‘දැලි පිහියෙන් කිරි කෑම’ ; සමාජ මාධ්‍ය භාවිතයේදී රාජ්‍ය සේවක ක්‍රියාකාරීත්වය ගැන විමසුමක් | Page 3 | සිළුමිණ

‘දැලි පිහියෙන් කිරි කෑම’ ; සමාජ මාධ්‍ය භාවිතයේදී රාජ්‍ය සේවක ක්‍රියාකාරීත්වය ගැන විමසුමක්

‘රජයෙන් වැටුප් ලබන රජයේ සේවකයා රජය අපහසුතාවට පත්වන දෑ නොකළ යුතුයි’ - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් - ජේ. ජේ. රත්නසිරි,

‘යමෙක් තමා සේවය කරන ආයතනය ද්වේෂ සහගත ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ පළ කරනවා නම් ‘අයහපත් හැසිරීමක්’ යටතේ විනය පරීක්ෂණයක් සිදු කළ හැකියි’ - කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති

‘මෙය සෑම ක්ෂේත්‍රයකම වැඩකරන ජනතාවගේ සමගිය අත්‍යවශ්‍ය අවස්ථාවක්’ලංකා වෙළෙඳ කාර්මික හා පොදු සේවක සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි

 ‘සමාජ මාධ්‍ය තුළ තමන්ගේ පෞද්ගලික ගිණුමකින් අදහස් ප්‍රකාශ කළත් එය ප්‍රසිද්ධ මාධ්‍යයක් බැවින් අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි’ - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන

‘විවේචනය කළ බවට චෝදනාව නඟන සහ චෝදනාවට ලක්වන දෙපාර්ශ්වයම තුළම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නැහැ’ - කොළඹ සහ අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්න්නන්ගර

‘රජය විවේචනය කරන නිලධාරියකු සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වෙනවා’ - ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන

 

 

රටම උණුසුම් කරන මාතෘකා අතර ඉකුත් සතියේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ එක්තරා ලිපියක් කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශිර්ෂය සහිත එම ලිපිය යවා තිබුණේ එම්. ආර්. ජයසිංහ නමැති සංවර්ධන නිලධාරිනියකටය. ඇය විසින් තම ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද පළකිරීමක් සම්බන්ධයෙන් යවා තිබූ එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ HAF/INV/AD-SE/01/03.11 හා 2021.11.11 දිනැති ලිපිය අනුව රාජ්‍ය නිලධාරින් විසින් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් රාජ්‍ය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය නොකිරීමට වග බලාගන්නා ලෙස දැනුම්වත් කිරීමකි. එමෙන්ම මින් ඉදිරියට සමාජ ජාලා භාවිත කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකිරීමටත් රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකිරීමටත් වගබලා ගන්නා ලෙස අවවාද කරන බවත් මින් ඉදිරියට එලෙස කටයුතු කළහොත් ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට සිදුවන බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව තිබිණ. එම ලිපියේ යවන්නා ලෙස නිල මුදාව සහ අත්සන සටහන්ව තිබුණේ චන්දන තෙන්නකෝන්, දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහනුවර සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යනුවෙනි. පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ගැන වැඩිපුර කතාබහට ලක්වන පසුබිමක මෙම ලිපිය පිළිබඳ ද බොහෝ දෙනා විවිධ ප්‍රතිචාර දක්වා තිබෙනු දැකගත හැකි විය. එකී සිදුවීම සහ ඒ ඇසුරින් විමසුමට තුඩු දෙන කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අප අදහස් කළේ එබැවිනි.

ඉහත කී ලිපියේ යවන්නා ලෙස සඳහන් වන මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්ගෙන් මේ පිළිබඳ විමසීමට දුරකථනය ඔස්සේ කිහිපවරක් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. එකී අවවාදාත්මක ලිපිය ලැබී තිබුණේ රජයේ නිලධාරිනියකට බැවින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරිගෙන් ඒ පිළිබඳ විමසීමක් කළෙමු. රජයේ නිලධාරින්ට රජය විවේචනය කළ නොහැකි බව ආයතන සංග්‍රහයට ඇතුළත් බව ලේකම්වරයා අවධාරණය කළේය.

“ රජයේ සේවයට එක්වන පුද්ගලයකුට යම් යම් දේවල් කැපකිරීමට සිදුවෙනවා. ඔහු වැටුප් ලබන්නේ රජයෙන්. ඒ රජය අපහසුතාවට, අපකීර්තියට ලක්වන ආකාරයට කටයුතු කරනවා නම් ඔහුට රාජ්‍ය සේවයෙන් ඉවත් වී එය කළ හැකියි. ” ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන ද දැක්වූයේ ඊට සමාන අදහසකි. රජයේ නිලධාරියකුට රජය හෝ රජයේ පරිපාලනය විවේචනය කළ නොහැකි බව ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වන බවත් එසේ කරනු ලබන පුද්ගලයකු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ආයතනය සතුවන බවත් ඔහු පැවසුවේය.

ආයතන සංග්‍රහය නැතහොත් ආයතනික නීතිය යනු කුමක්දැයි මෙහිදී විමසිය යුතුය. ලොව බලපැවත්වෙන සෑම අධිකරණ නීතියකින්ම පාහේ දක්වා ඇති පරිදි සමාගමක් සතුව එහි සංයුතියක් පැවතිය යුතුය. මෙමඟින් එම ආයතනයේ පැවැත්ම අර්ථ දැක්වෙන අතර එම ආයතනයේ ව්‍යූහය සහ පරිපාලනය පිළිබඳ කියැවේ. ආයතන සංග්‍රහය පිළිබඳ සරලම හැඳින්වීම එයයි. එසේ නම් එම ආයතන සංග්‍රහය සහ රජය අතර ඇති සබඳතාව කුමක්ද? මේ පිළිබඳව අප විමසුවේ විශ්‍රාමික රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු වන, කොළඹ හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගරගෙනි.

“ රාජ්‍ය නිලධාරීන්ට නොකළ යුතු දේ ලෙස සැලකෙන්නේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමයි. ඊට හේතුව ඔවුන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සිටින පාර්ශ්වය වීමයි. ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් රාජ්‍ය ප්‍රතිපත්ති ඔවුන් විසින් ක්‍රියාවට නැංවිය යුතුයි. මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති යනු මොනවාද යන්න ගැන අවබෝධයක් ඇතැම් නිලධාරින්ටවත් නැති බවයි මගේ හැඟීම. රාජ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රජය මෙහෙය වන දේශපාලන පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය, නැතිනම් ජනාධිපති, අගමැති හෝ ඇමතිවරු පවසන දේවල්, එසේත් නැත්නම් තමන්ගේ අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ කටයුතු ආදී ලෙස අදහස් කිහිපයක්ම විවිධ පුද්ගලයන් තුළ තිබෙනවා. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ ඒ එකක්වත් නෙවෙයි. ”

විශ්‍රාමික රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු වන ඔහුගේ එකී අදහස අනුව රාජ්‍ය ප්‍රතිපත්තිය යනු සෑම අමාත්‍යාංශයකටම පැවරී තිබෙන තම අමාත්‍යාංශයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය වුවත් මෙරට බොහෝ අමාත්‍යාංශ තම විෂයය පථයට අදාළ කටයුතු සිදුකරගෙන ගියද ඒ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කර නොමැත.

“මගේ දැනුම අනුව 1953දී නිවාස අමාත්‍යාංශය ජාතික නිවාස ප්‍රතිපත්තිය සම්පාදන කර තිබෙනවා. මෑතකාලයේදිත් නිවාස ප්‍රතිපත්තිය සකස් කළා. යම්කිසි අමාත්‍යාංශයක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කළ යුත්තේ බලයට පත්වූ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශය, ඒ ඒ විෂයයන්වලට අදාළව පවතින නීතිමය රාමුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මහජනතාවගේ අයිතිවාසිකම් සහ රාජ්‍යයක යුතුකම් සහ වගකීම් යන සියල්ල අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඉන්පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි. ඒ ආකාරයට සැකසූ ප්‍රතිපත්ති ප්‍රකාශයක් රාජ්‍ය නිලධාරින්ට විවේචනය කළ නොහැකියි. දැන් එවැනි අනුමත රජයේ ප්‍රතිපත්ති නැති නිසා ඕනෑම විවේචනයක් රාජ්‍ය විවේචනය යටතට දැමිය හැකියි. උදාහරණයක් විදිහට රජයේ නිලධාරියෙක්, අමාත්‍යාංශයක ඉහළ නිලධාරියෙක් සිදු කළ වැරදි ක්‍රියාවකට විරුද්ධව ඊට පහළ නිලධාරියෙක් කුමන හෝ ප්‍රකාශයක් පළ කළහොත් එයත් රජය විවේචනය කිරීමක් ලෙස සැලකිය හැකියි. මගේ අදහස නම් රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කළා කියලා චෝදනාව නඟන අයත් එම චෝදනාවට ලක්වන අයත් කියන දෙපාර්ශ්වයම තුළම රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නැහැ. මුලින් කී ආකාරයේ විධිමත් ප්‍රතිපත්තියක් තිබෙනවා නම් රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කළා කියලා සාධාරණව කිව හැකියි. බොහෝ ආයතනවල එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් නැති නිසාම රාජ්‍ය සේවකයෝ කරන සෑම විවේචනයක් රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කිරීමට යටත් වෙනවා. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය මොකක්ද කියලා හරියට දැනගෙන එය විවේචනය නොකිරීමට රාජ්‍ය සේවකයනුත් දැනුම්වත් විය යුතුයි.”

පුවත් සම්බන්ධයෙන් වගකියන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යනු රජයේ ආයතනවලින් නිකුත් කරනු ලබන ප්‍රකාශවලට වගකියන නිලධාරියාය. කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ නීතිඥ සුදර්ශන ගුණවර්ධනගෙන් අප ඒ පිළිබඳ නීතිමය තත්ත්වය විමසුවෙමු.

“මේ වන විට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමඟ ඕනෑම කෙනකුට අදහස් පළ කිරීමේ අවකාශය පුළුල් වී තිබෙනවා. කෙසේවෙතත් ඔබ සඳහන් කළ නිලධාරිනිය චෝදනාවට ලක්වීමට ඉවහල් වූ ප්‍රකාශය කුමක්දැයි නොදැන එවැනි ලිපියක් පිළිබඳ මා අදහස් පළ කිරීම උචිත නැහැ. එසේ වුවත් සෑම පුරවැසියකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ, කිසිදු නීතියක් මඟින් පැහැරගත නොහැකි අයිතිවාසිකම් යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති නිදහසත් සුරක්ෂිත කොට තිබෙනවා. එසේ වුවත් සමහර පුරවැසි කොටස්වලට යම් යම් තත්ත්වයන් මත නීතිය මඟින් අයිතිවාසිකමට සීමා පැනවිය හැකියි. ”

එසේ පවසමින් වෙනත් මානයක් කරා අපගේ අවධානය යොමුකළ හෙතෙම යම් පුද්ගලයකු රාජ්‍ය සේවයට බැඳී කටයුතු කරන විට කුමන දේශපාලන පක්ෂයක් පැමිණ ආණ්ඩුවක් පැමිණියත් එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරින් ලෙස බැඳී සිටින බවත් පැවසුවේය. වැටුපක් සමඟ විශ්‍රාම වැටුපක් ද ලබාදෙමින් සුරක්ෂිත කරන රාජ්‍ය සේවකයා ඒ තුළ යම් යම් බැඳීම්වලට ලක්වන අයුරු ඔහු නිදසුන් සහිතව පැහැදිලි කළේය.

“රජයේ සේවකයන් මාණ්ඩලික සහ එසේ නොවන ලෙස කොටස් දෙකකට වෙන්කළ හැකියි. මාණ්ඩලික නිලධාරින් පරිපාලන සේවා නිලධාරින් විය හැකියි. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. ඒ නිසාම දේශපාලන අදහස් දැක්වීම් ප්‍රකාශ නිකුත් කිරීම, දේශපාලන පක්ෂයකට සහාය දැක්වීම කළ නොහැකියි. එහෙත් මාණ්ඩලික නොවන ශ්‍රේණිවල සේවකන්ට ඒ සීමාව ඒ ආකාරයෙන් බලපවත්වන්නේ නැහැ. ඔවුන්ට දේශපාලනය පිළිබඳ අදහස් දක්වන්න, අවශ්‍ය නම් නිවාඩු ලබාගෙන ඡන්දය ඉල්ලීමටත් හැකියාව තිබෙනවා. සාමාන්‍ය පුරවැසියකුට තිබෙන අයිතිවාසිකම්, රජයේ සේවය තුළ මාණ්ඩලික නිලධාරියකුට තිබෙන අයිතිවාසිකම් සහ මාණ්ඩලික නොවන නිලධාරියකුට තිබෙන අයිතිවාසිකම් අතර තිබෙන වෙනස්කම් පිළිබඳ බොහෝ දෙනකු තුළ අවබෝධයක් නැහැ. රාජ්‍ය සේවය තුළ කටයුතු කළ හැක්කේ ආයතන සංග්‍රහයේ තිබෙන සීමාවන්ට යටත්වයි. සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කරන්නේ තමන්ගේ පෞද්ගලික ගිණුමකින් වුවත් එය ප්‍රසිද්ධ මාධ්‍යයක් බවට පත්වී තිබීම නිසා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ” රජයේ නිලධාරින්ගේ ප්‍රකාශන අයිතියට වැට බඳින සීමාව එය නම් කම්කරු නීතිය තුළ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ප්‍රකාශන අයිතිය සුරක්ෂිත වන්නේ කෙසේද යන්න මෙහිදී පැන නඟින තවත් ගැටලුවකි. “ කම්කරු නීතිය යටතේ යම් පුද්ගලයකු තමා සේවය කරන ආයතනය ද්වේශ සහගත ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය තුළ යම් යම් ප්‍රකාශ පළ කරනවා නම් එය ‘අයහපත් හැසිරීමක්’ යටතේ සලකා ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණයක් සිදුකළ හැකියි.

එවැනි විනය පරීක්ෂණ සිදුකර එහිදී ගත් යම් යම් තීන්දු තීරණවල ගැටලු පිළිබඳ යම් යම් කරුණු අප හමුවටත් පැමිණ තිබෙනවා. සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රසිද්ධ මාධ්‍ය තුළ තමා සේවය කරන ආයතනය ද්වේෂ සහගත ලෙස විවේචනය කිරීම ‘අයහපත් හැසිරීම’ට අයත් වන කාරණයක්ද යන්න සම්බන්ධයෙන් දැනටත් අභියාචනාධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබෙනවා.

ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ට වෘත්තිය සමිති පිහිටුවා ගැනීම, කටයුතු කිරීම ඇතුළු වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට කිසිම බාධාවක් නැහැ. ඒවා අයහපත් හැසිරීම් ලෙස සැලකෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියත් හිමියි. ඒ යටතේ දේශපාලනය කිරීමේ අයිතිය, තමන් කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට ආයතනයට හැකියාවක් නැහැ. ”

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පෞද්ගලික අංශයේ සේවකයන් සතු අයිතිවාසිකම් පිළිබඳ එසේ පැහැදිලි කළ අතර, කම්කරු අයිතීන් පිළිබඳ අප ලංකා වෙළෙඳ කාර්මික හා පොදු සේවක සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩිගෙන් තවදුරටත් විමසීමක් කළෙමු.

“මෙහිදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC 468/92 හි පහත ඡේදය උපුටා දක්වන්නට මම කැමතියි. “ අද නීත්‍යානුකූල විසම්මුතිය සාමකාමීව ප්‍රකාශ කිරීම් මැඬපැවැත්වීමෙන් ප්‍රතිඵලයක් විය හැක්කේ, නොවැළැක්විය හැකි ලෙස, වෙනත් දවසක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි. ” ඒ අනුව ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකාරීත්වය හේතුවෙන් රටට සහ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති අවාසනාවන්ත තත්ත්වය වැඩකරන ජනතාවගේ ස්වාධීන සංවිධානයක් ලෙස අපි බැරූරුම් ලෙස දකිනවා. ඊට එරෙහිව විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය සීමා කිරීම හෝ උල්ලංඝනය කිරීම මූලික අයිතිවාසිකම් සහ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක්. ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් සහෝදර වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන අතර සෑම ක්ෂේත්‍රයකම වැඩකරන ජනතාවගේ සමගිය අත්‍යාවශ්‍ය අවස්වථාක් ලෙස මෙය සැලකිය හැකියි.”

 

Comments