ජාතික ප්‍රතිපත්තියක් මේ ප්‍රශ්න අවුරුදු දහයෙන් ඉවරයි | Page 3 | සිළුමිණ

ජාතික ප්‍රතිපත්තියක් මේ ප්‍රශ්න අවුරුදු දහයෙන් ඉවරයි

සිරි සමන්ත භද්‍ර හිමියන් මෑත කාලයේ රටේ මතවාදයට පාත්‍ර වූ හිමිනමකි.උන්වහන්සේගේ ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක ඒවාය. රටේ පවතින වත්මන් සමාජ, දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳ සිරි සමන්තභද්‍ර හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

රටේ වර්තමාන තත්ත්වයට දේශපාලන බලඅධිකාරිය වගකිව යුතුයි කියන මතය මේ වනවිට අපේ සමාජයේ මුල් බැසගෙන තිබෙනවා. මේ පිළිබඳ ඔබවහන්සේ දක්වන මතය පිළිබඳ සඳහන් කරමින්ම අපි මේ සාකච්ඡාව අරඹමු.

අපේ උප්පත්ති ස්වභාවයක් තමයි මොකක් හරි වැරැද්දක් කළාම ඒක වෙන කෙනෙකුට පවරල ඇඟ බේරා ගන්න ක්‍රමය. ඒක හරියටම අපේ ජන කතාවකින් පැහැදිලි කළොත් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. ගේ කඩා වැටුණම දඬුවම දුන්නේ මුදලාලිට. මේ ප්‍රශ්න ගැනත් මට කියන්න තියෙන්නෙ අන්න ඒ වගේ කතාවක්. මම කියන්නේ මේ ප්‍රශ්න හැම එකටම අපි සමස්තයම වගකියන්න ඕන. සමස්තය කියල අර්ථ ගැන්වුවාම ඔයත් අයිතියි මමත් අයිතියි. කෙටියෙන්ම කිව්වොත් මේ පවතින තත්ත්වයට අපි ඔක්කොම වග කියන්න ඕන. එතකොට මේ නිවැරැදි කිරීම කරන්නට අපි සියල්ලන්ම අනිවාර්යයෙන් එකතුවෙන්න ඕන. බෙදීම නවත්තල සාමූහික වගකීමක් විදියට රට ගොඩනඟන ක්‍රියාන්විතය අරඹන්න ඕන. මේක දකුණට විතරක් නෙවෙයි උතුරටත් පටන් ගන්න ඕන.

අපට රටේ සංවර්ධනයට උතුරෙන් විශාල දායකත්වයක් ගන්න පුළුවන්. රටේ මහ ආණ්ඩුවට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. උතුරේ ගුවන්තොටුපළ හැදෙන්න ඕන. මගේ එක අදහසක් තමයි ඩුබායි වගේ රටේ පරිපාලන නගරයක් නැඟෙනහිර ඉර උදාවෙන ත්‍රිකුණාමලය ආශ්‍රිතව ඉදි කරන්න ඕන. මොකද ලෝකයේ විශාල වශයෙන් දියුණු රටවල ප්‍රධාන නගර නැඟෙනහිර මුල් කරගෙනයි හැදිල තියෙන්නෙ. මේ වගේ වෙනස්කම්වලින් තමයි මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕන. මේ ප්‍රශ්නයට බොහෝ දෙනා හිතන් ඉන්න විදියට දේශපාලන උත්තර දෙන්න බැහැ. මොකද සමස්ත දේශපාලන ප්‍රවාහයම අසමත් කියන එක දැන් ප්‍රත්‍යක්ෂයටම ගිහින් ඉවරයි දැන්.

නිකමට හිතන්න අද රාජ්‍ය සේවයම ඇල්මැරුණු කම්මැළියන් ඉන්න තැනක් බවට පත්වෙලා ඉවරයි.

කිසිම රාජ්‍ය ආයතනයක පහසුවෙන් කාර්යක්ෂමව ජනතාවට සේවයක් සලසන්නේ නෑ. මහජනතාවගේ බදුවලින් පඩි අරගෙන මිනිස්සු බල්ලෝ බළල්ලු ගාණට දාල තමයි අද වැඩ කරන්නේ. ඉතින් අපි අපේ වගකීම කරල තියෙනවද? අපි එක එකාට බැණ බැණ ඉන්න එකනේ මෙච්චර කල් කරල තියෙන්නේ. මේක එකිනෙකාට හදවතින් අහල තහවුරු කරගන්න පුළුවන්. අපි හැමදාම කළේ ප්‍රශ්න කතා කර කර උන්න එක. නමුත් දැන් ඒකට උත්තර දෙන්න ඕන. මොකද හැමදාම හැමෝම එක්ක එකතුවෙලා ප්‍රශ්නය කතා කරන එක උත්තරේ නෙවෙයි. හරියට කෝප් කමිටුව වගේ වෙනවා එතකොට. මොකද කෝප් කමිටුවෙන් දෙදහස් අටේ ඉඳන් මම දන්න තරමට විවිධ තැන්වල තියෙන දූෂණ අපරාධ හොයාගෙන තියෙනවා. හෙළි කරලත් තියෙනවා. නමුත් කෝප් කමිටුවෙන් මේ සියල්ලටම උත්තරයක් නෑ. රට හදන්න නම් මේ බොරු දේවල් නවත්තන්න ඕන. හරි දේ පමණක් කරන්න ඕන.

ඒ සඳහා ප්‍රායෝගිකව මේ භූමියේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියල හිතන යෝජනාවක් ඔබවහන්සේට තිබෙනවද?

අංක එක කවුරු කළත් බොරුව නවත්තන්න ඕන. දෙක තමයි කවුරුන් හෝ රාජ්‍ය දේපළ අවභාවිත කරල තිබෙනව නම් කිසිදු හිතවත්කමක්, තරාතිරමක් නොබලා දැඩි නීතිමය දඬුවම් දිය හැකි පනතක් ජනාධිපතිතුමා වහාම සම්මත කර ගන්නම ඕන. නැත්නම් අපට දියුණු වෙන්න බෑ. ඒක දකුණු ආසියාවේ කිසිම තැනක නැති අල්ලස් දූෂණ වැළැක්වීමේ පනතක් විය යුතුමයි. ඒ පනතට අනුව නීති ක්‍රියාත්මක වෙන්න ඕන. අල්ලස්, දූෂණ නඩුවලට වෙනම උසාවි ඇරෙන්න ඕන. වැදගත්ම දේ තමයි පාඩු ලබන සෑම රජයේ ආයතනයක්ම පෞද්ගලිකකරණය කළ යුතුමයි. ඒ හා සමගාමීව මිනිස්සුන්ට පහසුවෙන් සේවා ලබා ගත හැකි රාජ්‍ය ආයතන පද්ධතියක් බිහිවෙන්න ඕන. අපේ ශ්‍රී ලංකාවේ නැතිම දේ තමයි ඒක.

පෞද්ගලීකරණය කියන වචනය මේ දවස්වල අපට වැඩිපුර අසන්නට ලැබෙනවා. නමුත් බොහෝ දෙනා ඊට විරුද්ධව මත පළ කරන බවකුත් පේනවා?

පෞද්ගලීකරණයට විරුද්ධව කටයුතු කරන්නේම රට දියුණු වෙනවට අකමැති පිරිසයි. තරුණ තරුණියන් පෞද්ගලීකරණයට බොහොම කැමතියි. මොකක්ද ඒකට හේතුව? අද අපේ තාරුණ්‍යය යූටියුබ්, ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය හරහා ලෝකය දකිනවා. විනාඩියෙන් විනාඩියට ලෝකය ගැන අප්ඩේට් වෙනවා. ලෝකයේ දියුණු සංස්කෘතින්වල කාර්යක්ෂමතාව ඔවුන් අධ්‍යයනය කරනවා. ඒ නිසා ඔවුන් පෞද්ගලීකරණයට කැමතියි. ඒ කියන්නේ මේ රටේ තාරුණ්‍යය ඉදිරියට යන්න මඟ බලාගෙන ඉන්නවා. ඉතින් ඇයි අපි දියුණු වෙන්න අකමැති වෙන්නෙ?

මම දැක්කා සමහර රාජ්‍ය ආයතන තියෙනවලු සතියේ දවස්වල නිවාඩු දාලා නිවාඩු දවස්වල වැඩ කරනවලු අතිකාල දීමනා ගන්න. මේක අපි වහාම නවත්තන්න ඕන. ඒකට හොඳම විසඳුම තමයි පෞද්ගලීකරණය. මට අහන්න ලැබුණා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නවලු කෝලර් කියල තනතුරක්. එයා කරන්නේ රියැදුරාට නින්ද ගියාම නැඟිට්ටවන එක. එයාගේ ඇඳුම් බෑග් එක ගෙනියන්න වෙනම කෙනෙක් ඉන්නවලු. මේව සුද්දගේ කාලේ තිබුණ ඒවා. සුද්ද දැන් ස්වයංක්‍රිය දුම්රිය දුවවද්දි අපේ අය ඩ්‍රයිවර්ට නින්දගියාම ඇහැරවන්න එක්කෙනයි, ඇඳුම් බෑග් එක ගෙනියන්න එක්කෙනයි තුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට නෙවෙයි මම මේ බණින්නේ, මේ ක්‍රමයටයි. අනගාරික ධර්මපාලතුමා කියල තියෙනවා මේ ජාතිය කළත් බණිනවා, නොකළත් බණිනවා, වැඩියෙන් කළොත් වැඩියෙන් බණිනවා කියල. ඒක අදටත් හරි හෙටටත් හරි. අපි, අපි නිසාම පිරිහුණු ජාතියක්. ඒක එහෙම නොවෙන්න කටයුතු කරන්නම ඕන. අපි සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන.ඒක දේශපාලන පරිවර්තනයකින් කරන්න බෑ. හැමදාම දේශපාලන පරිවර්තනය කියල මාතෘකා ගේන්නේ පවතින සම්ප්‍රදායික දේශපාලනය ගෙනියන්න විතරයි. පෝස්ටර් ගහල, බැනර් ගහල, තොරන් ගහල ඡන්දය ඉල්ලන සංස්කෘතියෙන් එහා තාම අපට හිතන්න බැරිවුණානේ. එතකොට කෝ නව අදහස්, කෝ විප්ලව, කෝ නව තාරුණ්‍යය. මෙතනින් එහා හිතන අලුත් චින්තනයක් අපි ඇති කරන්නම ඕන.

වෘත්තීය සමිති මේ වෙනුවෙන් විශාල විරෝධයක් දක්වනවා අපි දකිනවා?

වෘත්තීය සමිති හැමදාම ඒ අයගේ වෘත්තීය අයිතිය වෙනුවෙන් පමණයි පෙනී සිටියේ. වෘත්තීය අයිතිය වෙනුවෙන් පෙනී සිටිනකොට රටේ මහජන අයිතිවාසිකම් බිඳ වැටෙනවා. හිතන්න, පන්සීයක් විතර එකතුවෙලා පිටකොටුවේ පෙළපාළියක් යනවා පඩිය වැඩිකරගන්න. ලක්ෂ දෙකක් විතර මිනිස්සු තෙල් පුච්චගෙන, කාලේ කකා බලාගෙන ඉන්නවා. පන්සීයක අවශ්‍යතාව වෙනුවෙන් ලක්ෂ ගාණක් පීඩා විඳිනවා. පුළුවන් නම් චීනයේ, රුසියාවෙ, අමෙරිකාවෙ ඔය වගේ උද්ඝෝෂණ කරන්න කියන්න බලන්න. අපේ රටේ එහෙම පාලනයක් නෑ. ඒ නිසා වෘත්තීය සමිති කරන්නේ ඒ ආයතනයෙන්ම වාහනේ අරගෙන, ඒ ආයතනයෙන් තෙල් ටිකත් අරගෙන, ඒ ආයතනයෙන්ම පඩිත් අරගෙන ඒ ආයතනම වලට යවන්න කටයුතු කරන එක. මේක දේශපාලනයට අදාළ නෑ. මේක ආයතනික මට්ටමින් විසඳිය යුතුමයි. මේ සිස්ටම් චේන්ජ් එක වෙන්නම ඕන. ආයතනවලට ඇඟිලි සලකුණ අනිවාර්ය කරන්න ඕන. ඕක කළාම පළවෙනියට විරුද්ධව වෙන්නෙ හොරට යන එන අය. මෙන්න මේ චේන්ජ් එක අපේ රට ගොඩනඟන්න අත්‍යවශ්‍යයි.

සිස්ටම් චේන්ජ් කියන්නේ අද රැල්ලට ගිය වචනයක් පමණක් වෙලා. මේක කොහොමද ප්‍රායෝගිකව කරන්නේ?

මේක පටන් ගන්න ඕන තමාගෙන්. තමාගේ කාමරෙන්. ගෙදර ඇඳ හදන්න බැරි එකා කොහොමද රට හදන්නේ.ගෙදර පොල් පැළයක්, මිරිස් ගහක් වවා ගන්නෙ නැති එකා කොහොමද අනෙක් එකාට ස්වයංපෝෂිත රටක් ගැන කියන්නේ. අපි රැල්ලට යන්න ඕන නෑ. රැල්ල හැමදාමත් වැල්ල ළඟ නවතිනවා. වැල්ලෙන් එගොඩට යන්නේ සුනාමිය විතරයි. ඒ නිසා හදන්න ඕන සුනාමි මිස රැලි නෙවෙයි. අපි අලුත් විප්ලවය පටන් ගන්න ඕන. විප්ලවය කියන්නේ ගහ මරාගන්න, බස් ගිනි තියන පෙළපාළි යන එක නෙවෙයි. තමන්ගේ අතේ තියෙන කොඩිය අනෙක් එකා ගෙනියනවනම් ඌට ගහන එක නෙවෙයි. විප්ලවය කියන්නේ අදහස්වලට සම තැන දීල ගොඩනැඟෙන එකටයි.

දේශපාලනික වශයෙනුත් මේ වෙනස අත්‍යවශ්‍යයි කියල ඔබවහන්සේ හිතන්නේ නැද්ද?

අපේ රටේ මේ වනවිට දේශපාලන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. මේ අය පාසලේ අච්චු පොත් මාරු කරගන්නවා වගේ කාලෙන් කාලෙට මාරු වෙනවා. හැබැයි එකම සිලබස් එක. මේක වෙනස් වෙන්නම ඕන. දේශපාලන ගේම් වෙනුවට හොඳ වැඩපිළිවෙළ සැකසෙන්න ඕන. දේශපාලන බල අරගල වෙනුවට එකම මේසයක ඉඳගෙන දස අවුරුදු රට ගොඩනඟන සැලැස්මක් හදල ඒක එකතුවෙලා ක්‍රියාත්මක කරන්න ඕන. එක එකාගෙ කකුලෙන් අදිනව වෙනුවට රට හදාගන්න අත දෙන්න ඕන. මේක අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. බොරු බේගල් වෙනුවට ඇත්‍ත වපුරන්න ඕන. ගෝත්‍රික දේශපාලන හෙන්චයියෝ නොවී ජාතික ආණ්ඩුවක්,ජාතික ප්‍රතිපත්තියක් හැදුවනම් මේ ප්‍රශ්න අවුරුදු දහයෙන් ඉවර කරන්න පුළුවන්.

මම හැමෝටම කියන්නේ තමන්ගේ අතේ තියෙන පාට කොඩිය විසි කරපල්ලා. ජාතික කොඩිය අතට ගනිල්ල. එතකොට නොදැනුවත්වම රට හැදේවී. අපි මේක කියන්නේ දෙයක් ප්‍රායෝගිකව කරල පෙන්නල. මේ වෙලාවේ සංහිඳියාව අත්‍යවශ්‍යයි.

සංහිඳියාව කියන්නේ කාලයක් පතුරු ගහපු මාතෘකාවක්. සංහිඳියාව කියල ඔබවහන්සේගේ අරුන් ගන්වන්නේ මොකක්ද?

සංහිඳියාව කියන්නේ එකිනෙකාට ආදරේ කිරීම. අපිට පුළුවන් නම් කෑම පිඟාන ජාති දෙකක අයට එකට වාඩිවෙලා රහ බලන්න ඒක ඇති. අනුරාධපුර යුගයේ රජවරු දෙදෙනෙක් මහවැලි ඉවුර දෙපැත්තේ සටන් කරන්න සේනාව අරන් ආවා. මේ දෙන්න සහෝදරයෝ. එක්කෙනෙකුගේ පැත්තේ රෑ රහ කෑමක් හැදුව. එයා කල්පනා කළා අපි දෙන්න හෙට යුද්ධ කරන එක වෙනම කතාවක්. පොඩි කාලේ අපි මේ කෑම හම්බුණාම දෙන්න බෙදාගෙන නේද කෑවේ කියල. එයා මහවැලි ගඟ තරණය කරගෙන කෑම අරන් මෙගොඩට පීනල ආවා. මේක දැක්ක හේවායන් කලබල වුණා. කොහොමහරි කෑම අරන් ආව කෙනා අනෙක් රජතුමා හමුවෙලා කිව්වා මම කෑම අරන් ආවේ හෙට යුද්ධෙට ඉස්සරවෙලා මේක දෙන්න එක්ක කාල යන්නයි ආවේ කියල. දෙන්න එක්ක කෑම කන්න පටන් ගත්තා. කන ගමන් අතීතය ගැන කතා කළා. අන්තිමට දෙන්න තීරණය කළා මොකටද අපි යුද්ධ කරන්නෙ කියල. කෑම පිඟානකට පුළුවන් වුණා යුද්ධය නවත්තල ජීවිත දහස් ගණනක් රැකගන්න. ලේවලින් රත් පැහැ ගැන්වෙන්න තිබුණු මහවැලි ගඟ දෙපසම හිනාවෙන් පිරුණා. මේ කතාව අපට ගොඩක් දේවල් කියල දෙනවා. සංහිඳියාව කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න ඕන දෙයක් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම සමඟියෙන් ඉන්න පුංචි ප්‍රායෝගික දේවල් උගන්නන්න ඕන.

ඒ වගේ පුංචි මොඩ්ල් එකකට පුළුවන් රටම හදන්න. මුලින්ම එක ගෙදරක මිනිසුන්ට ගේ වටේ වවාගන්න හැටි කියල දෙන්න. මනස අප්ඩේට් කරන්න. කිසිම වැඩකට නැති දේවල්වලින් වැඩක් ගන්න මිනිස්සුන්ට කියල දෙන්න. ගෙදර වටේ තියෙන කොස් ගහෙන් රටට ඩොලර් ගේන ක්‍රම කියල දෙන්න. දුප්පත්කම ඉවරයි, දිළිඳුකම ඉවරයි. සමඟිය ඇතිවෙන්නෙ එහෙමයි. ප්‍රායෝගික වැඩපිළිවෙළ මේ බිමේ ඇති කිරීමෙන් සංහිඳියාව වගේම සංවිධානයත් ඇති කරන්න පුළුවන්. පුංචි උත්තර ගොඩක් එකතු වුණාම සමස්තයට මහා උත්තරය හැදේවී.

අපේ රටේ දේශපාලන කුලල් කා ගැනීම ප්‍රබලව දක්නට ලැබෙනවා. කුමන හොඳ ප්‍රතිපත්තියක් ගෙනාවත් ඇතැමුන් එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට අද පත්වෙලා.

ඕකට කියන්නේ දේශපාලන වෛරය කියල. ඒ වෛරය අද හැමතැනම දක්නට ලැබෙනවා. එකාට එකා විරුද්ධයි. අපි වළපල්ලට යන්න මේකත් හේතුවක්.මේ අපරාදෙ කරන්නෙ තමන්ගේ මාතෘ භූමියටයි. මේක කරන්න එපා. ඒකට තමා ජාතික ප්‍රතිපත්තියක් ඕන. ඉදිරියේ මොන ඡන්දය ආවත් පත් කරන්න ඕන ටොයියෝ, බයියො, කයියෝ නෙවේ. අඩුම ගාණේ පොල් ගහක්වත් මේ රටේ හිටවපු මිනිහෙක්. මිනිසුන්ට යමක් කරපු කෙනෙක්. බලය ලැබුණම වැඩ කරන්නම් අපට බලය දෙන්න කියන කිසිම කෙනෙක් පත් කරන්න එපා. බලය නැති වෙලේ වැඩ කරපු අයයි පත් කරන්න ඕන. මේ ප්‍රශ්නයට එකතුවෙලා දාර්ශනික තීරණයක් ගනිමු.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඔවුන් වටා බොහෝ ජනතාව එක් වෙලා ඉන්නව කියල?

ඔවුන් එහෙම කියනවා. මම දකිනවා සිද්ධාන්තයක්. උම්බලකඩ කෑල්ලටයි, පන්සලේ හාමුදුරුවන්ටයි, ජනතා විමුක්ති පෙරමුණටයි රටේ ජනතාව සලකන්නේ එකම විදියට. උම්බලකඩ කෑල්ල අපට ඕන වෙන්නෙ හොද්ද හදාගන්න විතරයි. හොද්ද කොච්චර රහ වුණත් මඟුල් මේසෙට උම්බලකඩ කෑල්ල ගෙනියන්නෙ නෑනේ. පන්සල් හාමුදුරුවෝ ඕන වෙන්නෙ පිරිත් කියාගන්න, පාංශුකුලේට විතරයි.මංගල ගමනට හාමුදුරුවො එක්කන් යන්නෙ නෑනේ කවදාවත්. ජනතා විමුක්ති පෙරමුණ ඕන වෙන්නෙ උද්ඝෝෂණයක් වෙලාවට විතරයි. මේ වෙලාවේ පක්ෂ දේශපාලනයට කඩේ නොයා පටු අරමුණ පසෙකලා රටේ යහපත වෙනුවෙන් කෙනෙක් පෙනී ඉන්නවා නම් ඒකයි විය යුතු දේ. ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ යටින් ඉඳන් උද්ඝෝෂණ කරන්න උදවු දෙන එක නවත්තන්න ඕන. ඕනම කෙනෙකුට මේක පොදුයි. විශ්වවිද්‍යාලය ඇතුළට යන්නේ ආගමට දහමට අම්මට තාත්තට රටට ආදරේ දරුවෝ. ඒවායින් එළියට එන්නේ ඇඳුනුත් නැතුව රාජ්‍ය විරෝධී කැරළිකාරයෝ. මේක හැදුවෙ නැත්නම් අපි වළපල්ලට යනවා. නැත්නම් ස්වාභාවධර්මය අපිව අතුගාල දානවා. ඔන්න දැන් කොළඹින් කිලෝමීටර් පන්සීයක් ඈත ගිනි කන්දක් හැදෙනවා කියල අනාවරණය වෙලා තියෙනවා. සොබාදහම මේ වෙන දේවල් බලාගෙන ඉන්න බැරුව අපට දඬුවමක් දෙන්න හදනවදෝ කියල මට සැකයි. එක් දහස් හයසිය ගණන්වල වාර්තාවක් තියෙනවා කොළඹ ආසන්නයේ ගිනි කන්දක් පිපුරුව කියල.එදා ආපු ගෙන්දගම් නිසා තමයි අදටත් ගෙන්දගම් පොළව කියල කියන්නේ. සොබාදහම හැමෝටම දඬුවම් දෙනවා. එක්කෝ අපි එකතුවෙලා මේ සිස්ටම් එක වෙනස් කරමු. නැත්නම් අතුගෑවිලා යන්න ලැහැස්ති වෙමු, එච්චරයි. ඒ තීරණේ තියෙන්නේ ඔබේ අතේ බව අමතක කරන්න එපා.


Comments