අපේ උරුමය සුරැකීමට කැපවූ මහාචාර්ය අබය ආර්යසිංහ | සිළුමිණ

අපේ උරුමය සුරැකීමට කැපවූ මහාචාර්ය අබය ආර්යසිංහ

2009 වසරේ ජනවාරි මස 14 දා දැයෙන් සමුගත් මහාචාර්ය අබය ආර්යසිංහ පුරාවිද්‍යාඥයා පිළිබඳ විශේෂ ලිපියකි.

මීට වසර අන‍ූවකට ඉහතදී ගම්පහ දිස්ත්‍රික්කයේ බෙම්මුල්ල ග්‍රාමයේ උපත ලද අබය ආර්යසිංහ දරුවා ලංකාවේ අතීත ජන උරුමය පිළිබඳ සැබෑ විද්වතකු ලෙසින් දැයට පහදා දීමට ලියන ලද ග්‍රන්ථ සංඛ්‍යාවට අමතරව දිනපතා සහ සති අන්ත පුවත් පත්වලට ලියන ලද ලිපි සංඛ්‍යාව දහස් ගණනකි. මේ යුගයේදී සිටිය යුතු දේශ හිතෛෂී විද්වතුන් අතර ප්‍රමුඛස්ථානය ලද අප ඇදුරුතුමාණන් පිළිබඳ සටහනක් තැබීම ජාතික යුතුකමක් සේ සැලකිය යුතුව ඇත.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහා ප්‍රාඥයාගේ සෙවණේ ශිල්ප හැදෑරීමට එතුමා ලද ඒ මහඟු අවස්ථාව ගැන ඉතා දීර්ඝ ලෙසින් අප හා කතා බහ කළ අන්දම අපට මේ අවස්ථාවේදී සිහිපත් වේ.‍

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්යවරයා ලෙසින් 1957 සිට වසර අටක පමණ කාලයක් සේවය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ප්‍රථම ශිෂ්‍යයන් අතරේ ද ප්‍රමුඛයකු ලෙසින් හඳුන්වා ‍දිය හැකි මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විෂය සඳහා ශාස්ත්‍රපති (MA) විභාගයට ලියා පදිංචි වූ ප්‍රථම විද්වතා වීමේ භාග්‍යය ලත් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණය ඉතා දක්ෂ ලෙසින් සමත්වූ අබය ආර්යසිංහ විද්වතාණන් 1961 වර්ෂයේදී එකල විද්‍යෝදය විශ්වවිද්‍යාලය (මෙකල ශ්‍රී ජයවර්ධනපුර) කථිකාචාර්යවරයකු ලෙසින් සේවය කිරීමට එක්වීමට පෙර එතුමා ඊට ඉහත උප ගුරුවර‍යකු ලෙස ද පාඨශාලා පරීක්ෂකවරයකු ලෙසින් ද සේවය කර ඇත.

1958 දී විදුහල්පතිවරයකු ලෙසින් ද සේවය කළ අබය ආර්යසිංහ විද්වතාණන් ඒ කාලයේ සිටම පුවත්පත් හා සඟරා සඳහා අපේ උරුමය අපේ උරුමයට හානි කරන අවස්ථාවලදී ඊට එරෙහි ව නිර්භීතව සිය පෑන මෙහෙයවූ මෑත භාගයේ විසූ විද්වතකු ලෙසින් ද පාඨකයන් හඳුනාගෙන තිබුණි.

මහාචාර්ය අබය ආර්යසිංහ ඇදුරිඳු නිර්භීතව කිවයුත්ත කවුරුන් අමනාප වූවත් එළිපිටම ප්‍රකාශ කළේ අපේ ජාතික උරුමයට සහ පුරාවස්තු වලට තිබුණු ඇල්ම මෙන් ම ලැදියාව නිසා ය. සමහර අවස්ථාවලදී පුවත්පත් මඟින් ඒ පිළිබඳ ඉතා දීර්ඝ ලෙසින් වාද විවාද කිරීමට පවා නොපැකි‍ලුණේ ය.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් විසින් හැදෑරීම ද වැදෑරීම ද ග්‍රන්ථ කරණය ද යන එම තුන් ඉරියව්ව මඟින් ම තමන් ප්‍රගුණ කළ විෂය පිළිබඳ කළ යුතු කාර්ය ඉන් මැනවින් ඉටු කළ මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථ රාශියක් ම ලියා ඇති අසෝක රජුගේ ශිලා ලේඛන පිළිබඳ සිංහල භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථ හතර මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

සිරිසමන් විජේතුංග
 

Comments