2022 වසරේ මා කියැවූ සිත්ගත් නවකතා 6ක රුව ගුණ | Page 3 | සිළුමිණ

2022 වසරේ මා කියැවූ සිත්ගත් නවකතා 6ක රුව ගුණ

2022 වසර තුළ ප්‍රකාශයට පත් වූ නවකතා අතරින් වෙනස් මානයන් අනුව යමින් ලියැවුණු නවකතා සහ ඒවායින් මතු වන වෙනස් අර්ථ පිළිබඳ සමාලෝචනයක යෙදීමට අදහස් කළෙමු. මේ ඒ පිළිබඳ කෙටි විවරණයකි.

යටත් විජිතවාදී ආදරයක සැඟවුණු ලිංගික අධිපතිවාදයක්

කෘතිය - නාරි
කර්තෘ - ශාන්ති දිසානායක
ප්‍රකාශක- granta.lk ප්‍රකාශනයකි 
විමසීම් - 071 994 3989

19 වැනි සියවස වන විට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයයන් විසින් ගොඩනඟන ලද වතු ආර්ථිකයත් සමඟ හොඳින්ම තහවුරු වී තිබිණි. විශේෂයෙන්ම උඩරට කඳුකරයත් ඒ ආසන්න ප්‍රදේශවලත් භුමිය වතු වගාවෙන් වැසී ගිය තරමටම එදා මෙරට පැවැති ගැමි ජන සමාජය ද මේ නව සමාජ ආර්ථික බලපෑමට යටත් වූ ආකාරය පැහැදිලිවම දැකිය හැකිය.

ශාන්ති දිසානායක “නාරි” නම් මෙම කෘතියෙන් මතු කරන්නට උත්සාහ කරන්නේ ඉහත කී සමාජ ආර්ථික බලපෑමට යටත් වූ සංවේදී ජීවන පුවතකි.

දහසය වියැති තරුණියක් තමන්ට වඩා දෙගුණයකින් වයස්ගත සුදු ජාතික වතු වැවිලිකරුවකුගේ ලිංගික ග්‍රහණයට හසුවන අතර, ඒ ඔස්සේ ඔවුන් අතර ගොඩනැඟෙන සම්බන්ධය කුමන ආකාරයේ එකක් දැයි පහසුවෙන් වටහාගත නොහැකි පසුබිමක මෙම කතාව ගලා ගෙන යන ආකාරයක් දැකිය හැකිය. එක්දාස් නවසිය තිස් ගණන්වල රත්නපුර ප්‍රදේශයේ පිහිටි වතුයායක සුදු වතු පාලකවරයකු සහ ගැමි තරුණියක් අතර ඇතිවන මෙම සම්බන්ධය තුළදී ඔවුන් දෙදෙනා මුහුණපාන්නේ තමන් කිසිසේත් නොහඳුනන සංස්කෘතික ඇවතුම් පැවතුම්වලටය. නිදසුනක් ලෙස ගැමි තරුණිය ඉංග්‍රීසි භාෂාව නොදන්නා තරමටම සුදු ජාතිකයා ද සිංහල බසින් කෙරෙන හැඟීම් හා අදහස් ප්‍රකාශනය හමුවේ ආගන්තුකයෙක් වෙයි. එමෙන්ම හුදු ප්‍රේම සම්බන්ධයක් බවට ද එය පත් නොවන හෙයින් කිසියම් ආකාරයක අභව්‍ය බවක් අත්විඳීමට මේ නිසා පාඨකයාට සිදුවනු ඇත. කෙසේ වෙතත් තමන් නොහඳුනන සංස්කෘතීන් දෙකක් අතර සිදුවන මෙම සංසර්ගය තුළම බොහෝ හඳුනා ගැනීම් වෙනුවෙන් දරන උත්සාහයන් ද දකින්නට පුළුවන. නිදසුනක් හැටියට යකැදුරකු වූ ගැමි තරුණියගේ පියාගේ එම ක්‍රියාකාරකම් සුදු ජාතික වැවිලිකරුවාගේ විස්මිත නිරීක්ෂණයට හසුවීම පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් මේ සියල්ල සිදුවන්නේ සුදු ජාතික වැවිලිකරුවන් විසින් තම බලපෑමට යටත් වූ එදා ඒ ගැමි සමාජය මත පවත්වා ගෙන ගිය ලිංගික අධිපතිවාදය තුළ යැයි පෙන්වා දීමට මෙන්ම එය උත්ප්‍රාසවත් ලෙසින් මතු කර දීමට කතුවරිය විසින් දක්වන ලද කැමැත්ත ද කෘතියේ සමස්ථාර්ථය සමඟ බැඳී පවතී.

තල්පත්වල ලිවීම ගැන නොලියවුණු සමාජ කියවීමක්

කෘතිය - කුණ්ඩලිය
කර්තෘ - ප්‍රේමකීර්ති රණතුංග
ප්‍රකාශක- දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි
විමසීම් - 071 852 9833

“පුරාණ ලංකාවේ ලේඛන කලාව සිදු වූයේ පුස්කොළ පොත අනුසාරයෙනි. තල් ගසේ ළපටි ඉරු තම්බා වියලා සකස් කරගන්නා පත් ඉරු මත පන්හි­‍ෙඳන් අකුරු ලිවීම පුස්කොළ පොත් නම් වේ. අනුරාධපුර යුගයේ සිට පැවත ආ මෙම ලේඛන කලාව අවසන් වූයේ එක් දහස් අටසිය අනූව පමණ වූ කාලයේදීය. ”ලංකා ඉතිහාසයේ බුද්ධි ප්‍රබෝධය සමඟ බැඳී පවතින පුස්කොළ පොත් ගැන අප හොඳින් දැන සිටියත් අප නොදත් කතාවක් ද එහි ඇති බව “කුණ්ඩලිය”පෙන්වා දෙයි. එහි කතුවරයා පෙන්වා දෙන ආකාරයට තල්පත්හි ලේඛන ගත කිරීම නම් කාර්යය වෙනස්ම සමාජ සංස්කෘතියක් බිහි කොට ඇත. සාම­ාන්‍යයෙන් පුස් යැයි හැඳින්වෙන්නේ දිලීර විශේෂයකි. ඒ අනුව පුස්කොළ පුස් හෙවත් දිලීරවල ග්‍රහණයට හසු වීමේ ඉඩකඩ වැඩි ය. ඒ අනුව පුස්කොළ නම් ව්‍යවහාරිතය නිර්මාණය වූයේ යැයි පැවසේ. තවද පුස් කොළ යන වචනය කිසිවක් ලියා නැති තල් කොළය යන අරුත දෙන බව ද පෙන්වා දී ඇත.

පුස්කොළ පොත් සම්ප්‍රදායේ ඉතිහාසය ගත් කළ කලිකාල සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු (දඹදෙණි රජ්ජුරුවෝ) වැනි සම්භාව්‍ය චරිත සහ ඔවුන්ගේ කාර්යභාරය පෙන්වා දෙන තරමටම එම පුස්කොළ නිෂ්පාදනය කළ සමාජ කුලකය ද අමතක කළ නොහැකිය යන්න කුණ්ඩලිය කියවීමෙන් ලද හැකි අවබෝධය වේ. එසේ ගත් කළ ප්‍රේමකීර්ති රණතුංගගේ මෙම වෑයම මෙරට නවකතා කරුවන්ට හසු නොවූ එහෙත් හසු විය යුතුව තිබූ විශිෂ්ට ප්‍රස්තුථයක්ය යනුවෙන් පෙන්වා දිය හැකිය.

“රජතුමාට පුස්කොළ සැපයූ රාජකීය තල උයන තිබුණේ අලව්වට නුදුරු ගලතරය නම් ගමේය. දඹදෙණිය රජ මාලිගයට සැතපුම් තුනක් පමණ ඔබ්බෙන් පිහිටි පුස්කොළදෙණිය නමැති විහාරස්ථානයක ගලතරයෙන් ගෙන ගිය තල්පත් ඉරුවල රජතුමා පොත් ලියූ බව දඹදෙණි ජනවහරේ සඳහන් වේ. අලව්වට නුදුරු ගලතරය නම් මෙම ගමේ තල්ගස් යායක් අදටත් දැකිය හැකි බව කතුවරයා පෙන්වා දෙයි. වලගම්බා රජ සමයේදී මාතුල දනව්වේ (මාතලේ) අළුලෙන් විහාරයේ කරවන ලද ත්‍රිපිටක ලේඛනගත කිරීමේ කාර්යය වෙනුවෙන් ද තල්පත් ඉරු නිෂ්පාදනය කොට ඇත්තේ ද එම ගමේම බව ද කතුවරයා හඳුනා ගනියි.

එහෙත් මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් සමඟ යටත් විජිතවාදයේ බලපෑම ද තුළ මෙරට රාජධානි මුල් කොට ගත් දේශපාලනය සමඟ පුස්කොළ පොත් හා බැඳුණු ග්‍රන්ථකරණය අහෝසි වී ගිය ආකාරයත් ඒ සමඟම එම නිෂ්පාදන කාර්යයට සම්බන්ධ වී සිටි ශිල්පීන් මුහුණ පෑ සමාජ අනාථභාවයත් මෙම කෘතියට ප්‍රස්තුත වී ඇත්තේ කෙසේද යන්න ගැන තවදුරටත් විමසීමට ලක් කිරීම සිදුවිය යුත්තක් යැයි සිතමි.

එකගෙයි කෑම හා නීතියේ සදාචාරය

කෘතිය - ගිරිජා
කර්තෘ - මනෝහරි ජයලත්
ප්‍රකාශක- විදර්ශන ප්‍රකාශනයකි
විමසීම් - 071 731 7171

එකගෙයි කෑම නමින් අතීත සම්ප්‍රදායික විවාහ ක්‍රමයක් අප රටේ තිබුණි. පොදුවේ අප හඳුනා ගෙන ඇති ආකාරයට උඩරට සමාජය මුල් කොට ගෙන පැවති දේපළ ඉඩකඩම් එකම පරම්පරාවක් තුළ ගොනු කොට රැස් කර තබා ගැනීම මෙහි අරමුණ වී ඇත. මේ නවකතාවේ වස්තු විෂය බවට පත්කරගෙන ඇත්තේද ඉහතින් පෙන්වා දුන් එකගෙයි කෑම නම් ඒ වෙනස් විවාහ සම්ප්‍රදායයි. කතුවරිය මෙහිදී වෙනස්ම මානයකින් ඒ දෙස බැලීමට ගත් උත්සාහය නිසා නවකතාවක් වශයෙන් මෙය වෙනස් ආරයකින් ගත් මානුෂීය විග්‍රහයක් බවට පත් වී තිබේ.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සදාචාර හා සමාජ විරෝධී යන පදනම මත ප්‍රතික්ෂේප කරන ලද මෙම විවාහ සංස්ථාව තුළ විරල ගණයේ සහෝදර සෙනහසක් කතුවරිය මෙහිදී අත්විඳියි. ඒ අනුව ඇය පවසන්නේ ලොව උසස්ම ගණයේ සෙනහසක් වන සහෝදර සෙනෙහසට බෙදා ගත නොහැකි දෙයක් ලොව නොමැති බවයි. ඉඳින් මෙය සදාචාර විරෝධි නම් අද දවසේ අනීතික මට්ටමින් එකම පවුලේ සහෝදරියන්ව ලිංගික වශයෙන් ඇසුරු කරන පුද්ගලයන් තුළ ඇත්තේ කුමන විදියේ සදාචාරයක් දැයි ඇය විමසයි.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරට පැවති බොහෝ සංස්කෘතික හා සමාජ සංස්ථා අවඥාවට ලක් කරන ලද්දේ හුදෙක් ඔවුන්ගේ පාලනයේ පහසුව තකා මිස මෙරට විනීතාචාර සමාජයක් ලෙසින් ගොඩනැඟීමේ අරමුණින් නම් නොවේ. ඒ අනුව එකගෙයි කෑම නම් මෙම විවාහ චාරිත්‍රය තුළ පැවැති සංස්කෘතික හැදියාව විසින් ගොඩනඟන ලද සමාජ ශක්තිය විසුරුවා හරිමින් කලාපීයව පැවැති ආර්ථික ශක්තියක් දුර්වල කිරීමේ වෑයමක් එම තහනම තුළ තිබුණි දැයි විමසා බැලීම වටී. නිදසුනක් ලෙස මෙරට ආහාර සුරක්ෂිතතාව අතීතයේ සිටම තහවුරු කළ අත්තම් ක්‍රමය වැනි සමාජ සංරක්ෂණ ක්‍රමවේද නැති කොට දමා අප ලැබූ විශේෂ ජයග්‍රහණ තිබේද යන ප්‍රශ්නයට ද නිසි පිළිතුරක් නැතැයි යන්න පෙන්වා දිය හැකිය.

මෙවැනි ඓතිහාසික සමාජ කියවීම් තම නවකතාවලට ප්‍රස්තුත කරගත් විශිෂ්ට නවකතාකරුවෝ ඉන්දියානු නිදහස් සටනින් බිහි වූහ. එහෙත් අප රටේ තත්ත්වය ඊට වෙනස් ය. එවැනි පසුබිමක මෙවැනි යම් වූ හෝ උත්සාහයක් අගය නොකර සිටීම නොකළ හැක්කකි.

ගැහැනියකගේ ඉරණම හා බැඳුණු කතාවක්

කෘතිය - විසඹසර
කර්තෘ - දර්ශනා ශම්මි විජයතිලක
ප්‍රකාශක-සුසර ප්‍රකාශනයකි
විමසීම්- 077 153 6667

ඉතිහාසයේ මුල් කාලවකවානුවේ ප්‍රසිද්ධියේත්, අද වනවිට අප්‍රසිද්ධියේත් පවත්නා සාම්ප්‍රදායික සටන් කලාව පසුබිම් කර ගත් නවකතාවක් වුවත් එය මෙයට අදාළ වන්නේ එක්තරා දුරකට පමණි. ඒ අනුව මෙම නවකතාව සාම්ප්‍රදායික සටන් ඉතිහාසයෙන් මතුවී අවුත් පසුව නව නාගරික සංස්කෘතියේ හිස් ගැටුම් රැසකට මැදිවෙමින් අවසානයේදී ගැහැනියකගේ ආත්ම ශක්තිය හා සංවේදී භාවය මතුකරමින් ඊට නව හැඩයක් ලබා ගැනීම, කතුවරියගේම වුවමනාව මත සිදුවූවක් ලෙසින් පෙනී යයි. ඒ අනුව ගත් කළ මෙය ඓතිහාසිකව වේවා නව සමාජ දේශපාලනිකව වේවා එවැනි අවශ්‍යතාවක් ඉටු කිරීමක් වෙනුවෙන් ලියූවක් නොවන බව පැහැදිලි වේ.

මක්නිසාද යත් කතුවරියගේ අදහස් දැක්වීමට අනුව එහි එන සියලු සිද්ධි දාමයන් එසේ නිර්මාණය වන්නේ ප්‍රධාන චරිතය වන සසඳරාගේ භුමිකාව වඩාත් ඉහළින් මතු කරදීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමටය යන්න පැහැදිලි වන හෙයිනි. නිදසුනක් ලෙස ඇය විවාහ වන වංගීස ඇයව අත්හැර යන්නේත්, ඔහු නිසා ඇය ගැටුම්කාරි නගරයක සිදුවීම් හමුවේ අසරණ වන්නේත් ආත්ම ශක්තියෙන් යුතු ගැහැනියක ලෙසින් නැඟී සිටීමේ තත්ත්වය සම්පාදනය කිරීමටය. එමෙන්ම ඇයගේ සමාව දීමේ උසස් ගුණය ද මෙම තත්ත්වය තුළින්ම නිරූපණය වන බවක් ද දැකිය හැකිය.

එමෙන්ම පොදු සමාජයෙන් ඈත්ව හුදකලා වූත්, අලංකාර වූත්, නිසංසල වූත් ගම් පියසක වාසය කරන සසඳරා පසුව එක්වනම ජීවිතයේ ගැටුම් සමූහයකට මැදි කිරීමට කතුවරිය ගත් උත්සාහය තුළ සසඳරා වෙනුවෙන් වඩාත් සානුකම්පිත අවධානයක් පාඨක මනස්හී ඇති කිරීමක්ද ඇතැයි යමෙක් සිතන්නේ නම් ඊට විරුද්ධ වීමට අපට නොහැකිය. කතුවරියගේම පෙන්වා දීමට අනුව සසඳරා නම් චරිතය පිළිබඳ විනිශ්චයක් කළ හැකි යම් පාර්ශ්වයක් වේ නම් ඒ පාඨකයාම බව පෙනී යයි.

ජීවිතය උසස් කරවන විඳීම් හා වේදනා

කෘතිය - කඩදාසි ඔරු
කර්තෘ - ප්‍රියංකා අමරතුංග
ප්‍රකාශක- සරසවි ප්‍රකාශනයකි
විමසීම් - 071 446 2799

ඒෂ්යා වීරමන් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක වන මානවී වීරමන්ගේ එකම දියණියයි. තමාට දරුවකු සිටින බව සූක්ෂ්ම ලෙසින් ලෝකයාගෙන් වසන් කරගෙන සිටින මානවී පුවත්පත් සහ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවලදී පවසන්නේ තම දරුවන් වන්නේ තමා රඟ පෑ චිත්‍රපට බවයි. ව්‍යාපාරිකයකු වන ඒෂ්යාගේ පියා ඇය කුඩා කල සිටම ඇය තම දරුවකු නොවන බව පවසමින් ඒෂ්යාට පීඩා කරයි. මොවුන් දෙදෙනා අතරට මැදි වන ඒෂ්යාට කුඩා කල මේ කිසිවක් නොවැටහුණද තරුණ වියට පත් වූ පසු ඇති වන්නේ මහත් මානසික පීඩාවකි. කඩදාසි ඔරු නම් නවකතාවේ කතුවරිය සිනමා රූ ගත කිරීම් සංස්කෘතිය තුළ පවත්නා ව්‍යාජය ද එය සැබෑවක් ලෙසින් ගෙන අවසානයේදී එය තුළම විනාශයට පත්වන මානුෂීය ඛේදවාචකය එහිම අතරමං වූ තරුණ වියේ දැරියක හරහා විකසනය කිරීමට ගත් ප්‍රයත්නයකි මෙහි දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම එකී සංස්කෘතිය තුළදී නිළියක වීමට ගැහැනියක විසින් ගෙවිය යුතු වන්දියත් ඒ නිසා ඇය පත්වන අතරමංවීමත් වඩාත් උත්ප්‍රාසවත් සහ සංවේදී ලෙසින් ඇගේම දියණිය හරහා ප්‍රකාශයට පත් කළ හැකිය යන්න කතුවරියගේ තෝරා ගැනීම වී තිබේ. නිදසුන් ලෙස මානවී නම් සිනමා නිළිය පසුව විවාහ වන ව්‍යාපාරිකයා දැරිය තමාගේ දරුවකු නොවේ යැයි පවසමින් සිදු කරන පීඩනයත් ඇගේ මව වන මානවී ද තමන්ට දරුවකු නැතැයි ලොව හමුවේ පවසමින් කරන්නා වූ රංගනයත් පෙන්වා දිය හැකිය.

ඒ ආකාරයට තමන් නොකළ වරදක් හමුවේ මානසික පීඩාවට පත්වන මානවීගේ දියණිය පසුව ඇගේ මවගේ පවුල් සංස්ථාවටම වාසනාව හෝ වෙනයම් හේතුවක් නිසා හෝ (ඇගේ මව එම පවුලෙන් පිටමං කොට තිබියදීත්) ඇතුළත් වීමට අවස්ථාව ලබයි. තවද ගුරුවරියක ලෙස පත්වීමක් ද ලැබ යම් ස්ථාවර පැවැත්මක් හිමි කර ගන්නා තත්ත්වයක් පාඨකයා හමුවේ විදාරණය වන ආකාරයක් ද දැකිය හැකි නමුත් කෙනකුට සිය අතීත වේදනා පහසුවෙන් අමතක කළ හැකිද යන්නත්, එමෙන්ම කුමන ජයග්‍රහණයක් හමුවේ වුවත් තමන්ගේ ජීවිතයෙන් උකහාගත් සංවේදීතාවන් විසින් ඔහු හෝ ඇයව ගැඹුරු මානසිකත්වයක් කරා ගෙන යන ආකාරයත් කතුවරිය ඉතා හුරුබුහුටි ලෙසින් ගලපා ඇත්තේ මෙසේය. (මේ කතුවරියගේම වචනය. )

“අත්තම්මාගේ මළගමින් පසු ඇගේ ලොකු අම්මා මවට හිමිවිය යුතුව තිබූ දායාදයන් වන වලව්වෙහි සහ ඉඩකඩම්වල ඔප්පු සහිත ලිපිගොනු ඒෂ්යා අතට දෙයි. විස්මය පළ කර ඒවා ප්‍රතික්ෂේප කරන ඇයට දැන ගැනීමට ලැබෙන්නේ තමා මානවීගේ දියණිය බව අත්තම්මා මෑත කාලයේ දැන සිටි බවයි. අකල් වැස්සක් ඇද හැලෙද්දී ලොකු අම්මා සමඟ පිළිසඳරෙහි යෙදෙමින් සිටි ඒෂ්යා තමා අත වූ මව විසින් අත්තම්මාට එවන ලද ලිපියෙන් කඩදාසි ඔරුවක් සාදයි. එය මැද මිදුලේ කාණුවෙන් ගලා යන ජලයෙහි පා කරන ඇය එය දියබත් වී යද්දී උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියි.”

අතීත සාහිත්‍යයෙන් ගත් වර්තමාන යථාර්ථය

කෘතිය - භවනිරෝධ
කර්තෘ - කුමාර සිරිවර්ධන
ප්‍රකාශක- ‍ෙක‍ෙහලි ප්‍රකාශනයකි
විමසීම් - 077 780 0173

නවකතාවක් දේශපාලන අරුතකින් මතුවීම අපට ආගන්තුක දෙයක් නොවේ. ආරම්භයේ සිටම ඒ ඒ කාල වකවානුවලට අදාළව මෙරට පැවති දේශපාලන හැසිරීම් නවකතාවලට පසුබිම් වී ඇත. එය සෘජුව හෝ වක්‍රව ඇතුළත්ව තිබීම කතාකරුවාගේ වුවමනාව මත සිදුවූවකි. ඒ අනුව දේශපාලනයෙන් තොරව සමාජ කියවීමක් ගැන නිකමටවත් සිතිය නොහැකි මෙවැනි කාලයක නවකතාව සහ ‍දේශපාලනය ගැන වෙන වෙනම කතා කිරීම හාස්‍යයක් වීමට ඉඩ ඇත. කුමාර සිරිවර්ධන ගේ හවනිරෝධ නවකතාව ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ ද එවැනි පසුබිමක් තුළය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වි‍ශේෂයෙන්ම කතා කිරීමට එකම හේතුව එය දේශපාලන නවකතාවක් වීමම නොවේ. නවකතාවක් වශයෙන් ගත් කළ එහි එන දේශපාලන අන්තර්ගතය පැරණි සාහිත්‍යයේ ආභාෂයෙන් වර්තමාන දේශපාලනය අපූර්ව ලෙස ඉදිරිපත් කරන ආකාරය මෙහි එන වෙසෙස් තත්ත්වය වේ. එනිසාම එය වෙසෙස් අවධානයකට ලක්වීම නොවැළැක්විය හැක්කකි. මේ පිළිබඳ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ව්‍යක්ත ලෙස සිය අදහස පල කරන්නේ මෙසේය.

භවනිරෝධ 2022 වසරේ අග භාගයේදී කියවන්නට ලැබුණු රසාස්වාදී අනුභූතියක් විණ. රාජ්‍යත්වය, භික්ෂූත්වය මෙන්ම පොදු මහජනතාවගේ පුරවැසි භාවය ද, සකල විධ අපචාර, දුරාචාර විලෝපනයන්ගෙන් ආකුල ව්‍යාකූල වූ ඉදානීන්තනයේ මේ නවකතාව මට අස්වැසිල්ලක් ගෙන දුණි.

මිනිසා වූ කලී ප්‍රිමාටා ලෝකයේ අග්‍රේශර සත්ත්වයාය. ශිෂ්ඨාචාර, සංස්කෘති, ජන සමාජ ගොඩනැඟීමේ ශක්‍යතාව ඇත්තේ මනුෂ්‍යයාට පමණකි. ඉන්දීය සයුරේ කුඩා දිවයිනක දිවි ගෙවන වර්තමාන රටවැසියන් වන අපගේ වසර දහස් ගණනක ඉතිහාසයේ එක් අප්‍රකට අවස්ථාවක් මෙම නවකතාවෙන් ප්‍රකට වෙයි. කුමාර සිරිවර්ධන විසින් මෙහිදී උපයුක්ත භාෂා භාවිතය ඕජෝගුණ බහුල, මනෝරම්‍ය, භාවිත ධ්වනි නංවනුයේ පාඨක මනස රංජනය කරමිනි. භවනිරෝධ නවකතාවේ සන්දර්භය සිද්ධි, අවස්ථා,සංවාද, චරිත නිරූපණ, විශිෂ්ට සාධනීය රසෝජා වියත් කරයි. ප්‍රථම පුරුෂ සර්වවේදී - බහුරේඛීය දෘෂ්ඨි කෝණ ප්‍රවේශය නවකතාවේ මුඛ්‍ය ප්‍රස්තුතය කුළුගන්වනුයේ නිරායාසයෙනි.

ලාංකික ඓතිහාසික ප්‍රබන්ධ කලාවේ විද්‍යාමාන වනුයේ සුපතල රාජරාජ මහාමාත්‍ය, බිසෝවරුන්ගේ කියුම් කෙරුම්ය. රටේ පාලකයන් පත්කර ගැනීමේ රටාවේ භික්ෂුවගේ සෘජු හා වක්‍ර මැදිහත් වීම් රහසක් නොවේ. රජරට ශිෂ්ඨාචාරයේ, අනුරාධපුරය සැදැහැ බැති පෙම උපදවමින් මෙහිදී පසුබිම් වෙයි.

දුටුගැමුණු රජුගේ සොහොයුරා සද්ධාතිස්ස කුමරුන්ගේ පුත් ථුල්ලත්තන, ඔහුගේ වැඩිමල් සොයුරු ලජ්ජිතිස්ස මහා විහාරයේ ථෙරීය සම්ප්‍රදායික භික්ෂුවගේ ආකල්ප, විකල්ප, චර්‍යා මෙහිදී අපට පවසන කතාව වංසකතා මෙන්ම අස්පර්ශනීය සංස්කෘතියේ වාර්තා අතර නවකතාකරුවාගේ භ්‍රති සිත, පරිකල්පනය අපගේ ජීවිතාවබෝධයට ආලෝචනා සපයයි. මානව විද්‍යාවේ සංස්කෘතිය අරබයා ගැනෙන වංශ, කුල, ගෝත්‍ර ආගම්හි එකක් උසස් එකක් පහත් යන මානව කේන්ද්‍රයන්හි ද ප්‍රපංච මෙහිදී මැනවින් ගම්‍ය වෙයි. මෞර්‍ය ලම්බකර්ණ වංශ අතර ගැටුම් මෙහි පිළිබිඹු වෙයි. ඒ සියලු සිදුවීම් මැදින් විශද වන මානව ප්‍රේමයේ ක්ලේශභරිත ස්වභාවය ජීවිතයේ ක්ෂණභංගුර ස්වරූපය, භව ගමන, සාංසාරික පැවැත්ම ඉසියුම් වර්ණාවලීන්ගෙන් නවකතාව පුරා චිත්‍රණය වෙයි. එදාමෙදා තුර මෙරට සමාජ සංස්කෘතික, ආර්ථික, දේශපාලනික ජීවිතයේ සෝදාපාළුව, වටිනාකම්, ධර්මතාවන්හි බිඳ වැටීම, නිසරු බොල් වංචනික ආටෝප සාටෝපවත් බවේ නින්දිතභාවය මෙහිදී අපට පසක් වෙයි. කව් සිළුමිණෙහි කියැවෙන සැළමුතු නුගි නුරා නම් චාටුවෙන් මුක්ත ප්‍රේමයේ ඇලීම් ගැටීම් අපට සිහිකරයි.

බුද්ධඝෝෂ හිමියන් ලියූ විසුද්ධි මාර්ගයේ සඳහන් ජීවිතයේ දශක බෙදීම් අතර ක්‍රීඩා දශකයේ එනම් දොළොස් හැවිරිදි වියේ පටන් ජීවිතයේ හැලහැප්පීම්වලට ගැටලු අභියෝගවලට මුහුණපාන ථුල්ලත්තන කුමරුගේ පුරාවෘත්තය අපට පවසන ඉඟිබිඟි අදට ද සාධාරණය. නවකතා රචකයා උපයුක්ත සංඥා නාම, සිද්ධි අවස්ථාවන්හි වංසකතාදී ඓතිහාසිකමය ප්‍රවෘත්ති සූචනය කරනුයේ ප්‍රබන්ධකරුවා මෙබඳු නිර්මාණයක් කිරීමට ගත් ප්‍රයත්නයේ ප්‍රතිඵල වෙයි.

කඩදාසි හිඟ මුද්‍රණ වියපැහැදම් හා පොතක මිල අධික බව මෙන්ම සහිත්‍ය කලා සෞන්දර්‍යය කලාවෙන් විනිර්මුක්ත සුනරුත් වූ තමන් ගැන පමණක් සිතා සියලු සටකපටකමින් දිවි ගෙවන ජනසමාජයක් වෙත අපි අවතීර්ණ වී සිටිමු. එබඳු අවිචාර සමයක උනුන් ගසාබසා සූරාකන සමාජයක පාඨකයන් වෙත භවනිරෝධ කියවීමෙන් බොහෝ ජීවන සාරාර්ථ, සංඥාර්ථ උකහාගෙන වටිනාකම් සහිත පුද්ගලයකු ලෙස සූර වීර ධීර ගුණෙන් පිබිදීමේ අභිප්‍රාය මේ නවකතාව කියැවීමෙන් පසක් වෙයි. එය උරගා බැලීම අගනා ජීවන අනුභූතියක් වන්නේය.

Comments