මැතිව්ස්ට පිස්සු වැටුණු නුවර කෙල්ල | Page 3 | සිළුමිණ

මැතිව්ස්ට පිස්සු වැටුණු නුවර කෙල්ල

 

ජීවිතයට පාටක් අවශ්‍යමය. අපේ ජීවිතය කළුසුදු වන්නේද, වර්ණවත් වන්නේද අප විසින්ම ගන්නා තීන්දු තීරණ මතය. ඊයේ පෙරේදා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව ඇන්ජෙලෝ මැතිව්ස් සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරද්දී මහනුවර සිට ඔහු දැක බලා ගැනීමට ගාල්ලට පැමිණි නුවන්දි රන්දීපනී සමරදිවාකර එසේ ජීවිතය වර්ණවත් කරගත් අපූරු යුවතියකි. මැතිව්ස් දැක බලා ගැනීමට වසර 13ක් පෙරුම් පිරූ මේ යුවතිය එදා ගාලු ක්‍රීඩාංගණයේදී මැතිව්ස් මුණ ගැසීම මේ වන විට දෙස් විදෙස් වෙබ් අඩවිවල වැඩි අවධානය දිනා ගත් කාරණාවක් බවට පත්වූයේ ද එහි ඇති අපූර්වත්වය නිසාය.

මහනුවර උසස් බාලිකාවෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් භෞත චිකිත්සක ඩිප්ලෝමාව සමත්ව සිටින 25 හැවිරිදි මේ දිරියසම්පන්න යුවතිය පියවරෙන් පියවර සිය ජීවිතය සාර්ථක කරගත් අයුරු ගාලු ක්‍රීඩාංගණයේදී මැතිව්ස් සමඟ සෙල්ෆි ඡායාරූප ගනිමින් අන්තර්ජාලය කැලඹූ කතාවට වඩා වෙනස්ය. එය ඇගේ පරපුරේ සියලු යුවතියන්ට කදිම අභිප්‍රේරණයක් ගෙන දෙන කතාවකි. ඇය ‘සිළුමිණ‘ට කියන්නේ වැඩි දෙනකු නොදන්නා ඒ කතාවය.

ක්‍රිකට් පිස්සෝ

අපේ පවුලම ක්‍රිකට් පිස්සෝ. මම තමයි වැඩිමලා. අවුරුදු 13ක් තිස්සේ ඇන්ජලෝ මැතිව්ස් මගේ ක්‍රිකට් වීරයා වුණත් මම ක්‍රීඩාවට ආසා කළේ පොඩි කාලේ ඉඳලමයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ මාපියන්. අම්මා රම්‍යා කුලරත්න. මහනුවර ගොහාගොඩ ධර්මවිජය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය. තාත්තා අජන්ත නන්දලාල්. පෞද්ගලික බැංකුවක සේවය කරලා දැන් විශ්‍රාම ගිහින් ව්‍යාපාර කටයුතු කරන්නේ. මල්ලි මිනිඳු තාරින්ද මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට රැකියාව කරනවා. නංගි විනුරි නේත්‍රා මෝස්තර නිර්මාණ උපාධියක් කරමිනුයි ඉන්නේ. තාත්තයි, මල්ලියි දෙන්නම ක්‍රිකට් සෙල්ලම් කළා. අපි ක්‍රිකට් ක්‍රීඩාවට හරියට ආදරය කළ පවුලක්. ඒ වගේම අපේ පන්තියේ යාළුවොත් එහෙමයි. ඒ කාලේ අපේ ගොඩාක් අයගේ ක්‍රිකට් වීරයෝ වුණේ මහේල, සංගක්කාර වගේ අය. ඒත් මමයි මගේ යාළුවෙකුයි 2008 සිම්බාබ්වේ එක්ක තිබුණු තරගයකට සෙල්ලම් කරපු ඇන්ජලෝ මැතිව්ස්ට කැමතිවුණා. ඒක තමයි මැතිව්ස්ගේ මුල්ම ජාත්‍යන්තර තරගය වුණේ. මට එතකොට අවුරුදු 11යි. හය වසරේ හිටියේ. අපි කොච්චර මැතිව්ස්ට ආසද කියනවා නම් ඉස්කෝලේ හැමෝම ඒක දැනගෙන හිටියා. ‍

ජීවිතයට ඉලක්කයක්

ඒක මෙහෙමයි. අපි නළුවෙක්ට නිළියෙක්ට ආසා වෙනවා. ඔය වගේ පුංචි කාලේ ඉඳලා ඇතිවුණු ආසාවක් තමයි මට තියෙන්නේ. මට භෞත චිකිත්සික කෙනෙක් වෙන්න අදහසක් ආවේ 2010 වසරේදී මම දැක්කා නවසීලන්ත ක්‍රිකට් පිලේ භෞත චිකිත්සක කාන්තාවක් කියලා. මොකද ඒ කාලේ අපි බැලුවේ කෙල්ලෙක්ට ටීම් එකට පැන ගන්න පුළුවන්ද කියන එකනේ. ඒකත් එක්ක නවසීලන්ත පිලේ පත්තරේ භෞත චිකිත්සකවරිය කියලා තමයි තිබ්බ එක ඒ කාලේ වැඩි අවධානයකට ලක්වුණා. ඒ කියන්නෙ ක්‍රිකට් ටීම් එකක් ඇතුළේ අපිටත් ඉන්න පුළුවන් කියන එක ඔළුවට ආවා. ගුරුවරියන් නම් කිව්වේ ලෝ කරන්න කියලා. මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් කළේ මම ඒකට ආසා හින්දා.

මැතිව්ස්ගේ ආබාධය

ඒ කාලයේ තමයි ඇන්ජලෝට හෙමින් හෙමින් එකපාරටම පාදයේ ආබාධයක් ඇති වුණේ. ඒක හැම්ස්ට්‍රින් ඉන්ජරි එකක්

එතකොට මට හිතුණා මේක සනීප කරන්න පුළුවන් ද පුළුවන් වුණොත් හොඳයි බැරිවුණොත් මොකද වෙන්නේ. එයා පවුනේ. එයා ආයේ සෙල්ලම් කළේ නැති වුණොත් මට මොකද වෙන්නේ. මම ආයේ බලන්නේ මොනවද? අවුරුදු 18ක ගැහැනු ළමයෙක් වෙලත් ඔය වගේ දේවල් තමයි මට හිතුණේ. ඊට පස්සේ මම අධ්‍යයනය කළා මොකක්ද‍ මේ භෞත චිකිත්සාව කියන්නේ කියලා. බලනකොට මේක හරිම සිත්ඇදගන්න ක්ෂේත්‍රයක්. ඩොක්ටර් කෙනෙක් ජීවිතය දෙනවා. හැබැයි ඒ ජීවිතය ජීවත් කරවන්න උගන්වන්නේ මේක. ඒක හරි තෘප්තිමත් රැකියාවක් කියලා මට හිතුණා. අපි කාලෙන් කාලෙට අපේ හැකියාවන් අඳුන ගන්නවනේ. ඒ විදිහට මට විශ්වාසයක් මා ගැන ඇතිවුණා මේ වෘත්තීය ගැන. මම විශ්වාස කළා. ඇන්ජෙලෝ කාටවත්ම සනීප කරගන්න බැරිවුණොත් මට කවදාහරි සුදුසුකම් සපුරාලා මෙයාට උදව් කරන්න පුළුවන් දවසක් එයි කියලා. එයා ඒ වෙද්දී ක්‍රීඩාවේ රැඳී ඉන්නම ඕන නෑ. ඒත් කවදාහරි දවසක ඒ වගේ අවස්ථාවක් එන්න පුළුවන්නේ. අන්න ඒක මගේ ඔළුවේ තිබුණා.

මැතිව්ස් හමුවන දවසක්

ඇන්ජිව කවදහරි දවසක මුණ ගැහෙන දවසක් ගැන පවා ඉස්සර ඉදන් මම හිතින් මවාගත්තා. මගේ මනස මම සකස් කරගත්තේ ඒ මවා ගත්තු දේ එක්කයි. මම වැඩ කරන්න ඕන මේකට. මම මගේ ටාගට් එකට යන්න ඕන කියලා.මම භෞත චිකිත්සාව කරන්න යනවා කිව්වම මට හිනාවුණු අය හිටියා. මට හිතාගන්න බැරිවුණා ඇයි කියලා. ඒත් මම මගේ වැඩ ටික කරගෙන ගියා ඒක ගණනකට ගත්තේ නෑ. මම දවසක මගේ ඉලක්කයට එනවා කියලා. මම උසස්පෙළ කළා. රජයේ විශ්වවිද්‍යාලයකට යන්න තරම් ලොකු ප්‍රතිඵලයක් ආවේ නෑ. එහෙම වුණා කියලා දෙවැනි වතාවේ කරන්න මට ඕන වුණේ නෑ කාලය නාස්ති කරන්න බැරි නිසා. මම තාත්තට කිව්වා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බලමු කියලා. මොකද මගේ ඉලක්කය වුණේ ක්‍රීඩාව පැත්තෙන් යන්නයි. ඒ නිසා මම පෞද්ගලික විශ්වවිද්‍යලයෙන් ඒකට ඇතුළුවුණා.

භෞත චිකිත්සක මෘදුකාංගයක්

විශ්වවිද්‍යාලයේ මගේ වැඩකටයුතු සාර්ථකව ඉවර කළා. පර්යේෂණ හතරක් ඉවර කළා. ඉන් එකකට මම ගත්තේ ක්‍රීඩා කරන ළමයින්ගේ ආබාධ ගැන. ඒක හොයන්නෙත් මැතිව්ස්ගේ ආබාධය නිසා. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන් කිහිපයකටත් සහභාගි වුණා. ඊළඟට මම මෘදුකාංගයක් හඳුන්වා දෙනවා. ඒක හඳුන්වා දෙන්නේ මම අවබෝධ කරගත්තු යම් යම් කරුණු නිසායි. අපි සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ළඟට යද්දී රෝග ඉතිහාසය වගේ තොරතුරු ඇතුළත් පොතක් අරගෙන යනවනේ. වෛද්‍යවරුන්ට වඩා අපි භෞත චිකිත්සික පැත්තෙන් ගත්තොත් යම් කෙනකුගේ උරහිසේ වේදනාවක් වගේ දෙයක් තියෙනවා කියලා හිතමු. ඒකට භෞත චිකිත්සික වැඩ කරද්දී එයාට යම් විදිහකින් විදේශගතවීමක් වගේ දෙයක් වුණොත් එයා තව භෞත චිකිත්සික කෙනකුට බාර දෙනවනේ. එතකොට මොනවහරි ලියලා තියෙන දෙයක් තමයි එයාට දෙන්න වෙන්නේ. දැන් තාක්ෂණය දියුණුයිනේ. ඉතින් එයාගේ වේදනාව සම්බන්ධ තොරතුරු ඇප් එකට ඇතුළත් කරන්න පුළුවන් නම්. මම ඒක ඉදිරිපත් කරද්දී උදාහරණයට ගත්තෙත් ක්‍රිකට් කණ්ඩායම. යම් විදිහකින් අපේ භෞත චිකිත්සික මෙහේ ඉන්දැද්දී කණ්ඩායම විදේශගත වුණොත් යම්කිසි ක්‍රීඩකයකුට භෞත චිකිත්සික ප්‍රතිකාර අවශ්‍ය වුණු වෙලාවක එතකොට මෙයාට ආයේ මුල ඉදල විස්තර කරන්න වෙනවා. ඇයි අපිට බැරි මෘදුකාංගයක් තුළින් ඒ දේ කරන්න. එතකොට ක්‍රීඩකයාගේ නම, මුරපදයක් වගේ දෙයක් භාවිත කරලා ක්‍රීඩකයාගේ මුළු රෝග ඉතිහාසයම එන විදිහට අපිට ගන්න පුළුවන් නේ.එතකොට තමන්ගේ භෞත චිකිත්සික ඉන්නම ඕන නෑ. එයාට ඕනම භෞත චිකිත්සිකකෙනෙක් ගාවට ගිහින් තමන්ට එදාට අවශ්‍ය භෞත චිකිත්සාව කරගන්න පුළුවනි.

මම භෞත චිකිත්සක ඩිප්ලෝමාව ගන්නේ 2020 දි. පෙබරවාරියේදි. නමුත් ඩිප්ලෝමා ඇති අයට ලංකාවේ වැඩ කරන්න බැහැ. ඊට පස්සේ මම හිතුවා ස්වේච්ඡා කරනවා කියලා. ඊළඟට මාර්තුවේදි මට රැකියාව ලැබෙනවා පළමු සම්මුඛ පරික්ෂණයේදිම. ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කිර්තිමත් වෛද්‍යවරයකු ළඟ වැඩකරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් මට ලැබුණේ කාන්තාවන් සම්බන්ධ පිසියෝ වැඩ කරන්න. ඒත් ඒකෙන් මම පුදුම විදිහට සතුටු වෙනවා. එතනදි තමයි මම අවබෝධ කරගන්නේ ලංකාවේ ගොඩාක් කාන්තාවන් විෂාදය තත්ත්වයට පත්වෙලා ඉන්නේ කියලා. ඒත් එගොල්ලෝ කැමැති නෑ ඒ ගැන කතා කරන්න. කෙනකුට කියන්නෙත් නෑ. එයාලගේ ශරීර වේදනාව 50% ක්නම් ඉතිරි 50% ම තියෙන්නේ හිතේ අමාරුව. සමහරවිට ඊට වැඩිවෙන්න පුළුවන්. එයාලා ඒතරම් හිතේ අමාරුවෙන් ඉන්නේ. සමහර කට්ටිය මට කියනවා මම දැන් සැමියාට හොඳ මදි කියලා. මම දැන් ලස්සන නැහැ. කියලා. ඒත් දන්නවද හොඳම දේ. එයාට මම ප්‍රතිකාර කරන පැය දෙකක කාලයේ සැමියා වාඩිවෙලා ඉන්නවා එළියට වෙලා. ඒ ආදරේ එයා දන්නේ නැහැ සමහර වෙලාවට. සැමියා කොච්චර ආදරේද කියන එක සමහරවිට එයාට පේන්නේ නැහැ. සමහර අය මා එක්ක කියනවා මගේ පුතා එංගලන්තයේ ඉන්නේ. මගේ දුව ඔස්ට්‍රේලියාවේ කියලා හැබැයි තමන් එක්ක ගෙදර ඉන්න සැමියා ගැන වචනයක්වත් කියන්නේ නැහැ. මේක හරි ප්‍රීතිමත් වෘත්තියක්. දැනට මම පොතක් ලියන ගමන් ඉන්නේ ශ්‍රී ලාංකික කාන්තාවෝ කියලා. ඒක තනිකරම යන්නේ සත්‍ය සිදුවීම් එක්ක. මම ලැබූ අත්දැකීම් තමයි ඒකට පාදක වෙන්නේ.

ආදරය බෙදාදීම

මම සාමාන්‍යයෙන් මගේ පේෂන්ට්ස්ලාට කතා කරන්නේ බබා කියලා. මම මිස් කියන්නේ නෑ. අම්මා කියන්නේ නෑ. මොකද අම්මා කිව්වම එයාට එතැනත් වගකීමක් වගේ දැනෙනවා. ගෙදර වගේ. මම බබා කිව්වම දවසක් කෙනෙක් ඇඩුවා. මට වඩා වැඩිමල් දරුවෝ ඉන්නවා කියලා මම කිව්වම මෙතෙන්ට එන හැමෝම මගේ බබාලා කියලා. එයා කියනවා මගේ හස්බන්ඩ් මා එක්ක යාළුවෙලා හිටිය කාලෙට පස්සේ මම පළමුවතාවට බබා කිව්වේ ඔයා කියලා. මම හරි ආසයි ආදරේ අනිත් අයට දෙන්න. මම ලේසියෙන් කෙනෙකුට නම කියලා කතා කරන්නේ නෑ ඔය වගේ ආදරණීය වචනවලින් ආමන්ත්‍රණය කරනවා. මේ අත්දැකීම් මට ලැබුණේ මම එදා ආසාවෙන් මේ වෘත්තියට එන්න හිතපු නිසානේ. ඒක වුණේ මැතිව්ස් නිසා. එයාලා ප්‍රතිකාර අරගෙන ගියාට පස්සෙත් මට කතා කරනවා. අන්තිම දවසේ එයාලා මට කතා කරලා පින් දෙනවා. මම කියනවා ඒකෙන් භාගයක් මැතිව්ස්ටත් දෙන්න ඕන කියලා. මොකද ඒ හැම කෙනෙක්ම මගේ කතාව දන්නවා. එයාලත් මට හිනාවෙවි කියනවා කවදහරි දවසක එයා ඔයාට හම්බවෙන්න ඕනා කියලා.

ජීවිතයට ඉලක්ක

මම කියන්නේ අපිට ඉලක්ක තියෙන්න ඕනා. ඉලක්ක තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. මම දකින්නේ ඒක. අද දවසේ අපි හොඳින් ඉන්නවා හරි. ඒත් හෙට දවසේ අවදි වෙන්නත් හේතුවක් තියෙන්න ඕනා. මම මේ වෘත්තියට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා මම කවදාවත් එපා වෙලා නෑ. මම සතියකට දවස් 6ක් වැඩ කරනවා. සමහර වෙලාවට රෑ වෙලා තනියෙන් ගෙදර යන්නේ අම්මා තාත්තාටවත් කරදර කරන්නේ නෑ. මම හැමදේම තනියෙන් කරගත්තේ.

මම ගාල්ලේ ආවෙත් තනියම. ඊට කලින් කවදාවත් මම ගාල්ලේ ඇවිත් නෑ. මම කිව්වනේ තමන්ට ඉලක්ක තියෙන්න ඕනා කියලා. මම කවදාහරි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ භෞත චිකිත්සික වෙන්න ඉලක්කයක් තියෙනවා. එතැනට යන්න කලින් ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලබන්න ඕන කමක් තියෙනවා. ඒ තනතුරට පත්වුණාට පස්සේත් ඉලක්ක තියෙනවා. කවදහරි දවසක ඉහළ ගුණාත්මක. හැම පහසුකමක්ම තියෙන භෞත චිකිත්සක මධ්‍යස්ථානයක් ලංකාවේ අනිවාර්යෙන්ම දාන්න. හැබැයි ඒකත් නොමිලේ.

මැතිව්ස් මුණගැසීම

මම ගාල්ලේ ආවේ තනියම. එන්න හිතුණා මම ආවා. අපේ අම්මා දන්නවා ඒක. ඒත් තාත්තා අකමැතිවුණා. මට බැන්නා. මම හැමදාම තාත්තාට කියන්නෙ තාත්තේ මිනිස්සු හිතන විදිහට මට ඉන්න බෑ කියලා. මට අරමුණු තියෙනවා ඉටු කරගන්න කියලා. අනික මේක මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගය. මම නැතුව ඔතැන කවුද ඉන්න ඕනා කියලා. හරි එයාගේ වයිෆ් ඉන්නවා පවුලේ අය ඉන්නවා. මාත් ඉන්න ඕනා. මම එයාගේ ලොකුම රසිකාවිය. එහෙම කියලා තමයි මම එදා උදේ පහමාරේ කොච්චියේ එන්නේ. මම ජීවිතේට ගාල්ලට ආපු කෙල්ලෙක් නෙවෙයි. මම අත වැනුවා. එයත් ප්‍රතිචාර දැක්වුවා. ඊට පස්සේ තමයි මට හිතුනේ පෝස්ටර් එකක් ලියන්න ඕන කියලා. හාෆ්ෂීට් එකක් ඉල්ලගත්තේ ආරක්ෂක නිලධාරියක්ගෙන්. මට අවුරුදු 13 කියන එක ඉස්මතු කරලා පෙන්නන්න ඕන වුණා. ඒකට තමයි මගේ රතු පාට ලිප්ස්ටික් එක පාවිච්චි කළේ. අවුරුදු 13ක් දැකපු හීනයක්. අන්තිමට සැබෑ වුණා. අත්සන ගත්තට මට එයා එක්ක පින්තූරයක් ගන්න බැරිවුණා. දුරකතනයේ කැමරාව ඔන් කරගන්න කොට එයා ගිහින්. මට ඇඩුණා. මම බිම දණගහගෙන ඇඩුවා. හැමෝම මා දිහා බලාගෙන ඉන්නවා. එතැන හිටපු හැමෝම මට උදව් කළා. එතැන හිටපු මල්ලි කෙනෙක් මට කිව්වා අපි තව ටිකක් ඉවසමු. ෆෝන් එකේ කැමරාව ඔන් කරගන්න ලැස්තිවෙලා ඉන්න කියලා. එයා අනිවාර්යෙන්ම ආපහු එනවා කියලා. ඒ වගේම එයා ආවා. මට ඒත් පින්තුර ගන්න අමාරු වුණා. මාව වේව්ලනවා. අන්තිමට කොහොමහරි පින්තූරයක් ගත්තා. හැබැයි මගේ සිහිය කොහොමද කියනවානම් මට මාස්ක් එක ගලවන්න බැරි වුණා. මට ගොඩාක් දුක හිතුණා. මම ඒක මුහුණු පොතේ දැම්මා. සටහනකුත් එක්ක. පැයක් දෙකක් යන්න හම්බවුණේ නෑ ඒක පුදුම විදිහට ශෙයාර් වුණා. හැමතැනකට ශෙයාර් වුණා. හිතුවේවත් නෑ. මැතිව්ස්ගේ ඥාතින් මට කතා කළා. එයාලා මට මැතිව්ස්ගේ මැනේජර්ගේ දුරකතන අංකය දුන්නා. වෙබ් අඩවිවල දාලා ඔයාට පුළුවන් මැතිව්ස්ව හම්බවෙන්න ආයෙම කියලා. හෙටත් එන්න කියලා.

ඊළඟ දවසෙත් මම ගියා. එයා ආවා මා ගාවට. එයා හරිම නිහතමානී චරිතයක්. මා එක්ක කතා කළේ ආත්ම ගණනාවක් මාව දන්නවා වගේ. මැතිව්ස් එක්ක ඉදලා සෙල්ෆි එක ගන්නකොට මාව වෙව්ලනවා. ඒක හරියට ගන්න බැරිවුණා. එයා ඇහුවා මම ගන්නද ඔයා වෙව්ලනවා කියලා. ඊට පස්සේ එයා මගේ ෆෝන් එක අරන් අපි දෙන්නගේ සෙල්ෆි ගොඩාක් ගත්තා. මට හරි සතුටුයි. මට ලංකාවේ ගොඩාක් අය උදව් කළා. ඇන්ජි මට කිව්වා එදා එයාගේ ෆොන් එකේ ඉන්බොක්ස් එක පිරිලලු. කෙටි පණිවුඩවලින්. හැමෝම එවලා තිබුණේ මගේ මුහුණුපොතේ සටහනේ ලින්ක් එකලු. එයාගේ යාළුවෝ වට්ස්ඇප්වලින්ද, මුහුණුපොතෙන්ද එකම ලින්ක් එක ආයේ ආයේ එවනවලු. ආදරණීය ඇන්ජි කියලා දාපු එක. එයා ඒක කියවලා. ඒක කියවලා තමයි එයා කියලා තිබුණේ මට එන්න කියලා. එයා මට එයාගේ ලොකුම රසිකාවිය කියන ලේබලය දුන්නා

මට ඇත්තටම ඕන කරලා තිබුණේ එයා දැනගන්න ඕන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. මොකද එයා දන්නවා නම් එයා හින්දා තමයි මම මගේ ජීවිතේ ඉලක්කවලට ගියේ කියලා. ඒක එයාට කොයිතරම් සතුටක් වේවිද. ඒකයි මට වුවමනා වුණේ. මීළඟට මගේ ජීවිතේ භෞත චිකිත්සක කෙනෙක් විදිහට ලබාගන්නා හැම ජයක්ම එයා දකීවි අනිවාර්යෙන්ම. එයා විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ වුණත් ඒවා දකිනකොට කොයිතරම් සතුටු වේවිද මතක් වේවි මේ ළමයා මේ තැනට ගියේ මං හින්දනේ කියලා. මට එයාට ඊට වඩා ලොකු තෑග්ගක් දෙන්න බෑ මේ ලෝකේ.

යුවතියන්ට පණිවුඩයක්

මම ගැහැනු ළමයින්ට කියන්නේ හැකියාව හඳුන ගන්න කියලා. ඒක හඳුන ගත්තොත් ඉලක්කවලට යන්න ලෙහෙසියි. මම මගේ ඉලක්කවලට යමිනුයි ඉන්නේ. ඉතාමත් සතුටින්. හරිම නිදහසින්. ඒකට ප්‍රධාන හේතුව වුණේ මොකක්ද. මගේ පොඩි කාලේ ඉඳලා මගේ හිතෙ ජීවත්වුණු වීරයා මැතිව්ස්. මැතිව්ස්ට මගේ හිතේ ලොකු තැනක් තියෙනවා. එයා තමයි මට මෙතැනට එන්න පන්නරයක් වුණේ. ඒක එයා දන්නෙවත් නැහැ. හැබැයි ඒකට මගේ මාපියන්, පවුලේ අය වටේ ඉන්න අය හැමෝම උදව් කළා. අන්න ඒකයි මම කියන්නේ අපිට ඉලක්ක තියෙන්න ඕනා කියලා. නැතිනම් මේ ජීවිතෙන් වැඩක් නැහැ. ගෘහනියක් වෙන එක විතරක් හොඳ නෑ කියලා මම කියන්නේ නෑ. ඒක ලෝකේ තියෙන අමාරුම වැඩක්. ඒත් තමන්ගේ වටිනාකම තේරුම් අරගෙන ඉලක්කවලට යන එක අතහරින්න හොඳ නැහැ. අම්මගෙන් මම ඒවා ඉගෙන ගත්තේ. එයා උපාධිය සම්පූර්ණ කළේ අවුරුදු 40න් වගේ. ඒ වෙද්දි අපිත් ඉපදිලා. මට දැන් කියන්න කතාවක් තියෙනවා. තව ගැහැනු ළමයකුට කියන්න කතාවක් තියෙනවා. ඉවසීම තියෙන්න ඕන අවශ්‍ය දේවල් ලබාගන්න. සමාජය අපිට එක එක බාධක දැම්මට මම කියන්නේ හීනවල ජීවත් වෙන්න. හීන කවදාවත් දුර නෑ. කාලය ටිකක් යයි. හැබැයි හීන දුර නැහැ.

 

 

Comments