
මිනිසුන් රවටා මුදල් වංචා කිරීමේ සිදුවීම් වාර්තා වන්නේ අද ඊයේ සිට නොවේ. ගමේ ගොඩේ අප්පුහාමිගෙන් ණයට ගත් රුපියල් පනහ නැවත නොදී මඟ හරින පුද්ගලයන් සේම ධනවතුන් රවටා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබා ගෙන ඒවා ආපසු නොදී මඟ හරින පුද්ගලයන් ද සිදු කරන්නේ වංචාවකි.
පොලිසිය සඳහන් කරන අන්දමට පීරමිඩ ජාවාරම ද කලක් මෙරට ඇතැමුන් හිඟමනටම වැට්ටු ඉතා සුක්ෂමව සිදු කරන ලද මහා වංචාවකි. මෙහි ආදීනව මහ බැංකුව පුන පුනා පෙන්වා දෙද්දීත් ඊට රුපියල් ලක්ෂ කෝටි ගණන්වලින් මුදල් ආයෝජනය කළ අති විශාල පිරිසකට අන්තිමේදී අතේ සතේ නැතිවන තරම් ඉරණමකට මුහුණ දීමට සිදු විය.
ඉන් අනතුරුව බිහිවුණු හොර බැංකු, මුල්‍ය ආයතන, ගණනාවකට මුදල් ආයෝජනය කළ තවත් සැලකිය යුතු පිරිසක් තවමත් මහ මඟ උද්ඝෝෂණය කරමින් සිටින්නේ තමන් එම හොර බැංකු මුල්‍ය ආයතනවලට ආයෝජනය කළ මුදල්වලින් කොටසක් හෝ ලබා ගත නොහැකිව අන්ත අසරණ වෙමිනි.
පොලිසිය පෙන්වා දෙන අන්දමට මිනිසුන් ඊළඟට රැවටෙන්නේ හොර විදේශ රැකියා ඒජන්සිකරුවන්ටයි. එසේ රැවටුණු මිනිසුන් ගණන අනන්ත අප්‍රමාණය. මේ වංචාකරුවන්ට ඒ අහිංසකයන් ගෙවු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි ගණනකි.
මිනිස් ජාවාරම්කරුවන්, විශාල පොලියකට මුදල් ගන්නා තනි පුද්ගලයන්, ඉඩම්, ගොඩනැඟිලි, නිවාස, යාන වාහන දේපල පෙන්වා අහිංසකයන්ගෙන් මුදල් වංචා කරන අය සමාගම් මුල්‍ය ආයතන නීත්‍යානුකූල ලෙස ලියා පදිංචි කර ඒවායේ මුදල් ආයෝජනය කරන ලෙස ධනවතුන්ට ආරාධනා කර පසුව එම මුදල් වංචා කර පැදුරටත් නොකියා පලා යන පුද්ගලයන් ද මේ වංචාකාරීන්ගේ ලැයිස්තුවට අයත්ය.
මෙලෙස අහිංසක මිනිසුන් රවටා ඔවුන් සතුව තිබෙන මිල මුදල් වංචා කරන පුද්ගලයන් ගැන මහජනතාවගේ මතකය යළිත් අවදි වන්නේ පසුගිය දා රට කැලඹූ ප්‍රවෘත්තියකිනි. ඒ රුපියල් මිලියන ගණනක් මුදල් වංචා කළැයි චෝදනා ලැබු ප්‍රසිද්ධ කාන්තාවක ගැන තොරතුරු වාර්තා වීමත් සමගය.
තිළිණි ප්‍රියමාලී නමැති මේ සුරූපි කාන්තාව වත්තල ඇවරි වත්තේ අංක 35 එඩ්වඩ් ලේන්හි පදිංචිකාරියකි. චිත්‍රපට නිෂ්පාදන ආයතනයක අධිපතිණිය ලෙස කරලියට පැමිණෙන තිළිණි ප්‍රියමාලි සුරූපිණියකි. දෙදරු මවකි.
තිකෝ සමූහ ව්‍යාපාරය නමැති සමාගමක් ලියා පදිංචි කරගෙන සිටි මේ සුරූපිණිය ඇගේ සමාගම පවත්වාගෙන යන්නේ කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයකය. ඊට මාසික කුලිය ලෙස ඇය ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 14කි. තිකෝ ව්‍යාපාරයට අමතරව ඇය ස්වර්ණාභරණ, මැණික්, ගොඩනැඟිලි ඉදිකිරීම්, චිත්‍රපට නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ ඉඩම් වෙන්දෙසිවලට අදාළව සමාගම් 05ක් ලියාපදිංචි කර එම සමාගම් සියල්ල එකතු කර සමූහ සමාගමක් ලියා පදිංචි කර ඇත්තේ මීට කලකට පෙර සිටය.
තිළිණිගේ සුරූපී බව සහ සමාජ ආශ්‍රය නිසාම ඇය දේශපාලනඥයන්, ධනවතුන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් කෙටි කලකදී දැන හැඳින ගත්තාය. ධනවත් කාන්තාවක ලෙස සහ ඇය ඇසුරු කළ පුද්ගලයන් මාර්ගයෙන් මේ අය දැන හැඳින ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වූයේ නැත.
තිළිණි ඉන් අනතුරුව සිදු කරන්නේ තමා එලෙස දැන හඳුනාගත් ධනවතුන්ට තමන්ගේ සමූහ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කරන ලෙස ඉල්ලා සිටීමයි. ඒ අනුව ඇය සමග ඒ වන විටත් ලොකු සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය ධනවතුන් ඇගේ සමූහ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන්නේ ඒ සඳහා ඉහළ පොලියක්ද ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ඇය ප්‍රකට දේශපාලනඥයෙක්ද දැන හඳුනා ගන්නේ මේ අතරය. ඇය ඔහු ඇසුරු කරන්නේ අන් අයට තමන්ගේ දේශපාලන දැන හැඳුනුම්කම් පෙන්වීම සඳහාය.
තමන් බල පුළුවන්කාරියක බව සමාජයට පෙන්වීමට මේ අතර ඇය තවත් අලුත් වැඩක් කළාය. ඒ තමා ගමන් බිමන් යන වාහනය ඉදිරිපසින් සහ පිටුපසින් පෞද්ගලික ආරක්ෂක සමාගමකට අයත් ඩිෆෙන්ඩර් රථ ගිනි අවි සහිත ආරක්ෂකයන් සමග රැගෙන යාමයි. මේ සඳහා ඇය විශාල මුදලක් අදාළ ආරක්ෂක සමාගමකට ගෙවා තිබිණි.
ධනවතුන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මේ සුරූපිණියගේ සමාගම්වල මිල මුදල් ආයෝජනය කරන්නේ ඒ සඳහා ලොකු පොලී මුදලක් බලාපොරොත්තුවෙන් වුවද ටික කලක් ගත වෙද්දී මෙසේ මුදල් ආයෝජනය කළ පිරිසට තරු විසි වෙන්නේ මේ සුරූපිණිය තමන්ට ලැබිය යුතු මුදල් නැවත ලබා නොදෙමින් මඟ හරින බවට ඒත්තු ගැන්වීමත් සමගය.
මේ සුරූපිණිය තමන්ගේ මුදල් වංචා කළ බව දැනගත් තවත් ධනවතුන් පිරිසක් ඒ වන විටත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණව සිටි අතර ඇයට විරුද්ධව අධිකරණයේ නඩු 07ක් ද පැවරෙන්නේ ඉන් අනතුරුවය.
කාලය මෙසේ ගෙවී යද්දී තිළිණිට විරුද්ධව ලොකුම වෙඩි මුරය පත්තු කරන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු විසිනි. ඔහු නමින් සත්තාර් නමැති අයෙකි. රුපියල් මිලියන 226ක් ඇගේ සමාගමේ ආයෝජනය කළ මේ ව්‍යාපාරිකයා ඇය තමාට මේ මුදල වංචා කරන බව දැන ගන්නේ ටික කාලයකට පසුවය. එහෙත් කෝටිපති ව්‍යාපාරිකයා තමන් උගුලට හසුව තිබුණු බවත් දැන ගන්නා විට සියල්ල සිදු වී හමාරය.
![]() |
කාර්යාලය පවත්වාගෙන ගිය ස්ථානය |
කෝටිපති ව්‍යාපාරික සත්තාර් සේම කමල් හසන් නමැති තවත් ධනවතකුගේ මුදල් ද ඇය වංචාකර තිබිණි. මෙරටට ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය බව කියමින් ඇමෙරිකා ඩොලර් 60,000 ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ කමල් හසන්ගෙන් වංචා කර තිබිණි.
අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුවට අදාළ ව්‍යාපරිකයන් විසින් මේ සම්බන්ධව පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.
මේ ව්‍යාපාරිකයන් සි. අයි. ඩී. යට තිළිණි ගැන පැමිණිලි කිරීමට පෙර ඇයට මුදල් දුන් තවත් පුද්ගලයන් කීප දෙනකු සී.අයි.ඩි. යට ඒ ගැන පැමිණිලි කර තිබිණි. එම මුදල්වල වටිනාකම රුපියල් මිලියන 250ක් ඉක්මවයි.
මේ පැමිණිලි විමර්ශනය කළ රහස් පොලිසිය සැකකාර තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සූදානම් කරන්නේ සාක්ෂි සාධක සියල්ල එක්රැස් කරගෙනය.
කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථායේ 34 වැනි මහලේ තිළිණි ප්‍රියමාලිගේ කාර්යාලයට ගිය රහස් පොලිස් නිලධාරයෝ ඇය අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. ඒ සන්නද්ධ ආරක්ෂකයන්ගේ ආරක්ෂාව මාධ්‍යයේ ඈ සිටියදීය.
තිළිණි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිස් නිලධරයන් කටයුතු කළේ ඉන් අනතුරුවය.
රට හෙල්ලු පුවත් මැවු තිළිණි ගැන තොරතුරු රැසක් විමර්ශනවලදී කරලියට එන්නේ ඉන් පසුවය.
38 හැවිරිදි තිළිණි දරු දෙදෙනා සමග දිවි ගෙවන අතර, පළමු විවාහයෙන් වෙන් වී සිටින්නීය.
ආරක්ෂකයන් පිරිවරාගෙන ආරක්ෂක රථ පෙළක්ද සමඟ ගමන් බිමන් යමින් සමාජයේ බලවන්තියක ලෙස පෙනී සිටි මේ සුරුපිණීයට රැවටුණු කෝටිපතියන් දේශපාලනඥයන්, වෛද්‍යවරු, ධනවතුන්, නළුවන්, භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසකගෙන් ඇය වංචා කර ඇතිබව කියන මුදල රුපියල් කෝටි සියය ඉක්මවයි. එම මුදල් ආයෝජනය කර ඔවුන්ට ලාභාංශ සමග මුදල් ගෙවනවා වෙනුවට ඇය කර ඇත්තේ එම මුදල්වලින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම බව හෙළි කර ගැනීමට රහස් පොලිසියට වැඩි කාලයක් ගත වූයේ නැත.
මේ සුරූපිණියට රැවටුණු දේශපාලනයට ද සම්බන්ධ භික්ෂුවක් ඇයට රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් පරිත්‍යාග කර ඇති බවත් ඇය එම ජීප් රථය පසුව උකස් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.
ඇය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි තම කාර්යාලයට මාසිකව ගෙවන රුපියල් දාහතර ලක්ෂයක කුලියට අමතරව තමන් කුලියට ගෙන සිටින තවත් නිවාස රැසකට මාසයකට රුපියල් ලක්ෂ දෙක තුන බැගින් මුදල් ගෙවා ඇති බවද හෙළි වන්නේ රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය.
කොළඹ සහ අවට සුපිරි නිවාස සංකීර්ණවල නිවාස ලබා දෙන බව කියමින්ද ඇය මුදල් වංචා කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.
මේ සුරූපිණියට මුදල් ලබා දුන් අය අතර වෛද්‍යවරයකු ද සිටි බව හෙළිවී ඇත. ඔහු අහිමි කර ගත් මුදල රුපියල් කෝටි 40කි. ඇයට හසු වූ සිනමා නළුවා ගැන තොරතුරු ඇතත් ඔහු ඇයට දුන් මුදල ගැන මෙතෙක් තොරතුරු නැත.
තමාට මුදල් දුන් කෝටිපතියන් ප්‍රාණ ඇපයට ගැනීම සඳහා මේ සුරූපිණිය භාවිත කළ සුවිශේෂි උපක්‍රම ගැන තොරතුරු ද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබිණි.
එම කෝටිපති ව්‍යාපාරිකයන් සමග ලිංගික කරුණු කාරණා ගැන කතාබහ කිරීමට නිළියන් සහ නිරූපිකාවන් යොදවා ඒවා පටිගත කර පසුව එම කතාබහ ප්‍රසිද්ධ කරන බවට ඇය එම කෝටිපති ව්‍යාපාරිකයන්ට තර්ජනය කර ඇති බව හෙළි වන්නේ ඔය අතරය. දැනට අනාවරණය වී ඇති අන්දමට ඇය ඒ සඳහා යොදා ගෙන ඇත්තේ නිළියකි.
සැකකාරිය මේ කටයුතු සඳහා ඇයට ඉතා විශ්වාසවන්ත සහ සමීප නිළියන් සහ නිරූපිකාවන් 6දෙනෙකු සම්බන්ධ කරගෙන ඇති අතර ඉන් තිදෙනකු ජනප්‍රිය නිළියෝය. මේ අයට වරකට රුපියල් ලක්ෂ 5-10 මුදල් දී ඇති අතර රහස් පොලිසිය මේ ගැන වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.
මෙසේ එම හඩ පට ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කළ මේ සුරූපිණිය ආචාර්යවරයකු වන කෝටිපතියකු ඇතුළු විශාල පිරිසක් බිය වද්දා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.
රන් ලබා දෙන බව සඳහන් කරමින් ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා කීප දෙනකු ද මේ සැකකාරිය විසින් රවටා ඇති අතර, ව්‍යාපාරිකයකු කඩවත විහාරස්ථානයකට රැගෙන ගොස් ඇති බවද හෙළිවී ඇත. රංගන ශිල්පියකුට සහ හිටපු කැබිනට් ඇමැතිවරයකුටද රුපියල් මිලියන සියයක් පමණ වංචා කර ඇති බව කියන මේ සැකකාරිය හිටපු ආණ්ඩුකාරවරයකුට රුපියල් කෝටි අසුවක් පමණ වංචාකර ඇති බවද කියැවේ.
මීට අමතරව ඇය ජංගම දුරකථන හලක අයිතිකරුවකුට රුපියල් මිලියන 40ක් වංචාකර ඇති අතර ඔහු පිටකොටුව ප්‍රදේශයේ අයෙකි. මේ සුරූපිණිය සිදු කළ වංචාවලට ඇගේ කාර්ය මණ්ඩලයේ අයද ඍජුවම දායක වී ඇති බවට ලැබුණු තොරතුරු ඔස්සේ රහස් පොලිසිය ඒ ගැනද දීර්ඝ විමර්ශනයක නිරත වෙයි.
සැකකාරිය කිසිම ව්‍යාපාරයක් පවත්වාගෙන නොයෙන බවද හෙළි වී ඇත. සැකකාරියට අයත් තිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ලියාපදිංචි වී ඇති සමාගම් සංඛ්‍යාව 05කි. මේ සැකකාරිය විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගන්නා ලද රුපියල් කෝටි ගණනක මුදල්වලට සිදු කළේ කුමක්දැයි යන්න සොයා ගැනීම සඳහා දීර්ඝ විමර්ශනයක් පැවැත්වෙයි. ඇගේ වංචාවලට හසුවූ අයගෙන් සීඅයිඩීයට දිනපතා ලැබෙන ඇමතුම් ප්‍රමාණයද සුළුපටු නැත.
සැකකාරිය ගිනි අවි සහිත ආරක්ෂකයන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ පසුවීම ගැනද රහස් පොලිසිය මේ වන විට සිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙරට නම ගිය පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් ඇයට මේ ආරක්ෂාව ලබා දී තිබිණි. ඇය මේ ආරක්ෂකයන් පිරිවරා ගෙන ප්‍රභූ කාන්තාවක් ලෙස මහාමාර්ග වල ගමන් කර ඇති අතර උත්සවවලටද සහභාගී වී තිබේ.
මෙරට දේශපාලනඥයන් රැසක් සමග ඇය සමීපව ලබාගත් ඡායාරූප විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. සැකකාරිය සංගීත සංදර්ශන පවා සංවිධානය කරන බවත් මෑතකදී නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී ද සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රහස් පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය.
මේ සැකකාරිය දැවැන්ත චරිතයක් බවට රටට ලෝකයාට පෙන්වීමට තැත් කරන්නේ මෙවැනි විශාල වැඩසටහන්වලට ලොකු මුදලක් වැය කිරීමෙන් බව විමර්ශන නිලධාරින්ගේ අදහසයි. ඇය මේ කටයුතු සඳහා වැඩිපුරම නැවතී සිට ඇත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවෙසකය. ඇගේ සහභාගිත්වයෙන් කොළඹ තරු හෝටලයක පසුගිය දා මුහුරන් උළෙලක්ද පැවැත් වුණේ ඇගේ ත්‍රිකෝ සමාගම විසින් නිෂ්පාදනය කරන සිංහල චිත්‍රපටයක් වෙනුවෙනි. ඒ සඳහා ඊට රංගනයෙන් දායක වන නළු නිළියන් රැසක් ද සහභාගී වීම සුවිශේෂීය. මේ සඳහා ඉන්දීය සුප්‍රකට නිළියකටද ආරාධනා කර තිබීම සුවිශේෂිය. අදාළ චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 300 - 400 අතර මුදලක් ඇස්තමේන්තු කර තිබිණි. ඉකුත් ඔක්තෝබර් 05 වැනිදා ඇය අත්අඩංගුවට ගැනීමට පෙර මේ වසරේ ජූනි මාසයේදී මීගමුවේදී අත්අඩංගුවට ගැණුනු ඇය 2007 වසරේ දී කුරුඳුවත්ත පොලිසියෙන් ද 2018 වසරේ සීඅයිඩීයෙන්ද අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙවර ඔක්තෝබර් 05 වැනිදා අත්අඩංගුවට ගත් සැකකාර තිළිණි ප්‍රියමාලි රහස් පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කරන්නේ පසුගිය 06 වැනිදාය.
කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වා ගෙන යමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 226 කට අධික මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි රහස් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් යැයි පවසමින් රුපියල් මිලියන 226ක් සහ රුපියල් හැත්තෑපන්දාහක් ගෙන මුදල් නැති ගිණුමකට අදාළ අගරු චෙක්පත් ලබා දුන් බව සඳහන් කරමින් රහස් පොලිසියට මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ කොළඹ ගෝල්ෆේස් නිවාස සංකීර්ණයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන අබ්දුල් සත්තාර් අසීස්ය.
තමන් ඉකුත් මැයි මාසයේ 03 වැනිදා හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ නිවසට ගිය අවස්ථාවේ එහි සිටි කොළඹ කොටුව ක්‍රිෂ් ව්‍යාපෘතියේ සේවයේ නිරත ජානකී සිරිවර්ධන යන අය හමුවු බවත් ඇය විසින් තිකෝ ෆිල්ම්ස් පෞද්ගලික ආයතනයේ හිමිකාරිය බව කියන තිළිණි ප්‍රියමාලි නමැත්තිය තමාට හඳුන්වා දුන් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී සැකකාර තිළිණි ප්‍රියමාලි තම ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන ලෙසට තමා ගෙන් ඉල්ලා ඇති බවත් ඒ විශ්වාසය මත මැයි මාසයේ 04වැනිදා රුපියල් මිලියන 100ක් ද මැයි මාසයේ 05 වැනිදා රුපියල් මිලියන 126ක් සහ රුපියල් 75,000ක් ලබා දුන් බව පැමිණිල්ලේ සඳහන් යැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
මේ පැමිණිල්ලට අදාළව සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඇය පෞද්ගලික ආරක්ෂකයන් විශාල පිරිසක් පිරිවරා ගෙන ගමන් කරන අයකු බවත් ඇයට ස්ථීර පදිංචියක් නොමැති බවට හඳුනා ගත් අතර ඇය කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ තිකෝ සමූහ ව්‍යාපාරය නමින් ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යන අයකු බවට තොරතුරු අනාවරණය වූ බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායිකාව රුපියල් මිලියන 200ක් මුලින් ගෙවීමට එකඟ බවත් ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් සැකකාර තිළිණි ප්‍රියමාලි ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මේ සැකකාරිය තවත් ව්‍යාපාරිකයකුගෙන් අමෙරිකා ඩොලර් 60,000ක් සහ ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් වංචා කළැයි කියන තවත් නඩුවක්ද විභාගයට ගැනීමෙන් අනතුරුව එම නඩුව සම්බන්ධයෙන්ද ඇය ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම සිද්ධියට අදාළව රහස් පොලිසියට පැමිණිලි කර තිබුණේ කොළඹ විදෙස් මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක හිමිකරුවෙකි.