තකතීරු | සිළුමිණ

තකතීරු

අද කාලේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ගත වෙන ආකාරය ගැන තකතීරුවාට වෙලාවකට ‘දුක’ හිතෙනවා‍. මොකද තකතීරු උන්නැහෙ උපන්නේ මීට අවුරුදු පනස් හයකට කලින් එකදාස් නවසිය හැටේ.

මුන්නැහේට අවුරුදු 17 ක් තරම් වෙන කොට තමයි මේ රට තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් ‘කොරලා’ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට පිළිපන්නෙ. එතුවක් තිබුණ එකට කිව්වේ ‘ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය’ කියලා.

මේ දෙක ඇතුළේ මිනිස්සු ජීවත් වුණ ආකාරය ගැන මිස්ට තකතීරුට අත්දැකීමක් අවබෝධයක් තියෙනවා. ‍එ‍ෙහම කියන්නෙ මොකද හැත්තෑ හතේ හෝ ඉන් පස්සේ ඉපදුණු ඈයන්ට ‘කලින්’ මනුස්ස ජීවිතේ ගෙවුණු හැටි ගැන අවබෝධයක් නැති නිසා.

ඒ කාලේ ඔය මධ්‍යම පංතිය කියන පැලැන්තියෙ පවුලක සාමාන්‍ය ජීවිතේ ගත්තොත්, පවුලේ රස්සාව කරේ පිරිමියා විතරයි. දරුවො සාමාන්‍යයෙන් දෙන්නට වැඩි. බොහෝ විට පස් හය දෙනෙක්! පඩි පතේ ඉලක්කම් ඒ තරම් විශාල නෑ! රුපියල් දෙතුන් දාහක්!

ගෙවල්වල තාක්ෂණික මෙවලම් තිබ්බේ බොහෝ විට රේඩියෝ එකක් විතරයි. කලාතුරකින් ගෙදරක කැමරාවක් ටෙලිෆෝන් එකක්.‍ පත්තර තමයි ඊළඟ සන්නිවේදන මාධ්‍යය. ආහාර රටාවට වුණත් එකතු වුණේ දේශීය දේවල්. විනෝදය සඳහා මිනිස්සු චිත්‍රපටි බැලුවා. නාට්‍ය බැලුවා.

හැම මධ්‍යම පාංතික ගෙදරකම වගේ පුංචි පුස්තකාලයක් තිබුණා.

“පඩියට පොතක්! හැම වැටුපකින් ම පොතක් මිලදී ගන්න සිරිතක් සමහරුන්ට තිබුණා. පවුල පිටින් ගිහිල්ලා මාසෙකට සැරයක් චිත්‍රපටි බැලුවා.

රෑ එළිවෙනකල් පාරවල්වල බස් රථ ධාවනය වුණා. රෑ දවල් නැතුව කෙනෙකුට රටේ ඕන තැනකට යන්ට පුළුවන්කම තිබුණා.

විවෘත ආර්ථිකයේ ආගමනයත්, උතුරු දකුණු යුද්ධයත් රටේ ඇතිවුණ කැරළිත් හේතු කොට ගෙන ඒ සරල සුන්දර දිවි පැවැත්ම එහෙම පිටින් ම වෙනස් වුණා‍!

ජීවත්වීම උදෙසා සැමියටයි බිරියටයි දෙන්නටම රස්සා කරන්ට සිද්ධ වුණා. හදන දරුවො ප්‍රමාණය දෙන්නෙකුට හෝ එක්කෙනෙකුට සීමා වුණා. නව තාක්ෂණික මෙවලම් රූපවාහිනී, වීඩියෝ, කොම්පියුටර්, හෝම් තියටර් වගේ දේවල් එකතු වුණා. ගෘහස්ථ පුස්තකාල වැසී ගියා. චිත්‍රපට, නාට්‍ය බැලීම අත්හැරුණා.

විදේශවලින් ආනයනය කරන ලද, එහෙමත් නැත්නම් පළිබෝධ නාශක, ආදිය යොදා වගා කරන ලද ආහාර ද්‍රව්‍ය බත් පතට එකතු වුණා. අලුත් ලෙඩ රෝග ගණනාවක් කරළියට ආවා.

මේ දේවලුත් එක්ක මිනිස් ජීවිතය ධාවන තරගයක් බවට පත් වුණා. ජීවිතය ජීවත් කිරීම සඳහා උදේ පාන්දර සිට සන්ධ්‍යාව තෙක් කැප කරන්නට සිදුවෙලා. ජීවිතය ශෝධනය කරන සාරවත් දේ වෙනුවට රූපවාහිනී - රේඩියෝ නාළිකාවලින් වගුරවන අරුත් සුන් දේවල් වලින් මනස ශෝධනය වෙනුවට ‘දූෂණය’ කරමින් පවතිනවා‍.

මේ අටුවාව ලිවුවෙ, පසුගියදාක මුණ ගැහුණු එක්තරා වැඩිහිටියෙක් කියූ දෙයක් කියන්නට. ඒ කියමන තුළ පසුගිය සමයේ වෙච්ච මේ ‘විපරියාසය’ වගේ ම ජීවිතය ගැන දාර්ශනික ප්‍රවේශයකුත් තියෙනව කියල තකතීරුවට හිතෙනව‍.

“ඉතිං කොහොමද කමල් අයියා ජීවිතේ. දැං ඉතිං පැන්ෂන්නේ විවේකෙන්...”

“විවේකෙන්.... අනේ මල්ලී, මට වෙලාවකට හිතෙනවා. මං පුංචි කාලෙ පාන්දර නැඟිට්ටා ඉස්කෝලෙ යන්ට. ඊට පස්සෙ විශ්ව විද්‍යාලෙ ලෙක්චර්ස් වලට. පස්සෙ රස්සාවට යන්ට පාන්දර නැඟිට්ටා. වැඩ කළා. ඊට පස්සෙ දරුවො හදන්ට. උගන්නන්ට. දැන්! දැන් දරුවන්ගෙ දරුවො හදන්ට පාන්දර නැඟිටිනවා. මොන්ටිසෝරි එක්කරං යනවා. ඉස්කෝලෙ පන්ති. ඇත්තටම මල්ලි අර හැත්තෑ එකේ කැරැල්ලට අහුවෙලා කාලයක් මං හිරගෙදර හිටියානේ.

ඇත්තටම කියනව නං මගෙ ජීවිතේ මම නිදහසේ ඉඳලා තියෙන්නෙ ඔන්න ඔය කාලෙ විතරයි.”

කමල් පී. අලහකෝන්

 

Comments