
ඔහුට සරසවියක් ම වූ හැම පත්තර කන්තෝරුවක ම කතු වැකි ලිව්වේ ප්‍රධාන කර්තෘවරුන්ම ය. පුවත්පත් නිදහසට තර්ජන එල්ල වූ කලෙක දිනපතා පුවත්පතක කතු වැකිය මුල් පිටුවේ ම පළ කර තිබුණේ ‘අන්ධකාරයේ පෙර නිමිති!’ යන සිරස්තලයෙනි. (36 ඇල ඊයම් අකුරු) සියලු ම උප කර්තෘවරුන් සකසන ලිපි සහ වාර්තාවල වියරණ දොස් මැකුවේ ද්වී භාෂා විශාරදයකු වූ හියුබත් දිසානායක සූරීන් ය. ‘තමුසෙ දන්නැති දේවල් හියුබත් මහත්තයාගෙන් අහගෙන හරියට වැඩ කරන්න පුරුදු වෙනවා’ හිටපු ලොක්කාගේ ඔවදන් දෙසවන රැව්පිළිරැව් දෙද්දී මූර්ධජ ‘ණ’ යෙදෙන තැනත් රේපය යෙදෙන තැනත් දිව උලුක්වන ගාම්භීර වචන ගැනත් දිවා කාලයේ පමණක් අසා දැන කියා ගන්නට ඉඩ සැලසුණු අතර එකල ජංගම දුරකථන නොතිබුණේ වාසනාවටය. ඒවා තිබුණා නම් දිසානායක සූරින් රෑට සුවසේ නිදා ගන්නවා බොරුය.
දිවා කාලයේ පමණක් කර්තෘ මණ්ඩලයේ රැඳෙන එතුමා ළඟට ගොස් සුරුට්ටුවක් ඉල්ලා සිටීම කෙසේ වෙතත් වියරණ පමණක් නොව රට යන අත ද අතැඹුලක් සේ දැන ගත හැකි විය. කතුවැකි පිටුවේ ඒ ඒ කාලවලට උචිත දේශපාලන මෙන් ම ආර්ථිකය පිළිබඳ සාරගර්භ ලිපි පළවූ අතර ඒවා සැකසුනේ ජ්‍යෙෂ්ඨ උප කතුවරුන් අතිනි. ඔහු වැනි දුහුනන්ට වසර ගණනාවක් පැවරුණේ ලග්න පලාඵල පිටුව හෙවත් ‘පිං පිටුව’ හෝ පළමුවැනි පිටුවේ පළවූ වැල්වටාරම්වල ඉතිරි කොටසේ පළ කරන ඇතුළු පිටුවයි. 60 දශකයේ පළවූ පුවත්පත්වල පළමුවැනි පිටුවේ ම සම්පූර්ණ පුවත ම කෙටියෙන් පළ කළ අතර මෙකල සමහර පුවත්පත්වල පළමුවැනි පිටුවේ පළවන්නේ දැවැන්ත ශීර්ෂපාඨ පමණකි. අදාළ පුවත් පළවන්නේ 2 වැනි පිටුවේය.
‘තමුසේ මේ කන්තෝරුවේ බ්ලොක් කපන්නත් පුරුදු වෙනවා... ඉස්සර හිටපු කර්තෘවරුන් ඒවත් දැනගෙන හිටියා’ යි හිටපු ලොක්කා කී නිසා ඔහු එදා කල්යල් බලා වාඩිවුණේ පළමුවැනි පිටුව සංස්කරණය කොට ‘ලේ අවුට්’ ද කළ ජ්‍යෙෂ්ඨ උපකතුවරයකුගේ අසුනට ඉදිරිපස අසුනෙහිය. දුම්වළලු පිට කරමින් මුල් පිටුව කරන ජ්‍යෙෂ්ඨයාගේ දුම්වැටියකට විදින්න මාන බලමින් සිටි ඔහු ළඟට පැමිණි නියෝජ්‍ය කර්තෘතුමා ‘මෙන්න මේ ටික පුරුදු වෙන්නත් එක්ක හොඳට කියවලා බලලා ‘ඕවර් නයිට්’ (over right) යැව්වා ම ඇති කියා උදෑසන අත් දෙක දෙවරක් උස්සා යළි පහත් කරමින් ලොක්කාගේ කාමරය පැත්තට ගිහින් ආපසු හැරුණේය. ඔහුට ලැබී තිබුණේ හම්බන්තොටින් නුවරින් මඩකළපුවෙන් මෙන් ම හතර දිග්භාගයෙන් අපැහැදිලි අකුරෙන් ලියූ අවුල් ජාලයක් ම වූ වාර්තා අට්ටියකි. සමහර පුවත් ඇක්සයිස් කොළවලත් ලියා හර්නල් කටු ගසා තිබෙනු දුටු ඔහුට 'ඇගේ' හර්නල්කටු සිහි විය. දවල් 11.00 වෙද්දී 1 වැනි පිටුවේ අත්පිටපත් ප්‍රධාන කතුවරයාගේ සහ ප්රවෘත්ති කතුවරයාගේ අනුමැතියෙන් ජ්‍යෙෂ්ඨයාගේ අතට පත්වනු ඔහු හොරැහින් බැලීය. ජ්‍යෙෂ්ඨයා ඒ හැම කොපියක ම වියරණ හැදුවේත් හෙඩින් දැම්මේත් පොතකින් වසාගෙනය. ඉස්කෝලේ දී ඔහු ගණන් කොපි කරනවාට බයවූ ‘බැද්දේ’ අතින් වහගෙන උත්තර ලියූ හැටි මතක් වෙද්දී ‘මචං හෙට ලීඩ් එක මොන වගේ එකක් ද? යනුවෙන් නැගූ පැනයට ජ්‍යෙෂ්ඨයාගේ මුවින් පිටවුණේ ‘ම්... ම්...’ යන්න පමණකි. අන්දමන්ද වූ ඔහු හිතුවේ ජ්‍යෙෂ්ඨයාට දත් කැක්කුම ඉවසාගෙන මුල පිටුව කරන්න පුළුවන් කෙරුමකු කියාය. ‘කොළඹ බෝම්බ දහයක් පුපුරයි’ ප්‍රධාන පුවතේ යෝධ සිරස්තලය ඔහුට දැක බලා ගන්නට පුළුවන් වුණේ, වැඩ අංශයේ දී සවස 4 වෙද්දීය. බෙල්ල උලුක් වන තුරු ලොකු ඊයම් අකුරු දෙස බලා සිටි ඔහු, ජ්‍යෙෂ්ඨයාට පිටුපසින් එකත්පසෙකව බලා සිටිද්දී ප්‍රධාන කතුවරයා හදිසියේ ම වැඩ අංශයට කඩා පැන අලුතින් හැදෙන හැම පිටුවක් ළඟට ම ගොස් අදාළ උපකතුවරුන් දෙස විමසිලි ඇසින් බලමින් කට කොනෙන් පුවක් පෙති හපමින් පඩි පෙළ නගිනු පෙනිණි.