ජනශ්‍රැතිය නිර්මාණ ඔස්සේ සජීවී කරන ලේඛකයා | Page 3 | සිළුමිණ

ජනශ්‍රැතිය නිර්මාණ ඔස්සේ සජීවී කරන ලේඛකයා

 

පාඨකයන් නිරන්තරයෙන් ලේඛකයන්ගෙන් අසන ප්‍රශ්නයක් වන්නේ ඔවුන් සිය ප්‍රබන්ධය සඳහා කරුණු එක්රැස් කර ගන්නේ කෙසේද කියා ය. ප්‍රබන්ධයක් රචනා කිරීමේදී කරුණු එක්රැස් කිරීමක් හෝ ඒවා සටහන් ලෙස තබා ගැනීමේ පුරුද්දක් ඇති ලේඛකයන් ඔබට හමුවී තිබේද? ශාස්ත්‍රීය හෝ විද්‍යාත්මක පර්යේෂණ ගණයට ගැනෙන කෘති සඳහා එසේ අවශ්‍ය ය.

 

යම් යම් අවබෝධ ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කරුණු සොයන ලේඛකයන් හමු වී ඇතත් ප්‍රබන්ධයේදී ඒවා විශ්වසනීයත්වය ගොඩනැ‍ඟෙන යටිපෙළ කතාව විනා ප්‍රබන්ධයේ කලාත්මක පක්ෂයට බලපෑම් කරන්නේ නැත. මේ ගැන කරන ලද විමසුමකදී වරක් දොස්තයෙව්ස්කි පවසා ඇත්තේ තමාගේ නිර්මාණවලට බලපෑම් කරන්නේ 'ජීවිතය ගොඩනංවන පුංචි සිරා බිරා' කියා ය.

එවන් තැන තැන හමුවෙන පුංචි පුංචි සිරාබිරාවලින් සැඟවී යෑමට නියමිත ව තිබූ අතීතයක ස්මරණ වත්මන වෙත ගොඩනඟන අපූරු ලේඛකයෙක් වෙයි. ඒ සෙවූ දෑ නිසාම හේ මේ වෙන විට ජනශ්‍රැති අධ්‍යයනයේ ලා කවර මාතෘකාවක් කතා කරන්නේ ද එහි කතා නායකයා වෙයි. නම කියූ සැණින් කුඩා ම දරුවකු වුව ද දන්නා තරම් ඔහුගේ නාමය සේම රූපය ද ජන මනසේ තැන්පත් වී තිබේ. මහින්ද කුමාර දළුපොත ජනශ්‍රැතිවේදියාගෙන් තොර ව එකී ක්ෂේත්‍රය ගැන කතාබහක් නැති තරම් ය.

ඔහු ජනශ්‍රැති පර්යේෂණ, පර්යේෂණ ග්‍රන්ථ ලෙස ම ජනගත නොකර වැඩි පාඨක අවධානයක් දිනාගන්නා නිර්මාණාත්මක ඉසව් වෙත ද යොමු කරයි. ඒ අනුව නවකතා, කෙටිකතා, යොවුන් කතා ඈ සාහිත්‍ය ඉසව් වෙත මේ පර්යේෂණ ඔහු යොමු කරයි. ඒවායේ සුලලිත තැන් හේ සියුම් ව ස්පර්ශ කරන්නේ අපූරු මානවවාදී ස්වරූපයකිනි. ඒවායේ වන ඉසියුම් සමාජ කාරණා හා අපෙන් වැළලී ගිය විවිධ සංස්කෘතික අංග දෙස මහින්ද දළුපොත ලේඛකයා සිය විචාරාක්ෂිය යොමු කරයි. එවන් ගිලිහී ගිය අපූරු සංස්කෘතිකාංගයක් පිළිබඳ ලියැවුණු මනරම් නවකතාවක් වන බඹසර යහන පිළිබඳ අත්දැකීම ඔහු අප හා බෙදා ගත්තේ මෙලෙසිනි.

‘මම ජනශ්‍රැතික කාරණා වගයක් හොයාගෙන යනකොට මහ වැස්සක් නිසා අහම්බෙන් පුංචි කඩමණ්ඩියකට ගොඩ වෙන්න සිද්ධ වුණා. ඒ කඩමණ්ඩියේ හිටියා වයසක අත්තප්පා කෙනෙක්. එයාගෙ නම ලේන්සුවා. මහ වැහි අස්සෙ අපි දෙන්න කතාබහට වැටුණා. ඇත්තටම මේ අත්තප්පා මානව පුස්තකයක්. මම ඒ මානව පුස්තකයේ පිටු එකින් එක පෙරළන්න පටන් ගත්තා. ඔහු සාම්ප්‍රදායික හේනේ මාමා කෙනෙක්. ඔහු මාත් එක්ක කොච්චර හිතවත් වුණා ද කියනවා නම් ඔහු සතුව තියෙන පරම්පරා උරුමයක් ලෙස තියෙන පුස්කොළ පොතක් ගැන මට විස්තර කිව්වා. එහි තියෙනවා කිව්වෙ පුරාණ බඹසර යහනේ සිරිත් විරිත්.

මම ටිකක් සසල වුණා මේ විස්තරය අහලා. වැහි තුරල් වෙනකම් දෙරෝහාවකට වැඩි කාලයක් උන්දෑ මට මුළු කතාව ම කිව්වා. ඒ සම්ප්‍රදාය හරි අපූරු සම්ප්‍රදායක්. සාම්ප්‍රදායික වැව් ගම්මානවල යුවළක් විවාහ වුණාට පෝරුවෙ චාරිත්‍ර ඉවර වුණාට ඒ අයට අඹු සැමියන් විදියට ජීවත් වෙන්න අවසර ලැබිලා තිබුණෙ නැහැ. ඒක තහංචියක්. බිරිය තමන්ගෙ නැන්දම්මා සමීපයේ නිදා ගන්න ඕන; සැමියා වෙන ම නිදා ගන්න ඕන. සුදුසු දිනයක් බලලා ඔවුන්ට යහන්ගත වෙන්න යහනක් හදනවා. මේකට තමයි බඹසර යහන කියලා කියන්නෙ. අපි දන්නවා කුමර බඹසර, කුමරි බඹසර කියලා දෙකක් තියෙනවා නේ. හැබැයි ඒක ඔප්පු දෙන තැනක් නෑනෙ. වචනයක් විතරයි එක අතකට. ලේන්සුවා මාමා කිව්වෙ සාම්ප්‍රදායික ව මේ කුමරි බඹසර, කුමර බඹසර ඔප්පු කරන්න තැනක් ඕන; ඒකට තමයි මේ විශේෂිත යහන යොදා ගන්නේ කියලා. මේ සඳහා අතිවිශේෂ චාරිත්‍ර ප්‍රමාණයක් තියෙනවා. දවසක් බඹසරව යහනේ ගත කළ බවට හේනේ මාමා හා රිදී නැන්දා ගමේ අනෙක් අයට සළු හළන චාරිත්‍රය බලා කිව්වට පස්සෙ තමයි අනගි යහනට යන්න අවස්ථාව ලැබෙන්නෙ. කාන්තාවන්ගේ පිරිසිදු බව ඔප්පු කරන බ්‍රිතාන්‍ය චාරිත්‍රය එකල තිබිලා නැහැ. බඹසර යහනෙන් බලාපොරොත්තු වෙන්නේ යහනකට ඇවිල්ලත් රැයක් තිස්සේ සම්භෝගයේ නොයෙදී ඉන්න පුළුවන් ඉවසීමක් මේ දෙදෙනා අතර නිර්මාණය කිරීමයි. එය ජිවිත කාලය පුරාම වැදගත් පුහුණුවක්. ලේන්සුවා මාමා මට මේ පත්තිරු පෙන්නුවා. මේ පත්තිරුවල ලිංගික තෘප්තිය ලබා ගැනීමේ ක්‍රමවේද, ගතයුතු ආහාර ආදී බොහෝ දෑ අන්තර්ගත ව තිබුණා‘

මහින්ද දළුපොත ලේඛකයාට මේ අත්දැකීම් සම්භාරය ලැබෙන්නේ සාම්ප්‍රදායික කුඩා කඩමණ්ඩියකට වැස්සට ගොඩවී සිටිද්දී ය. ලේඛකයකුට සිය නිර්මාණ සඳහා අත්දැකීම් ලැබෙන්නේ කොතැනදි කවර ලෙසකින් ද යන්න ගැන කාටවත් කිව නොහැකි ය. ලේන්සුවා මාමාගෙන් ලද තොරතුරු ද තවත් ඒ ඔස්සේ සොයාගෙන යෑමේදී ලැබුණු හෝඩුවා ද මේ ලේඛකයා අමන්දානන්දයට පත් කරයි. හේ තනි ව ඒවා විඳින්නේ නැතිව පොදු පාඨක ජනයා වෙත එය ලියා තබන්නට උත්සුක වෙයි. ලේඛකයා කියන්නේ එවැන්නකුට ය. ඔහු තමා ප්‍රහර්ශයට පත්කරන දෑ තව බොහෝ දෙනකුගේ දැනුම්වත්භාවයට මෙන් ම වින්දනය සඳහා ද ලියා තබන්නේ ය.

මෙය පර්යේෂණ ග්‍රන්ථයක් නොකොට නවකතාවක් සේ නිර්මාණය කිරීමේදී ඇතිවිය හැකි ගැටලු ගැන මම ඔහුගෙන් විමසා සිටියෙමි.

‘ලේන්සුවා මාමාගෙන් ලද තොරතුරු අනුව මම තවත් හේනෙ මාමලා හතර දෙනෙක් එක්ක මේ ගැන කතා කළා. ඒත් ජනශ්‍රැති පර්යේෂණයකට එවන් අවම මූලාශ්‍රය භාවිතයක් කිරීම ප්‍රමාණවත් නැහැ. මේ මම ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් මට නිර්මාණයක් කරන්න පුළුවන් නේද කියන සිතිවිල්ල මට ආවා. ඒකයි මම නවකතාවක් ලිව්වෙ. මේක ඇත්තට ම ඉතාමත් විචිත්‍රවත් ක්‍රියාවලියක්. නවකතාවකට විතරක් නොවෙයි; චිත්‍රපටයකට ගන්න තරම් ඒ කතාව විචිත්‍රයි‘

ගමක් ගානේ ලන්දක්, ලියැද්දක් ගානේ කරක් ගසන මහින්ද දළුපොත ජනශ්‍රැතිවේදියා වියපත් මිනිසුන් ළඟ ඇති සාම්ප්‍රදායික දැනුම ගැන බෙහෙවින් සවිඥානික ය. ඒ දැනුම වෙන යම් කිසිදු මූලාශ්‍රයකින් ගත හැක්කක් නොවේ. එහෙත් එකී දැනුම විසින් පෙන්වන විශ්වීය වපසරිය අතිවිසල් ය. මැකී යා නොදී රැකගත යුත්තේ ඒ නිසා ය.

මහින්ද කුමාර දළුපොත ලේඛකයා විසින් සම්පාදිත කෘති අතර ‘ගොවි ගෙදර මෙවලම්‘ කෘතිය විශේෂිත ය. එකල සාම්ප්‍රදායික ජන ජීවිතය බද්ධ ව තිබුණේ කෘෂිකාර්මික ඌරුවකිනි. එහිදී භාවිත ජන සංස්කෘතික මෙවලම් ගැන බොහෝ දෙනා දැනුම්වත් නැත. මේ දැනුම්වත් කිරීම විශ්වවිද්‍යාල තුනක අධ්‍යයන කටයුතු සඳහා නිර්දේශ කරන්නට තරම් වැදගත් වෙන්නේ ඒ නිසා ය.

‘ගොවි ගෙදර මෙවලම් කියන්නේ මගේ දර්ශනපති උපාධිය සඳහා සම්පාදිත පර්යේෂණ තේමාවයි. මගේ ප්‍රථම උපාධි නිබන්ධන පර්යේෂණය වුණේ වී බිස්සයි. විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ අහැටුවැව වැව් ගම්මානෙ පුරාම මම ඇවිද්දා වී බිස්සෙ හැඩතල සොයන්න. ඇහැටුවැව වෑකන්ද පහළ තමයි ගම්මැද්ද තියෙන්නෙ. මේක සාම්ප්‍රදායික ගැම්මැද්දක්. මේක හරි ම විචිත්‍රවත් ගම්මැද්දක්. මම දිගින් දිගට ම කරුණු එකතු කළා. පෙරදා රෑ වුණු නිසා මම ඊළඟ දවසෙ එන්නම් කියලා නවාතැනට ගියා. වසන්ත බණ්ඩාර දිසානායක අයියණ්ඩියි, මමයි තමයි අඩි කඩ කඩ මේ ගම්පුරා කරක් ගැහුවෙ. පසුවදා එද්දි එකවරම මේ ගැම්මැද්දෙ ගෙවල් කඩනවා. පෙරදා කිසිම හාන්කවිසියක් ඒ ගැන තිබුණෙ නෑ. අපි පුදුම වුණා ඇයි මේ එකවර ගෙවල් කඩන්නෙ කියලා. එවකට ජනාධිපති ලෙස හිටපු ආර්. ප්‍රේමදාසයන් ඒ කාලෙ මේ ගම්වාසීන්ට රුපියල් 7500ක සෙවිලි තහඩු දුන්නා ගෙවල් සෙවිලි කරගන්න. මේ ගෙවල් හෙවිල්ලා තිබුණෙ පොල් අතු, පිදුරු හා මානම් වලින්. මේ තහඩුවලින් හෙවිල්ලන්න බැහැ සාම්ප්‍රදායික ලී කණු උඩ. මෝඩ ගඩොල්වලින් හරි කණු බැඳලා තියෙන්න ඕන.

මට අදටත් තියෙන බලවත් කම්පනයක් තමයි මේ දර්ශනය. මගේ අතේ කැමරාවක්වත් තිබුණෙ නෑ පින්තූර ගන්න. හැම ගෙදරක ම තිබුණු සියලු සාම්ප්‍රදායික බඩු එළියට අරන් තිබුණා අර කණු බඳින්න ඕන නිසා. ගෙවල් ඇතුළෙ තිබුණු ලී දඬු වැල්, කෝටු පට්ටාවලින් හදපු විවිධාකාර මෙවලම් පුදුම තොගයක් මිදුලෙ ගොඩ ගහලා තිබුණා. සමහර දේවල් මම දැකලා තිබුණෙ නෑ. දරුවො නාවන්න භාවිත කළ බිං කොරහ, රෙදි දාපු කළ විශේෂයක් වගේ දේවල් තිබුණා. මම මේ දේවල් සටහන් කරගත්තා. කාලයක් ගිහින් මම දර්ශනපති උපාධි නිබන්ධනයට මාතෘකාව තෝරා ගනිද්දි මේ ගැන අවධානය යොමු කළා.

ඒ අනුව ඇහැටුවැව සාම්ප්‍රදායික වැව් ගම්මානවල තිබුණු ගොවි ගෙදර මෙවලම් ගැන පර්යේෂණ කටයුත්ත කළා. මෙහි මම මූලාශ්‍රය ගත්තෙ අවුරුදු 80ට වැඩි පුද්ගලයන්ගෙන් පමණයි. ඒ සියලු දෙනා සාම්ප්‍රදායික ගැම් මැදිවල සිටිය අය. ඒ වෙනවිට පැවැති මෙවලම් ගැන විතරයි මම පර්යේෂණය කළේ. ඒ වෙනවිට විනාශ වී නොපැවතුණු භාණ්ඩ මම මේ පර්යේෂණයට ගත්තෙ නැහැ‘

ලේඛකයාගේ කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස මේ අපූරු පර්යේෂණය බිහි වෙයි. එය අද ගොවි ගෙදරක මෙවලම් පිළිබඳ අත්පොතකි. විශ්වවිද්‍යාල මූලාශ්‍රය ග්‍රන්ථයකි.

මහින්ද කුමාර දළුපොත ලේඛකයා, ජනශ්‍රැති පර්යේෂකයා සම්මානලාභී යොවුන් කතා රචකයෙකි. ඔහුගේ නිර්මාණ වපසරිය ඇතුළත බිහිවෙන නිර්මාණ අනෙක් නිර්මාණකරුවන්ට සාපේක්ෂ ව වෙනස් හැඩතල ගනී. විවිධ නිර්මාණ ප්‍රභේද හේ ඇසුරු කළ ද ඒවා එ්කමිතික දිශාවකට ගොනු වේ. ඒ ඔහුගේ සුවිසෙස් බවෙකි. නිර්මාණකරණයේ වෙනස් හැඩතල ඔහු ඇසුරු කළ ද ඒවා ජනශ්‍රැතික විෂයය පථයට අනුකූල වීම ඒ විශේෂයයි. ඔහුගේ නවතම නිර්මාණය වෙන ‘පුංචි ලියැද්ද‘ යොවුන් කතාව බිහිවෙන්නේ ද ඒ විෂයානුකූල ව වීම තවත් විශේෂත්වයකි. තමා සහකම්පනය කරන දෑ තමා කැමැති විෂයානුකූල වීමත් ඒ විෂයය ඇතුළේ පෘථූලත්වය සාක්ෂාත් කරගැනීමට ඔහු සමත් වීමත් අගය කටයුතු ය.

‘මම ඉපැදුණේ සෙන්දිරියාපිටිය ගමේ. මම හතේ පන්තියේ ඉද්දි මාව ඉතාමත් කම්පනයකට පත් කළ සිද්ධියක් වුණා. අපේ ගෙදර ඉදිරියේ ස්වභාවිකව පිහිටි වළක් තිබුණා. ඒකෙ වැහි කාලෙට වතුර පිරෙනවා.

පායන කාලෙට හිඳෙනවා. වැහි කාලෙට වතුර පිරුණම මට හිතුණා මේ වළෙන් වතුර අරගෙන පහළ තිබුණු පොඩි තැනිතලා භූමියක වගා කරන්න. මම පොඩි ලියැද්දක් තනියෙන් හැදුවා. අපේ ගෙවල්වල ගොවිතැන් කරන නිසා පැළ වී එහෙම තියෙන එක කොහොමත් අරුමයක් නොවෙයි. අපි මුර කිහිපයකට ම පැළ වී හදාගෙන තිබුණා. මම එයින් අහුරු කිහිපයක් ඉල්ල ගත්තා. පස්සෙ අර කුඹුර හොඳට මඬ කරලා ගොම දාලා සාම්ප්‍රදායික විදියට සකස් කරලා, අත්පෝරුවෙන් ඇදලා වී ඉස්සා. මම විතරයි ගොවියා.

මේක බොහොම සරුවට වැවුණා. අපේ ගෙදරට එන යන අය පුංචි ලියැද්ද කියමින් මේක අගය කළා. පුංචි ගොවිරාලගේ පුංචි ලියැද්ද කියලයි කිව්වෙ. කුඹුරුවලට ගේන පොහොරත් දාලා මම බොහොම සත්කාර කරමින් මේ ලියැද්ද නඩත්තු කළා. එක දවසක් මම පාසල් ඇරිලා ගෙදර එනකොට මේක ගොඩවිල්ලො කෑවා වගේ පොළොවට ම සමතලා වෙලා තිබුණා. මට දැනුණු කම්පනය දරාගන්න බැරිවුණා. මම කෑගහලා ඇඩුවා. අපේ කිරි අම්මා කතා කරලා කිව්වා ගමේ මමා කෙනකුගේ වස්සා මේක කෑවා කියලා.

මම කේන්තියෙන් බණින්න ගත්තා එක දිගට. ඒ මාමා ඒ මොහොතෙ ආවෙ නෑ; හවස හරකා බඳින්න ආව වෙලාවෙ මේ කතාව ආරංචි වෙලා තිබුණා. උන්දෑ රෑ වෙලා හුළු අත්තක් පත්තු කරගෙන අපේ ගෙදරට ආවා වී ගෝනියකුත් උස්සගෙන. ඇවිත් කිව්වා පුංචි ලියැද්ද මම නිසා ආලපාලු වුණානෙ; මම මේන් ආලපාළු ගෙවන්න වී ගෝනියක් ඇන්න ආවා කිව්වා. අපේ අම්මයි තාත්තයි මේවා මොනවද මේ පොඩි ළමයෙක් කළ වැඩක්නෙ කියලා කිව්වත් ඒ මාමා වී ගෝනිය අපේ ගෙදර තියලා ගියා. මේ සිද්ධිය මගේ සිතේ දැඩි කම්පනයක් ව තිබුණා‘

මහින්ද දළුපොත ලේඛකයාට තමන්ගේ සිතට දැඩි කම්පනයක් ව දැනුණු එකී සිද්ධිය ආයෙත් මතක් වෙන්නේ කොවිඩ් වසංගතයට නතුව ගෙදරට සිරවී සිටි අල්ලපනල්ලේ ය. ඔහුගේ අත්දැකීම කෙතෙක් කලක් සිතේ බරට තැන්පත් වී තිබුණේ ද යන්න සිතන්න. ලේඛකයා, නිර්මාණකරුවා එවැන්නෙකි. ඔහුට විඳින්නට ලැබෙන අත්දැකීම් කවරදාක හෝ පාඨක ඥානණය වෙනුවෙන් සේම සිය හිතේ බර හෑල්ලු කරගැනීම වෙනුවෙනුත් ලියා තැබෙන්නේ ය. එදා අත්දැකීම ඔහුට අද මතක් වෙන්නේ කොවිඩ් සමයේ දරුවන්ගේ ක්‍රියා රූපවාහිනියෙන් දැකීමෙනි.

කොවිඩ් සමයේ දරුවෝ ගෙදරට හිර වෙද්දී තම තමන්ට හැකි අයුරෙන් වගා කරන අයුරු රූපවාහිනියෙන් දකින මහින්ද ලේඛකයාට සිය අත්දැකීම සිහිපත් වෙයි. එහි ආසන්නතම සිදුවීම වන්නේ එක්තරා යොවුන් දරුවෙක් තමන් කුඩා කාලයේ නෑවූ බේසමේ වී වගා කරනු දැකීමෙනි. ලේඛකයන් කියන්නේ ම එවැනි සංවේදී පුද්ගලයන් ට ය.

නිර්මාණ කෞශල්‍යයෙන් අතිශයින් පොහොසත් ඔවුන්ට සිතිවිල්ලක්, සිද්ධියක් නොනවතින සිතිවිලි පරම්පරාවක් බවට පත් කළ හැකිය. කෙසේවුවත් ලේඛකයා ලේඛනයේ යෙදෙන්නේ සිතා මතා පුටුවක්, මේසයක් හදන්නාක් මෙන් සියලු ම ද්‍රව්‍ය එක්රැස් කරගෙන නම් නොවේ. ජීවන පරිඥානය ලේඛනයට වැදගත් යැයි කියන්නේ ඒ නිසා ය.

Comments