ලේ! Out | සිළුමිණ

ලේ! Out

 

පත්තර ලොවේ පතාක යෝධයන්ගෙන් ඔහු ලැබූ ගුරුහරුකම් ද අපමණය. සියලුම පිටු සංස්කරණය කිරීම මෙන්ම පිටු සැලසුම්කරණය ද (ලේ අවුට් - Layout) උප කර්තෘවරුන්ටම බාර වූ ඉතා වැදගත් රාජකාරියක් විය. ඩමි ගැහිලි බැරි උප කර්තෘවරුන් කම්මැලියන් ලෙස හංවඩු ගැහිණි.

දහවල් එක දෙක වන විට උප කර්තෘවරුන්ගේ මේසය වටේ කැරකෙන ලොක්කා, සියලුම උප කතුවරුන් ඩමි ගැහුවා දැයි සෝදිසි කරන අතර යැවූ කොපි ලිස්ට් අඩංගු නෝට් පොත් ද ඉල්ලාගෙන බලයි.

පොලිස් රාලහාමිලාට නෝට් පොත මෙන් හැම ගිනි ගෙඩියකින්ම බේරෙන්නට තිබුණු එකම පොත එකල තිබුණේ උප කතුවරුන් අතය. ඉරිදාවක් වූ එදින ඔහුට බාර කෙරුණේ මුල් පිටුවයි. දවල් දහය වෙනකොට ලොක්කාගෙන් කැඳවීමකි. රතු, කොළ, නිල්, කළු දුරකථනවලට උත්තර දෙමින් සිටි ඔහු ඩමි ෂීට් පොතක්ම ගෙන්වා ගෙන රතු පාට ෆෙල්ට් පෑනකින් අසුරු සැණින් ඩමියක් ඇන්දේ වෙසක් කාලයේ හැදෙන වෛවර්ණ තොරණක් සිහි ගන්වමිනි.

ඔහේ යවපු කොපි ලොකුවට ද පොඩිවට ද මැදට ද ඇලේට ද දාන්නේ කියලා ඔහේමයි. ඔහේ, සූට් එකක් මහන ටේලර් කෙනෙක් කියලා හිතමු... ටේලර් සූට් එකේ හැටියට මිනිහව කපන්නේ නෑ.

කපලා ඇද ඇරලා ගන්නේ සූට් රෙද්දනෙ. ඒ හින්දා මං මේ ඩමිය ගහලා පෙන්නන්නේ අදට විතරයි ඔහේ විශ්ව විද්‍යාලෙ යන කාලෙ ‘ලේ අවුට්’ කෝස් එහෙම කරලා ඇතිනේ... ලොක්කා පුවක් පෙත්තක් හපමින් දිගටම කියාගෙන යයි. රතුවේගන ආපු කන අත ගෑ උපන්තේකට ඔහු ‘කෝස්’ කරලා නැති වුණත් වැඩේට බැස්සේ සියලුම ජාතික පත්තරවල මුල් පිටුත් ඉංග්‍රීසි පුවත්වල මුල් පිටුත් පෙරළ පෙරළා බලා රක්ත වර්ණ ලේ දහරාවන් බිම හලා නො ගෙන මුල් පිටුවේ වර්ණ රටාවන් හිතේ ඇඳගෙනය.

එකල සෑම පිටුවකම සුවිශේෂි පුවතක් කොටු කිරීම (Box) අනිවාර්ය වූ අතර අමුතු ලස්සනක් ද එකතු විණි. කන්ද උඩරට රක්ෂණ සංස්ථා ශාඛාවක් මඟින් අලියකුට රතුපාට බතික් ඇඳුමක් අන්දවා දැන්වීමක් ප්‍රචාරය කරමින් පාරේ ගෙන යද්දී ප්‍රාදේශීය වාර්තාකරුවකුගේ උකුසු ඇසට ලක්විය.

එම පුවත ඔහු මුල් පිටුවේ තනි තීරුවක ‘ප්‍රචාරක වැඩට අලි’ යනුවෙන් පළ කළේ බෝඩර් රූලකින් Box කරවා ගනිමිනි.

මෙකල නම් බෝධි පූජාවක් පිළිබඳ පුවතක් හෝ Box කරවන්නට සමත් අයත් එපමණට සිටිති. ජනප්‍රිය පුවත්පතක කතුකම හොබවන කාගෙත් හිත දිනාගත් කතුවරයකු නිල් පාට කාබන් පෑනෙන් ඔහුට ඇඳ දුන් ‘ලේ රත් නොවන’ ලේ අවුට් ෂීට් ගණනාවක් ඔහු ළඟ තවම තිබෙන අතර ඒවා අත්පොතක් හැටියට පාවිච්චි වන්නේ නිතැතිනි.

 

 

Comments