රටේ ආදායම වියදමට වඩා ඉහළින් තබා ගන්නේ කොහොමද? | Page 2 | සිළුමිණ

රටේ ආදායම වියදමට වඩා ඉහළින් තබා ගන්නේ කොහොමද?

සුගිය ජනවාරි මස රුපියල් බිලියන 367.8ක වියදමක් සිදුව ඇතත්, ලැබී ඇත්තේ රුපියල් බිලියන 158.7රාජ්‍ය ආදායමක් පමණක් බව රජය පවසයි. එහෙයින් රජයේ වියදම් තව දුරටත් සීමා කරන ලෙස පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ අනුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබ සාධන, ඖෂධ හා ණය ගෙවීම් හැර අනිකුත් වියදම් දැරීමට මහ භාණ්ඩාගාරයට අපහසු වී ඇති හෙයින්, බදු සංශෝධන මඟින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් කපා හැරීම හෝ කල් දැමීමට සිදුවනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. විවිධ පක්ෂ රාජ්‍ය ආදායම, වියදම් මෙන්ම විදේශීය ණය සම්බන්ධයෙන් දක්වන්නේ විවිධාකාර අදහස්ය. අප ලබා දුන් පොදු ප්‍රශ්න 4කට ඒ ඒ පක්ෂ නියෝජිතයන් සිය පක්ෂයේ අදහස් සිළුමිණට දැක්වූයේ මෙසේය.

01.පසුගිය ජනවාරි මස රාජ්‍ය ආදායම බිලියන 158.7ක් වන විට වියදම බිලියන 367.8ක් දක්වා ඉහළ ගිහින්. ඔබ පක්ෂය බලයේ සිටින්නේ නම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
02. දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට වියදම් අඩුකර ගැනීමට රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. අත්‍යවශ්‍ය වියදම් කපා හැරීම, රාජ්‍ය බර අඩු කිරීම කෙරෙහි ඔබ පක්ෂයේ තිබෙන විසඳුම් මොනවාද?
03. විදේශ ණය ගෙවීම්, විදේශ ණය ලබා ගැනීම් හා IMF ණය ලබා ගැනීම් ගැන ඔබ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
04. රාජ්‍ය වියදම් අඩු කිරීමේ එක් පියවරක් ලෙස ප්‍රාදේශීය මන්ත්‍රිවරු 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා. මේ යෝජනාව පිළිබඳ ඔබ පක්ෂයේ මතය කුමක්ද?

නාස්තිය දූෂණය නැති කළ යුතුයි
- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

1990 ගණන්වල රාජ්‍ය ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 22%කයි. නමුත් පසුව බදු අඩු කිරීම්, බදු අය කර නොගැනීම්, වැට් බදු, සීනි බදු වංචාවන්ට ඉඩ දීම නිසා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලොව අඩුම ආදායමට ඇති රට බවට පසුගිය වසරේ අප පත්වුණා. ඊට පදනම් වූ හේතුවලට පිළියම් දෙන්න පුළුවන් නම් නැවතත් පෙර තිබූ තත්ත්වයට යා හැකියි. පසුගිය කාලයේ බදු, ලැබිය යුතු ආදායම් නිවැරදිව එකතු කළේ නැහැ. මේ තුළ විවිධ වංචා සිදු වුණා. ඩීල් දමමින් බදු ගෙවීම් පැහැර හැරියා. බදු එකතු කිරීමේ ක්‍රමවේදය කඩාකප්පල් වුණා. මේ නිසා බදු එකතු කිරීම කාර්යක්ෂම විය යුතුයි. මුලින්ම සීනි බදු වංචාව විගණනයට තල්ලු කළේ මම. රුපියල් බිලියන 16ක ප්‍රමාණයක් ආණ්ඩුවට අහිමි වුණා. නමුත් ඒ මුදල් එකතු කර ගැනීමක් සිදුවුණේ නැහැ. සමහරුන්ට වසර 30-50 දක්වා බදු නිදහස් වීම් ලබාදී තියෙනවා. බදු නිදහස ලැබිය යුත්තේ සීමිත කාලයකට. පැවැති තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. බදු සහන වෙනුවට ආයෝජනයට සරිලන බදු සහන ලබා දිය යුතුයි. බදු වැඩි කරන්න නම් විශාල ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

රාජ්‍ය වියදම් අඩු කිරීමට නම් නාස්තිය දූෂණය නැති කළ යුතුයි. එසේ වුවහොත් යම් ප්‍රමාණයක් ඉතුරු කර ගත හැකියි. අද ජාතික ආරක්ෂාව මුවාවෙන් විශාල ලෙස මුදල් වියදම් කරනවා. අදහා ගත නොහැකි පරිදි වියදම් කරනවා. ලංකාවේ වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීමට වියදම් වන්නේ ට්‍රිලියන 1.1ක්. නමුත් දේශීය ණය ගෙවීමේ පොලිය පමණක් ට්‍රිලියන 2.2ක්. යම් යම් දේ කපා කොටා ඇඟට දැනෙන වියදම් අඩු කර ගන්න පුළුවන් කියා කවුරු හෝ හිතනවා නම් එය මුළාවක්. රටේ සැබෑ තත්ත්වය ගැන කතා කළ යුතුයි. පසුගිය වසරේ ආදායම ට්‍රිලියන 2.2යි. මේ වසරේ පොලී වියදම පමණක් ට්‍රිලියන 2.2ක්. එයින් දේශීය පොලිය පමණක් ට්‍රිලියන 2ක්. නමුත් අවාසනාවකට කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ.

IMF ණය ලබා ගත යුතුයි. IMF ණය ලබා ගත්තේ නැතිනම් ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව හරහා අපිට අවශ්‍ය සහනදායි ණය ක්‍රමයකට යන්න බැහැ. IMF දෙන ඩොලර් බිලියන 2.9 කියන්නේ පොඩි ප්‍රමාණයක්. මෙතැන වැදගත් වන්නේ ණය නෙමෙයි. IMF සමඟ එකඟතාවෙන් නැවතත් මූල්‍ය විනයක් රටේ ඇති වෙනවා. ඒ හරහා පමණයි විශ්වාසය ගොඩ නැඟෙන්නේ. ඒ විශ්වාසය මතයි ආයෝජකයන් රටට පැමිණෙන්නේ. එසේ වුවහොත් පමණයි නැවතත් රට ගොඩ ගැනීමට හැකි වන්නේ. නමුත් IMF යෝජනාවලට ජනතාවගේ එකඟතාවයක් තිබිය යුතුයි. එය රජයේ ප්‍රමුඛතම වගකීමක්. සමගි ජන බලවේගයේ අපි කෙටිකාලීන රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළේදී IMFඑකඟතාවකට ඒමේ වැදගත්කම පෙන්වා දුන්නා. එසේම ආදායම් බදු ගැසීමේ උපරිමය 24%ක් විය යුතුයි. ආයතන මත ගසන ලාභාංශ බදු ක්‍රමානුකුලව වැඩිවිය යුතුයි.

ප්‍රාදේශීය මන්ත්‍රිවරු අඩු කළාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. එය කළ යුතුයි. නමුත් ඒ මුවාවෙන් ඡන්දය කල් දාන්න දෙන්න බැහැ.


බදු ගහන්න ඕනෑ ජනතාවට දරාගත හැකි ආකාරයටයි
- නිදහස් ජනතා සභාවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්

රාජ්‍ය ආදායම වැඩි කර ගන්නේ බදුවලින්. නමුත් බදු ගැසීම කළ යුත්තේ ජනතාවට දරාගත හැකි ආකාරයෙන් පමණයි. රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ඇති කෙනා 6%-36% දක්වා බදු ගෙවිය යුුතුයි. බැංකු පොලිය වැඩි නිසා ව්‍යාපාරයක් කර හෝ ජීවත් වෙන්න බැහැ. 35%ක පොලී ගෙවලා ව්‍යාපාරයකින් ලාබ ලබන්න බැහැ. විදුලි බලය විශාල ලෙස වැඩි කිරිම නිසා කර්මාන්ත ශාලා වැසි යනවා. ආර්ථිකය සංකෝචනය වෙනවා. මේ තත්වය තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගන්න අමාරුයි. අපි බලයට පත්වුණොත් ආයෝජන දිරිමත් කිරීමට ආයෝජන මණ්ඩල ක්‍රමවේද විධිමත් කරනවා. දූෂණය, අල්ලස් නැති කරනවා. විදේශ ශ්‍රමිකයන්ගේ පහසුකම් වැඩි දියුණු කරනවා. භාණ්ඩ අපනයනයට විදේශීය වෙළඳපොළක් ඇති කරනවා. සංචාරක කර්මාන්තය නඟා සිටුවනවා. ජනතාව බදු ගෙවන්න සූදානම්. ඒත් රටේ වියදම් ඉහළයි. රාජ්‍ය ඇමැතිවරු විශාල ප්‍රමාණයක් නඩත්තු වෙනවා. වාහන පමණක් 340ක්. ඒවා අඩු කරනවා. ජනතාව මහන්සියෙන් උපයා ගත් මුදලෙන් බදු ගෙවනවා නම් රටේ වංචා දූෂණ නාස්තිය නැති කළ යුතුයි.

ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන එකට අපි විරුද්ධයි. ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මේ සම්බන්ධ සංවාදයක් ඇතිවිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැබිනට් මණ්ඩලයට උපරිම 30යි, නියෝජ්‍ය ඇමැතිවරු 40ක් ඇතුළුව 70ක් දක්වා යාමට රටට මූල්‍ය ශක්තියක් නැහැ. එය අඩු කළ යුතුයි. ජනාධිපති අගමැති වියදම් අඩු කළ යුතුයි. මේ වියදම් නිසා මිනිස්සු කිපෙනවා. ජනතාවගේ සිත් තුළ විරසකයක් ඇති වෙනවා.

IMF යා යුතු වුණත් අපේ අවශ්‍යතා මීට වඩා ශක්තිමත්ව ඉදිරිපත් කළ යුතුයි. බංග­්ලාදේශය අපිට පසුවයි, ණය ඉල්ලුම් කළේ. නමුත් අපිට පෙර සාකච්ඡා ඔවුන්ට එකඟතාවකට ඒමට හැකි වුණා. ලංකාවේ සාකච්ඡා සාර්ථකව නිම වී නැහැ. IMFයෝජනා නම්‍යශීලි විය යුතුයි. ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර බාර ගන්න අවශ්‍ය නැහැ. අපේ ආදායම් වැඩි කර ගන්න වියදම් අඩු කරගත යුතුයි. එය කළ යුත්තේ ජනතාවට දරාගත හැකි ආකාරයෙනුයි. ජනතාව පිළිගන්නා ලෙස මේ සංශෝධන සිදු කළ යුතුයි . IMF කාර්යමණ්ඩලීය ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. විදේශීය ණය ගෙවිය යුතුයි. ඊට කලක් ලබා ගත යුතු වෙනවා. අපි සහන කාලයක් ලබාගෙන අපේ ආදායම වැඩි කරමින් මේ ණය ගෙවිය යුතුයි.

ප්‍රාදේශීය මන්ත්‍රිවරු අඩු කර ගැනීම හොඳ වුවත් මේ සියලු අදහස් ඉදිරිපත් වන්නේ පළාත් පාලන මැතිවරණය ආසන්නයේදී. මේ නිසා අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. රජය මේ මැතිවරණය කල්දාන්න නොකළ දෙයක් නැහැ. මන්ත්‍රී පිරිස අඩු කිරීමෙන් සෑහෙන මුදලක් ඉතිරි කර ගත හැකියි. එහෙත් එය මේ මැතිවරණයෙන් නොව ඉදිරි අනාගතය මුල් කර ගනිමින් සිදු කළ යුතුයි. මන්ත්‍රීවරු 8000ක් සිටීම 2018 සිටම තිබුණා. ඒ කාලයේ අගමැතිව සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ. මේ වැඩි කිරීමේ යෝජනාව ගෙනාවේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන. ඒ අය කළ දේවල්මයි දැන් හකුළා ගන්නට කියන්නේ.


නොගෙවන බදු එකතු කිරීම ඉතාම දුර්වලයි
- ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

අප පළමුව කළ යුත්තේ රාජ්‍ය ආදායම නිවැරදිව ගණනය කිරීමයි. ප්‍රශ්නය වී ඇත්තේ රාජ්‍ය ආදායම නිවැරදිව එකතු නොකිරීමයි. අපේ ගණනය කිරීම්වලට අනුව නම් රාජ්‍ය ආදායම මීට වඩා වැඩි විය යුතුයි. ආදායම් බදු නොගෙවන අයගේ බදු එකතු කිරීමේ උත්සාහය ඉතාම දුර්වලයි. බදු නොගෙවන අය විවිධ ක්‍රම හරහා ඊට කල් ගන්නවා. ඉහළ පංතිය බදු ගෙවීමේදී අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්තිවලට අපි ඉඩ තියන්නේ නැහැ. සියලූම රාජ්‍ය සංස්ථාවල, රාජ්‍ය ව්‍යවසායන්ගේ සේවක සභා ඇති කරනවා. සේවක සභාවල කළමණාකරණය ඇති කිරීම හරහා ඒවායේ ඵලදායිතාව වැඩි කිරීමට කටයුතු කරනවා. නාස්තිය හා දූෂණය වළක්වනවා. ඒ හරහා රජයට එන ආදායම වැඩි කර ගන්නවා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මේ රජය කළේ දුප්පත් මිනිසුන්ට බදු ගැසීම. පොදු ජනතාවට වක්‍ර බදු ගහලා. මේ ක්‍රියාමාර්ග ජනතා විරෝධියි. අපි ජනතාව මත පැටවෙන වක්‍ර බදු හැකි තරම් අඩු කරනවා. සෘජු බදු ගන්නේ ලක්ෂයේ ආදායමෙන් නොව ලක්ෂ 5 ආදායමෙන් පමණයි.

රාජ්‍ය වියදම අඩු කර ගැනීමට පළමුවෙන්ම කළ යුත්තේ විදේශ කටයුතු පිළිබඳ වියදම්, තානාපති කාර්යාල වියදම් අඩු කිරීමයි. මේ පහසුකම් අපේ රටට පවත්වා ගෙන යන්න බැහැ. දෙවැන්න කැබිනට් මණ්ඩල, ජනාධිපති හා අගමැති වියදම් අඩු කළ යුතුයි. ඇස්තමේන්තු වියදම්වලට අමතරවත් හදිසි, අත්‍යවශ්‍ය වියදම් ලෙස තවත් අයවැයෙන් පහසුකම් සකසා ගන්නවා. ඒවා වැසිය යුතුයි. බොරු වියදම් නැති කළ යුතුයි. මේ වන විට පාර්ලිමේන්තුව කල් දමා නව සැසිවාරය විවෘත කිරීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. රාජ්‍ය සේවකයෝ අඩු කිරීමේ අපේ කිසිම අදහසක් නැහැ. රාජ්‍ය සේවකයෝ අවශ්‍යයි. සමෘද්ධි දීමනා කපා හැරීම් කරන්නෙ නැහැ.

විදේශ ණය ගෙවීම් අපි වසර 5 කට කල් දානවා. IMF ණය ලබා ගැනීමකට අපි යන්නේ නැහැ. මුදල් ලබා ගැනීමේ හදිසි අවශ්‍යතාවක් ඇත්නම් හිතවත් රාජ්‍ය සමඟ ද්විපාර්ශ්වීය ගනුදෙනු කළ යුතු වෙනවා. අපිට ඇති රාජ්‍ය මිත්‍රත්වය අනුව ඒ ඒ රටවල් සමඟ ද්විපාර්ශ්වීය ගනුදෙනු සිදුකළ යුතුයි.

මෙය විශාල වියදම් අඩු කිරීමක් නෙමෙයි. ඊට වඩා කළ යුුතු තවත් කරුණු බොහෝයි. මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය යන ආයතනවල වියදම් තව අඩු කළ හැකියි. ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8000ක් සිටීම විශාල බරක් නෙමෙයි. නමුත් අඩු කරනවාට අපි විරුද්ධත් නැහැ. නමුත් ඊට පෙර කැබිනට් මණ්ඩලය අඩු කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම රාජ්‍ය මෙහෙයුම් අංශ හා ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවක්. බැංකුවල මුදල් අවශ්‍යම දේට යැවෙන ආකාරයට සකස් විය යුුතුයි. මිනිරන්, පොස්ෆේට් පදනම් කරගත් නිශ්පාදනවලට මුදල් වෙන් විය යුතුයි. දේශීය කර්මානත නඟා සිටුවිය යුතුයි. අපි බලයට පත්වුණොත් කැබිනට් මණ්ඩලය 10 කට පමණ සීමා කර අනිකුත් මන්ත්‍රීවරුන්ට වගකීම් ලබා දෙනවා. ඒ අය ඒ අංශ හා දෙපාර්තමේන්තුවල පහසුකම් පමණක් භාවිත කළ යුතු වෙනවා. අමතර පහසුකම් ඔවුන්ට අවශ්‍ය නැහැ .


රජයේ ප්‍රධාන ආදායම බදු බවට පත් කර ගන්නේ නෑ
- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ රටේ රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩි වීම වසර 30-40 තිස්සේ සිදු වන දෙයක්. ඊට හේතුව පසුගිය කාලයේ ආදායම් උපයන නිශ්පාදන මාර්ග බිඳ වැට්ටවීමයි. පොල්, තේ, රබර් කර්මාන්ත වැටුණා. නව කර්මාන්ත සැකසුණේ නැහැ. ඒ නිසා රජයට ආදායම අඩු වුණා. නිෂ්පාදනය හා රටේ ජනතාවගේ ආදායම වැඩිකර ගනිමිනුයි, රාජ්‍ය ආදායම වැඩි කරගත යුතු වන්නේ. ඒනිසා අපේ ප්‍රතිපත්තිය වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ආරම්භ කිරීම හා රජයේ අනවශ්‍ය වියදම් අඩු කිරීමයි. ඕනෑම රජයක් බදු අය කරනවා. නමුත් එය දරාගත හැකි විය යුතුයි. නව ආදායම් මාර්ග නිර්මාණය කරමින් බදු අය කරගත යුතුයි. බදු පිට බදු ගසා ජනතාව සූරා ගෙන කෑම නැවැත්විය යුතුයි. අපි බලයට පත්වුණොත් බදු රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කර ගන්නේ නැහැ. බදු ප්‍රතිපත්තිය ආදායමට දරාගත හැකි පරිදි සකස් කෙරෙනවා.

මේනිසා රාජ්‍ය සේවයේ කිසියම් අර්බුදයක් තියෙනවා. වියදම් අඩු කර ගැනීමේ ආදර්ශය ඉහළින්ම දිය යුතුයි. ජනතාවගේ දේවල් කල්පාදු කළාට නිදහස් උත්සවයට රුපියල් කෝටි 30 කට වඩා වියදම් කරනවා. එය සරලව කර පෙන්වන්නේ නැත්තේ ඇයි? මුදල් නැහැ කියා අලුතින් ඇමැතිවරු පත් කළා. අපේ ඇමැති මණ්ඩලය 25 කට හා නියෝජ්‍ය ඇමැති 25 කට සීමා කරනවා. රාජ්‍ය ඇමැතිවරු නැහැ. ජනාධිපති තමන්ට අයවැයෙන් වෙන් වූ මුදල අඩු කරගත යුතුයි. ඒ අය වැයදම් අඩු නොකර ජනතාවට අඩු කරගන්න කීම මුළාවක්. ඒ අයට පොඩි අස්වැසිල්ලක් ලැබුණත් කළ යුත්තේ පිනට ජීවත් වන ජනතාවට ආදායම් මාර්ග සකස් කර දී ඒ ඔස්සේ උපයන ජනතාවක් බවට පත් කිරීමයි.

රටක් ණය ගැනීම අපරාධයක් නෙමෙයි. අපේ ආදායම් මාර්ග වැඩි කිරීමට ණය ලබා ගන්නේ නම් එයින් ලැබෙන ආදායමෙන් ණය පියවීමට හැකි විය යුතුයි. නමුත් ආදායම් මාර්ග නොඉපයු නිසා මේ ණය ගෙවීමට හැකිවුණේ නැහැ. ලෝකයට පොලු තැබූ නිසා දැන් ණය ලැබෙන්නේ නැහැ. ඒ නිසයි IMF පසුපස යන්නට සිදුවන්නේ. අපි ණය දුන් රටවල් සමඟ සැලැස්මක් සකස් කර මුදල් උපයන මාර්ග පෙන්නුම් කර ණය ගෙවීමේ ක්‍රම පෙන්වා දුන්නොත් විදේශ රටවල් ඊට ඇහුම්කන් දෙයි. අපි බලයට පත්වුණොත් නිෂ්පාදනය සම්බන්ධ සැලැස්මක් සකස් කරනවා. ලෝක වෙළෙඳපොළත් සමඟ සම්බන්ධ වී විදේශ මුදල් උපයන්නට පුළුවන් බවට ලොකු විශ්වාසයක් තියෙනවා. IMF සහය අවශ්‍ය නම් ගත්තට කමක් නැහැ. අපේ රටේ අර්බුදයට විසඳුමක් IMF එකේ නැහැ.

ප්‍රාදේශීය මන්ත්‍රීවරු අඩු කර ගැනීමේ කතාව බොරුවක්. එය 8000 දක්වා වැඩි කළේත් මේ ජනාධිපතිගේ කාලයේ. දැන් උත්සාහ කරන්නේ මැතිවරණය වැළැක්වීමටයි. අපට ප්‍රශ්නයක් නහැ අඩු කිරීම ගැන. නමුත් ඊළඟ ඡන්දයේදී මන්ත්‍රිවරුන්ට ලබා දෙන දීමනාවත් අඩු කළ යුතුයි. එය ජනාධිපති අගමැති සිට ආරම්භයක් ගෙන දීමනා අඩු කළ යුතු වෙනවා. ඇමැති වැටුප, විශ්‍රාම වැටුප, වාහන සියල්ල අඩු කළ යුතු වෙනවා. පළාත් පාලන මන්ත්‍රිවරුන්ට ලැබෙන්නේ රුපියල් 15,000 ක දීමනාවක්. මේ නිසා දැවැන්ත ඉතිරියක් ලැබෙන්නේ නැහැ. නමුත් ලක්ෂ ගණනින් වැටුප් ගන්න, විදුලි බිලට පොලු තියන අය ඉන්දෙද්දි මෙවැනි දේ කිරීම කුහකයි.

Comments