අපේ ජලය හරියට රැක්කොත් කවදාවත් ජල හිඟයක් නැහැ | සිළුමිණ

අපේ ජලය හරියට රැක්කොත් කවදාවත් ජල හිඟයක් නැහැ

 ජලය ලෝකයේ ජීවයයි. එය අපේ ලෝකයේ ජීවය ආරම්භයට ප්‍රබලම පරිසර සාධක සැපයීය. එමෙන්ම අද අපේ රටේත් ලෝකයේත් ගංවතුර නායයෑම් ඇති වන්නේත් ජලය නිසාය. ජලය අඩු වූ විට නියඟය හා ජල හිඟය ඇති වේ. ඒ අනුව ජලය වනාහි අපට සතුට සැනසුම විපත ගෙන එන ජීවත්වීමට අත්‍යවශ්‍ය ස්වාභාවික සම්පතකි. එහෙත් අද මෙය දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් ලෙස පමණක් සලකා තම තමන්ට අවශ්‍ය අයුරින් පාවිච්චි කිරීමට යෑම නිසා ජලය හිඟ වෙමින් පවතී. එපමණක් නොව අප ගත් ජල චක්‍රය ද ලෝකය සංකීර්ණ වන්නා සේම දැන් සංකීර්ණ වෙමින් පවතී.

ජගත් ජල දිනය මාර්තු 22 වැනිදාට යෙදී ඇත. එවන් වකවානුවකදී අපේ රටේ දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයෝ ලක්ෂ 12ක් පමණ පිරිසුදු පානීය ජලය නොමැතිව පීඩා විඳිති. ඒ අයට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය හා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජලය ලබා දුන්නත් ඒ ජලය ගෑවෙන්න වත් මදිය.

මේ අතර ජලය අපතේ යෑම බහුලව අපේ රටේ සිදු වේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් පිරිසුදු කර ලබා දෙන ජලය ලීටර් මිලියන 16000ක් පමණ එක් වසරකදී අපතේ යන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාම පවසා ඇත. ඒවා රටට පවසා මාධ්‍ය සාකච්ඡා කළාට වැඩක් නැත. කළ යුත්තේ ඒ නිලධාරීන්ම බලධාරින් සමඟ එක්වී මේ අපතේ යන ජලය සුරැකීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමයි. අපතේ යවන්නන්ට දැඩි දඬුවම් දීමයි. දිස්ත්‍රික්ක 17ක ලක්ෂ 12ක් ජනතාවට හරියට ජලය බෙදා නොදී මේ මහා ජලය අපතේ යෑම පිළිබඳව ඇහැ-කට පියා සිටීම ජාතික අපරාධයක් ලෙස අපි දකිමු.

ඊට අමතරව මොනතරම් නියඟයක් පැවතුණ ද අපේ රටේ ගංගා හා ඇළ මාර්ගවලින් ඔයවල් මඟින් මහ මුහුදට යන ජල ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 26000ක් බව වාරිමාර්ග පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ. ඒ ප්‍රමාණය මෙරට තිබෙන මුළු මතුපිට මිරිදිය ජල සම්පතෙන් සියයට 60කි. මේ පිළිබඳව අපට අදහස් දැක්වූ ප්‍රවීණ කෘෂිකාර්මික හා ජලය සම්බන්ධ විද්වතකු වන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේන මහතා පවසන්නේ තවමත් දැදුරුඔයට ලැබෙන වැසි ජලයෙන් සියයට 34ක්ම කිසිම වැඩකට නොගෙන මහ මුහුදට යන බවයි. ඊට අමතරව කළු ග‍ඟෙන් වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 7800ක් මහ මුහුදට ගෙනියනු ලැබේ. කැලණි ගඟෙන් වාර්ෂිකව ඝන මීටර් මිලියන 5474ක් කිසිම වැඩක් නොගෙන මහමුහුදට ගලා යයි. ගිං ග‍ඟෙන් ඝන මීටර් මිලියන 1907ක් ද මා ඔයෙන් ඝන මීටර් මිලියන 1600ක් ද දැදුරු ඔයෙන් ඝන මීටර් මිලියන 1608ක් ද නිල්වලා ග‍ඟෙන් ඝන මීටර් මිලියන 1100ක් ද වාර්ෂිකව වැඩක් නොගෙන ඉන්දියන් සාගරයට ගලා යයි. මෙය කොතරම් අපරාධයක් ද?

ආචාර්ය ධර්මසේන පවසන පරිදි ඉහත ජලාශවලින් හා අනෙක් කුඩා ගංගා හා ඔයවල් මඟින් මහ මුහුදට වාර්ෂිකව යන ඝන මීටර් මිලියන 22000 - 28000 අතර ජල ප්‍රමාණය ඒ ගංගාවල ඔයවල්වල “ජල ගබඩා ජලාශ” සැදීමෙන් සංරක්ෂණය කිරීම කළ යුතුය. ඒ සමඟම වාර්ෂිකව අපතේ යන පානීය ජලය ලීටර් මිලියන 16000 අපතේ යෑම වැළැක්වීමට ද සුදුසු පියවර ගැනීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පත් මණ්ඩලය ක්‍රියාකළ ගත යුතුය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද අධ්‍යයනවලට අනුව අපේ රටේ මතුපිට ජල සම්පත ඝන මීටර් මිලියන 43000 කි. ඉන් වාරිමාර්ග සඳහා යෙදවුම් ඝන මීටර් මිලියන 14000 කි. ඒ ප්‍රමාණය සියයට 31 කි. ගෘහ කාර්මික යෙදවුම් සඳහා ඝන මීටර් මිලියන 3000ක් වෙන්වී ඇත. මෙම අධ්‍යයනය අනුව වසරකට මහ මුහුදට අපේ ජලාශ ගංගා හා ඔයවල්වල ජලය ඝන මීටර් මිලියන 26000ක් මුහුදට ගලා යන බව හෙළි වී තිබේ. ඒ ප්‍රමාණය මෙරට මුළු මතුපිට ජල සම්පතෙන් සියයට 60ක් පමණ වීම ඉතා කනගාටුදායකය.

අපේ රටේම විද්‍යාඥයන් පවසන පරිදි අපේ රටේ මේ දිනවල පවතින ජල හිඟයට ඉතා සරල විසඳුම් පවතී. ආචාර්ය පී. බී. ධර්මසේන, ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ඩී. පී. මුණවීර මහත්වරුන් සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පරිසර හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය අවධාරණය කරන්නේ අපේ රටේ දී මසක් ඇතුළත අපතේ යන පානීය ජල ප්‍රමාණය වන ලීටර් මිලියන 16000 අප මුලින්ම සුරක්ෂිත කරගත යුතු බවයි. ඒ සමඟම අපේ රටේ ගංගාවලින් හා වෙනත් ජල මාර්ගවලින් වසරකට මුහුදට ගලා යන ඝන මීටර් මිලියන 26000ක් වූ ජල ප්‍රමාණය සුරැකීමට ඉහත ගංගා ඇතුළු ජල මාර්ගවල ජල ගබඩා ජලාශ ඉක්මනින්ම සැලසුම් සහගතව සැදිය යුතු බව ද ඒ විද්වත්හු අවධාරණය කරති.

මෙතරම් ජලස්කන්ධයක් අපේ රටින් මහ මුහුදට යන තෙක් අපේ රටේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මෙතෙක් පැවැති රජයන් බලා සිටීම පුදුමයක් බව පවසන මේ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉහත අ‍පතේ හා මුහුදට යන ජල ප්‍රමාණ හරියට කාර්යක්ෂම ලෙස සංරක්ෂණය කළොත් මොන නියඟයක් ආවත් අපිට අවශ්‍ය ජලය හිඟ නොවන බවයි.

ජලය පිළිබඳ සරල එහෙත් ඉතා ප්‍රබල පණිවිඩ කීපයක් 1992 දී ඩබ්ලින් නුවර පැවැති ජල සමුළුවේදී ‘ඩබ්ලින් රියෝ මූලධර්ම 4’ ලෙස ඉදිරිපත් විය. ඒ මූලධර්ම අද අපේ රටට වුවද ඉතා වැදගත් වේ.

එහි ප්‍රථම මූලධර්මය මඟින් පැවසෙන්නේ ජලය සීමිත මෙන්ම අවදානමට ලක් වී ඇති ස්වාභාවික සම්පතක් බවයි. එය ජීවයේත් පරිසරයේත් පැවැත්ම සඳහා මෙන්ම සංවර්ධනයේ තිරසර බව සඳහාත් අත්‍යවශ්‍ය වෙන බව ද මේ අනුව ජලය යනු නිසි ලෙස කළමනාකරණය කළ යුතු සම්පතක් බව ද එහි දක්වා ඇත.

ජල සම්පත් සංවර්ධනය හා කළමනාකරණය සැමගේ සහභාගිත්වය මත පදනම් විය යුතු බවත් ඒ සඳහා ජල පරිහරණය කරන සියලු පාර්ශ්වකරුවන් පාරිභෝගිකයන් සැලසුම්කරුවන් හා ප්‍රතිපත්ති තීරකයන් සහභාගි විය යුතු බවද මේ ඩබ්ලින් රියෝ මූලධර්මවල දක්වා ඇත.

මේ පිළිබඳ කටයුතුවලදී හා කළමනාකරණයේදී කාන්තාවන් යොදවන බැවින් ඔවුන්ගේ අදහස් හා සහභාගිත්වය ජලය කළමනාකරණයට ලබාගත යුතු බවත්, ජලයේ උපරීම වටිනාකම උකහා ගැනෙන පරිදි සාධාරණීය ජල භාවිතයට ජනතාව උනන්දු කළ යුතු බවත් මේ ඩබ්ලින් රියෝ මූලධර්මවල දක්වා තිබේ.

පිරිසුදු ජලය පාවිච්චිය සඳහා ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් මෙන්ම දරුවන්ගේ විශේෂ ළමා අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන් විසින් දැනට පිළිගෙන ඇත. ඒ අනුව අප අද කළ යුත්තේ ඒ අයිතිය සුරකිමින් අපේ රටේ ජලය සුරැකීමට යහපත් ජල කළමනාකරණයක් අනුව සුදුසු කටයුතු කිරීමයි.

නිහාල් පී. අබේසිංහ

Comments