ගිනි ගෙන දැවෙන හිරුගේ කෝපයෙන් දැවෙන ජීවීන්ගේ ඛේදවාචකය | Page 3 | සිළුමිණ

ගිනි ගෙන දැවෙන හිරුගේ කෝපයෙන් දැවෙන ජීවීන්ගේ ඛේදවාචකය

- දහවල් 11.00ත් 3.00ත් අතර එළිමහනට නිරාවරණය නොවන ලෙස වෛද්‍ය උපදෙස්
- දිස්ත්‍රික්ක 17ක උණුසුම ගැන අවධානය යොමු කළ යුතු බවට කාලගුණයෙන් දැනුම් දීමක්

මේ දිනවල නිවෙසින් හෝ කාර්යාලයෙන් එළියට බැසීමට නොහැකි තරමට අධික උණුසුමකි. සිරුර පුරා වෑහෙන දහදිය මෙන්ම උණුසුම නිසා ඇතිවන අපහසුතාව නිසා හිසරදය, කැරකැවිල්ල මෙන්ම දැඩි නිදිමත ගතියකින් හා උදාසීන බවක් ද බොහෝ දෙනා තුළ දක්නට ලැබේ. උණුසුම නිසා මෙලෙස දැඩි පීඩනයකින් යුතුව කටයුතු කරන්නට සිදුව තිබේ. වායු සමීකරණ නොමැති ආයතනවල රැකියා කටයුතු සිදු කර ගැනීම විශාල අපහසුතාවක්ව තිබේ. 

පවතින මෙම අධික ගෝලීය උණුසුම් තත්ත්වය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. ලෝකයේ රටවල් කිහිපයකම සැලකිය යුතු පිරිසක් මෙම අධික උණුසුම හමුවේ මියගොස් තිබේ. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 11 දෙනකු අධික උණුසුම නිසා මිය ගොස් ඇත. පසුගියදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති සම්මාන උලෙළකදී මෙසේ එම පිරිස මියගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් රෝහල් ගත කර තිබේ. ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ පැවති එම උත්සවය දැඩි හිරු රශ්මිය තිබියදීත් පැය කිහිපයක් පුරා විවෘත භූමියක පවත්වා ඇත. උත්සවයට සහභාගි වීමෙන් පසු බොහෝ පුද්ගලයන් විජලනය සහ දැඩි උණුසුම නිසා ඇතිවන රෝග තත්ත්වයන්ට ගොදුරුව ඇති බවට පැමිණිලි ලැබී තිබේ. මුම්බායි නගරයට ආසන්න වූ ‘නවී මුම්බායි‘ නගරයේ මෙම උත්සවය පැවති අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 (ෆැරන්හයිට් අංශක 100) ලෙස වාර්තා වූ බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේද මේ වන විට දිවයින පුරාම දැඩි උෂ්ණත්වයක් හටගෙන ඇති අතර එය මිනිසුන්ට පමණක් නොව සියලු සතුන්ට පවා බලපා තිබේ. අධික උණුසුම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා වන විට නිකුත් කර තිබූ නිවේදනයෙන් පෙන්වා දී තිබුණේ මෙරට දිස්ත්‍රික්ක 25න් 17ක්ම අධික උණුසුම සම්බන්ධයේ මහජනතාව අවධානය යොමු කළ යුතු දිස්ත්‍රික්ක බවයි. එම නිසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් ද මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබුණි.

දිවයිනට මෙසේ අධික උණුසුම් තත්ත්වයක් බලපා ඇත්තේ ඇයි? මේ තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා කටයුතු කර ගන්නේ කෙසේද? මේ ආදී ප්‍රශ්න පත්තරයක් ජනතාව ඉදිරියේ දිග හැරෙනු ඇත. අපි මේ සම්බන්ධයෙන් පළමුව අදහස් විමසා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධනගෙනි.

‘‘ ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇත්තේ අන්තර් මෝසම් තත්ත්වයයි. ඒ කියන්නෙ, ඊසාන දිග මෝසම අවසන්ව නිරිත දිග මෝසම පටන් ගන්නා අතර අන්තර් සංක්‍රාන්ති කාල සීමාවයි. ඒ නිසා නිශ්චිත සුළං රටාවක් මේ වන විට දිවයින තුළ නැහැ. ඒ තත්ත්වය නිසා සුළං තත්ත්වයේ සැලකිය යුතු අඩුවක් දක්නට තිබෙනවා. ඒ නිසා පරිසරයේ ජලවාෂ්ප තත්ත්වය වැඩි වශයෙන් රැඳී තියෙනවා. එසේ පරිසරයේ ජලවාෂ්ප වැඩියෙන් තිබෙන අවස්ථාවේදී අපේ දහඩිය වාෂ්ප වෙන්නේ නැහැ. එසේ වාෂ්ප නොවී දහඩිය රැඳිලා තියෙනකොට අපට දැනෙන උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි වෙනවා.

ඒ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී සමහර දිස්ත්‍රික්කවල එම තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමට වැඩි වෙලා තියෙන්නෙ. මේ තත්ත්වය දුරු වෙලා අපට යම් කිසි සහනයක් ලැබෙන්නේ මැයි මාසෙ අවසානය වන විටයි. එම කාලයේදී තමයි නිරිත දිග මෝසම සක්‍රිය වීම ආරම්භ වන්නේ.

නමුත් අපි දන්නවා මේ දිනවල හවස් වරුවේ සමහර ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ලැබෙනවා. ඒ වගේ ප්‍රදේශවල උදේ වරුවේ ජලය වාෂ්ප වෙනකොට තාපය උරා ගැනීමක් තියෙනවා. අප ‘වාෂ්පීකරණ සිසිලනය‘ යනුවෙන් එය හඳුන්වනවා. ඒ සිසිලනයත් එක්ක අපට යම් කිසි තාවකාලික සහනයක් ලැබෙනවා. 

වර්තමානයේ අප මුහුණ දී ඇති තත්ත්වය තමයි මේ. මේ වෙනුවෙන් මහජනතාව විසින් කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීමයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීම් සිදු කර තියෙනවා‘‘

දැඩි උණුසුම සම්බන්ධයෙන් මහජනතාව කුමක් කළ යුතුද? කෙසේ හැසිරිය යුතුද? අප මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර ගෙනි.

‘‘ අධික ලෙස උණුසුම දැනෙන විට කළ යුතු ප්‍රථම කාර්යය හැකි තරම් ජලය පානය කිරීමයි. එසේ නැත්නම් විජලන තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මෙහිදී ජලය වෙනුවට පැණි බීම වර්ග වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නැහැ.

ඒ වගේම මේ අධික උණුසුම පවත්නා දහවල් 11ත් 3.00ත් අතර කාලය හැකි තරම් පරිසරයේ නොගැවසී නිවසේ හා කාර්යාලයේ හෝ ආවරණ ස්ථානයක සිටීමයි ඉතාම වැදගත් වන්නේ.

එළිමහනේ කටයුතු කරන අය, විශේෂයෙන්ම ඉඳිකිරීම්, මහා මාර්ගයේ කාර්යයන් සිදු කරන අය, රථ වාහන හසුරවන පොලිස් නිලධාරීන්, පදික වේදිකාවේ වෙළඳාම් කරන අය ඇතුළු පිරිස් හැකි තරම් ජලය පානය කිරීම මෙන්ම හිස හොඳින් ආවරණය වන තොප්පියක් පැලඳීම ඉතාම වැදගත්. අව්වේ ගමන් කිරීමේදී කුඩයක් ගෙන යාමත් මෙහිදී වැදගත් වෙනවා.

එමෙන්ම මෙහිදී සීත කළ ජලයට වඩා වැදගත් වන්නේ සාමාන්‍ය අප පරිභෝජනය කරන ජලයයි. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇති අයට සීත කළ ජලය නිසා රෝග තත්ත්වයන් වැඩි වන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු අවදානම් කාණ්ඩ තුනක් අප අතරේ ඉන්නවා. ඒ අය අතර කුඩා දරුවන් විශේෂයි. එමෙන්ම වැඩිහිටි අයත් රෝගීන්ද විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම කුමන හේතුවකටත් කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයා යුතුයි. එමෙන්ම ළා පැහැති හෝ සුදු ඇඳුම් ඇඳීම කළ යුතු වෙනවා. ගොවිතැන් කරන අය තම කටයුතු වලට පෙර හදිසි අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ගැන කල් ඇතිව සොයා බැලිය යුතු වෙනවා. එමෙන්ම ඔවුන් වරින් වර අව් රශ්මියෙන් මිදී සෙවණ ඇති ස්ථානයක සුළු වේලාවක් හෝ විවේක ගැනීම කළ යුතුමයි. විශේෂයෙන්ම මේ වන විට අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවල උෂ්ණත්වය ගැන අවධානය යොමු කළ යුතු තත්ත්වයක තිබෙන්නේ. ඒ ගැන අදාළ කාර්යයන්හි නිරත අය වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

ඒත් සමඟම විවිධ රෝග සඳහා අඛණ්ඩව ඖෂධ ලබා ගන්නා අය ඒ ඖෂධ නිසියාකාරව ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. විශේෂයෙන්ම හෘදයාබාධ පෙනහලු රෝග ආදිය ඇති අයට මේ උණුසුම නිසා ගැටලු මතු වන්නට පුළුවන්, ප්‍රතිකාර නිසි ලෙසින් සිදු නොවීම තුළ. ‘‘ 

මේ වන විට දිවයින පුරාම විශේෂයෙන්ම බටහිර සහ දකුණුදිග වෙරළ තීරයන්හි පවතින අධික වියළි කාලගුණයත් සමඟ විදෙස් සංචාරකයන්ට පවා දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්ය. මුහුදු ජලයද දැඩි උෂ්ණත්වයකට පත්වීම තුළ ඔවුන්ට නිසි ලෙසින් තම විනෝදාස්වාදය ලබන්නට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

දිවයිනේ රෝහල් රැසක් කරා මේ දිනවල රැගෙන ආ රෝගීන්ට උණුසුම් තත්ත්වය නිසා ඇතිව තිබෙන රෝග ලක්ෂණ තිබෙන බව වාර්තා වී තිබේ. විශේෂයෙන්ම ආතතිය, නිදිමත ගතිය, වැඩ කිරීමට අපහසු වීම, මස්පිඬු පෙරළීම, කල්පනාව මදි වීම මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට සමේ ආසාදන ඇතිවීම් ද මේ අතර වේ. විශේෂයෙන්ම ලවණවල ඇති අසමතුලිත බව මීට හේතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ තත්ත්වය තව කොපමණ කලක් පවතීද යන්න අපට ගැටලුවකි. එහෙත් සාමාන්‍ය වශයෙන් මාර්තු සිට මැයි අතර කාලය අප හඳුන්වන්නේ ශ්‍රී ලංකාවට උණුසුම ලබා දෙන මාස ත්‍රිත්වයක් ලෙසිනි. එහෙත් මේ වන විට ගෝලීය උණුසුම වැඩි වීම මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කිරීමට බලපා තිබේ.

එමෙන්ම උණුසුමට බොහෝ දෙනාගේ ඉල්ලුමක් ඇති සීනි කැකිරි පරිභෝජනය උතුරු පෙදෙසේ ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. එමෙන්ම කොමඩු වර්ගද වැඩියෙන් අලෙවි වන බවට වාර්තා වේ.

අධික උණුසුම හමුවේ පවත්නා කාලගුණික තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වන්නේ මැයි මාසයේ අවසානයේ නම් තවත් මාසයකට අධික කාලයක් අප මේ උණුසුම දැරිය යුතුය. එය වැළැක්වීමට කිසිවකුට හැකියාවක් නැත. එහෙත් ආරක්ෂාවීමට අපට හැකියාව ඇත. ඒ සඳහා කළ යුත්තේ තමන් අවධානය යොමු කළ යුතු දිස්ත්‍රික්කයක සිටී නම් හැකි උපරිම ලෙසින් මාර්ගෝපදේශ අනුගමනය කිරීමය.


අධික රස්නයෙන් දරුවන් රැකගන්න
- ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්ගෙන් උපදෙස්

මේ දිනවල පවත්නා අධික රස්නයෙන් දරුවන් රැකගැනීමට විශේෂයෙන් අවධානය කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා විසින් උපදෙස් ලබා දී තිබේ

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩා හෝ වෙනත් අත්‍යවශ්‍යම ක්‍රියාකාරකම් ගස් යට වැනි සෙවණ සහිත ස්ථානවල පවත්වන ලෙසයි. එමෙන්ම දරුවන් පාසලෙන් හෝ නිවසින් එළියට රැගෙන යන සෑම අවස්ථාවකම ජලය වැඩිපුර පානය කිරීමට උපදෙස් ලබා දෙන ලෙසද ඔහු පවසයි.

පාසල් පන්ති කාමරයෙන් එළියට යන සෑම අවස්ථාවකම තොප්පියක් පැලඳ සුදු පැහැති කපු ඇඳුමක් ඇඳගෙන ගමන් කිරීමෙන් තාප හානිය අවම කර ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

දරුවන්ට පාසල් පරිශ්‍රයෙන් පහසුවෙන් පානීය ජලය ලබා ගැනීමට පහසුකම් සැලසීම ද වැදගත් බවත් පන්ති කාමරවලට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් පවත්නා අධික රස්නය අඩු කරගත හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි


බිංගිරියේ මැරතන් ධාවකයකු අධික රස්නය නිසා මරුට

අධික රස්නය මධ්‍යයේ බිංගිරියේ අවුරුදු උත්සවයක කිලෝ මීටර් 12ක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ 27 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ බිංගිරිය හිරුවල්පොළ පදිංචි වික්‍රම ආරච්චිගේ හිරාන් තාරුක නම් අයෙකි.

හලාවත රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කර ඇත්තේ තාප ආඝාතය නිසා ඇති වූ බහුවිධ අවයව පද්ධතියට හානි වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. හදිසි මරණ පරීක්ෂකවරයා මෙහිදී අවධාරණය කළේ අවුරුදු උත්සව සංවිධායකවරුන් මෙවන් තරග සංවිධානය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

Comments