ඕමාන ගණිකා ජාවාරමේ මහ මොළකරුවන් හැංගෙන්න ගහන ගේම් | Page 3 | සිළුමිණ

ඕමාන ගණිකා ජාවාරමේ මහ මොළකරුවන් හැංගෙන්න ගහන ගේම්

  • ගොඩක් අය තමන් යන්නේ ජොබ් වීසාවලට ද විසිට් වීසා වලට ද කියලවත් දන්නෙ නෑ
  • ඕමානයට කතුන් පටවන මිනිස් ජාවාරම්කරුවන්ගේ ඉලක්කය බවට වැඩිහරියක්ම පත්ව ඇත්තේ වතුකරයේ කතුන්
  • මේ වනවිට ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙක් විමර්ශන නිලධාරීන් හඳුනාගෙන අවසන්. ඒ ඔක්කොම ශ්‍රී ලාංකිකයන්
  • ඕමාන තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් කුෂාන් මේ මහ මොළකරුවන් අතර ප්‍රබ‌ලයෙක්

ත්ද්‍රව්‍ය ජාවාරම සහ ඖෂධ ජාවාරම හැරුණු කොට ලෝකයේ සංවිධානාත්මකව ක්‍රියාත්මක වන තවත් එක් දැවැන්ත ජාවාරමක් වන්නේ මිනිස් ජාවාරමයි. ඒජන්සිකරුවන්ට හසුවී විවිධ තාඩන පීඩනයනනට ලක්ව සිටින වැඩි පිරිසක් මේ වන විට රැඳී සිටින්නේ ඕමානයේය. එබැවින් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කරන ලෙසට තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම්දීමක් කරනුයේ පසුගිය මාර්තු 29 වෙනිදාය. ඒ එම කොට්ඨාශයේ නිලධාරීන් ඊට පෙර ඩුබායි රාජ්‍ය තුළද සිදුවන මෙවන් ජාවාරම් ගැන විමර්ශනයක් පවත්වා තිබුණු බැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ කොට්ඨාශයක් වන තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කෙරන්නේම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමටය. ලෝකය පුරා මිනිස් ජාවාරම් සිදු වන ආකාරය ගැන මනා අවාබෝධයක් සහ එවන් විමර්ශන සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පුහුණුවක් ලැබූ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා සිය නිලධාරීන්ව මෙම විමර්ශනය සඳහා මුලින්ම මෙහෙයවනු ලබන්නේ ඕමානයට අපේ රටේ කතුන් රැගෙන යන මිනිස් ජාවාරම ගැන තොරතුරු රැස් කරන්නටය.

ජාත්‍යන්තර වශයෙන් විහිදුණු දැවැන්ත මිනිස් ජාවාරමක මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් හෙළි වන්නට ගන්නේ එහිදීය. මෙම ජාවාරමේ සැඟවුණු චරිත ගැන තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇත්තේ එසේ අසරණව සුරක්ෂා නිවසේ රැඳී සිටින කතුන්ගෙන් බව පෙනී ගිය බැවින් තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සරකෝන් බණ්ඩාගේ අවධානය යොමු වන්නේ ඕමානයට විමර්ශන කණ්ඩායමක් යොමු කරවන්නටය. ඊට බලධාරීන්ගේ අනුමැතිය එක පයින්ම ලැබෙන විට ඒ සඳහා අවශ්‍ය බරපැන දරන්නට ඉදිරිපත් වන්නේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) යි.

ඒ අනුව ඕමානය බලා විමර්ශන කණ්ඩායමක් පිටත්ව යන්නේ පසුගිය ඔත්තෝබර් 03 වෙනිදාය. පස් දෙනකුගෙන් සමන්විත එම විිමර්ශන කණ්ඩායමට නායකත්වය සපයනු ලැබුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී හරේන්ද්‍ර ජනකාන්තය. ඒ හැරුණු කොට රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර පොලිස් අධිකාරීවරියක් වන උත්පලා ද මේ කණ්ඩායමේ සිටි තැනැත්තියක් වූවාය. තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක් වන චින්තා සමරවීර ද සැරයන් මයුරද රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂක අමිල ද මේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ය.

මේ විමර්ශන කණ්ඩායම ගමන් ගන්නේ ඕමානයේ මස්කට් නගරයේ පිහිටි අපේ රටේ තානාපති කාර්යාලය වෙතය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මෙම නිලධාරීන්ගේ පැමිණීම කල්තියාම තානාපති කාර්යාලයේ බලධාරීන් දැනුවත් කර තිබීම නිසාම කාලය අපතේ යෑමකින් තොරව විමර්ශන කටයුතු ඇරඹෙන්නේ සුරක්ෂා නිවාසයෙනි. තානාපති කාර්යාලයේ රැකවරණය සඳහා පැමිණෙන කතුන්ට සැබෑ ලෙසම මෙහි දී රැකවරණයක් ලැබෙන්නේ දැයි පෙනී යන්නේ විමර්ශන කණ්ඩායම එහි රැඳී සිටි අපේ රටේ කතුන්ගෙන් ප්‍රශ්න කරන්නට ගැනීමත් සමඟිනි.

මෙම විමර්ශන කණ්ඩායම එහි යන විටත් හැට හැත්තෑවක පිරිසක් එහි රැඳී සිටියත් විමර්ශන කණ්ඩායමේ විශේෂ අවධානයට ලක්වන්නේ කතුන් 45 දෙනෙක් කෙරෙහි පමණි.

ඒ මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව සිටියේ එම කතුන් 45 දෙනා වූ බැවිනි. එහි රැඳී සිටි සෙසු කතුන් ඕමානයේ රැකියාවන් සඳහා පැමිණ තිබුණේ රැකියා වීසා මත නීත්‍යානුකූල පදනමක් ඇතිවය. එහෙත් මෙම කතුන් 45 දෙනාව මිනිස් ජාවාරම්කරුවන් රැගෙන විත් තිබුණේ හොර පාරෙන් සංචාරක වීසා මඟිනි. විමර්ශනවලින් පෙනී යන්නට වූයේ මෙම 45 දෙනාගෙන් 18 දෙනෙක්වම මිනිස් ජාවාරම්කරුවන් විසින් ඕමානයට රැගෙන විත් ඇත්තේ ඩුබායි හරහා බවය. සංචාරක වීසා මඟින් ඩුබායි වෙත ඒ අයව රැගෙන විත් ඩුබායි හෝ අබුඩාබි වල දින කිහිපයක් රදවාගෙන සිට අනතුරුව ඕමානයට රැගෙන විත් ඇත්තේ ගොඩබිම් මාර්ග ඔස්සේය. ඒ රැගෙන විත් ඇත්තේද අඩුම තරමින් ඕමානයේ රැඳී සිටීමට සංචාරක වීසා බලපත්‍රයක්වත් නොමැතිවය. ඒ දේශ සීමා පන්නමිනි.

සෙසු අයගෙන් 26 දෙනෙක්ම ඕමානයට රැගෙන විත් ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ගුවන් මඟිනි. ඒ සංචාරක වීසා මඟිනි. එක් අයෙක් පමණක් ඉන්දියාවට රැගෙන ගොස් එහි සිට ගුවන් මඟින් ඕමානයට රැගෙන විත් තිබුණාය.

මෙසේ සංචාරක වීසා මඟින් ඩුබායි හරහා සහ කෙළින්ම ඕමානයට ආ 45දෙනාගෙන් 17 දෙනෙක්ම බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියට ලක්වී තිබීම ද විශේෂිතය. එසේ ඒ අයව ලියාපදිංචි කර ඇත්තේ මේ අය සංචාරක වීසා මඟින් යන්නේ රැකියා සඳහා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද හොඳින් දන්නා කියන නිසා බව විමර්ශන නිලධාරීන්ට පැහැදිලි විය.

“අපි දන්නේ නැහැ; අපිව සංචාරක වීසා මඟින් ඕමානයට රැගෙන එන බව. අපිට කීව්වේ රක්ෂා ලබා දෙනවා කියලයි. පාස්පෝට් එකයි ගුවන් ටිකට්පතයි පවා අපේ අතට ලැබුණේ එයාපෝට් එකේදී“ සංචාරක වීසා මඟින් ඕමානයට පැමිණි කතුන්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කෙරෙන හැටි විමර්ශන නිලධාරීන් හමුවේ කතුන් පවසන්නට වූයේ ඒ ආකාරයටය.

මෙහිදී විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේ ඕමානයට කතුන් පටවන මිනිස් ජාවාරම්කරුවන්ගේ ඉලක්කය බවට වැඩිහරියක්ම පත්ව ඇත්තේ වතුකරයේ කතුන් බවය. ඒ හැරුණු කොට ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබුණේ දැඩි ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී ජීවත් වුණු පවුල්වල කාන්තාවන්ය. ඒ පහසුවෙන් එවැනි අය ගොදුරු කර ගැනීමට ඇති හැකියාව නිසාය.

විමර්ශන නිලධාරීන් ඕමානයේ සුරක්ෂා නිවසේ රැඳී සිටි සංචාරක වීසා මඟින් ඕමානයට පැමිණ අසරණව සිටි කතුන් 45 දෙනාගෙන්ම වෙන වෙනම ප්‍රශ්න කරමින් පැමිණිලි සටහන් කර ගැනීමට ද අමතක නොකළේ මේ තත්ත්වය ගැන පැහැදිලි තොරතුරු දැන ගැනීමේ අරමුණ ඇතිවය.

එහිදී විමර්ශන නිලධාරීන්ට පෙනී යන්නට වූයේ ඕමානයේ ගෘහ සේවයට කතුන් බඳවා ගැනෙන්නේ එරට පිහිටි ඒජන්සි කිහිපයක් හරහා බවය. එම ඒජන්සිවල සේවය කරන වැඩිදෙනෙක් අපේ රටේ කතුන්ය. අපේ රටේ කතුන් ලිංගික වහලුන් බවට පත්කරන්නේද ඒ අයමය. ඒ අතර වැඩි දෙනෙක් සිටින්නේ කතුන්ය.

ඕමානයේ ගෘහ සේවය සඳහා අපේ රටේ කතුන් අලෙවි වන්නේ ශ්‍රී ලංකා මුදලෙන් රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර මුදලකටය. ඕමානයේ හාම්පුතුන්ව හඳුන්වන්නේ “බාබා“ යැයි කියාය.

ඒ අයට සිය නිවසේ මෙහෙකාරකමට කාන්තාවක් අවශ්‍ය නම් ඒ බව දැනුම් දෙන්නේ එරට පිහිටි රැකියා ඒජන්සියකටය. එහිදී සිය නිවසේ මෙහෙකාර සේවයට ගෘහ සේවිකාවක් එරටට ගෙන්වා දීම වෙනුවෙන් මුදලක් ද මුලින්ම ඒජන්සියට ගෙවිය යුතුය. එම මුදල “බාබා“ විසින් ගෙවීමෙන් පසු එම රැකියා ඒජන්සිකරුවන් ඒ බව දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ නියෝජිතයන්ටය.

එහිදී ලක්ෂ දෙක තුනක් ඕමානයේ රැකියා ඒජන්සිකරු තබාගෙන සෙසු මුළු මුදලම විතැන් කරන්නනේ මෙරට නියෝජිතයන් අතටය. එම මුදලින් වැඩි කොටසක් ප්‍රධාන නියෝජිතයා විසින් යටිමඩි ගසා ගන්නා අතර, සෙසු මුදල් බෙදී යන්නේ ඕමානයේ රැකියා සඳහා කාන්තාවන් සොයා දෙන තැරැව්කරුවන් අතරය. ඒජන්තයන්ගේ එවන් කරුණාවට ලක්වූ බොහෝ කාන්තාවන්ට සිදුව තිබුණේ එම ඒජන්තවරුන් අතින් ලිංගික අතවරයන්ට ලක්වීමටය.

එවන් අය කිහිප දෙනෙක්ම විමර්ශන නිලධාරීන්ට ‍සුරක්ෂි නිවාසයේදී හමුවී තිබුණේය. එසේ කතුන්ට ලිංගික අඩත්තේට්ටම් කළ ඒජන්තවරු 06 දෙනෙක් මෙහිදී විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගත්තේය. ඒ අයගෙන් දැන් තිදෙනෙක් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය.

එහිදී හෙළි වන්නේ ආරක්ෂාව පතා ඕමාන් නිවාසවලින් පලා විත් තානාපති කාර්යාලයට පැමිණෙන කතුන්ව නැවතත් ඒජන්සිකරුවන්ටම බාර දෙන මෘර්ගයක්ද තානාපති කාර්යාලයේ සේවයේ නිතරව සිටින බවය. ඒ පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඕමාන් තානාපති කාර්යාලයේ සේවය සඳහා යොදවා සිටි නිලධාරියා වූ කුෂාන්ය. විමර්ශන නිලධාරීන්ට පෙනී ගිය කරුණක් වූයේ ඔහු රැකියා ඒජන්සිකරුවන් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන්නෙක් බවය. එරට පිහිටි රැකියා ඒජන්සිවල සේවයේ නිරතව සිටින මෙරට කතුන් සමඟ ඔහුගේ අනියම් සම්බන්ධකම් බොහොමයක් ගැනද මෙහිදී විමර්ශන නිලධාරීන්ට අනාවරණය වන්නේ සුරක්ෂා නිවසේ සිටි කතුන්ගෙනි.

කුෂාන් නමැති මෙම නිලධාරියා ගැන විමර්ශන නිලධාරීන් විසින් කළ සොයා බැලීමේදී පෙනී යන්නේ ඔහු වසර දෙක තුනක කාලයක් තිස්සේ ඕමාන් තානාපති කාර්යාලයේ සේවය කරන තුන්වැනි ලේකම්වරයා බවය. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වසර 20ක පමණ සේවා කාලයක් ඇති මොහු දැඩි කාන්තා ලෝලියෙක් බවද විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. ඒ වන විට විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගත් කාන්තාවන් 45 දෙනා අතරින් දෙදෙනෙක්ම කුෂාන් නැමැති මෙම නිලධාරියා තමන්ට ලිංගික අතරවර කරන්නට හැදූ බව කියා තිබුණාය. ඒ අතර මාළිගාවත්තේ පදිංචිකාරියක් වන සාරානා නමැති කාන්තාවක්ද පානදුරේ පදිංචිකාරියක් වන ඉරෝෂනී නැමැත්තියද සිටියාය. මේ දෙදෙනාම දැන් සිටින්නේ මෙරටට පැමිණය. මේ දෙදෙනාම ඕමානයට පය තබා තිබුණේ සංචාරක වීසා මඟිනි. ඔවුන්ව ඕමානයට රැගෙන ගොස් තිබුණේද ඩුබායි හරහාය.

එහෙත් විමර්ශන නිලධාරීන් හමුවේ ඔවුන් දෙදෙනා හැරුණු කොට වෙන කිසිවකුත් කුෂාන්ට එරෙහිව එවැනි චෝදනාවක් සිය කටඋත්තර මඟින් එල්ල කරන්නට ගියේ නැත.

මෙහිදී විමර්ශන නිලධාරීන්ට පෙනී ගිය කරුණක් වූයේ සුරක්ෂා නිවස්නයේ රැඳී සිටින කතුන්ට නිසි රැකවරණයක් පමණක් නොව, කුසට නිසි ආහාරයක් පවා නොලැබෙන බවය. තානාපති කාර්යාලයට ආසන්න ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි සුරක්ෂා නිවාසය පවත්වා ගෙන යන්නේ ද අවම පහසුකම් යටතේය. එහි කතුන් රඳවා සිටින්නේ කුකුළු කූඩුවක සිරකර ඇති අයුරිනි. එහි සිටින කතුන්ට පරිහරණයට ඇත්තේ වැසිකිළි 03ක් පමණි. බීමට ජලය පවා ප්‍රමාණවත් ලෙස ලැබෙන්නේ නැති තරම්ය. කෑම බීම පවා ලබා දෙන්නේ ප්‍රමාණවත් නොවන අයුරිනි. සුරක්ෂා නිවසේ ජීවත්වන කතුන් විඳින්නේ අපා දුකකි. ඇතැම් කතුන් ගණිකාවන් බවට පත්වීමට පවා යොමු වෙන්නට මුල් වී ඇත්තේ සුරක්ෂා නිවසේ ඇති මෙම තත්ත්වය බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය.

මේ අතර විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයකට යොමු වන්නේ මෙරට කතුන් නූතන වහල් වෙළඳාමේ යොමු කරන එරට ඒජන්සිකරුවන්ගේ මෙරට නියෝජිතයන් කවුරුන්දැයි හඳුනා ගන්නටය. ආශා දිසානායක නැමැති කාන්තාව ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නේ එහිදීය. ඇය දඹුල්ලේ පොහොරෙන් වැව පදිංචිකාරියකි. ඇය ඕමානයේ ගත කරන්නේ වසර 22ක් තිස්සේය.

විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගෙන ඇති ආකාරයට අනුව ඕමානයට සංචාරක වීසා මඟින් කතුන් රැගෙන යන මිනිස් ජාවාරමේ ප්‍රධාන පුරුකක් වන්නේ ආශා දිසානායකය. එහෙත් ඇය සමාජය හමුවේ පෙනී සිටින්නේ ඇය ඕමානයේ රැකියා ඒජන්සියක් වන “ඉන්ටර්ග්‍රේටට් රූරල් සාමා“ හි සේවය කරන භාෂා පරිවර්තිකාවක් පමණක් බවය.

විමර්ශන නිලධාරීන් විසින් ඇය සම්බන්ධයෙන්ද වෙනම වාර්තාවක් සකස් කර තිබුණේය. එම වාර්තාවන්ට අනුව තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවල මෙහෙයුමක් පවා දියත්කර කළේය. දඹුල්ලේ නිවස වටලන විට ඇය සිටියේ නිවසින් පලා ගොසිනි. අනතුරුව ඇය ගැවසෙන බව කියැවුණු තැන් කිහිපයක්ම තැනැත්තන් වෙළඳාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලනු ලැබීය.

ඇය ඒ කිසිදු තැනක නොවූවාය. සතියක් දෙකක් තිස්සේ විමර්ශන නිලධාරීන් ඇයට දැඩි පීඩනයක් ගෙන දෙන විට ඇය පොල්හේන්ගොඩ පිහිටි තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට පැමිණ ඇය බාර වන්නේ නීතීඥයන් දෙදෙනෙකුගේ සහය ඇතිවය. අහන්න ඇති හැම ප්‍රශ්නයක්ම අසා විමර්ශන නිලධාරීන් ඇය අධිකරණයට ඉදිරිපත් කරනුයේ ද එදිනමය. ඒ එල්ල කරන්නට හැකි හැම පැත්තෙන්ම චෝදනා නඟමිනි. අධිකරණයට ඉදිරිපත් කළ ඇයට ඒහිදී ඇප ලැබුණේය.

ගෘහ සේවය සඳහා ඕමානයට ගිය අපේ කතුන්ව බාබාවරුන්ට පෝලිම් කර අලෙවි කළ බවට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවී ඇති ඇය දැන් පෙනී සිටින්නේ කුෂාන්ට එරෙහිව ප්‍රබල සාක්ෂිකාරියක් ලෙසිනි. ඇය දැන් සූදානම් වන්නේ තමාට එරෙහිව ඇති චෝදනාවලින් ගැලවෙමින් රජයේ සාක්ෂිකාරියක වෙමින් කුෂාන්ව බිල්ලට දෙන්නටය.

කුමන හෝ හේතුවක් මත ඇය සාක්ෂිකාරියක් වූවත් ඕමානයට ගිය විමර්ශන කණ්ඩායමට අනුව නම් ආශා දිසානායක යනු ඕමාන් මිනිස් ජාවාරමේ ඉහළම පුරුකකි. ඇය දැන් කුමන භූමිකාවක් රඟ දැක්වූවත් ඇයත් සමඟ ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙක් විමර්ශන නිලධාරීන් හඳුනාගෙන අවසන්ය. ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකිකයන්ය. ආශා හැරුණු කොට සෙසු සියලු දෙනාම දැන් සිටින්නේ ඕමාන්වලය. ඒ අතර කාන්තාවන් ද සිටින්නීය. ඒ අයව කොටුකර ගැනීමට හැකියාවක් ඇත්තේ ඔවුන් මෙරටට පැමිණි විටදීය.

දැනටමත් ඔවුන් ගැන ආගමන විගමන නිලධාරීන් හරහා ගුවන්තොටුපොළ පරිගණක පද්ධතියට ඇතුළත් කර ඇත්තේ මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය පියවර රැසක් ද ගනිමිනි. ඒ අතර ඕමාන් ආරක්ෂක අංශ සමඟ එක්ව ඒ අයව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානයක් යොමු වී ඇත්තේ ඒ අය ඕමානයෙන් වෙනත් රටකට පැන ගතහොත් මෙම මිනිස් ජාවාරමේ සැඟවුණු මහ මොළ ටික හෙළි කර ගැනීමට නොහැකි වන නිසාය.

විමර්ශන නිලධාරීන් විසින් මෙම ජාලයට සම්බන්ධ මෙරට ඒජන්න්සිකරුවන් සහ තැරැව්කරුවන්ද 06 දෙනෙකුවද පැහැදිලිවම හඳුනාගෙන සිටිති. ඒ අයගෙන් එක් අයෙක් වන්නේ ෆයිරූස්ය. මෙරට කතුන් ඩුබායි හරහා ඕමානයට රැගෙන යන මහ මොළය ලෙස හඳුනාගෙන ඇත්තේ ඔහුවය. මේ වන විට ඔහුද සිටින්නේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතවය. ඒ හැරුණු කොට තැරුව්කරුවන් තිදෙනෙක්ද තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන හමාරය. ඔවුන් තිදෙනාද සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් අධිකරණයෙන් ඇප ලැබුණු එකම තැනැත්තිය වූයේ ආශා පමණි. ඇයට ඇප ලැබුණාද ඇප ලැබෙන හැටියට වැඩ සිදුවුනා දැයි කියාද ඇත්තේ බරපතල සැකයකි. ඒ ගැන නීති ක්ෂේත්‍රය තුළද ඇත්තේ දැඩි කතාබහකි. ඕමානයට ගිය විමර්ශන නිලධාරීන්ගේ වාර්තාවන්ට අනුව ඕමානයේ සිට මිනිස් ජාවාරම මෙහෙය වන මෙරට පුද්ගලයන් 13 දෙනාට අමතරව ඕමාන් තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙස කටයුතු කරන විදේශ සේවා නියුක්ති කාර්යාශයේ නිලධාරියා ද සිටින්නේ අත්අඩංගුවට ගත යුතු වූ මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොන්නේය.

විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා තානාපති සේවයේ යෙදවීමට තරම් සුදුසු පුද්ගලයෙක් නම් නොවේ. මේ තනතුරට ඔහු ගොස් ඇත්තේ ද දේශපාලන හයි හත්තියෙනි. මාතර පැත්තේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා ගැන විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශයට ඕමානයෙන් පැමිණිලි ගලාගෙන විත් ඇත්තේ කාලයක සිටය. ඒ ගැන මෙම වසරේ පෙබරවාරි මාසයේදී එවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ‌ෙජනරාල් මහින්ද හතුරුසිංහ ද විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුම්වත් කර ඇත්තේ ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහාය. එහෙත් දේශපාලන හයි හත්තිය නිසාම ඔහුව එතැනින් හෙලිවීමට හැකියාවක් ලැබී නැත. ඕමානයට ගිය විමර්ශන කණ්ඩායම ඔක්තෝබර් 09 වෙනිදා මෙරටට පැමිණ බලධාරීන්ට ලබා දුන් වාර්තාවේද කුෂාන් ගැන විශේෂයෙන් සටහන් කර ඇත්තේ අත්අඩංගුවට ගැනීමට ඇති නිලධාරියෙක් බව සඳහන් කරමිනි.

එසේ තිබියදීත් ජනමාධ්‍ය මඟින් ඔහු ගැන දිගින් දිගටම වාර්තා කරන තුරු ඔහුගේ වැඩ තහනම් කිරීමට තරම්වත් නිලධාරීන්ට හයියක් නොවීය. නිලධාරීන් නම් පවසන්නට වූයේ නොවැම්බර් 04 වෙනිදා ඔහුගේ වැඩ තහනම් කිරීමට තීරණයක් ගත් බවය. එහෙත් ඔහුගේ වැඩ තහනම් වූයේ නම් පසුගිය සතියේදීය. ඒ දිගින් දිගටම කුෂාන් ගැන ජනමාධ්‍ය මඟින් කරුණු වාර්තා කිරීමට ගත් බැවිනි. එසේ නොවන්නට අදත් ඔහු ඕමාන් තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටිනු ඇත. බලධාරීන් පවසන ආකාරයට අනුව දැන් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය පවා අත්හිටුවා ඇත. ඒ අනුව දැන් ඔහු සාමාන්‍ය වැසියෙක් පමණි. රාජ්‍යතාන්ත්‍රික වරප්‍රදාස කිසිවක් නැත. එහෙත් ඕමානයෙන් ලැබෙන තොරතුරුවල සඳහන් වූයේ ඉකුත් සිකුරාදා දිනයේත් ඔහු රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද භුක්ති විඳිමින් සිටි බවය. කුෂාන් තාමන් ඕමානයේ රැඳී සිටින්නේද සිකුරාදා දින මෙරටට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් පවා වෙන්කර තිබියදීය. ඕමානයේ සිට කටුනායක ගුවන් තොටුපොළට සිකුරාදා අලුයම් කාලයේදී ගොඩබස්සවන ලද ගුවන් යානයේ නැඟී මෙරටට පැමිණීමට නියමිතව සිටි කුෂාන්ව පිළිගැනීමට ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් කිහිප දෙනෙකුද රැඳී සිටියේය.

එහෙත් එම ගුවන් යානයේ ඔහු නොපැමිණි නිසා සිදු වන්නේ ඒ හැමට හිස් අතින් ගුවන්තොටුපොළින් පිටව යන්නටය. ඒ අතරේ කුෂාන්ට සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමටද තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අමතක නොකළේය. එහිදී පෙනී යන්නේ ගුවන්ටිකට්පත් වෙන්කරගත් කුෂාන් හදිසියේම ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් එරට රෝහලකට ඇතුළත් වී ඇති බවය. හෙට අනිද්දා දිනක ඔහු සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට යැයි කියා ඩුබායි හෝ යුරෝපීය රටකට ගොස් තිබුණහොත් ඒ ගැනද පුදුමයට පත්විය යුතු නැත.

Comments