
අරගලවලින් රටේ කාටත් හිරිහැර වෙනවා
- පී.එස්. ආනන්ද ලාල් (67) අළුත්ගම, විශ්‍රාමික (විදෙස් රැකියා)
විරෝධතාවලට විරුද්ධයි. මා ජර්මනියේ දිගු කාලයක් රැකියාව කර ජර්මන් ජාතික බිරිය සමඟ දැන් ලංකාවෙ. ඒ රටවල දේශපාලනඥයෝවත්, ජනතාවවත් මෙහෙ වගේ බොරු වැඩ කරලා කාලය නාස්ති නොකර ඵලදායී සේවයක් කරනවා. ලංකාවෙ හැම දෙනෙක්ම වගේ රටට දෙයක් කිරීමට වඩා තම වාසියයි බලන්නේ. රජය මඟින් ජනතාවට නොමිලේ දෙන සියල්ල නවතා ජනතාවට වැඩ කරලා උපයන්න සැලැස්විය යුතුයි.
අරගලයේදී ඇතිවෙන මහජන පීඩාව නිසා තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ
- සුලෝචනී ප්‍රසාංගිකා (49) කොටහේන, දෘෂ්ඨි විශේෂඥ
මේ රටේ අවස්ථාවාදී දේශපාලනඥයන් තම තමන්ගේ දේශපාලන උවමනා එපාකම්වලට පොදු ජනතාව පලිහක් කර ගන්නවා එක් පැත්තකින්. අනිත් පැත්තෙන් තරුණ තරුණියන් තම තමන්ට සිදුවූ අකටයුතුකම් හා පොදු ජන යහපත උදෙසා අරගලවල නිරත වෙනවා. කලින් අරගල කරන්න පොදු ස්ථානය ලෙස, ගාලු මුවදොර වෙන්කර තිබුණත් දැන් එතනත් නැහැ. ඉතින් මහ පාරේ නැතුව කොහෙද අරගල කරන්නේ. වෙනම තැනක් දීලත් නෑනේ. අරගලවලින් පාර අවහිර උනාම පොදු ජන ජීවිතවලට පීඩාවක් වෙනවා තමයි. ඒත් මොකද කරන්නේ.
අරගලවලින් ජීවිත දේපළ හානි සිදුෙවනවා
- කේ.එස්.එන්. ප්රසංකර සුරංග (38) අනුරාධපුරය, අලෙවි කළමනාකරු
අරගල කරන හේතු මොනා වුණත් විශාල පිරිසක් පාරට බැහැලා උද්ඝෝෂණ කරද්දි අපහසුතාවලට ලක්වෙන්නේ සාමාන්‍ය ජනතාවයි. ඈත ප්‍රදේශවලින් අගනගරයට ජනතාව රැස්වුණාම තදබදයක් ඇති වෙනවා. දුර පළාත්වලින් දිනකට අගනගරයට ලක්ෂ ගාණක් දිනපතා රැකියාවලට එනවා. කිසිම කෙනෙකුට දවසේ යොදාගත් කටයුතු නිවැරැදිව කරගන්න බැහැනේ. අනික අරගල මැඬ පවත්වන්න කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, වෙඩි තැබීම් සිදු කළාම ජීවිත හානි හා තුවාලත් සිදුවන්න පුළුවන්. මේ හැම දේකින්ම කාගෙ කාගේත් අගනා කාලය තමයි නාස්තිවෙන්න.
අරමුණු යහපත් නම් පීඩාව දරා ගත යුතුයි
- නයදරා තිරිමාන්න (36) නවගමුව - (බහුවිධ මාධ්‍ය කලා ශිල්පිණී)
විරෝධතා පැවැත්වීමේදී මම බහින්නෙ නෑ. අපේ කලාව වෙනස්. අපේ නිර්මාණ දායකත්වය හරහා තමයි අපි නම් අරගල කරන්නේ. නමුත් කිසියම් පිරිසක් පාරට බහින්නේ පොදු අරමුණක් සඳහා නම් එහි වරදක් නෑ. මම බෝඩ් අරගෙන පෙළපාළි යන්නෙ නෑ. නමුත් එහෙම පාරේ උද්ඝෝෂණ කරන අය නිසා අපට සිදුවන අවහිරය විඳ දරා ගන්නවා පොදු අරමුණක් වෙනුවෙන් අරගල කරන නිසා. වඩාත් දියුණු රටක අරගල කිරීමයි අපේ රටේ අරගල කලාවයි වෙනස් තමයි. සුළුතරය කරන දේවලින් බහුතරයකට සෙත සැදෙනව නම් කමක් නෑ අරගල කළාට.
උද්ඝෝෂණ පැවැත්වීමෙන් සමාජයට කරදරයක් වෙනවා
- සුදර්ශනී තක්ෂිලා එදිරිසිංහ (37) පිළිමතලාව, විවාහ රෙජිස්ටාර්
විරෝධතා, අරගල පැවැත්වීමෙන් ජන ජීවිතයට කරදර බාධක පැමිණෙනවා තමයි. උද්ඝෝෂණයක් කරනවා කියලා පිරිසක් සූදානම් වෙද්දි සමාජයේ අනිත් පිරිසට ඊට අනුගතව තමන්ගේ දින චර්යාව වෙනස් කරගන්න වෙනවා. පාසල් ළමුන්ට පාරවල් වල යන්න බැහැ. එදිනෙදා රාජකාරිවලට යන එන අයට ලොකු අවහිරයක්. විවාහවලට අත්සන් කරන්න කලට වෙලාවට යන්න වෙනදට වඩා කල් ඇතුව යන්න වෙනවා. හැම කෙනෙකුගේම ජීවිත අවුල් වෙනවා. පාරවල්වල ජනතාව පිරුණාම හදිසි ලෙඩෙක්, ඇම්බියුලන්ස් එකක්වත් පාරෙ යන්නෙ කොහොමද?