ඔබගේ ශ්‍රමය උණ්ඩියල්, හවාලා ජාවාරමුන්ට විකුණනවාද? | Page 3 | සිළුමිණ

ඔබගේ ශ්‍රමය උණ්ඩියල්, හවාලා ජාවාරමුන්ට විකුණනවාද?

‘උණ්ඩියල්‘....‘හවාලා‘..... අපට වැඩිය හුරු වදන් දෙකක් නොවේ. ශ්‍රී ලංකාවේ විනිමය නීතියට අනුව ශ්‍රී ලාංකේය පුද්ගලයකු විදේශ රටකින් මුදල් එවීමේ දී රාජ්‍ය හෝ වාණිජ බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් හරහා හෝ මුදල් එවිය යුතුය. එහිදී මූල්‍ය බුද්ධි ඒකකය මඟින් නිකුත් කර ඇති නීති රෙගුලාසි අනුව එම මුදල් ලැබෙන මූලාශ්‍රය (source of money) සහ ඒ මුදල් ලැබුණු හේතුව පිළිබඳවද විමසීමට අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් කටයුතු කළ යුතුය.

මෙවන් මූල්‍ය විමසීම් තොරතුරු විදෙස් ගනුදෙනුවලට පමණක් ශ්‍රී ලංකාව ඇතුළත මුදල් තැන්පත් කිරීමේ දී හා ආපසු ගැනීමේ දී සිදු කළ යුතුය. විශේෂයෙන්ම තම ගනුදෙනුකරුවන් හා ඔවුන්ගේ ගනුදෙනු සහ ව්‍යාපාර පිළිබඳ විමසිලිමත් වීම බැංකු හා මූල්‍ය ආයතන සතු වගකීමක්ද වේ. එසේ නොමැතිව අසීමිත ලෙස ගිණුම්වලට මුදල් තරවෙද්දී එය නොසලකා සිටීම හෝ ව්‍යාපාරයන් සතු විශාල මුදල් එක්වරම ආපසු ගැනීම වැනි කරුණු නොසලකා සිටීම නොව යම් සැකයක් පවතී නම් එම ගනුදෙනුවට අදාළ මුදල් ප්‍රමාණය අඩු හෝ වැඩිවීම නොසලකා අනිවාර්යයෙන් ම මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කළ යුතු ය.

මෙසේ කටයුතු කිරීමට අදාළ ක්‍රමවේද සකසා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුව කටයුතු කළ යුතු නිසාය. කිසිදු ලෙසකින් අයථා උපයාගැනීම් සහ කළුසල්ලි සංචරණය වීම වැළැක්වීම එහි අරමුණ වේ.

එහෙත් වර්තමානය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ද සිදු කරන්නේ මේ ලෙසින් සම්මත නොවන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝණය කරමින් මුදල් මෙරටට එවීමයි. ඊට හේතුව වන්නේ ඩොලරයට අඩු මුදලක් ගෙවීමයි.

උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ සිටින අයෙක් ඩොලර් 1000ක් එවන්නේ නම් එම බැංකුව විසින් අදාළ ඩොලරයට අනුපාතිකව මෙරටට එවනු ලබන මුදල වන්නේ එක් ඩොලරයක් වෙනුවෙන් රුපියල් 350කට ආසන්න මුදලක් ගෙවීමට හැකිවන පරිදිය.

එවිට රුපියල් 350,000ක් මෙට සිටින්නාට හිමි වේ. (බැංකු ගාස්තු ආදිය අය කරගනු ලැබේ) එහෙත් මේ වෙනුවෙන් විදෙස්ගතව නිල නොලත් බ්‍රෝකර්වරුන් සිටිති. ඔවුන් විසින් සිදු කරන්නේ අදාළ පුද්ගලයාට ඩොලරයට රුපියල් 370ක් හෝ 380ක් පමණ ගෙවීමට කටයුතු කිරීමයි. එවිට මෙරට සිටින්නාට රුපියල් 370,000ක් හෝ 380,000ක් හෝ හිමි වේ.

නිල ක්‍රමයෙන් එවීමේදී අදාළ බැංකු අතර සිදුවන ප්‍රේෂණ නිසා සියල්ල ගිණුම් ගත වේ. එහෙත් නීති විරෝධී ලෙස එවීමේදී සිදුවන්නේ ඊට බොහෝ ලෙසින් වෙනත් ක්‍රමවේදයකි. එහිදී සිදුවන්නේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයා තම මුදල් එරට සිටින නිල නොවන මුදල් තැරැව්කරුවන්ට ලබා දෙයි. ඔවුන් විසින් එම මුදල් තම සන්තකයේ තබාගෙන මෙරට සිටින නියෝජිතයකුට අදාළ ශ්‍රී ලාංකිකයාගේ ඥාතියාගේ ගිණුමට අදාළ මුදල් බැර කරන ලෙස දැනුම් දීමයි. අදාළ ශ්‍රී ලාංකික නියෝජිතයා පැය ගණනාවක් ඇතුළත එය සිදු කරයි.

මුදල් බාරගත් එතෙර නියෝජිතයා එම මුදල් මත්කුඩු ජාවාරම්කරුවන් වෙත හෝ වෙනත් ජාවාරම්කරුවන්ට හෝ යොමු කරන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින නියෝජිතයාට එවන්නේ මත්කුඩු හෝ වෙනත් නීති විරෝධී භාණ්ඩයන්ය. ඒ ඔවුන්ට අදාළ ඔවුන් විසින්ම සකස් කරගෙන සිටින නීති විරෝධී ක්‍රමවේද හරහාය. එතෙර සේවය කරන ශ්‍රී ලාංකිකයාගේ මෙතෙර සිටින ඥාතියාගේ ගිණුමට මුදල් දැම්මේ කවුරුන්ද? කුමක් උදෙසාද? හේතුව හෝ කොතැනකවත් සඳහන් වන්නේ නැත. මේ වන විට සියලුම බැංකුවල මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර ඇති බැවින් මෙය ඉතා පහසුය. ‘උණ්ඩියල්‘ ක්‍රමයට මුදල් යවනවා යනුවෙන් හැඳින්වෙන්නේ මේ ක්‍රමවේදයයි. අතීතයේ රජ දවස රජුගේ බදු එකතු කර උණ්ඩි ගසා ගෙන යන්නා ‘උණ්ඩිරාල‘ – ‘උණ්ඩියා‘ යනුවෙන් හඳුන්වා තිබේ. ඒ අනුව මේ ක්‍රමවේදය උණ්ඩියල් යනුවෙන් හැඳින්වීම ඉතා පැහැදිලිය. උණ්ඩියල් මෙන්ම හවාලා ක්‍රමයද මේ ලෙසින්ම අන්තර්ජාතික මුදල් හුවමාරු අනීතික ක්‍රමවේදයකි.

“හවාලා” යනුවෙන් හැඳින්වෙන්නේ ද ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල බහුලව ක්‍රියාත්මක මුදල් ප්‍රේෂණ ක්‍රමවේදයකි.

එහි දී සිදු වන්නේ එතෙර සිටින්නා එරට නියෝජිතයාට මුදල් ලබා දෙන අතර ඔහු හෝ ඔහුගේ නියෝජිතයෙක් ඩොලර් ලෙසින් එම මුදල් ඍජුවම මෙරටට රැගෙන විත් අදාළ පුද්ගලයාට බාර දීමයි.

මුදල් නෝට්ටු පුද්ගලයන් අතේ රැගෙන යෑමේ මේ ‘හවාලා‘ ක්‍රමය ත්‍රස්තවාදී කණ්ඩායම් මෙන්ම මිනිස් අවයව වංචනික ලෙසින් අලෙවි කරන පිරිස් වැඩිවශයෙන් භාවිතා කරන්නේ මුදල් ගනුදෙනුවක් සිදු වූ බවට කිසිදු තැනක සඳහන් නොවන නිසාය.

ශ්‍රී ලංකා විදේශ විනිමය පනතට අනුව යම් පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 15,000ක් ඉක්ම වූ මුදලක් මෙරටට රැගෙන එන්නේ නම් ඒ පිළිබව ශ්‍රී ලංකා රේගුවට දැනුම් දිය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවේ.

මීට අමතරව රාජ්‍ය නොවන සංවිධානවලටද උණ්ඩියල් හා හවාලා ක්‍රමවේද මගින් මුදල් ලබා ගැනීම සිදු කෙරේ. එම මුදල්ද ගිණුම් ගත නොවන බවට වාර්තා වී තිබේ. පසුගිය කාල වකවානුවේ රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියාමනයට කමිටුවක් පත් කරන්නට සැලසුම් කළද ඒ සියල්ල හමස් පෙට්ටියේය. රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන රුපියල් කෝටි 5500ක් වාර්ෂිකව ගිණුම් ගත නොවන බවට පසුගිය වකවානුවේ වාර්තා වී තිබුණි. මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වරෙක සිළුමිණ කළ විමසීමකදී පැවසුවේ වසරකට ඩොලර් කෝටි 100 - 200 අතර මුදලක් (වත්මන් වටිනාමක අනුව රුපියල් කෝටි 36,000ත් කෝටි 72,000ත් අතර මුදලක් ) උන්ඩියල් සහ හවාලා නීතිවිරෝධී ක්‍රමවේද හරහා හුවමාරු වන බවයි. ඒ අතර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ සෙසු පිරිස් විසින් එවනු ලබන මුදල් අතිවිශාල ප්‍රමාණයක් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ නගරය ආශ්‍රිතව වෙනත් මූල්‍ය කටයුතු නමින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී මූල්‍ය කටයුතු කරනු ලබන ආයතන බොහෝ සංඛ්‍යාවක් තිබේ. ඒ බහුතරයක් ඇත්තේ කොටුව, පිටකොටුව, මරදාන ග්‍රෑන්ඩ්පාස්, කොල්ලුපිටිය, වැල්ලවත්ත සහ ඒ අවට ප්‍රදේශවලය. එසේ නීති විරෝධීව කළු සල්ලි සුදු කරන ආයතන 200ත් 210ත් අතර සංඛ්‍යාවකින් දිනකට දිනකට රුපියල් කෝටි 100ත් 200ත් අතර මුදල් හුවමාරු වන බවට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වංචා විමර්ශන අංශය මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු බුද්ධි අංශ විසින් කරන ලද විමර්ශන මඟින් අනාවරණය වී තිබේ. 

මේ ආයතන පවත්වාගෙන යන්නේ කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් මෙන්ම පොලිසියට සම්බන්ධ පුද්ගලයන් බවද අනාවරණය වී තිබේ. මීට කලකට පෙර මිනුවන්ගොඩදී ටයිල් බාස්වරුන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකසී මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරීන් විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වංචාව එළිවීමෙන් පසුව සිදු කළ වැඩි දුර විමර්ශනයේදීද හෙළි වූයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මේ අනීතික ක්‍රමවේදයන්ට මුදල් ඉපැයීමේ මුලින්ම සිටින බවකි.

කොළඹ වංචා විමර්ශන අංශය විසින් මාස ගණනාවක් තිස්සේ විමර්ශන පවත්වා මේ ලෙසින් අනීතික ලෙසින් මුදල් හුවමාරු ස්ථානයක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් ද සමඟ එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගන්නා ලදී. සිදු කළ විමර්ශනයන්හිදී එම මුදල් උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වූ නිසා ඔහුට විරුද්ධව මූල්‍ය අපරාධ නීතිය යටතේ හා අපරාධ නීතිය යටතේත් මහාධිකරණයේ නඩු පවරන ලදී.

ඒ මීට වසර 6කට පමණ පෙරය. ඒ නඩු අංක 8168/16 යටතේය. ඔහුට වරද පිළිගන්නට සිදු විය. දඬුවම් නියම වූයේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. වංචා විමර්ශන අංශය එතැනින් නතර වූයේ නැත දිගින් දිගටම කළ වැටලීම් හමුවේ දඩ වශයෙන් පමණක් රුපියල් කෝටි ගණනක් නියම විය. එහෙත් දේශපාලඥයන්ගේ බලපෑම් හමුවේ ඒ මෙහෙයුම් නතර විය.

උණ්ඩියල් හෝ හවාලා හරහා සිදු කරන සෑම ගනුදෙනුවකදීම ඔබ සිදු කරන්නේ මෙරටට මත්කුඩු ගෙන්වන්නනට අරමුදල් සැපයීමය. එමෙන්ම ත්‍රස්වාදී කණ්ඩායම්ලට මුදල් හුවමාරු කිරීමට අවස්ථාව සලසා දීමය. ශ්‍රී ලංකාවේ නැතත් ලෝකයේ රටවල් රැසක සිදුවන මිනිස් ජාවාරම්, ගණිකා වෘත්තියට ලාබාල දැරියන් අලෙවිය හා මිනිස් අවයව ජාවාරමට අවශ්‍ය පසුබිම සකස් කර දීමක්ය. උණ්ඩියල් හා හවාලා හරහා මුදල් එවන්නට පෙර ඔබ දෙවරක් සිතිය යුත්තේ එහෙයිනි.

Comments