
ආචාර්ය හේනේපොල ගුණරතන හිමියන් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH කෘතිය ලෝකයේ භාවනාව පිළිබඳ ඇති හොඳම අත්පොත ලෙසින් පිළිගන්නා බව ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඟින් කළ සමීක්ෂණයකදී තහවුරු වී ඇත. ඉකුත් 23 වෙනිදා ඉරිදා පළ වූ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඒ බව වාර්තා කර තිබේ. ශ්‍රී ලාංකිකයකුගේ කෘතියක් සම්බන්ධයෙන් ඇගැයීමක් කර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විස්තරයක් පළ වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ. ආචාර්ය හේනේපොළ ගුණරතන හිමියන් මේ වන විට ලෝකයේ සිටින වයෝවෘද්ධම භාවනානුයෝගීව වැඩවාසය කරනු ලබන භික්ෂූන් වහන්සේ වන අතර, මේ වන විට උන් වහන්සේ 95 වැනි වියේ පසුවෙති. උන් වහන්සේ අදටත් දිනකට අවම වශයෙන් කිලෝමීටර් 5ක පමණ දුරක් පයින් වැඩම කරන අතර තවමත් ග්‍රන්ථකරණයේ නියැළී සිටිති.
උන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH කෘතියේ මුද්‍රිත පිටපත් පමණක් මේ වන විට මිලියන 10ක් අලෙවි වී ඇති අතර, එය භාෂා 32කට පරිවර්තනය වී ඇත. එම කෘතිය සිංහල භාෂාවට ද පරිවර්තනය වී ඇති අතර ඒ 'සතිමත් බව වැඩීම' නමිනි. ආචාර්ය හේනේපොල ගුණරතන හිමියන් මේ වන විට ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියාහි භාවනානුයෝගීව වැඩ වසති.