාගලා පිට්ටු බම්බුවට නැගලා සිරීපාදෙ පැත්ත බලලා සාදු කියලා එන්ඩත් පුළුවං කියලා”
නිමලෙගෙ මායියා ඉදල බිත්තිය පැත්තට දැම්මා. ඒක රූටාගෙන ගෙහුං බිමට වැටුණා. ඔයිම්මෙයිං එදා රාත්තිරියෙ යන්තං නින්ද යාගෙන එනකොටත් නිමලෙ ලෑ ගෙදරිං මුට්ටියක් බිඳෙන සද්දෙ ඇහුණා. අපේ බල්ලා උඩු බුරන්ඩ පටං ගත්තා. මට නින්ද ගියා.
හප්පච්චියේ ගෝල්පීස් එක පිස්සං කොටුවක් වගේ. තැන් තැන්වල හිස් ප්ලාස්ටික් බෝතල. කෑම පැකට්ඔල ඉතිරිය බල්ලො කනවා. කාක්කො සිලි මලු ඇදගෙන ඉගිල්ලෙනවා.
“අනේ අයියේ! අපේ මිනිහා කොහෙ ගියා ද නෑනේ”
නිමලෙගෙ මායියා පින්සෙන්ඩු වෙනවා. සමහරු ගමං මහන්සියට තැං තැං ඔල වැටිලා නිදි. සමහරු වැල්ල පාගනවා. කොල්ලො සරුංගල් පස්සේ දුවනවා. රාළහාමි කෙනෙක් පාර්සලේකට බැටන් පොල්ලෙන් අනිනවා.
වැටිලා ඉන්න සමහරු හීනෙන් දත්මිටි කනවා. සමහරු නින්දෙන් ම කාගෙ ද මේ බලවේගේ කියවා. සමහරු අපේ මන්ත්‍රී තුමාට ජයවේවා! කියනවා. සමහරු ගල් බෝතල් තුරුලු කරගෙන නිදි. කටිං සෙම දානවා. හපොයි දෙයියනේ!
ඔයිම් මෙයින් නිමලෙ වැටිලා ඉන්න තැන හොයා ගත්තා. අම්මට සිරි ගජ! සංවිදායකතුමා දුන්නු ටී ෂර්ට් එකකුත් ඇඳගෙන බිම වැටිලා ගොරෝනවා. නාගසලං වෙන්ඩ ගහලා.
“මේ නිමලෙ නැගිටිනවා!”
මම නිමලෙගෙ කකුල හෙලෙව්වා. නිමලෙ මගෙ අතට පයින් ගහගෙන මුනිං අතට හැරුණා.
දෙයියෝ සාක්කි!
ටී ෂර්ට් එකේ ගහලා තියෙන මැයි දින සටන් පාටෙ දැන් තමයි පේන්නේ.
“මහින්ද සමග නැගිටිමු”
ඕං ඔහොමයි තියෙන්නෙ ආයිබොවන්ඩ.
කවුරු එක්කවත් නැගිටින්නෙ කොහොම ද බඹරු වගේ වැටුණ ම.
“දොඹකරයක් ගෙනල්ලවත් කෙළින් කරන්ඩ බැරිවෙයි වගේ.”
මම කීවා.
ඒ මොනව වුණත් නැගිටින්නෙ කව්ද එක්ක කියලා දැක්ක ම නිමලෙගෙ මායියගෙ මූණෙ පෙම්පාට වැටිලා, මම අවසාන වසයෙං උත්සාහ කෙරුවා.
“මේ නිමලෙ නැගිටිනවා”
මම නිමලෙගෙ කනට කොරලා කීවා.
“මේ මිනිහට ඔල්මාදෙ ද රෑ තිස්සෙ කනට පිඹින්නෙ?”
අපෙ මායියා මගෙ මූණට කඩා පැන්නා.
හද්දෙයියනේ! මේ අපේ ගෙදර නෙවැ. හීනයක් නෙ දැකල තියෙන්නේ!