
- වසර 3ක් හමුදා සේවයේ
- ගැවසෙන්නේ කැසිනෝ ශාලාවල
වෙබ් අඩවි 'හැක්' කරන පුද්ගලයන් හෙවත් 'හැකරුන්' ගේ ක්‍රියා මෙරටට ද ආගන්තුක නැත. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක වෙබ් අඩවිවලට ඉතා සුක්ෂමව පිවිස ඒවායේ දත්ත වෙනස් කිරීමේ සිදුවීම් ගණනාවක් ද පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා විය. මේ 'හැකරුන්' අතර පාසල් සිසුන් ද සිටීම සුවිශේෂිය. පාසල් සිසුන් සම්බන්ධවු එවැනි ක්‍රියා රැසක් ද පසුගිය කාලයේ වාර්තා විය. රහස් පොලිසියේ පරිගණක අපරාධ
විමර්ශන ඒකකය බිහි වන්නේ ද මෙරට සිදුවන පරිගණක අපරාධ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීම නිසාය. පරිගණක අපරාධ විමර්ශන ඒකකය සඳහා වෙනම අධ්‍යක්ෂවරයකු සහ දක්ෂ නිලධාරීන් පිරිසක් අනියුක්ත කරන්නේද පරිගණක අපරාධ මර්දනය පිණිසය.
රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය බිහි වීමෙන් අනතුරුව ඊට ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ වන විට විමර්ශනය කර අවසානය පරිගණක අපරාධ සිදු කළ පුද්ගලයන් රැසක් ද අත්අඩංගුවට ගෙන නීති මඟින් ක්‍රියා කර ඇත. තත්ත්වය මෙසේ තිබියදීත් පරිගණක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් සිය ක්‍රියාව නොනවත්වා සිදු කරගෙන යෑම විමතියට කරුණකි. ඒ ඇතැමුන් සිදු කරන පරිගණක අපරාධ වලින් ඔවුනට රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ගත හැකි නිසාය.
රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගියදා අත ගසන්නේ ඉතාම සුවිශේෂී විමර්ශනයකටය. ඒ විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියට රහසිගතව රිංගු පුද්ගලයකු රුපියල් කෝටි දහයකට අධික බිල්පත් වංචාවක් සිදු කිරීම සම්බන්ධවය.
මෘදුකාංග භාවිත කර මෙම දැවැන්ත වංචාව සිදු කර තිබුණේ ඉතාම සියුම්ව සහ සුක්ෂම ආකාරයටය.
මේ බිල්පත් වංචාව ගැන විදුලිබල මණ්ඩලය දැන ගන්නේ එම වංචාව සිදු කර මාස තුනකට පසුව වීම ද විශේෂය.
විදුලිබල මණ්ඩලයට මාර්ගගත ගෙවීම් සහ බැංකු වෙත බැරවූ මුදල් පිළිබඳ නිරීක්ෂණය කරද්දි එහි පැහැදිලි වෙනසක් ගැන එහි ගිණුම් අංශ නිලධාරීන්ට පෙනී යන්නේ පසුගිය දිනකය. සැප්තැම්බර් 18 සහ නොවැම්බර් මාසයේ 25 වැනිදා විදුලිබල මණ්ඩලයට මාර්ගගත ගෙවීම් 400කින් පමණ ලැබිය යුතු මුදල් සහ බැංකු වෙත බැරවූ මුදල් අතර මේ බරපතළ වෙනස ගිණුම් අංශයේ නිලධරයන් විසින් එසේ අනාවරණය කර ගන්නා ලදී.
ගිණුම් අංශයේ නිලධාරීන් ඒ ගැන විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.
විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය එහි තොරතුරු තාක්ෂණ අංශයේ නිලධරයන්ට දැනුම් දෙන්නේ මේ ගැන විමර්ශනයක් ඉක්මනින් සිදු කරන ලෙසය. ඉන් අනතුරුව තොරතුරු තාක්ෂණ අංශයේ නිලධරයන් මේ ගැන සිදු කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ බරපතළම කාරණාවකි. එනම් විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ 'ගෙවීම් අංශයේ දොරටුව' පරිගණක හැක්වරුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවය. සියලු දෙනා තිගැස්සෙන සුලු මේ ප්‍රවෘත්තියෙන් අනතුරුව ඒ ගැන තවදුරටත් විමර්ශන සිදු කැරිණි.
එහිදී හෙළි වන්නේ 'ඔන් ලයින්' ක්‍රමයට ගෙවිය නොහැකි රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක මුදලක් ඔන් ලයින් ක්‍රමයට විදුලිබල මණ්ඩලයට ගෙවා ඇති බවය. විදුලිබල මණ්ඩලයට ඔන් ලයින් ක්‍රමයට ගෙවූ බිල්පත් ගැන සොයා අන්තර්ජාලය පිරික්සද්දී තාක්ෂණික නිලධාරීන් මේ බව සොයා ගත්තේය. මේ ගැන බරපතළ සැක සංකා මතු වීම නිසා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.එෆ්. අබේසේකර පැමිණිලි කරන්නේ සර්ට් හෙවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටය. එම පැමිණිල්ල ඉන් අනතුරුව යොමු කැරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයටය.
මේ පැමිණිල්ල ලැබුණු වහාම ක්‍රියාත්මක වූ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මේ ගැන විමර්ශන බාර කරන්නේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ය. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රීගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කණ්ඩායමක් මේ සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කරන්නේ ඒ වන විට විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සොයා ගෙන තිබුණු තොරතුරු ද පරීක්ෂාවට ලක් කරමිනි.
නොවැම්බර් මාසයේ 28 වැනිදා විදුලිබල මණ්ඩලය සිදු කරන ලද පැමිණිල්ල ද මුල සිටම විමර්ශනය කළ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ නිලධරයන් ඊළඟට කරන්නේ මේ සිද්ධිය ගැන මුල සිටම දීර්ඝ විමර්ශනයක් ආරම්භ කිරීමය.
විදුලිබල මණ්ඩලයට මාර්ගගත ගෙවීම් ක්‍රමය ඔස්සේ මුදල් බැර කළ එහෙත් එම මුදල් බැංකු ගත නොවුණු ගෙවීම් 400ක් ගැන රහස් පොලිසියේ සුවිශේෂි අවධානය මුලින්ම යොමු විය. මේ ගෙවීම් ලැයිස්තුව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් රහස් පොලිසිය වෙත ඒ වන විටත් යොමු කර තිබිණි.
මේ ගෙවීම් ලැයිස්තුව ගැන ඉතා හොඳින් අධ්‍යයනය කරන රහස් පොලිස් නිලධාරීන් හෙළි කර ගන්නේ ඒ අතර රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් ගෙවූ අයකු ද සිටින බවයි. ඔහු ගැන සොයා බලන රහස් පොලිස් නිලධරයන් අනාවරණය කර ගන්නේ අදාළ පුද්ගලයා පොලොන්නරුවේ සිටින අයකු වන අතර ඔහු ඉන්දියන් ජාතිකයකු බවටය.
රහස් පොලිස් නිලධාරීන් ඉන් අනතුරුව සිදු කරන්නේ ඉතා සියුම් සහ සුවිශේෂී උපක්‍රම භාවිත කර අදාළ ගෙවීම් සිදු කළ පාරිභෝගිකයන් හඳුනා ගෙන ඔවුන්ගෙන් මේ ගැන ඉතා වැදගත් තොරතුරු ලබා ගැනීමයි. රුපියල් කෝටි එකහමාරක මුදල් මාර්ග ගත ක්‍රමයට බැර කළ ඉන්දීය ජාතිකයාගෙන් ද රහස් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර තොරතුරු සොයා ගන්නේ ඒ අනුවය.
මේ පාරිභෝගිකයන්ගෙන් රහස් පොලිසිය ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කරද්දී ඉතා වැදගත් තොරතුරක් හෙළි විය. ඒ එම පාරිභෝගිකයන් මාර්ග ගත ක්‍රමයට විදුලිබල මණ්ඩලයට ගෙවීම් කරද්දී 25% ක පමණ වට්ටමක් ඔවුන්ට ලැබී ඇති බවය.
මේ පාරිභෝගිකයන්ට 25% වට්ටමක් විදුලි බිල් පත් සඳහා ලබා දුන් පුද්ගලයා කව්ද? ඔහු සොයා ගැනීම රහස් පොලිසියේ ඊළඟ මෙහෙයුමයි. මේ පුද්ගලයා එසේ මෙසේ අයකු නොවන බව රහස් පොලිස් නිලධාරීන් ඒ වන විටත් දැන සිටියේ ඔහු ඉතා සූක්ෂමව සිදු කළ මූල්‍ය වංචාව සුළු පටු අයකුට සිදු කළ නොහැකි එකක් නිසාය.
පාරිභෝගිකයන්ට 25% වට්ටම ලබා දුන් පුද්ගලයා මේ මහා මූල්‍ය වංචාවේ 'මහ මොළ කාරයා' විය හැකි බව රහස් පොලිස් නිලධරයන් ඒ වන විටත් අනුමාන කර තිබිණි. ඔහු අල්ලා ගැනීම සඳහා ඉතා සුක්ෂම මෙහෙයුමක් සිදු කැරෙන්නේ ඉන් පසුවය.
රහස් පොලිස් නිලධාරීන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී මේ 'මහ මොළකාරයා' ගැන ඉතා වැදගත් තොරතුරු හෙළි විය. 26 හැවිරිදි පුද්ගලයකු වන ඔහු හම්බන්තොට දිසාවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු මුලින් සොයා ගැණිනි. හිටපු හමුදා සෙබළකු වන ඔහු මේ වන විට කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින බව ද රහස් පොලිස් නිලධාරීන් හෙළි කර ගන්නේ ඉතා සියුම් විමර්ශනයකින් ලබා ගත් තොරතුරු වලිනි.
මේ පුද්ගලයා ගැන තොරතුරු සොයන රහස් පොලිස් නිලධාරීන් සොයා ගත් සුවිශේෂීම තොරතුර වූයේ ඔහු කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ මධ්‍යස්ථානයක සහ රාත්‍රී සමාජ ශාලාවල නිතර ගැවසෙන අයකු බවය.
මේ පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ සිටින නිශ්චිත ස්ථානය ගැන රහස් පොලිස් නිලධාරීන් ඒ වන විටත් තොරතුරු හෙළි කරගෙන තිබිණි. ඒ අනුව ඔහු රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වන්නේ පසුගිය 27 වැනිදා සවසය.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කෙරෙන්නේ එතැන් සිටය. විදුලිබල මණ්ඩලයට මාර්ග ගත ගෙවීම් ඔස්සේ සිදු කළ රුපියල් කෝටි දහයක් පමණ බිල්පත් වංචාවේ සිද්ධිය මුල සිටම හෙළි වන්නේ එහිදීය.
තුන් වසරක් පමණ යුද හමුදා සේවයේ නිරතව සිටි බව කියන මේ සැකකරු අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබු අයෙකි. ඔහු කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.
මේ අතර ඔහු අන්තර්ජාලය පරිහරණය කළේ කිසියම් ශිල්පයක් හැදෑරීම සඳහාය. ඕනෑම හොර වැඩක්, මංකොල්ලයක්, වංචාවක් සිදු කරන අයුරු අන්තර්ජාලය පිරික්සද්දී සොයා ගත හැකි මේ කාලයේ ඔහු සොයන 'ශිල්පය ද' වැඩි මහන්සියක් නොමැතිව සොයා ගත හැකි විය. ඒ අන් කිසිවක් නොව 'වෙබ් අඩවි හැක්' කිරීමේ ශිල්පයයි.
අන්තර්ජාලය හොඳින් පරිශීලනය කළ මේ සැකකරු 'වෙබ් අඩවි හැක්' කිරීමේ ශිල්පය ඉතා හොඳින් ප්‍රගුණ කළේ ඉදිරියේදී තමන් සිදු කිරීමට සැලසුම් කරන වංචනික ක්‍රියාව ගැන ද හොඳින් සිතේ ධාරණය කරගෙනය.
තමන් මේ වෙබ් අඩවි හැක් කිරීමේ ශිල්පය 'ප්‍රගුණ' කිරීමට උපයෝගී කරගත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යජාලා ගිණුම් කිපයක තොරතුරු ඔහු රහස් පොලිසියට හෙළි කරන්නේ ඉන් අනතුරුවය.
මොහු මේ සා විශාල මුදලක් විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හැක් කර වංචා කළේ කෙසේද යන්න සොයා ගැනීම විමර්ශන නිලධාරීන්ගේ ඊළඟ පියවර විය.
විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ මාර්ගගත ගෙවීම් දොරටුවේ තාක්ෂණික දුර්වලතාවයන් හඳුනා ගන්නා සැකකරු ඉන් ප්‍රයෝජන ගෙන ඊට ප්‍රවිෂ්ට වී ඇති බව රහස් පොලිස් නිලධාරීන් හෙළි කරන්නේ ඉන් අනතුරුවය.
විදුලිබල මණ්ඩලයට මාර්ගගත ක්‍රමයට මුදල් ගෙවීම සඳහා යම් පුද්ගලයන් සොයා ගැනීම සඳහා මේ සැකකරු භාවිත කළේ අපුරු උපක්‍රමයකි. ඒ රාත්‍රී සමාජ ශාලාවල සහ කැසිනෝ ශාලාවල බොහෝ වේලා ගැවසීමය.
මෙලෙස ඒවායේ ගැවසෙන අතරේ ඊට පැමිණෙන ධනවත් පුද්ගලයන් දැන හඳුනා ගෙන ඔවුන් සමඟ මිත්‍රකමක් ගොඩනඟා ගන්නා සැකකරු එම පුද්ගලයන්ට පවසන්නේ මාර්ග ගත ක්‍රමයට විදුලි බිල විදුලිබල මණ්ඩලයට ගෙවනවා නම් තමාට ඒ සඳහා 25% ක පමණ වට්ටමක් ලබාදිය හැකි බවය.
සැකකරු වැඩි පුර ඉලක්ක කර තිබුණේ ව්‍යාපාරිකයන්ය. ඔවුන්ගේ විදුලි බිල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වැඩි බව ඔහු හොඳින්ම දැන සිටියේය.
කැසිනෝ ශාලා සහ රාත්‍රී සමාජ ශාලාවලට පැමිණෙන ඇතැම් ව්‍යාපාරිකයන් සමඟ සමීප සබඳතාවක් මේ ලෙස ගොඩනඟා ගන්නා සැකකරු ඉන් අනතුරුව ඔවුන්ට පවසන්නේ කැසිනෝ සූදුව සඳහාම මෙරටට පැමිණෙන 'සුවිශේෂි විදේශිකයකු' තමන්ගේ මිතුරකු බව සහ ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කර කැසිනෝ සුදුවේ නිරත විය නොහැකි නිසා රුපියල්වලින් එම විදේශිකයාට මුදල් ගෙවු විට ඒ මුදලට වැඩි ප්‍රමාණයකින් මාර්ගගත ක්‍රමයට ඕනෑම කාර්යයක් සඳහා මුදල් ගෙවිය හැකි බවකි. මේ සඳහා තමන්ට ලොකු කොමිස් මුදලක් ද ලැබෙන බව ඔහු සඳහන් කරන්නේ ඒ අතරේදීය.
මේ ක්‍රමයට විදුලි බිල්පත් ගෙවන ලෙස ඔහු තමන් හඳුනා ගත් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ඉන් අනතුරුවය. එලෙස මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවන විට ඒ සඳහා 25% ක වට්ටමක් ලබා දීමේ හැකියාව ද තමන්ට ඇතැයි ඔහු එම ව්‍යාපාරිකයන්ට පෙන්වා දෙන්නේ එහිදීය. මෙලෙස 25% වට්ටමක් ලබා දීමට හැකි වන්නේ තමාට ලැබෙන කොමිස් මුදල නිසා බව ද ඔහු ව්‍යාපාරිකයන්ට පවසන්නේ සැකයක් ඇති නොවන ලෙසය.
එලෙස යම් ව්‍යාපාරිකයකු සමඟ එකඟතාවයට පැමිණෙන සැකකරු අදාළ ව්‍යාපාරිකයාගේ විදුලි බිල්පත තමන්ගේ මුදලින් ගෙවන බව පෙන්වන්නේ ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනා ගැනීමටය. එහෙත් ඔහු සත්‍ය වශයෙන්ම සිදු කරන්නේ විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය 'හැක්කර' ඊට රිංගා විදුලිබිල ගෙවීම් එහි සටහන් කිරීමය.
ඉන් අනතුරුව ව්‍යාපාරිකයා අමතන සැකකරු ඔහුට පවසන්නේ තමා පැවසු පරිදි ව්‍යාපාරිකයාගේ විදුලි බිල ගෙවා දැමූ බවත් අවශ්‍ය නම් අන්තර්ජාලයට ගොස් එම ගෙවීම් පිරික්සිය හැකි බවත්ය.
එවිට අන්තර්ජාලය පිරිස්සන ව්‍යාපාරිකයා දැන ගන්නේ තමාගේ නමින් විදුලිබල මණ්ඩලයට ගෙවීමක් සිදු කර ඇති බවය. ඉන් අනතුරුව ව්‍යාපාරිකයා සැකකරුට මුදල් ලබා දෙන්නේ 25% ක වට්ටමක් ද ලබා ගනිමිනි.
සැකකරු මේ විදියටම මාර්ගගත ක්‍රමයට බිල්පත් ගෙවු 400ක ගෙන් පමණ මුදල් ලබා ගෙන තිබුණු බව රහස් පොලිස් නිලධරයන් සොයා ගන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදීය.
මාස තුනක පමණ කාලයක් තිස්සේ සිදු කරන ලද මේ ක්‍රියාවෙන් ඔහු සිදු කරන ලද බිල්පත් වංචාවේ මුදල රුපියල් කෝටි 10කි.
සැකකරු මේ වංචාව සිදු කිරීම සඳහා රට පුරා තමන්ගේ නියෝජිතයන් ද පත් කරන්නේ ඉන් අනතුරුවය. ඒ නියෝජිතයන්ට ඔවුන් ගෙනෙන බිල්පත්වලින් 10% ක කොමිස් මුදලක් ලබා දීමටද සැකකරු පියවර ගෙන තිබුණේ මේ වංචාව තවත් ප්‍රචලිත කර ගැනීම සඳහාය. මෙලෙස තම නියෝජිතයන් රට පුරා පත් කර ගැනීම සඳහා ද මේ සැකකරු සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගෙන තිබිණි.
සැකකරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී රහස් පොලිස් නිලධාරීන් සොයා ගත් තවත් ඉතා වැදගත් කාරණාවක් වුයේ ඔහු රුපියල් ලක්ෂ 10 සහ 15 අතර බිල්පත් ගෙවීම සඳහා වැඩිපුරම යොමු වී ඇති බවයි.
සැකකරු මෙලෙස වංචනිකව ලබාගත් රුපියල් කෝටි දහයකට කළේ කුමක්දැයි සොයන රහස් පොලිස් නිලධාරීන් හෙළි කර ගන්නේ ඔහු එම මුදල්වලින් සුළු ප්‍රමාණයක් කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලාවලට වියදම් කර ඇති බවය.
ඉතිරි මුදල් සහ මේ සැකකරුට බිල්පත් වංචාව සඳහා සහය දුන් සියලු පුද්ගලයන් අල්ලා ගැනීමට රහස් පොලිස් විමර්ශන මේ වන විට ආරම්භ වී තිබේ.
විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට කඩා වැදී සිදු කරන ලද මේ ක්‍රියාවෙන් විදුලිබල මණ්ඩලයට මූල්‍යමය පාඩුවක් සිදු වී නොමැති බව එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පෙන්වා දුන්නේ මේ අතරය.
අවිශ්වාසී පුද්ගලයන් හරහා විදුලිබිල ගෙවු අයට මෙහි පාඩුව දරන්නට සිදුවී ඇති බව ඔහුගේ අදහසයි.
විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය යථා තත්වයට පත්කරන තුරු අන්තර්ජාල ඔස්සේ සිදු කරන බිල්පත් ගෙවීම් තාවකාලිකව නවතා දැමෙන්නේ ද මේ සිද්ධියෙන් පසුවය. වංචාව ගැන හෙළි වූ මොහොතේම නව ආරක්ෂක ක්‍රම මගින් විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික අංශයේ එහි ගෙවීම් දොරටුවේ ආරක්ෂාව තර කළේය.
මේ අතර සැකකරු රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ 28 වැනිදාය. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය වෙතය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නිතිඥ මංජු ශ්‍රී සඳහන් කළේ මේ සැකකරු කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව සිටි බවත් ඔහුට මෙවැනි දෙයක් කිරීමට තරම් බුද්ධියක් නොමැති බවත්ය.
මේ සිද්ධිය පිටුපස සිටින නියම පුද්ගලයන් අත්අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයකු නිකරුණේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. සැකකරු ඇප මත මුදා හරින ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරු මේ මාසයේ 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. පී. එස්. ජයනෙත්සිරිගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී විමර්ශන නිලධරයන් වන සැරයන් (64160) කුමාර කොස්තාපල් වරුන් වන (68813) උපසේන (94821) ජයවර්ධන (97642) අසංක (21324) විජේසුන්දර (29826) මෙන්ඩිස් (11524) ලහිරු යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.