![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/24/tl-3.jpg?itok=t8VGnUkp)
මහ පාරේ මළ සමයං “තක තීරුව”
ඉහත හෙඩිමේ අර්ථයක් තිබුණි. තිබේ. ඒත් පහුගිය සතිවල ඒ වාක්‍යය ට ම වෙනත් අරුතක් ලැබිණ.
“මල සමයං” කියන අප කීවේ “සාමාන්‍යය ඉක්මවා” විකාර සහගත” පැත්තට බර උන ඇතමුන්ගේ ක්‍රියාකාරකම් වලටය.
“මහ මඟ එවන් විකාරයක්” එහි අරුත වේ.
“මහ පාරේ මල සමයං”
ඒත් “නණ ල ළ” භේදය එතරම් නොසලකන අයෙකුට නම් පසුගිය සතියේ මේ වාක්‍ය තේරෙන්නේ වෙනත් ආකාරයකටය.
“මහා මාර්ගයේදී වෙඩිකා මිය ගිය සමයං” නමැත්තා එමඟින් රූපණය වනු ඇත.
“සමයං” වෙඩි කෑවේ ඔහු ම වැපිරූ බිජුවටයන් හි අස්වැන්න බව සැබෑය.
“අවි ගත්තෝ අවියෙන් නසිති” වැකිය තවත් වරක් සනාථ විය.
එහෙත් මේ සිද්ධිය ඒ “කැටගරියට” දමා, අත පිහ දාගන්නට කාටවත් බැරිය.
රට කරන, කරවන නායක කාරකාදීන්ගේ සිට, සාමාන්‍ය පුරවැසියා දක්වා හැම කෙනෙක් ම “මේ සමයං මල” කේස් එක නොසලකා හැරිය නොයුතුය.
නායක ඇත්තන් ගේ පැත්තෙන් මේ සිද්ධිය බරම බරපතළය.
මොකද කියනවා නම් මේ ප්‍රහාරය එල්ල කොට ඇත්තේ, “සමයං” ට නොව, රටක ඉහළින් ම තිබිය යුතු නීතියට වන බැවිනි. සමයං ගේ හතුරෝ සමයං විනාශ කළ බව හැබෑය. එහෙත් හැබෑවට ම විනාශ උනේ “සමයං” හා “තවත් අය කිහිප දෙනෙකු” පමණක් නොවේ.
“උත්තරීත්තරය” කියන “නීතියට” එල්ල වූ ප්‍රහාරයකි මෙය.
මේ දවස් නීතියේ කලදවස හොඳ නැති, එහෙමත් නැත්නම් ‘ඒරාෂ්ඨකයක්’ ගෙවෙතියි තකතිරුවාට හිතේ. ඒ කියන්නේ “නීතිය” තමන්ගේ “කේන්දරේ” බලාගත්තොත් හොඳයි, කිව හැකි තැනකට පැමිණ ඇත.
සමයං කතාව එකකි.
තව අබල් බොහෝමය.
පහුගිය කාලයේ සිද්ධ උන ඝාතන ගැන නඩුවල ස්වභාවය ජනතාවට දනවනුයේ සෝපාහාසාත්මක හැඟීමකි. හිටි ගමන් “තාජුඩීන්” ඝාතනය මතුවෙයි!.
එහි “ඝාතකයෝ” අල්ලා ගන්නට ඔන්න මෙන්නය. වරෙක, පුවක්ගස්, ගුවන් විදුලි, රූපවාහිනි නාළිකාවලින් උද්දරනය කරනු ලබයි.
ඒත් ඒ සෝඩා බෝතලයක් කැඩුවාක්සේ ය. බුබුළු දමයි, වතුර නටයි, ශබ්දයක් ඇසෙයි. එපමණකි.
ඊළඟ සතියේ තවත් ‘ඝාතනයක්’ මතුවේ.
‘එක්නැලිගොඩ ‘ඝාතනය’ හෝ වෙනත් එකක්! ඊළඟ සතියේ තවෙකකි!
මේ ගති සොබාවය හන්දා සාමාන්‍ය ජනතාවට නීතිය “විහිළුවක් සේ පෙනෙන්නට පුළුවන. තතු දන්නෝ කියන අන්දමට අපෙ රටේ අද භාවිතා වන නීතිය, රෝම ලන්දේසි නීතිය යැයි කියති. ලංදේසීන් මේ රටේ මූදු කරය පාලනය කළ කාලය තුළ ඔවුන් ක්‍රියාත්මක කළ “රෝම නීතිය” ඔවුනට පසුව මෙරට යටත් කර ගත් ඉංග්‍රීසිහු ද භාවිතා කළහ. ඔවුන් එසේ කළේ “තමන්ට යටත් වන රටක් පාලනය කිරීමේදී එරට පවතින නීති පද්ධතියට අනුව කටයුතු කරම්හ” යි බ්‍රිතාන්‍ය අධිරාජයවාදීන් එකඟතාවයකට පැමිණ සිටි නිසාලු. ඒ කෙසේ වෙතත් තතු දන්නෝ පවසන අන්දමට මේ නීති උප්පත්තිය ලද රටවල ද මේ නීති නොපවතින බවකි.
ඒ කෙසේ වෙතත්, පවත්නා නීතිය සප්‍රාණිකව පවත්වාගෙන යා නොහැකි වුවහොත්, ඒ රටට “අබ සරණය”. මැරිච්ච සිංහයන්ට නරි මොනවාදෝ කරතියි යන කථාව මතක් වෙන්නේ එනිසාය.
අපේ රටේ කළ දවස යහපත්ව තිබුණ සමයක, දුරුවල රාජ්‍යයක් ලෙස පැවතුන “සිංගප්පූරුව” වැනි රටවල් අද දියුණුවේ හිණිපෙත්තේ සිටින්නේ “නීතියේ ආධිපත්‍යයේ” බලමහිමය නිසාවෙන් බව කවුරුත් දනිති. මහ මග කෙළ බෙට්ටක් හැලීම ද, එරට නීති විරෝධී ක්‍රියාවකි! බරපතළ දඩුවම් ලබා දෙන වරදකි. එසේ ම එම නීතිය සාමාන්‍ය පුරවැසියාගේ සිට, රාජ රාජ මහාමාත්‍යාදීන්ටත් එකසේ වලංගුය. වැඩි ඈතක නොව පහුගිය දාක ඉන්දියාවෙන් ද අපිට අපූරු නිදර්ශනයක් ලැබුණි.
ජයලලිතාගෙන් පසුව “රජගෙදරට” යන්නට සිටි “පුංචි අම්මා” ගියේ “රජගෙදරට” නොව “සිරගෙදරටය”. ඒ අල්ලස දූෂණ වංචා චෝදනාවලටය.
අපි කොයි කවුරුත් දන්නා පරිදි අපේ රටේ එවන් චෝදනා හිමිකරුවන් විෂයෙහි නීතිය ක්‍රියාත්මක වන ආකාරය වෙනස්ය.
“හිතවතාට” එක විදිහකි.
“අහිතවතාට” තව විදිහකි!.
දූෂණ වංචා චෝදනා “බ්ලූමැන්ඩල් කුණුකන්ද” තරම් උසට මහතට තිබුණත්, තමන්ගේ පිලට ආවඩන්නේ නම්, ඒවා අහෝසිය!.
අත් අඩංගුවට ගැනෙන්නේ නඩු පැවරෙන්නේ,
විරුද්ධවාදියාට පමණක්ය.
මේ විදිහට, මේ රට, කවදා කෙලෙස
මනුෂ්‍ය වාසයට පතිරූප දේශයක් වේදොයි
තකතිරුවාට සිතෙයි.
මොන දේ කෙසේ වෙ තත්,
මොන අඩුපාඩුකම්, විවේචන තිබුණත්
“පවතින නීතිය” හෑල්ලු වන්ට හැරීම
නොකට යුත්තකි.
එහි ආනිසංස කිසිසේත් යහපත් එකක් නොවනු ඇත.
එම නරක ප්‍රතිපලය, අත් විඳින්නට සිදු වන්නේ
වැරැද්ද කරන පාර්ශ්වයට පමණක් නොවේ.
සියලුම දෙනා හටය.
නීතියෙන් වැරැද්දකට දඬුවමක් ලබා දෙන්නේ,
එය පූර්වා දර්ශයක් කොට ගෙන අනිත් උන්
එම වරද නොකරාවි යන උපකල්පනය මත ය.
දඬුවම් දීමට පෙර නඩු පැවරීම්, අත්අඩංගුවට ගැනීම්,
රක්ෂිත බන්ධනාගාරගත කිරීම්, ඇපපිට නිදහස් කිරීම්, මේ කොයි එකෙනුත් බලාපොරොත්තු වන දෙය එය වෙයි.
ඒ නයින්, ගෙන අද අත්අඩංගුවේ හෝ නඩු පැවැරී ඇති ඇතමුන්ට එල්ල වී තිබෙන චෝදනාව වන “වැරැද්ද” සමාජය තුළ ඌණනය වීමක් විය යුතුය.
දැන් තකතීරුව කියවන ඔබට ආරාධනා කරන්නේ, එලෙස බන්ධනාගාරගත කර, හෝ නඩු පවරා ඇති ඇතැමුන්ට එල්ල කරන ලද “චෝදනා” නොහොත් “වැරැද්ද” අද “සමාජය” තුළ උදාහරණය වී ඇත්දැයි විමසා බලන ලෙසයි.
දූෂණ, වංචා, කොමිස්, මත්ද්‍රව්‍ය, වාහන අව භාවිතය මේවායේ පසුබැසීමක්, අඩුවක්, ඔබ දකිනවා ද අසමි.
ඔබ....
“මල සමයං” කියා උත්තර දෙනු ඇත.