තුම්පනෙන් අමෙරිකාවට වැඩම කොට බුදු දහම ප්‍රචාරය කළ හේනපොල ගුණරතන නා හිමි | Page 3 | සිළුමිණ

තුම්පනෙන් අමෙරිකාවට වැඩම කොට බුදු දහම ප්‍රචාරය කළ හේනපොල ගුණරතන නා හිමි

‘තුම්පනේ‘ යනුවෙන් අප හඳුන්වන්නේ නොදියුණු එමෙන්ම ගෝත්‍රික සමාජයක මිනිසුන් සිටිනා පෙදෙසකි. කිසිදු දියුණුවක් නැති හරි හමන් අධ්‍යාපනයක් නැති හෝ නිසි දැනුමක් නැති අයකු දුටු විට වුව ද ‘ගම තුම්පනේද?‘ යනුවෙන් විමසන සමාජ ව්‍යවහාරයක් අපට ලැබී ඇත්තේ ද එහෙයිනි.

‘එහෙත් එම ප්‍රකාශයේ සාවද්‍ය බව මොනවට පෙන්වා දෙන්නට ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් විසින් කටයුතු කර තිබේ. ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් සම්පාදනය කළ ‘තුම්පනෙන් ඇමෙරිකාවට වැඩි සඟරජ‘ කෘතියෙන් හෙළි කර ඇත්තේ හේනේපොල ගුණරතන නා හිමිපාණන් වහන්සේ තුම්පනේ ග්‍රාමයේ ඉපිද හැදී වැඩී ලෝකයටම ආදර්ශයක් වූ ලෝකයම ගෞරවනීයව පිළිගත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් බවකි. හේනේපොල ගුණරතන හිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය රත්නය වන ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියෝ තම ආචාර්යයන් වහන්සේ සම්බන්ධව විස්තර කළහ.‘

ඒ 1965 වසරයි. ඒ වන විට ථෙරවාද බෞද්ධ රටවලින් ඇමෙරිකාවේ තානාපතිවරුන් ලෙස පැමිණි අයට වන්දනා මාන කිරීමට කිසිදු ථෙරවාද විහාරස්ථානයක් නොවීය. විශේෂයෙන්ම කාම්භෝජය, මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාද රටවල තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් එවකට ලෝකයම පිළිගත් ජීවමාන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් වූ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ට දැන්වූහ.

‘ඇමරිකාවේ ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් නැති එක ලොකු අඩුවක්. ඒ නිසා ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් පන්සලක් ආරම්භ කරන්න. අප සහාය දෙන්නම්‘ බෞද්ධ රටවල තානාපතිවරු පැවසූහ.

ඒ ඉල්ලීමට අනුව 1967 වසරේදී පමණ මඩිහේ මහ නාහිමිගේ දැනුම් දීම මත බෝපේ විනීත නම් හිමි නමක් ඇමෙරිකාව බලා පිටත් වූහ. බම්බලපිටිය වජිරාරාමයට අනුබද්ධ ශාසන සේවක සංගමය ඇතුළු දායක දායිකාවන්ගේ දායකත්වයෙන් ඇමරිකාවේ එක් මහල් නිවාසයක කොටසක් තාවකාලික නේවාසික පදිංචිය පිණිස එහිදී ලබා ගත්හ. පසුව දික්වෙල පියනන්ද නම් හිමි නමක්ද එහි වැඩම කළහ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බෝපේ විනීත හිමියක් ආපසු වැඩම කළ අතර උන්වහන්සේ වෙනුවෙන් අමෙරිකාවට යොමු කිරීමට සුදුසු ස්වාමීන් වහන්සේ නමක් සොයන්නට මඩිහේ මහ නාහිමියෝ කටයුතු කළහ.

ඒ වන විට කිරින්දේ ධම්මානන්ද හිමියන් සමඟ මැලේසියාවේ වැඩ වාසය කළ හේනේපොල ගුණරතන හිමියෝ ඒ අනුව අ‍ෙමරිකාව බලා වැඩම කෙළේ මඩිහේ මහ නාහිමිගේ උපදෙස් අනුවය. ඒ 1968 වසරේදීය.

විහාරස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය ප්‍රධානම ගැටලුව වූයේ ඒ සඳහා වන භූමි භාගයක් නොමැති වීමය. ඒ වන විට තායිලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව තිබූ නේවාසිකාගාරයක් දැඩි පරිශ්‍රමයක් දරා මිලදී ගන්නා ලදී.

ඒ අනුව පළමු ථෙරවාද බෞද්ධ විහාරස්ථානය ඇමෙරිකාවේ ඉදි විය. ඒ වොෂින්ටන් බෞද්ධ විහාරයයි. අ‍ෙමරිකාවේ සෙසු ථෙරවාද බෞද්ධ විහාර ඉදිවන්නට වූයේ එයින් පසුවය. වොෂින්ටන් බෞද්ධ විහාරය ඉදි කිරීමෙන් පසුව ගුණරතන හිමියන්ට අවශ්‍ය වූයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේද විහාරස්ථානයක් ඉදි කිරීමටය. එයට හේතු වූයේ වොෂින්ටන් සිට කැලිෆෝනියාවට එම භික්ෂූන් වහන්සේට වැඩම කරන්නට සිදු වීමය. ගුවන් මඟින් එහි වැඩම කළ ද ගුවන් කාලයම පැය 6ක් විය. ඒ අනුව කැලිෆෝනියාවේ බෞද්ධයන්ගේ දාන මාන ආදී වැඩ කටයුතුවලට වැඩම කිරීම වොෂින්ටන් බෞද්ධ විහාරයේ භික්ෂූන්ට අසීරු කාර්යයක් විය. එම නිසා ඒ වන විට උසස් අධ්‍යාපනය පිණිස අමෙරිකාවට වැඩම කර සිටි වල්පොළ පියනන්ද හිමියන් අමතා ගුණරතන හිමියන් පැවසුවේ ‘ඔබ වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම නොකර කැලිෆෝනියාවේ විහාරස්ථානයක වැඩ ඉන්න‘ යනුවෙනි. එතුළින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට විශාල ශාසනික සේවාවක් සිදු කළ හැකි බවද ගුණරතන හිමියෝ එහිදී පැවසූහ. ඒ අනුව 1975 වසරේ කැලිෆෝනියාවේ පළමු ථෙරවාද බෞද්ධ විහාරස්ථානය ඉදි වන්නේ ද ගුණරතන හිමියන්ගේ උපදෙස් හා මූලිකත්වයෙනි.

එයින් පසුව කැනඩාවේ ටොරොන්ටෝහි බෞද්ධ විහාරස්ථානයක් ඉදි විය. එය ස්ථාපිත කිරීම සිදු වූයේ ද වොෂින්ටන් බෞද්ධ විහාරයේ වැඩ සිටි දික්වෙල පියනන්ද හිමියන් එහි වැඩම කරවීමෙනි. නිව්යෝර්ක් බෞද්ධ විහාරය කොළඹ ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමියන් විසින් ආරම්භ කරන්නේ මේ බෞද්ධ පිබිදීමෙන් පසුවය.

මෙසේ තුම්පනේ වැනි දුෂ්කර ගමක සිට අමෙරිකාවට වැඩම කළ ගුණරතන හිමියන් විසින් ආරම්භ කළ බොදු පුනරුදය නිසා අද වන විට අ‍ෙමරිකාවේ ස්ථාපිත ථෙරවාද බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව 100කට ආසන්න වී තිබේ.

බටහිර ලෝකයේ ජනතාව බුදු දහමේ සාම්ප්‍රදායික බෞද්ධයෝ නොවෙති. ඔවුහු නිරතුරුවම බුදු දහමේ හරය, ගැඹුරු දහම් කරුණු පිළිබඳව සොයා බලති. එම නිසා ගුණරතන නාහිමියෝ බටහිර වර්ජිනියාවේ හයිවීව්හි භාවනා මධ්‍යස්ථානයක් ඇරැඹූහ. වොෂින්ටන් සිට පැය 2ක පමණ ගමන් කාලයකින් යා යුතු වනාන්තරයකට මායිම්ව මේ භාවනා මධ්‍යස්ථානය ඉදි විය. එහි වොෂින්ටන් බෞද්ධ විහාරයට අයත් භූමි භාගය අක්කර 50කි. එමෙන්ම ශ්‍රී ලාංකික නොවන අයෙක් විසින්ද තවත් අක්කර 70ක භුමි ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ අනුව අක්කර 120ක භූමි භාගයක් මේ වෙනුවෙන් වෙන් කර තිබේ. අදටත් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි අපට යැයි උරුම කමක් පෑ හැකි විශාලතම භූමිය වෙස්ට් වර්ජිනියාවේ ස්ථාපිත මේ භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම එහි සීමා මාලකයක් පිහිටුවා මහණ උපසම්පදාවද සිදු කරන ලදී. ඒ 1989 වසරේදීය. ඒ අනුව අමෙරිකාවේ අයෙක් පළමු වරට ථෙරවාද සම්ප්‍රායයෙන් පැවිදි දිවියට පත් කරන ලදී. ඒ ගුණරතන නා හිමියන්ගේ මූලිකත්වයෙනි. එමෙන්ම ප්‍රථම වරට කඨින පින්කමක්ද උන් වහන්සේ විසින් අමෙරිකාවේ ආරම්භ කරන ලදී. 1973 වසරෙන් පසුව එනම් වියට්නාම යුද්ධයෙන් පසුව සරණාගතයන් ලෙස අමෙරිකාවට පැමිණි ජනතාවට සහන සැලසීමට ගුණරතන හිමියන්ට අ‍ෙමරිකානු හමුදාවේ කර්නල් නිලයක් ලබා දී එම සරණාගතයන්ගේ කටයුතු වෙනුවෙන් සොයා බලන ලෙස ඇමෙරිකානු රජය දැනුම් දෙන ලදී. අදටත් මෙරට අයකුට ඇමෙරිකානු හමුදාවේ කර්නල් නිලයකට පත්වීමට හැකියාව ලැබී නැත.

ගුණරතන හිමියෝ කවුරුන් දැයි මේ වන විට අමෙරිකානු ජනතාව ඉතා හොඳින් දනිති. එරට විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල එයින් ප්‍රධානය. ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල විශාල උනන්දුවක් ගුණරතන හිමියන්ගේ දේශන කෙරෙහි දක්වති. පර්යේෂණ පත්‍රිකාවන්ට උන් වහන්සේගේ ලිපි අන්තර්ගත කිරීමට උත්සාහ දරති. මේ වන විට ලෝකයේ විශ්වවිද්‍යාල වැඩිම සංඛ්‍යාවක දේශන පවත්වා ඇති දේශකයාණන් වහන්සේ උන්වහන්සේය. එමෙන්ම රටවල් වැඩිම සංඛ්‍යාවකට වැඩම කර ඇති භික්ෂූන් වහන්සේද උන් වහන්සේය. එමෙන්ම වැඩිම දුරක් පයින් වැඩම කර ඇති භික්ෂූන් වහන්සේ ද උන් වහන්සේය. මේ වන විට උන් වහන්සේගේ වයස අවුරුදු 95ද ඉක්මවා තිබේ. අවුරුදු 85ක් වන තුරු උන්වහන්සේ දිනකට අවම වශයෙන් කිලෝමීටර් 10ක් හෝ ඇවිද්දාහ. අවුරුදු 85දී උන්වහන්සේට ‘බයිපාස් හෘදය සැත්කමක්‘ සිදු කළ අතර අද වන විට වුවද දිනකට අවම වශයෙන් කිලෝමීටර් 5ක් හෝ පයින් වැඩම කරති. 

දහම් කරුණු උගනිති. උන්වහන්සේ විසින් රචිත Mindfulness In plain English

(සතිමත් බව වැඩීම) කෘතිය ලෝකයේ භාෂා 32කට පරිවර්තනය කර තිබේ. මුද්‍රිත පිටපත් ඇමරිකාව තුළ පමණක් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී තිබේ. එම කෘතිය තායිලන්තයේ පාසල් පෙළ පොතක් ලෙස විෂය මාලාවට ඇතුළත් කර තිබීමෙන් එහි අගය අපට මැනවින් වටහා ගත හැකිය.

ලෝකයේ බෞද්ධ පුනරුදයක් ඇත්තේ කොතනද එතැන ගුණරතන හිමියන් ගැන කතා කරති. දලයි ලාමා වෙනුවෙන් සම්පාදිත කෘතියක ප්‍රස්තාවනාව ලියන්නට ඇරියුම් ලැබුණේද ගුණරතන හිමියන්ටය. ශාසනික සේවාවන්ට කරනු ලබන සැලකීමක් ලෙස මියන්මාර රජයෙන් උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය හිමි වූ අතර අ‍ෙමරිකානු හා මැලේසියානු රජයන්ගෙන් ලද උපහාර සම්මාන රාශයකි. ලෝ සුප්‍රකට සඟරාවක් වන ‘නැෂනල් ජියෝග්‍රොපි‘ සඟරාවේ නවතම කලාපයකින් දක්වා ඇත්තේ එක්වරක් හෝ දැක ගත යුතු ස්ථානයක් ලෙස වෙස්ට් වර්ජිනියාව් භාවනා මධ්‍යස්ථානය නම් කර ඇති බවයි. එමෙන්ම ‘විස්ඩම්‘ සඟරාව විසින් සුජීවත්ව සිටින විශේෂ බෞද්ධ නා හිමිවරුන් අතර පළමු ස්ථාන 3ට ඇතුළත් කර ඇත්තේ ගුණරතන හිමියන්, දලයි ලාමා හා වියට්නාම් භික්ෂූන් වහන්සේ නමකි.

උන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ වන විට අ‍ෙමරිකන් ජාතිකයන් 32 ක පිරිසක් පැවිදි බිමට පත්ව තිබේ. එමෙන්ම මේ වන විට උගන්ඩාවේ කලු ජාතිකයෙක්ද පැවිදිව උගන්ඩාවේ පන්සලක් ඉදි කර තිබේ. වයස අවුරුදු 95ක් වුවද විශ්වවිද්‍යාල දේශන පවත්වති. එහෙත් කිසිදු විටක කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවෙති.

සේයාරු - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments