
- සිසුන් 178 දෙනාම උසස් පෙළට සමත්
- A9-73ක්, A8-36ක්, A7 -17ක්
- බස්නාහිර පාසල් අතෙරන් සාමාන්‍ය පෙළ අංක 01
හැත්තෑ දෙවසරක පෞඪ ගමන් මඟක් සනිටුහන් කරමින් බස්නාහිර පළාතේ අභිමානවත් පළාත් පාසලක් වූ පානදුර බාලිකා මහා විද්‍යාලය ආරම්භ වන්නේ 1951 ජූනි 15 වැනිදාය. එදා කළුතර වලාන මහනාම විදුහලේ ගොඩනැඟිල්ලක සවස් පාසලක් වශයෙන් ආරම්භ කර පසුව උපාලි දියෙස් දානපතියාට අයත් වූ පානදුර නගරයේ අක්කර තුනක බිමක ආරම්භ වූ මේ පාසලේ ආරම්භක විදුහල්පතිනිය සෝමා මුනින්ද්‍රදාසය. 1954 දී එවකට අධ්‍යාපන ඇමැතිව සිටි එම්. ඩී. බණ්ඩා අතින් පළමු ගොඩනැඟිල්ලට මුල්ගල තැබුණු අතර, වසරක් ඉක්ම යන්නටත් මත්තෙන් 1955 සැප්තැම්බර් 2 වැනිදා මහානාම විදුහලින් සමුගෙන නව පළාත් පාසලක් වශයෙන් පියවර තබන්නට පානදුර බාලිකාවට හැකි විය.
සුධීමත් බාලිකාවන් ලෙස අධ්‍යාපන නිම් වළලු පුළුල් කරමින් ආරම්භ වූ මේ තක්සලාව අද වන විට සිය ගමන් මගේ පසු කර ආ ජයටැඹ බොහෝය. මේ බාලිකාවෝ අධ්‍යාපන ප්‍රගතිය අතින් පමණක් නොව විෂය බාහිර කටයුතුවලින්ද එක සේ විස්කම් පෑමට සමත් වූහ. 1956 සාමාන්‍ය පෙළ වාණිජ අංශයත්, 1957 උසස් පෙළ කලා අංශය, හස්ත කර්මාන්ත අංශය හා සංගීත අංශය ආරම්භ කරන්නටත්, සුභාවි නමින් පානදුර බාලිකාවන්ගේ විස්කම් විදහා දැක්වෙන ප්‍රධාන ශාලාව 1958 වසරේදී විවෘත කරන්නටත් හැකි වීම පාසල් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන වේ.
පානදුර බාලිකා විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන්නේ එස්. පී. ගුණවර්ධනය. වසර 8ක සිය විදුහල්පතිධූර කාලයේදී පැමිණි අභියෝග දුෂ්කරතා මැඬ ගනිමින් ඉහළටම පිය ඔසවන්නට පානදුර බාලිකාව සමත් විය. පාසලේ අධ්‍යාපනික ප්‍රගතිය පමණක් නොව ගුණාත්මක හා භෞතික සංවර්ධනය අතින්ද මේ කාල වකවානුව ඉහළම කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත. මේ වන විට මෙහි සිසුවියන් 1,681ක් අධ්‍යාපනය ලබන අතර, ගුරුවරු 72ක් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වෙති. අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන් 9 දෙනකුගෙන් සමන්විතය.
පසුගිය 2022(2021) සාමාන්‍ය පෙළ විභාගයෙන් පමණක් නොව අඛණ්ඩව වසර 15ක් පුරාවටම සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළට සමත් වූ ප්‍රතිශතය 100%ක් වාර්තා කරන්නට පානදුර බාලිකාවට හැකි විය. ගුරු හිඟය, නේවාසිකාගාර ප්‍රශ්න මෙන්ම ගොඩනැඟිලි අඩුපාඩුකම් බොහෝමයක් මැද පැමිණි මේ දුෂ්කර ගමනේදී ගුරුවරුන්, සිසුන්, මවුපියන් මෙන්ම පාසලේ ආදි සිසුන්ගේ දැඩි සහයෝගය මත වසර ගණනාවක්ම සාමාන්‍ය පෙළ විභාගයට පමණක් නොව උසස් පෙළට ද ඉහළම සාමාර්ථ වාර්තා කරන්නට හැකි විය. 2022 (2021) සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 178 දෙනෙක් ඉදිරිපත් කරවීමට පානදුර බාලිකාවට හැකි වූ අතර, එම 178 දෙනාම උසස් පෙළ හැදෑරීමට සමත් කරවීමට මෙවර ද පාසලට හැකි විය. 2008 වසරේ සිටම කිසිදු වසරක් අත් නොහැරම මෙම 100% සමත් කඩඉම රැකගැනීමට පානදුර බාලිකා මහ විදුහලට හැකි වූ අතර, මේ වන විට වසර 15ක් පුරාවට ඔවුන් මේ සාර්ථකත්වය රැක ගෙන ඇත.
මේ අනුව විභාග දෙපාර්තමේන්තු කාර්ය සාධන දර්ශකයන්ට අනුව මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතින් පානදුර බාලිකාව බස්නාහිර පාසල් අතරින් අංක එකට පත්ව තිබීම ඔවුන් ලද ජයග්‍රහණයේ ඉහළම හැරවුම් ලක්ෂ්‍යය වී ඇත. කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද 2022 ( 2021) සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කළ සිසුන් 178 දෙනාගෙන් A9 සාමාර්ථ 73ක්ද, A8 සාමාර්ථ 36ක්ද, A7 සාමාර්ථ 17ක්ද ලබා ගැනීමට හැකි වී ඇත. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණයේදී පානදුර බාලිකාව විෂයයන් අතින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රධාන විෂයයන් ඇතුළුව විෂයන් 29කට සිසුන් ඉදිරිපත් වූ අතර අපරදිග සංගීතය හැර අනිකුත් සියලු විෂයයන්වල සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 100% ක් විය. එය පාසල ලද ඉහළම ජයග්‍රහණයකි. අපරදිග සංගීතය සමත් ප්‍රතිශතය 83%ක් වන අතර විභාගයට පෙනී සිටි සිසුන් 6 දෙනාගෙන් 5 දෙනෙක් සමත්ව ඇත.
සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ විභාගයෙන් ද පානදුර බාලිකාව ඉහළම සාමාර්ථ වාර්තා කර ඇත්තේ 2020 වසරේදීය. උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ සමත් ප්‍රතිශතය 96%ක් ඇති අතර කලා විෂය ධාරාවෙන් සමත් ප්‍රතිශතය 94%ක් ඇත. 2020 වසරේ විද්‍යා, කලා හා වාණිජ විෂය ධාරාවන්හි දිස්ත්‍රික් ප්‍රථමයන් තිදෙනාම බිහිකර ඇත්තේ පානදුර බාලිකාවෙනි. ජීව විද්‍යා අංශයේ ලංකාවේ සිවු වැනියා වී ඇත්තේද පානදුර බාලිකාවේ සිසුවියකි.
2021 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට කොවිඩ් අභියෝගයේ දරුණු අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවූ අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝමයක් සිදු වූයේ මාර්ගගත අධ්‍යාපනය හරහාය. කොවිඩ් හේතුවෙන් පාසල් පද්ධතිය වැසී ගිය දිනට පසුවදාම මාර්ගගත අධ්‍යාපනයට සිසුන් ප්‍රවිශ්ට කරවීමට පානදුර බාලිකාවේ පරිපාලනයට හැකි විය. විදුහල්පතිනි එස්. පී. ගුණවර්ධනගේ අධීක්ෂණය හා ආචාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මත මාර්ගගත අධ්‍යාපනයට සාර්ථකව අවතීර්ණ වීමට හැකි විය. ඒ අනුව මාර්ගගත අධ්‍යාපන කාලසටහන් සකස් වූ අතර ඊට මවුපිය සහභාගිත්වය ලබා ගත හැකි වන පරිදි උදැසන 5 සිට 7 දක්වාත්, රාත්‍රී 7 සිට 9 දක්වාත් ඒ කටයුතු සිදු විය. 6- 13 වසර දක්වා ක්‍රියාත්මක වන පානදුර බාලිකාවට බහුතරයක් ශිෂ්‍යත්වලාභීන් පැමිණෙන අතර, දුර බැහැර සිට විශාල සිසු පිරිසකට දෛනිකව උදේ හවස පැමිණීමට සිදුව ඇත්තේ පාසලේ නේවාසිකාගාර නොමැති වීම නිසාවෙනි. මාර්ගගත අධ්‍යාපනයේදී දුෂ්කර ප්‍රදේශවලින් පැමිණි සිසුන්ට තාක්ෂණික බාධාවන්ට මුහුණ දීමට සිදු වුවද, ඒ සිසුන්ටත් කිසිදු විෂයය කොටසක් අත් හැරෙන්නට නොදී සාමාන්‍ය පෙළට සූදානම් කරන්නට පාසලට හැකි විය. මේ අවස්ථාවේ තාක්ෂණික බාධාවන්ට මුහුණ දුන් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ අතර සිසුන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරදීමට පාසලේ ආදි සිසුහු, මවුපිය සහ ගුරුවරුන් විශේෂ කැපවීමක් කළහ.
පාසල් යළි විවෘත කිරීමෙන් අනතුරුව විභාග පූර්ව පරීක්ෂණ පැවැත්වෙන අතර, 11 ශ්‍රේණිය සඳහා සියලු විෂය කරුණු ආවරණය කර ගනිමින් මෙම පූර්ව පරීක්ෂණ පැවැත්වෙයි. පාසල විසින් සකස් කරගත් ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී අඩු ලකුණු ගත් සිසුන් වෙනුවෙන් විශේෂ උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීමටත් ඒ වෙනුවෙන් පාසල ආරම්භ වීමට මත්තෙන් හා පාසල් කාලයෙන් පසු සවස් කාලයේ සිය කාලය කැප කරමින් අමතර පන්තිවලට යොමු කරවමින් ගුරුවරු සියලු සිසුන් එක මඟට ගැනීමට කැප විය. විදුහල්පතිතුමියගේ අධික්ෂණය ඇතිව පන්ති කව පැවැත්වූ අතර සෑම සිසුවකුටම විශේෂ අවධානයක් යොමු කරන්නටත්, මවුපිය දරුවන් සඳහා එකවර සායනික අධීක්ෂණ පැවැත්වීමත් මේ ජයග්‍රහණයන්ට පසුබිම් වූ හේතු කාරණා විය.
පානදුර බාලිකාවේ සාමාන්‍ය පෙළ සාමාන්තර පන්ති 4 බැගින් ක්‍රියාත්මක වන අතර සිසුන් සිය අධ්‍යාපන ප්‍රගතිය ලබන්නේ බොහෝ වූ අඩුපාඩුකම් රැසක් මධ්‍යයේය. පාසලේ ගුරු අඩුපාඩු මෙන්ම ගොඩනැඟිලි බොහෝය. ශිෂ්‍යත්වයෙන් දුර බැහැර සිට මේ පාසලට පැමිණෙන දරුවන්ට නවාතැන් ගෙන අධ්‍යාපනය ලබන්නට මේ පාසලේ නේවාසිකාගාරයක් නැත. පාසලේ අඩුපාඩු යම් පමණකට ඉටු කරන්නට විදෙස්ගත ආදි සිසුන් පාසල වෙනුවෙන් දැක්වූ දායකත්වය ප්‍රසංසනිීයය. පසුගියදා එසේ රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදිවූ 'ස්වර්ණ බ්ලැවැස්කි තෙමහල' කැනඩාවේ පදිංචි එදා නමින් මහාචාර්ය සුවන්ද සුගුණසිරි (වර්තමානයේ මිහිත ස්වාමීන් වහන්සේ) ධන පරිත්‍යාගයෙන් ඉදි වූයේ ආදි සිසුවියක වූ සිය මියගිය බිරිය ස්වර්ණලතා බෙල්ලන සිහිවීම පිණිසය. වර්තමානයේ භාෂා 6ක් ක්‍රියාත්මක වන පානදුර බාලිකාවේ ජපන් හා ප්‍රංශ භාෂාගාර, ගණිතාගාරය ක්‍රියාත්මක වන්නේ එහිය.
විදුහල්පතිනි එස්. පී. ගුණවර්ධන, නියෝජ්‍ය විදුහල්පතිනියන් වන සී.කේ.එම් චන්ද්‍රිකා, ඩබ්ලිව්. ජේ.එල් රොඩ්‍රිගෝ, සහකාර විදුහල්පති කේ. ජේ. කේ තිසේරා, සහකාර විදුහල්පතිනිය වන ඒ. එන්. අයි පෙරේරා මෙන්ම අංශ ප්‍රධානින් වන 10/11 ජී. ඩබ්ලිව් රුපිකා ජයන්ති, 8/9 එම්. අයි. එස් පින්තු, 6/7 එම්.ඒ.එන්.එම් මාරසිංහ ඇතුළු සියලු ගුරුවරු සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ බිහි කිරීමට කැප වූහ.
කළුතර කලාපයේ හොඳම විද්‍යාගාරය මෙන්ම ඉතා අනර්ඝ පුස්තකාලයක් ද පානදුර බාලිකාවන්ට හිමිය. පාසලේ දරුවන්ට කියවීම ප්‍රගුණ කිරීම හා ඉංග්‍රීසි අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා පුස්තකාලය ක්‍රියාකාරීව යොදා ගෙන ඇති අතර, සෑම සිකුරාදා දිනකම පාසලේ සියලු කටයුතු සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. පාසලේ ප්‍රධාන ක්‍රීඩා කිහිපයක්ම ක්‍රියාත්මක වන අතර, කොවිඩ් අභියෝගයන්ට අභියෝග කරමින් පසුගිය තෙවසරක කාලය තුළ ක්‍රීඩා හා විෂය බාහිර අංශයින්ගෙන් ද දැක්වූ දස්කම් බොහෝය.
2022 ශිෂ්‍ය භට කාණ්ඩ ජයග්‍රහණ අතුරින් 12 වැනි බලඇණි ජයග්‍රහණයේ ප්‍රථම ස්ථානය, සමස්ත ලංකා 2 ස්ථානය බස්නාහිර පළාත් 1 ස්ථානය දිනා ගැනීමට පානදුර බාලිකා මහ විදුහල් සිසුවියෝ සමත් වූහ. 2022 කරාතේ ශූරතාව ප්‍රථම ස්ථානය, 2021 බස්නාහිර පළාත් ඊ කතා තරගාවලියේ හොඳම 8 දෙනා අතරට එක් වීම, 2022 අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උලෙළේ ජයග්‍රහණ, ‘ද ලොක්ඩවුන් ඕපන් කරාතේ ශූරතාව‘ 2022 ජයග්‍රහණ, 2022 ශ්‍රී ලංකා නෙට්බෝල් හා හොකී තරගාවලි ජයග්‍රහණ, ශ්‍රී ලංකා පාසල් ඇරොබික් ජිම්නාස්ටික් සමස්ත ලංකා කනිෂ්ඨ තරගාවලි ජය ලබන්නට පාසලට හැකි විය. අධ්‍යාපන කටයුතු ක්‍රීඩා සේම සෞන්දර්යාත්මක අංශයෙන් ද පානදුර බාලිකාවෝ පොහොසත්ය. මෙසේ හෙයින් විවිධ අංශවල ජය ලබන්නට ඔවුන් සමත් විය. 2019 අපරදිග සංගීතය, නාට්‍ය දීප ව්‍යාප්ත තරගාවලි ජය, සමස්ත ලංකා පාසල් සංගීත, ළමා හා සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගවලට මුහුණ දී විශිෂ්ට, අනුස්මරණ මෙන්ම කුසලතා සම්මාන දිනා ගැනීමට ද පානදුර බාලිකාවෝ සමත් වූහ. සමස්ත ලංකා පාසල් සංගීත තරග, පාසල් නර්තන තරග, ද්‍රවිඩ මාධ්‍ය නර්තන තරග, ගෘහ ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගවලට ඉදිරිපත් වූ පානදුර බාලිකා සිසුවියන් එහි ඉහළම ජයක් ලබන්නට සමත් වූයේ පාසල් කීර්ති නාමය ආරක්ෂා කරමිනි.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න