බිස්කට් ලොවේ රන් කිරුළ උස්වත්ත ගෝල්ඩන් බිස්කට් | Page 3 | සිළුමිණ

බිස්කට් ලොවේ රන් කිරුළ උස්වත්ත ගෝල්ඩන් බිස්කට්

පුරා වසර 68ක අභිමානවත් අතීතයකට උරුමකම් කියන මෙරට ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයට ද නවමු අත්දැකීමක් ලෙසින් ප්‍රථම වරට දේශීය රසකැවිල්ලක් වශයෙන් “ග්ලූකෝරස” (ජුජුබ්ස්) ද අතුරුපස ආහාරයක් ලෙස “ටිපි ටිප්” ද හඳුන්වා දෙමින් ව්‍යාපාරික ලෝකය තුළ අද්විතීය වෙනසකට මුල පිරුවේ උස්වත්ත කන්ෆැක්ෂනරීස් සමාගමයි. මේ වන විට ලෝකයට ග්ලූකෝරස සන්නාමය(brand) හඳුන්වා දුන් උස්වත්ත සමාගම උසස්ම තලයකට ප්‍රවිෂ්ටව සිටියි. 

වර්තමානයේ රසකැවිලි නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක වැජඹෙන උස්වත්ත ඔවුන්ගේම නවතම පෙරළිකාර නිපැයුම වන “ගෝල්ඩන් බිස්කට්” (Golden Biscuit)) වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට සමත්ව ඇත.

එවකට යහපාලන රජය සමයේ හිටපු අගමැති හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම මිල්ලනියේ රයිගම්පුර කර්මාන්ත පුරයේදී නව කම්හල විවෘත කෙරුණු අතර භාණ්ඩ වෙළෙඳපොළට හඳුන්වා දීම හිටපු කථානායක කරු ජයසූරියගේ අතින් කොළඹ හිල්ටන් හෝටලයේදී සිදු කෙරිණි.

දකුණු ආසියාවේ රසකැවිලි නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින පැරණිම පවුල් සමාගම (Family Company) ලෙස වාර්තාවක් තබමින් 68 වැනි වසර සමරන උස්වත්ත කන්ෆැක්ෂනරීස් වර්ක්ස් හා ගෝල්ඩන් බිස්කට් ලිමිටඩ් හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ සුනිල් කුවින්ටස් පෙරේරා සමාගම පුනරුදය කරා රැගෙන යෑමට අවශ්‍ය අනාගත සැලසුම් සකස් කරමින් සිටී.

සිය පියාණන් දැඩි වෙර වීර්යයෙන් හා දහඩිය මහන්සියෙන් ගොඩනැඟූ උස්වත්ත ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙන යනු විනා එය අතරමඟ නවතා දමන්නට හෝ අගාධයට පත්වන්නට ඉඩ දී නිවීහැනහිල්ලේ බලා සිටීම ඔහුට කළ හැක්කක් නොවීය. එම නිසා තමන් චරිතයක් වනවාට වඩා ව්‍යාපාරය තුළ වැය වීම ඔහු සදාකාලික සතුටක් කර ගත්තේ එහෙයිනි. අත්හැරීමේ පිරිපුන් ගුණය ඔහු සතු වූ නිසාම යළි දිනෙක ඔහු ව්‍යාපාරික ලෝකයේ දිලෙන ඉරබටු තරුවක් බවට පත් කළේය.

ඔහුගේ නැඟී සිටීමේ හා වැටීමේ හා බඩ ගාගෙන ගොස් යළි ධෛර්යයෙන් නැඟිට දෙපා වාරුවෙන් ඇවිද යෑමේ අපූරු කතාව රටක් වටින්නේ එහෙයිනි. එය අන් අයටද මහඟු ආදර්ශයකි. උස්වත්ත කන්ෆැක්ෂනරීස් වර්ක්ස් හා ගෝල්ඩන් බිස්කට් ලිමිටඩ් සමාගම් සමූහයේ පෙර ගමන්කරුවා වූ වත්මන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ උස්වත්ත ලියනගේ සුනිල් කුවින්ටස් පෙරේරා “සිළුමිණ වාණිජ මණ්ඩලී” සංවාදයට මුල පිරුවේ මෙලෙසයි.

උස්වත්ත යන සමාගම් ව්‍යාපාර නාමය ලැබුණේ කෙසේද?

උස්වත්ත යන්න අපගේ පෙළපත් නාමයයි. මෙහි නිර්මාතෘවරුන් මාගේ පියා උස්වත්ත ලියනගේ පැට්‍රික් ජෝෂප් ක්‍රිස්ටෝපර් (ක්‍රිස්ටි) පෙරේරා සහ මහප්පා උස්වත්ත ලියනගේ ප්‍රැන්සිස් පීටර් ඇන්ටන් පෙරේරා. ඒ නිසා තමයි ඒ නම තැබුවේ.

ඔබ සමාගමේ අරමුණ කෙබඳුද?

අප රටේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් ඇතුළු සියලුම පාරිභෝගික භවතුන්ට නිසි ප්‍රමිතියෙන් (Quality) යුත් ගුණාත්මක ආහාර නිෂ්පාදන සාධාරණ මිලකට ලබා දීමයි. ඒ අනුව නව තාක්ෂණය තුළින් හොඳම භාණ්ඩ නිපදවා වෙළෙඳපොළට ඉදිරිපත් කොට ලොකු පොඩි සැමට එක සේ රස විඳීමට අවකාශ සැලසීමයි.

එය ඉටුවී තිබෙනවාද?

සත්තකින්ම ඔව් වසර 68 ක කාලයක් අප වෙළෙඳපොළ තුළ අංක එකට රැඳි සිටීමෙන්ම ඒ බව මනාව ඔප්පු වෙනවා.

ව්‍යාපාරය ඇරඹූ ආකාරය පැහැදිලි කළහොත්?

මාගේ පියා රැකියාව කළේ ලංකාවට ජෙලටින් කලරින් සහ ග්ලූකෝස් වැනි අමුද්‍රව්‍ය ආනයනය කළ කලම්බු ඒජන්සීස් සමාගමේ ගබඩා භාරකරු ලෙසයි.සේවය කරන අතරතුර පියාගේ රැකියාව තාවකාලිකව අත්හිටුවනවා. රැකියාවෙන් ඉවත් වීමෙන් පසුව එදා 1956 ජීවත් වූ මොරටුවේ කුලී නි‌ෙවසින් පටන් ගත් පුංචි ව්‍යාපාරය තමයි “ග්ලූකෝරස සමාගම”. පසුව ඔහුව නැවත රැකියාවට කැඳවූවත් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඒ සමාගම තාත්තාට කැමැත්තෙන්ම අමු ද්‍රව්‍ය ණයට ලබා දුන්නා. තාත්තා ටිකෙන් ටික ඔළුව ඉහළට එස වූවා. ඉල්ලුම් එන්න එන්නම වැඩිවෙනකොට එයාගේ අයියාවත් ඊට සම්බන්ධ කර ගත්තා. මුලින් පයින් කඩවලට ගොසින්ද පසුව පා පැදියෙන් ද ඊට පසුව මෝටර් රථයෙන් හා වෑන් රථවලින් ද අලෙවිය පටන් ගත්තා.

එතකොට මුලින්ම ජුජුබ්ස් හැදුණේ කොහොමද?

විවාහයෙන් පසුව යෙදුණු තාත්තාගේ මුල්ම උපන් දිනේට අම්මා ‘ටර්කිස් ඩිලයිටි’ කියන අතුරුපස හදන්න ගිහින් පදම වැරදුණාම හැදුණු දේ තමයි ජුජුබ්ස්. “මේක නම් හොඳට කෑලිවලට කපලා පැකට් කර කඩවලට දාන්න නම් හොඳයි” කියලා නිකමට කිව්වම තාත්තාට රැකියාව අහිමි වුණාට පස්සේ ඒක යළි සිහියට ඇවිත් ඒ දේ කරන්න පටන් ගත්තේ. නොසිතූ විදිහට රසකැවිල්ල විකිණෙන්නට පටන් ගත්තා. සුවිසල් ව්‍යාපාරයක් බවට පත් වූයේ ඒ පුංචි ව්‍යාපාරයයි.

උස්වත්ත ව්‍යාපාරය පවුලේ ව්‍යාපාරයක් වුණේ කොහොමද?

මුලින්ම මගේ තාත්තයි මහප්පත් ඊට පස්සේ ඒ අයගේ දෙවැනි පරම්පරාවේ දරුවන් වන අපි ඊට සම්බන්ධ වුණා. දැන් අපේ දුවල පුතාලා තෙවැනි පරම්පරාවත් ව්‍යාපාරයට අවතීර්ණ වෙලා. දැන් සමාගමේ සියයට 80 ක බහුතර කොටස්වල හිමිකාරිත්වය මා සතුයි. වර්තමානයේ මාගේ දුව සුහන්‍යා පෙරේරාත් පුතා ශනුර පෙරේරා හා බාලම පුතු සංඛ පෙරේරාත් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ක්‍රියා කරනවා. එලෙසයි මා සභාපති ධූරයට පත් වන්නේ.

ඔබට සමාගම පසුබෑමට ලක්වූ ආකාරය මතකද?

ඔව්. 1956දී ඇරඹුණු කර්මාන්තය 1961දී රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ ඉදිකළ අපේම කර්මාන්ත ශාලාවක ස්ථාපනය කළා. 1977 විවෘත ආර්ථිකය උදාවීමත් සමඟ ඉතා ඉහළ දියුණුවක් කරා ගමන් කළේ තම නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට හඳුන්වා දෙමිනුයි. 1998 අගෝස්තු මාසයේදී මගේ පියාගේ හදිසි වියෝගයෙන් පසුව විඳදරා ගත නොහැකි ඛේදනීය අත්දැකීම් රැසකට මුහුණ පෑමට සිදු වුණා. මේ තුළ ඇති වූ ආර්ථික උද්ධමනය බෙහෙවින් අපට බලපෑවා. මූල්‍ය ශක්තිය දුර්වල වූ විට බැංකු අපට පිටුපෑවා. 2007 දී සමාගමේ කොටස්කරුවන්ගේ ඉල්ලීම මත ආයතනයේ පරිපාලනය මවිසින් භාරගෙන මෙහෙයුම් කටයුතු දියත් කළා. රත්මලාන කම්හල ටොයොටා ලංකා ආයතනයට විකිණීමට සිදු වුණා. අපට පිළියන්දල ගොරකපිටිය කම්හලට යෑමට සිදු වුණා. එතැනින් අප අද සිටින මිල්ලනියට පරිපාලනය ගෙන ගොස් එය ඉතා සාර්ථකව කර ගෙන යනවා.

සමාගම වෙනුවෙන් කළ විශාලම කැප කිරීම කුමක්ද?

සමාගම වැසී යෑමට ඉඩ නොදී ගොඩගෙන ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් මට මාගේ රත්මලානේ නිවෙස පවා බැංකුවට උකසට තබන්න සිද්ධ වුණා. මගේ දුවගේ නමට නුගේගොඩින් මිලදී ගෙන තිබුණු පර්චස් 20ක විශාල ඉඩම විකුණා දැමීමට සිද්ධ වුණා. කාලයත් ශ්‍රමයත් ධනයත් ව්‍යාපාරය වෙනුවෙන් ජීවිතය පවා කැප කරන්නට තරම් සූදානම් මිනිහෙක් මම. ඒ ගැන දෙවරක් මං හිතන්නේ නැහැ. දේවාශිර්වාදයෙන් මට ලැබුණු මේ දේවල් හැම එකක්ම මං අදටත් භුක්ති විඳින්නේ මේ ව්‍යාපාරයට පින් සිදුවන්නටයි.

ඔබගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පළපුරුද්ද කෙබඳුද?

ඉස්කෝලේ ඇරිලා පුංචි කාලේ මං ගෙදර ආපු ගමන් බෑග් එක තියලා දුවන්නේ පැක්ටරියට. රසකැවිලි හදන හැටි, මැෂින් වැඩ කරන හැටි දිහා සතුටින් බලන් හිටියා. කොටින්ම මා හැදුණේ වැඩුණේ මේ පැක්ටරිය ඇතුළෙයි. උසස් පෙළින් පසුව තාත්තා මට මේක නිකම්ම දුන්නේ නැහැ. මගේ මුල්ම රැකියාව වුණේ 1978 දී කම්පැනියේ මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහටයි. එදා එතැන ඉඳලා දුර ගමනක් ඇවිදින් තමයි අද සභාපතිකම දක්වා උඩට ආවේ. මේ පැක්ටරියේ කැරකෙන හැම මැෂින් එකකම ඇණයක් මුරිච්චියක් ගානේ මං අතපත ගාලා තියෙනවා. කැඩුණම ඒවා හැදුවේ මමමයි. පුරා වසර 45ක අත්දැකීම් සම්භාරයක් මට තියෙනවා.

අධ්‍යාපනික පදනම කොහොමද?

මා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙක්. උසස් පෙළින් පසුව වෙළෙඳ හා අලෙවිකරණය මෙන්ම ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශාල දැනුමක් ලැබුවා. අනෙක ඇමරිකාවේ Wisconsin Madison University යේදී Confectionery පිළිබඳ ඩිප්ලෝමා උපාධියක් ලංකාවෙන් ලබා ගෙන ඇත්තේ මා පමණයි.

ඔබ සමාගමේ සිදු කළ සාර්ථක වෙනස්කම් මොනවාද?

සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස මා පත්වන්නේ 1980 දී. ඒත් එක්කම මට නිෂ්පාදන අංශය පැවරුණා. මම තමයි මැදට පැණි දමපු “පැණි මෝල්ට්” ටොපිය මුලින්ම හැදුවේ. වේෆර්ස් බිස්කට් නිෂ්පාදනයට හා බෙදා හැරීමේ ජාලයට නව මුහුණුවරක් හඳුන්වා දුන්නා. වසර 2-3ක් ඇතුළත අලෙවිය දෙතුන් ගුණයක් ඉහළ නැංවූවා. ඉදිරි කාලයේ නැවතත් “පැණි මෝල්ට්” ටොපිය රසවත්ව නිපදවනවා. තාත්තාගේ වියෝවෙන් වසරකට පසුව ඔහුගේ මිලාන වු සිහිනය සැබෑ කරවමින් ගෝල්ඩන් බිස්කට් කම්හල ඉදිකර බිස්කට් නිෂ්පාදනයට අත ගැසුවා.

2015 අගෝස්තු මාසයේ දී අපගේ නව කර්මාන්තශාලා සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් බණ්ඩාරගමදි විවෘත කළා. එම වසරේ සැප්තැම්බර් මාසයේදීම නව බිස්කට් කම්හලට මුල්ගල් තබනු ලැබුවා.

දියුණුවට ඔබ අනුගමනය කරන ව්‍යාපාරික මූලධර්ම මොනවාද?

ගැටලු සාකච්ඡා කර සාමූහිකව ප්‍රශ්න විසඳා ගැනීමත් අනවශ්‍ය වියදම් අඩු කර හෝ ඒවා සහමුලින්ම නතර කර දැමීම මෙන්ම පරිපාලනය ක්‍රමවත්ව කිරීම ඉල්ලුමට සරිලන පරිදි භාණ්ඩ සැපයීම ණය මනාව පරිපාලනය කිරීම හා අවංකව සේවය කිරීමත් ක්‍රියාවෙන් ආදර්ශවත් වීම හා යහපත් විනයක් පවත්වාගෙන යෑම එකී මූලධර්මවලට ඇතුළත්.

ව්‍යාපාරය තුළ ඔබ අපේක්ෂා කරන්නේ ලාභයමද?

මොනම හේතුවක් නිසාවත් සියයට හතක ලාභයකින් අඩුවට මම කිසිම භාණ්ඩයක් විකිණිමට සූදානම් නැහැ. ඒ වගේම ලාභය පසුපස හඹා යන්නෙත් නැහැ. අලාභයට භාණ්ඩ අලෙවි කර වෙළෙඳපොළ අල්ලන උපක්‍රම මා ළඟ නැහැ. (Quality) කොලිටිය තමයි මම මුලටම සලකන්නේ.

එය තරගකාරී වෙළෙඳපොළ තුළ කළ හැක්කක්ද?

ඔව්, මම දැනටමත් මිලියන 500 කට වැඩි භාණ්ඩ අලෙවියක් සිදු කරනු ලබන්නේ අත්පිට මුදලට පමණයි. ණයට දෙනවා නම් ඊට ඉහළ අගයක් කරා යන්නට පුළුවනි. ප්‍රමිතියෙන් ඉහළ නම් පාරිභෝගිකයන් අප ළඟ හැමදාම රැඳී සිටිනවා.

ඔබට දැන් ක්ෂේත්‍රයේ මුහුණ පෑමට ඇති ගැටලු මොනවාද?

මාගේ පියාගේ සභාපතීත්වයෙන් මෙයට 30 වසරකට පෙර පිහිට වූ ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ මා හිටපු සභාපතිවරයා හා ව්‍යාපාරිකයකු වශයෙන් අපට විශාල වශයෙන් මුහුණ දීමට තිබෙන ගැටලුව තමයි අද රට තුළ පවතින ආර්ථික අර්බුදය හා විනිමය හිඟය හේතු කොටගෙන අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි වීමත්, ඩොලරයේ ඉහළ අගය නිසා නිෂ්පාදනවල මිල ඉතා අධික වීමත් එමඟින් පාරිභෝගිකයාට ඒවා මිලදී ගැනීම අපහසු වීම යන කරුණු.

දැනට නිපදවෙන භාණ්ඩ මොනවාද?

දැනට භාණ්ඩ වර්ග 20ක්, ඇසුරුම් වර්ග 100කට ආසන්න ප්‍රමාණයක් නිපද වෙනවා. ග්ලූකෝරස, ජුජුබ්ස්, ටිපිටිප්, වේෆර්ස්, ජෙලි, මාස්මෙලෝස්, ටොෆි, ලොලි පොප්ස්, පෙපර්මින්ට් හා බිස්කට් ඇතුළු රසකැවිලි වර්ග රාශියක් නිපදවෙනු ලබනවා.

වත්මන් නිෂ්පාදන ධාරිතාව කොපමණද?

මසකට මෙට්‍රික් ටොන් 500ක් විතර නිපදවනවා. ටිපි ටිප් හා ග්ලූකෝරස ඇතුළු රසකැවිලි වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් සියයට 80ක් පමණ සපුරාලනවා. මීට අමතරව බිස්කට් මෙට්‍රික් ටොන් 300ක් විතර නිපද වෙනවා.

නිෂ්පාදන ඉහළ දැමීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග?

නවීන පරිගණක තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර රාශියක් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කළා. මේ වන විට 800 කට අධික පිරිසක් සේවයේ නිරත වෙනවා. වක්‍රව ඊට සම්බන්ධ පිරිස 3,000කට අධිකයි. සේවකයන්ගේ පවිත්‍රතාව හා සෞඛ්‍ය සුරක්ෂිත භාවය පිළිබඳ පරීක්ෂාවට භාජනය කරනවා.

ලබා ඇති තත්ත්ව සහතික හා සම්මාන මොනවාද?

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රදානය කරන ලද Supper Brand සම්මානයට අමතරව දේශීය වශයෙන් ITI රජයේ කාර්මික තාක්ෂණික ආයතනය මඟින් ලබා දෙන ලද සහතිකය වැදගත්. ISO – 22000:2018 FSMS,GMP,HACCP certified company බස්නාහිර පළාතේ තෝරාගත් කම්හල් 16 අතුරින් හොඳම එකක් ලෙස අපව තෝරා ගෙන ඒ සඳහා සමාජ සංවර්ධන පදනම යටතේ සම්මානයක් ද ලැබී තිබෙනවා.

බෙදා හැරීමේ කටයුතු සිදු වන්නේ කෙසේ ද?

විදේශ රටවල භාණ්ඩ බෙදා හැරීමට අමතරව දිවයින පුරාම උතුරු නැඟෙනහිර ඇතුළුව භාණ්ඩ බෙදා හැරීමේ පුළුල් අලෙවි ජාලයක් අප සතුයි. ඊට 200කට අධික නියෝජිත ආයතන සංඛ්‍යාවක් හා ක්ෂේත්‍ර අලෙවි නිලධාරීන් 300ක් පමණ ඇතුළත්.

නවතම ගෝල්ඩන් බිස්කට් කම්හල ගැන සඳහන් කළොත්?

ජනපති හා අගමැති දෑතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මිල්ලනිය කර්මාන්ත කලාපයේ ස්ථාපනය කරන ලද පූර්ණ ස්වයංක්‍රීය පරිගණක ගත අමුද්‍රව්‍ය මෙහෙයුම් පද්ධතියක් නිෂ්පාදන ක්‍රියාවලියට හඳුන්වා දීම තුළින් උස්වත්ත නිෂ්පාදනවල ගුණාත්මක භාවයත්, සෞඛ්‍ය ආරක්ෂිත භාවයත්, අති උසස් තත්ත්වයෙන් පවත්වා ගෙන යෑම එය සතු සුවිශේෂ ලක්ෂණයක්.

නිෂ්පාදිත බිස්කට් වර්ග මොනවාද?

මේ වන විට බිස්කට් වර්ග 14ක් රස වර්ග 20කින් සමන්විතව හැඩතල කිහිපයකින් පරිපූර්ණ අති උසස් තත්ත්වයෙන් හඳුන්වා දී තිබෙනවා. නවතම ක්‍රීම් ක්‍රැකර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන්නා වූ ලැමිනේටර් යන්ත්‍රය මඟින් තට්ටු 12 දක්වා තැවරීමෙන් උසස් රියල් ක්‍රීම්ක්‍රැකර් බිස්කට්, රියල් මාරි හා රියල් ලෙමන් පෆ් මෙම යන්ත්‍රයෙන් නිපද වූවා.

සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ප්‍රචලිත බිස්කට් අතරට චොක්ලට් ක්‍රීම් ද නයිස් සහ ලෙමන් පෆ් එක්කර තිබෙනවා. මීට අමතරව ලෝකයේ ප්‍රථම වතාවට ධාන්‍ය වර්ග 9ක් මිශ්‍ර කරමින් ක්‍රැකර් බිස්කට් එකක් “මන්නා” (දිව්‍යමය භෝජනය) යන අනුවර්ථ නාමයෙන් හඳුන්වා දී තිබෙනවා. මෙරට පාරිභෝගික ජනතාවගේ ඉහළම ප්‍රතිචාරය ඊට ලැබී ඇති අතර ඒවා දැන් විදේශීය වෙළෙඳපොළේ එංගලන්තය, කැනඩාව, නවසීලන්තය, ඉතාලිය, ප්‍රංශය, සීසෙල්ස්, ඉන්දියාව හා මාලදිවයින ආදී රටවලට අපනයනය කරනවා.

ඔබෙන් ලද හැකි උසස් ජීවන ආදර්ශය කුමක්ද?

මාගේ ජීවිතයේ වැදගත්ම තේමා පාඨය වනුයේ “Never give up” යන්නයි. ජීවිතයේ අන්ත අසරණ තත්ත්වයට වැටුණු මිනිසෙකුට වුවත් ආත්ම ධෛර්යය තිබේ නම් යළි නැඟී සිටින්නට පුළුවන්. ඊට අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය සත්‍යවාදී බව, කැපවීම හා උත්සාහයයි. එය මට හොඳින් තිබුණා. මෙය කාටත් මහඟු ආදර්ශයක්.

ගාමිණි රූපානන්ද

Comments