කල්පිටිය වෙරළට ගොඩගැසූ තල්මසුන් බේරා ගත් මෙහෙයුම | Page 3 | සිළුමිණ

කල්පිටිය වෙරළට ගොඩගැසූ තල්මසුන් බේරා ගත් මෙහෙයුම

- ගොඩගැසූ තල්මසුන්14න් 10ක් දියඹට. මිය ගිය තල්මසුන් 04න් 02ක් ගැහැනු සතුන්.
- මුහුදට දමා ටික වේලාවකින් තල්මසුන් 10ක් යළි වෙරළ තීරයට ඇවිත්
- නැවත දියඹට ගෙන ගියේ පැය 08-10 ක මෙහෙයුමකින්
- සෑම වසරකම විශාල තල්මස් මරණ 4-5ක්. දියඹේදී සිදුවන මරණ එයට වැඩියි 
- පණ අදින සතෙක් පිළිබඳ කම්පනයක් දරුවන් තුළ ඇති කරන්න බැරි නම් එය මහ විනාශයක්

දිනය පෙබරවාරි 11 වැනිදාය. වෙලාව අලුයම 4ට පමණ ඇත. කල්පිටිය වෙරළ ආශ්‍රිත හෝටලයක් පවත්වා ගෙන යන හෝටල් හිමියකු ගෙන් වන සත්ත්ව අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංගට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියැවුණේ තල්මසුන් රංචුවක් කල්පිටිය වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවය. හැකි ඉක්මනින් පැමිණෙන ලෙස හෝටල් හිමියා ඉල්ලීමක් කර තිබුණේය.

වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පිහිටා ඇත්තේ මේ වෙරළ තීරයේම කිලෝමීටර කීපයක් ඔබ්බෙනි. වනජීවී නිලධාරීහු පණිවිඩය ලැබී විනාඩි 10ක් තුළ අදාළ වෙරළ තීරයට පැමිණියහ. එතැන් සිට ආරම්භ වී තිබුණේ දැවැන්ත මෙහෙයුමකි.

වන සත්ත්ව අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග අපට ඒ අත්දැකීම විස්තර කළේ මෙසේය. 

“නියමු තල්මසුන් 14ක් ඇවිත් හිටියා. අපි මේ තල්මසුන් හඳුන්වන්නෙ කෙටි වරල් සහිත මුක්කරු කොමදුවා (short finned pilot whale) කියලා. මේ නියමු තල්මසුන් අපට දැක ගන්න පුළුවන් මීටර 100 -1300 අතර කිමිදුම් ගැඹුරක් සහිත මුහුදෙ. මේ සතුන්ට නියමු තල්මසුන් කියලා කියන්නෙ හැම තිස්සෙම කණ්ඩායම ස්වකීය නායකයා අනුගමනය කරමින් ගමන් කරන නිසා. තල්මසුන් 10 සිට 50 දක්වා කණ්ඩායම් වශයෙන් එක් රංචුවක ලෙසයි ඔවුන් ජීවත් වෙන්නේ.

මේ අය නොගැඹුරු මුහුදට ආවට පස්සේ ඔවුන්ගේ සන්නිවේදනය අවහිර වී පිහිනන්න අපහසු වෙනවා. ඔවුන් පීනන්නෙ අවල්පත ගසමින් තරංගයක ආකාරයට. ඒ සඳහා මුහුදේ ගැඹුරක් තියෙන්න ඕන. ඒ වගේම පෙණහලුවලින් හුස්ම ගත්තත් ඔවුන් ජලයෙන් තොර තැනකට ආවට පස්සේ විජලනය වීමෙන් මරණයට පත්වෙන්න පුළුවන්.

අපි එතෙන්ට පැමිණෙන විටත් සෑහෙන පිරිසක් වෙරළ තීරයට ඇවිත් හිටියා. ඒ අය එක්ක එකතු වෙලා අපි මේ තල්මසුන් 14 දෙනාගෙන් 11 දෙනෙක් මුහුදට තල්ලු කළා. එයින් තුන්දෙනෙක් අවාසනාවන්ත විදිහට මිය ගිහින් හිටිය වග අපට දැනුණෙ ඔවුන් මුහුදට තල්ලු කරන්න ගියාට පස්සේ. සමහර විට මේ සිද්ධිය දැකලා අපට පණිවිඩය දෙන්නත් සෑහෙන වෙලාවකට කලින් මේ තල්මසුන් වෙරළ තීරයට එන්න ඇති. පළවෙනි මෙහෙයුම පැය දෙක හමාරකින් විතර ඉවර කරලා. අපි කණ්ඩායම ඊට නුදුරින් වෙරළ තීරයේ තිබෙන අපේ කාර්යාලයට ආවා. සතුන් මුහුදට දාලා ටික වෙලාවකින් යළි තල්මසුන් 10 දෙනෙක් කාර්යාලය අසල වෙරළ තීරයට ඇවිත්... කොයිතරම් මුහුදට දැම්මත් යළි යළි ගොඩබිමට ඔවුන් එන බව අපට තේරුණා.

මේක විශාල මෙහෙයුමක් වන ලකුණු ඇවිත්. අපේ කාර්ය මණ්ඩලය සීමිතයි. මා වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් නාවික හමුදාවට කතා කරලා උදව් ඉල්ලුවා. නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් ආවා. වනජීවී දෙපාර්තමේන්තුවේ යාත්‍රා යොදා ගෙන සංචාරක කර්මාන්තය යෙදෙන අය සහ නාවික හමුදා නිලධාරිනුත් එක්ව මේ සතුන් පුළුවන් තරම් ගැඹුරු දියඹට දාන්න තීරණය කළා. එක් සතෙක් මුලින්ම කිලෝ මීටර දෙකක් විතර දුර මුහුදට අරන් ගිහින් අතහැරියා. ඒත් ඒ සතා නැවත කණ්ඩායම ඉන්න පැත්තට පීනාගෙන එනවා. අන්තිමට අපි සතුන් 10 දෙනාම ඔවුන්ට හානියක් නොවන විදිහට පුළුවන් තරම් ගැඹුරු මුහුදට අරන් ගිහින් අත්හැරියා. ඒක සම්පූර්ණයෙන්ම පැය 08ක 10ක මෙහෙයුමක්.

අනතුරුව වෙරළට ඇවිත් මිය ගිය තල්මසුන්ගේ සිරුරු බෝට්ටුවලින් ඇදගෙන වනජීවී කාර්යාලය අසල වෙරළට අරන් ආවා. පහුවදා අපි මුහුදට ඇද දැමූ තල්මසුන් 11 දෙනාගෙන් එක් සතෙක් යැයි කිව හැකි තල්මසෙක් වනජීවී කාර්යාලය අසල වෙරළට ගොඩ ගසා තිබුණා. ඒ කියන්නෙ පැමිණි තල්මසුන් 14 දෙනාගෙන් 10 දෙනෙක් දියඹට යද්දි 04ක් මිය ගිහින්.”

මියගොස් තිබුණේ ගැහැනු සතුන් 02ක් සහ පිරිමි සතුන් 02කි. නියමු තල්මසුන් අඩි 22ක් පමණ උපරිම දිගට වර්ධනය වන්නේය. මිය ගිය තල්මසුන් අතර සිටි විශාලම සතා අඩි 16ක් පමණ දිග පිරිමි සතෙකි. මේ කල්පිටිය වෙරළ තීරයේ වාර්තාවන මෑත ඉතිහාසයේ අත්දුටු මෙවන් ප්‍රථම අත්දැකීමය.

මියගිය තල්මසුන් සිවු දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය වනජීවි පශු වෛද්‍යවරයා විසින් පසුගිය 12 දා සිදු කළේය. සිද්ධිය පිළිබඳ 13 දා අධිකරණයට කරුණු වාර්තා කෙරිණි. අනතුරුව කන්දකුලිය වෙරළ තීරයේ දී බැකො යන්ත්‍රයකින් කැපූ විශාල වළක් තුළ මිය ගිය තල්මස් සිරුරු මිහිදන් කෙරිණි.

2020 නොවැම්බර් මස 02 දා අලුයම තල්මසුන් සියයකට අධික පිරිසක් පාණදුර වෙරළට ගොඩගැසූ අයුරු මතකය. කොවිඩ් වසංගත සමයේ වසංගත තත්ත්වය නොසලකමින් මුළු සමාජයක්ම එක් වී මෙම තල්මසුන් පිරිස ගැඹුරු මුහුදට ඇද දැමූහ. එයින් අනතුරුව එවැනි සිද්ධියක් වාර්තා වූ මුල්ම අවස්ථාව මෙයය.

මෙසේ තල්මසුන් ගොඩබිමට පැමිණීම නිරන්තරව මතුවන ගැටලුවකි. ඒ පිළිබඳ අප විමසන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරගෙනි. ඔහුට අනුව මේ තත්ත්වය සම්බන්ධව නිශ්චිත විශේෂඥ තහවුරු කිරීමක් නැත. නමුත් එයට බලපෑ හැකි හේතු ගණනාවක් ආචාර්යවරයා දක්වයි.

“ඉතාම බහුලතාව ගැන කිව්වොත් තල්මසුන් මිරිස්ස, කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල වෙරළාසන්නව ගැවසෙනවා. එයට එක හේතුවක් වන්නේ ආහාර සුලබතාව. ඉස්සන් විශේෂය සහ ප්ලවාංග බහුලව හැදෙන ගංගා මුහුදට එක්වන වෙරළට ආසන්නව ගැඹුරු තැන් තිබෙනවා මේ ස්ථාන තුනේම. සතුන්ට කිමිදෙන්න තිබෙන හැකියාව සහ ආහාර සුලභතාව නිසයි. ඔවුන් වෙරළාශ්‍රිතව ගැවසෙන්නේ.

මේ සතුන් වෙරළට ගොඩගැසීම ගැන අපට මින් පෙර පාණදුරේදී අත්දැකීමක් තිබුණා. ලංකාව, නවසීලන්තය, නෝර්වේ , දකුණු අප්‍රිකාව වැනි රටවල්වල තල්මසුන් රංචු වශයෙන් ඇවිත් මේ විදිහට දිවි පුදනවා හෝ මැරෙන සිද්ධි වාර්තා වුණා. එයට හේතු තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. නමුත් වෙන්න පුළුවන් එක දෙයක් පැහැදිලි කරන්නම්. මේ සත්තු සමාජශීලීයි. එක්කෙනකුට අසනීපයක් කරදරයක් වුණොත් එයාව අත්හරින්නේ නෑ. එයා වෙරළ කලාපයට ආවත් රංචුවම එතෙන්ට එනවා. වෙරෙළට ආසන්නව ගැඹුර අඩු නිසා එයාලා සිර වෙනවා.

අපේ වගේ පෙණහලු තමයි එයාලට තියෙන්නෙ. මෙතන තියෙන්නෙ තල්මසුන්ට හුස්ම ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ට උෂ්ණත්වය දරා ගන්න අමාරුයි. උෂ්ණත්වය වැඩිවෙලා යහිපොතර්මියා තත්ත්වයක් එන්න පුළුවන්. මේ හේතුවෙන් ගොඩ එන තල්මසුන් මිය යෑමේ ඉඩ තිබෙනවා.

අනෙක් හේතුව මේ අය සන්නිවේදනය කරන්නේ ශබ්දය භාවිත කරලා. අපි භාවිත කරන සෝනාර් කියන ක්‍රියාවලිමයි මේ අය භාවිතයෙන්. ශබ්දයක් පිට කරලා එය යම් වස්තුවක ගැටිලා පරාවර්තනය වන තරංගවලින් ඔවුන් දිශාව, සහ ගමන් මඟ තීරණය කරනවා. මේ ශබ්ද පිටකිරීම සහ ග්‍රහණය කරගැනීමට විශේෂ ඉන්ද්‍රියක් මොළයෙ තිබෙනවා. මේ ඉන්ද්‍රියට බාධාවක් වුණොත් ඒ සත්ත්වයාට ඉන්න තැන හෝ දිශානතිය ගැන කිසිම අවබෝධයක් ලබා ගන්න බැරි වෙනවා. එහෙම අයව නැවත රංචුවට හරවලා හැරියත් ඔවුන් වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ.

මෙහෙම වෙන්න හේතු කාරණා ගණනාවක් තිබෙනවා. මුහුදු පත්ලෙ සිදුවන ගෑස් සහ තෙල් ගවේෂණ එකක්. එයින් ගොඩාක් ශබ්ද නිකුත් වෙනවා. මුහුද යට වන පිපිරීම්, යුද අභ්‍යාස කරද්දි නිකුත් වන අධි සෝනාර් තරංග, ශබ්ද, සත්තුන්ගේ මොළයට හානි කරනවා.

භූ කම්පන තව එකක්. භූ කම්පන අවස්ථාවලදි ඇති වන සුළු හා මධ්‍ය පරිමාණ තරංගවලිනුත් ඔවුන්ට හානි වෙන්න පුළුවන්.

පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රවල වෙනස් වීමෙනුත් මේ සතුන්ට දිශානතිය සොයා ගන්න බැරිව වෙරළ කලාපයට ඇවිත් ජීවිතය විනාශ වෙනවා. අප දකිනවාට වඩා මුහුදෙ ශබ්ද දූෂණය වැඩියි. දියරය හරහා ශබ්ද තරංග වේගවත්. අධි සංඛ්‍යාත ශබ්ද නිකුත් වෙනවා වැඩිනම් එයාලා කලින් කිමිදෙන ප්‍රදේශවලට වඩා ගැඹුරට කිමිදෙනවා. මීටර 500 -1000 දක්වා කිමිදෙනවා. එතකොට ඇතිවන පීඩනය නිසා මේ හානිය මොළයට වෙන්න පුළුවන්. මේ සියලු තත්ත්ව නිසා අවසානයේ දිශානතිය හොයා ගන්න බැරිව ඔවුන් විනාශ වීමයි සිදු වෙන්නේ. නමුත් මේ හැම දෙයක්ම තවම පරීක්ෂණවලින් තහවුරු නොවූ නිගමන විතරයි.“ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසන්නේය.

කෙසේ වෙතත් තවමත් අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම ලංකාව වටේ කොතැනක හෝ තල්මසුන් නැරඹිය හැකි අවස්ථාවක් අපට තිබේ. ලංකාව අවට මුහුදේ තල්මසුන්ගේ චර්යාව විමසිය යුතු ආකර්ෂණීය මාතෘකාවකි. මේ පිළිබඳ අප විමසා සිටියේ නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ විද්‍යාඥ උපුල් ලියනගේ ගෙනි.

“අප ඔවුන්ව හඳුන්වන්නෙ සමුද්‍ර ක්ෂීරපායින් කියලා. “ උපුල් ලියනගේ සිය කතාව ආරම්භ කළේය.

“ලංකාව අවට සමුද්‍රයෙ ඉන්න සමුද්‍ර ක්ෂීරපායීන් ප්‍රධාන ඛාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එක් කණ්ඩායමක් ශරීරයෙන් විශාල, නිල් තල්මසුන් වැනි ඛාණ්ඩයට අයත් වෙනවා. අනෙක් තල්මස්සු විශේෂය ශරීරයෙන් කුඩා ඩොල්ෆින් සතුන් අයත් ඛාණ්ඩයට අයත් වෙනවා. තුන්වන ඛාණ්ඩයට අයත් වෙන්නේ මුහුදු ඌරා කියන ඛාණ්ඩයට.

මුහුදු ඌරා හෙවත් ඩියුගොන් කියන සත්ත්වයාගෙ ලොකු සංක්‍රමණ රටාවක් නෑ. ඉන්නේ නොගැඹුරු ජලයේ. මුහුදු තෘණ තමයි ඔවුන් ආහාරයට ගන්නේ. මන්නාරම කල්පිටිය ආසන්නයේ මේ සත්තු දැක ගන්න පුළුවන් වුණත් ඒ සතුන් දඩයම් කරලා නෙට්වලට අහුවෙලා දැන් දකින්නවත් නැති තරම්.

ශරීරයෙන් විශාල නිල් තල්මසුන් වැනි තල්මසුන්ගෙ ලොකු සංක්‍රමණ රටාවක් තිබෙනවා. ශීත ඍතුවේදී ආහාර සහ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා ඔවුන් සමකය ආසන්න මුහුදු කලාපයට එනවා. නැවත ඒ අය වසන්ත සමයේ ඒ ප්‍රදේශවලට යනවා. ඒ අයගෙ ආහාරය වන්නෙ ප්‍රධාන වශයෙන්ම කූනිස්සො. නිල් තල්මසෙක් දවසකට ආහාර ටොන් තුනක් විතර ගන්නවා. ඒක විශාල ආහාර ප්‍රමාණයක්. ඒ අයගෙ සංචරණ රටාව සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ ආහාර රටාව මත. සමකාසන්න මුහුදේ උෂ්ණත්වයත් එක්ක සාගරයේ ශාඛ ප්ලවාංග සහ සත්ත්ව ප්‍ලවාංග හැදෙනවා. ඉතින් මේ සතුන්ගේ සංචරණ රටාව වැඩි වශයෙන් හැදිලා තියන්නෙ නිෂ්පාදකතාව වැඩි ප්‍රදේශවල.

ලංකාව තිබෙන්නෙ මහාද්වීපික බෑවුමේ. ගොඩබිම ගිහින් එක්වරම බෑවුමක් එනවා. ඒක තමයි මහාද්වීපික බෑවුම. එම බෑවුමේ සමහර තැන් තිබෙනවා නිෂ්පාදකතාව ඉතාම වැඩි. ඒ තැන්වල තල්මසුන් රංචු වශයෙන් ජීවත් වෙනවා. අපේ රට ආශ්‍රිතව නිරිතදිග මෝසම්වලදි දකුණු සහ බස්නාහිර මුහුදේ නිෂ්පාදකතාව වැඩියි. “නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ විද්‍යාඥ උපුල් ලියනගේ පැහැදිලි කරන්නේය.

තල්මසුන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායි විශේෂ 30ක් ශ්‍රී ලංකාව අවට මුහුදේ ජීවත් වෙති. ඔවුන් සුලබව දක්නට ලැබෙන්නේ දෙවුන්දර අවට, මිරිස්ස දෙවිනුවර අවට කලාපය, මඩකලපුව සහ ත්‍රීකුණාමලය රාවණාපරය ආශ්‍රිතව, මුලතිව්, කල්පිටිය අවටය. වර්ෂ 2018 දී කළ සමීක්ෂණයකට අනුව ලංකාවේ නුදුරු මුහුදු තීරයේ ගැවසෙන නිල් තල්මසුන් ප්‍රමාණය 500කට අධිකය. එහෙත් ව්‍යසනය වන්නේ සෑම වසරකම විශාල තල්මස් මරණ 4 -5 ක් වාර්තා වීමය. උපුල් ලියනගේට අනුව දියඹේ දී සිදුවන මරණ ප්‍රමාණය මීට වඩා වැඩිය.

“සමහර මරණවලට හඳුනා නොගත් හේතු තිබෙනවා. නැවුවල ගැටීම්, ධීවර කටයුතු නිසා මැරෙනවා. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියෙන් පස්සේ කුඩා ප්‍රමාණයේ සමුද්‍ර ක්ෂීරපායීන් විශාල ප්‍රමාණයක් මැරුණා.” ඔහු කීවේය.

කල්පිටියේ නියමු තල්මසුන් ගොඩගැසීමේ ක්‍රියාවලිය සමඟම සමාජ මාධ්‍ය තුළ අතිශයින් වේදනාත්මක සිදුවීම් සහිත ඡායාරූප පෙළක් පළවුණේය. එහි දැක්වුණේ වැඩිහිටියන්ගේ වැළැක්වීමකින් තොරව වෙරළට ගොඩබට අහිංසක තල්මසකුට වද හිංසා කරන දරුවන් රැළකි. මේ සමුද්‍ර ක්ෂීරපායින් සම්බන්ධව මේ රටේ ක්‍රියාත්මක නීතිය කුමක් ද?. අපි ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධනයන් විමසුවෙමු.

“ලංකාවේ මුහුදු ක්ෂීරපායින් වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ පනතේ ආරක්ෂිත සතුන් කොටසක් ලෙස නම් කරලා තියෙන්නෙ. සියලුම තල්මසුන් ආරක්ෂිත සතුන්. මේ මුහුද ක්ෂීරපායින්ගෙන් විශේෂ 08ක් දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයන් ලෙස නම් කර තිබෙනවා.

නිල් තල්මසුන් වර්ග 03ක්, මන්ද තල්මසුන් වර්ග 03ක්, මුහුද ඌරා සහ කොමන් ඩොල්ෆින් කියන ඩොල්ෆින් වර්ගය දැඩි ආරක්ෂිත ඛාණ්ඩයට වැටෙනවා.

“නියමු තල්මසුන් දැඩි ආරක්ෂිත නෑ. නමුත් ආරක්ෂිත සතෙක්. ආරක්ෂිත සතෙකුට හානි කරන්න, හිරිහැර කරන්න මරලා මස් කර විකුණන්න, කොටස් ළඟ තබා ගන්න තහනම්. ඒත් මෙතන ඊට වඩා බරපතළ කාරණාවක් තිබෙනවා. මේ දරුවො සත්ත්ව හිංසාවට පොලඹවන මවුපියන් ඉන්නේ. පණ අදින සතෙක් පිළිබඳ කම්පනයක් දරුවන් තුළ ඇති කරන්න බැරි නම් ඒක මහා විනාශයක්. සත්තුන්ට ආදරය කරන්න බැරි පොඩි දරුවකුට ලොකු වෙලා මනුස්සයකුට ආදරය කරන්න බෑ... මේ හිංසනය සම්බන්ධව මේ දරුවන්ව එවන් හිංසනයකට ඉඩ හළ වැඩිහිටියන් සම්බන්ධවත් අවශ්‍ය නම් නීතිය ක්‍රියාත්මක කළ හැකියි. “

කල්පිටිය වෙරළට පැමිණ ජීවිතය පුදා ගිය තල්මසුන් රටේ අනාගතය ගැන අපට පණිවිඩයක්ද තබා ගොස් ඇති ආකාරය ලියා තබමි.

Comments