දෛව අංක 6 හිමි ඔබ ගැනයි මේ | Page 3 | සිළුමිණ

දෛව අංක 6 හිමි ඔබ ගැනයි මේ

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී 
පාඨශාලාචාර්ය 
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍ය සේවය

දෛව අංක 6 හිමි ඔබ සිකුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් බැවින් ඉතා යහපත් දක්ෂ පුද්ගලයෙකි. ඉතා ප්‍රායෝගික ගති පැවතුම් ඇති ඔබ, තරමක් ආවේගශීලීව කටයුතු කරන අවස්ථා ද බොහෝ විට දක්නට ලැබෙයි. ඕනෑම සමාජ මට්ටමක අයකු ඉතා ළඟින් ඇසුරු කිරීමේ හැකියාවක් ඔබට ඇත. යම් යම් දේවල් දැන ගත්තා කියා උඩඟු බවක් හෝ අහංකාරකමක් නැති අතර, එවැනි මවාපෑම් කිරීම ද ඔබේ සිරිත නොවේ. ඕනෑම දෙයක් අන් අයට හොඳින් දැනෙන ලෙස හොඳින් තේරුම් කර දීමේ විශේෂ හැකියාවක් ඔබට ඇත. එමෙන්ම අනිත් අයට හොඳින් සවන් දීමේ ගුණය ද ඔබට ඇත. රැකියාවක් හෝ ව්‍යාපාරයක් කළත් ඉතා දක්ෂ ලෙස සහ උනන්දුවෙන් කටයුතු කරන අතර, එමඟින් දියුණුව ද ඇති කරගත හැකිය.

ජීවිතයේ ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා නොහිතන ඔබ ඉතා මධ්‍යස්ථ දිවි පෙවෙතක් ගත කරන අයෙකි. ඉතා සමාජශීලී පුද්ගලයකු වන ඔබ ඕනෑම අයකු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම කැපකිරීම් සහ උදවු උපකාර කිරීමට පසුබට වන්නේ නැත. ඔබ ඇසුරු කිරීමට බොහෝ දෙනකු ප්‍රිය කරන්නේ ඔබ තුළ පවතින්නා වූ ඒ සුහදශීලී බව නිසාය. ළඟින් ඇසුරු කරන සමහර පුද්ගලයන් ගැන වඩාත් පරෙස්සම් වීම ඉතා වැදගත් වන්නේ ඔබගේ හිත හොඳකම ඔවුන් අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ ඇති නිසාය. බොහෝ විට රැවටීම් සහ වංචාවන්ට පවා හසු වීමේ ඉඩකඩක් පවතින බැවින් සියලු දෙනා විශ්වාස කිරීමෙන් වළකින්න. තමන්ට අවශ්‍ය උදවු ඕනෑම කෙනකුගෙන් කෙසේ හෝ ලබා ගැනීමට ද ඔබ තුළ යම් දක්ෂතාවක් පවතී. මුදල් ඉපයීමට මෙන්ම වියදම් කිරීමට ද රුසියකු වුවත් තමා වෙනුවෙන් යම් තැන්පත් මුදලක් ඉතිරි කර ගැනීමට ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුය.

ඉතා විනෝදකාමී මෙන්ම සෞන්දර්ය හැකියාවන් ද ඔබ සතුව පවතින අතර, සෞන්දර්යය රස වින්දනයට ද බෙහෙවින් ප්‍රිය කරයි.

විසිතුරු මල් වර්ග වැවීම, සුරතල් සතුන් ඇති කිරීම ඔබගේ විනෝදාංශයි. ඉතා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම ඔබගේ එකම බලාපොරොත්තුව වන අතර, තම සහකරුවා, සහකාරිය සමඟ විනෝදයෙන්, සතුටින් කාලය ගත කිරීමට නිතරම උත්සාහ කරයි.

තම මිතුරන්, ඥාතීන් ඇතුළු ඇසුරු කරන අයගේ ස්වභාවයන්ට අනුගත වෙමින් ඔවුන්ට අනුකූලව ජීවත් වීමේ හැකියාවක් ඔබට ඇත. ඒ නිසාම ඔබ අන් අය සමඟ මත භේද ඇති කරන්නා අවස්ථා ඉතා අඩුය. කෙසේ වුවත් ඉතා සමබර, සාර්ථක ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඔබට ඇත.

දෛව අංක 7 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

Comments