
පෙබරවාරි 15 දිනට යෙදෙන ජන්ම දින සමරුව නිමිත්තෙනි.
ලොව කිර්තිමත් රාජ්‍ය නායකයන් දෙපළක් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බාල දරුවා ලෙස අනුර බණ්ඩාරනායකයන් 1949 පෙබරවාරි 15 දින උපත ලබා වසර 59ක් ජීවත්ව විචිත්‍රවත්, නොකැළැල් දේශපාලන මාවතක ගමන් කොට 2008 මාර්තු 16 දින මිය ගියේ ශ්‍රී ලාංකික ජන හදවත් අතිශය කම්පනයකට ලක් කරමිනි. එතුමා රාජ්‍ය නායකත්වයට පත් නොවුණත් ලෝකයේ ප්‍රබල රටවල නායකයන් ඉතා සමීපව ඇසුරු කළේය. එතුමාට කුඩා කල සිටම මෙම වාසනාව හිමි විය. එතුමා ඇසුරු කළ ලෝක නායකයන්ගේත් වෙනත් වැදගත් දේශපාලන ඡායාරූප නිරීක්ෂණය කළහොත් දේශපාලන ඉතිහාසය අඩංගු අගනා කෘතියක් සම්පාදන කළ හැකි වනු ඇත.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධාරියකු වන අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිපයට කළ අමිල සේවාව අද බොහෝ අයට අමතකය. ඔහු දිවා රෑ නොතකා ඈත ගම් දනව් කඳු පල්ලම් පීරමින් ගැමි ජනතාව මුණ ගැසුණු අයුරු පැරණි පක්ෂ සාමාජිකයෝ කෘතවේදීව අදත් සිහි කරති. එසේම එතුමා ඈත ගම්වල සිටි දක්ෂතා පිරි උගත් තරුණ පිරිස් පක්ෂයට සම්බන්ධ කරමින් ඔවුන්ව දේශපාලන ලෝකයේ ඉහළටම රැගෙන ආවේය. අද ඔවුහු ඉහළ තලයේ වැජඹෙති. බොහෝ අයට ඒ බවක් අද මතක නැත. එසේම 1970 මහා මැතිවරණයේදී මෙතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරද්දිම අත්තනගල්ල ආසනයේ මැතිවරණය මුළුමනින්ම තනිවම මෙහෙයවීය. එසේ තනිවම මෙහෙයවන්නට සිදු වුයේ එතුමාගේ සහෝදරියන් දෙදෙනාම විදේශගතව සිටි බැවිනි. එවකට වසර 21ක් වු මෙතුමා අත්තනගල්ලින් වැඩි ඡන්ද 21000කින් ජයග්‍රහණය කරවීමට සමත් විය. එතෙක් මැතිනිය අත්තනගල්ලෙන් එවන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ඊට පෙර ලබා නොගත් බවද සිහිපත් කරමි. තවද එම මැතිවරණයේදී මෙතුමා රටපුරා සංචාරය කරමින් රැස්වීම් ඇමතීම සමඟි රජයේ ජයට ප්‍රබල හේතුවක් විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට පැමිණි අනුර බණ්ඩාරනායකයන් 1974 සිට පක්ෂයේ තරුණ නායකයා ලෙසින් සමඟි රජයේ ජනප්‍රසාදය පිරිහෙමින් පැවැති දේශපාලන පසුබිමක වුව ද පක්ෂයට තරුණ රැල්ලක් මතු කිරිම ඔහුගේ හපන්කම කදිමට කියාපාන්නකි. එතුමා ගිය සෑම රැස්වීමකටම, සම්මන්ත්‍රණයකටම විශාල පිරිස් රොක් වුහ. එමෙන්ම 1976 ජා ඇල අතුරු මැතිවරණය පැමිණියේ සමඟි පෙරමුණු රජය දැඩි පිරිහීමකට ලක්වී තිබුණු පසුබිමක් තුළය. ඒ නිසා කිසිම ප්‍රබල ඇමැතිවරයකු මෙම අතුරු මැතිවරණය මෙහෙයවීම මඟහැරි අතර මෙතුමා එය තනියෙන්ම මෙහෙයවීය. ඉන් පෙර කිසිම අවස්ථාවක ශ්‍රීලනිපය නොලද ඡන්ද සංඛ්‍යාවක් ජා ඇළින් ලබා ගත්තේය.
1977දි අනුර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ සිය මාපිය පාර්ශ්වයේ දේශපාලන බළකොටුව තමන්ට හුරු පුරුදු අත්තනගලු ආසනයෙන් හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොවේ. වතු කම්කරු ඡන්ද බහුතරයක් ඇති නුවරඑළිය - මස්කෙලිය මැතිවරණ කොට්ඨාසයෙනි. මෙතුමා මෙම ආසනය වෙනුවෙන් කැප කිරීමට සිදු වුයේ දින 6ක් පමණි. ඉතිරි සමස්ත කාලයම රටපුරා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීය. කිසිවකු නොසිතු අයුරින් නුවරඑළිය - මස්කෙලිය ආසනයෙන් ඡන්ද 49000ක් ලබා ගෙන ඔහු අසනයේ දෙවැනි මන්ත්‍රී වුයේ වතු ද්‍රවිඩ නායක තොණ්ඩමන් තෙවැනියා බවට පත් කරමිනි.
අනුර බණ්ඩාරනායකයන් ලංකාවේ පමණක් නොව පෙදු රාජ්‍ය මණ්ඩලයේ ද ළාබාලතම විපක්ෂනායක විය. එතුමා 1983 විපක්ෂනායක ධුරය හිස් වු විට එයට පත්වුයේ සියල්ලන්ගේම එකඟත්වයෙනි. එතුමා එම ධුරයේ වගකිම ශ්‍රීලනිප මන්ත්‍රීන් 8ක් වැනි සුළු පිරිසක් සමඟ එජාප මන්ත්‍රීන් 148ක් සමඟ කරට කර හැප්පෙමින් ඉහළින්ම කළ බව කවුරුත් පිළිගනිති. පරිණත දේශපාලනඥයකුගේ ඉහළම ලකුණු පහළ කරමින් එතුමා එදා කළ කාර්ය භාරය නුතන නායකයන්ට කදිම ආදර්ශයක් ද වන්නේය.
1988 මැතිනිය ඉදිරිපත් වු ජනාධිපතිවරණයේ සමස්ත බරම කරට ගෙන ක්‍රියා කළේ රාජ්‍ය භිෂණය, කොටි ත්‍රස්තවා දී තර්ජන මධ්‍යයේය. එම ජනපතිවරණයේදී හැම පළාතටම රැස්වීම් 115ක් අමතමින් එතුමියගේ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ එම රැස්විම්වලට බෝම්බ වෙඩි වරුෂා පතිත වෙද්දිය. එසේම 1989 මහ මැතිවරණය ද අනුර මව සමඟ මෙහෙය වීය. එමෙන්ම පාද යාත්‍රා රථ යාත්‍රා මඟින් ජනතාව අවදි කිරීමට එතුමා සමත් විය. එදා අනුර එනතුරු ජනතාව හුළු අතු පත්තු කරගෙන සිටි අයුරු අද බොහෝ නායකයන්ට අමතකය.
අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වන කථානායක ධුරයට පත්වුයේ ද ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද පොදු එකඟත්වයෙනි. ඔහු නිසා තනතුර බැබළීය. මෙතුමා ව්‍යවස්ථාදායකය උත්තරීතරය යනුවෙන් ඓතිහාසික තින්දුවක් දුන්නේය. මෙතුමාගේ උනන්දුව හා කැපවිම නිසා සන්ධානය බිහි විය. එසේ බිහි නොවන්නට 2004 දී ශ්‍රීලනිපය ප්‍රමුඛ රජයක් බිහි නොවනු ඇත. අනුර බණ්ඩාරනාකයන්ගේ ගුණ සමරන්නට එතුමා ගැන ලියන්නට අද කිසිවෙක් නැත. ඒත් එතුමා ජීවත්ව සිටිය දී එතුමාගේ සරණින් දේශපාලන ලෝකයේ හිණිපෙත්තට නැඟ ගත් බොහෝ දෙනා අද එතුමා ගැන වචනයක්වත් කථා කරන බවක් නොපෙනේ. ඒ තරමටම අද ලංකාවේ දේශපාලනය අකෘතඥය. අනුර බණ්ඩාරනායක වැනි විශිෂ්ට දේශපාලනඥයන්ගේ අඩුව අපේ රටට එදාට වඩා අද තදින් දැනේ.
ගාමිණී ගුණසේකර