ඉදිරි පොදු අපේක්ෂකයා කවුද? | Page 3 | සිළුමිණ

ඉදිරි පොදු අපේක්ෂකයා කවුද?

දේශපාලන ක්ෂේත්‍රය තුළ පසුගිය සතියේ දී වැඩිපුරම කතාබහට ලක්වූයේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ ඉන්ධන අර්බුදය ගැනය. මෙම කාරණා හේතුකොටගෙන විරුද්ධ පක්ෂය ආණ්ඩුවට චෝදනා කළ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතා මෙම අර්බුදයට හේතු සහ ඊට යොදන පිළියම් ගැන අදහස් දැක්වීය.

• පක්ෂ 11 ක නුගේගොඩ රැලිය කල්ගියේ ඇයි?

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා උපදෙස් දීලා තිබෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ එක්ක සාකච්ඡා ‍කිරීමයට. ඒකට හේතුව සුළු පක්ෂවලට යම් ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණිනි. ලබන 27 වැනිදා නුගේගොඩ රැලියක් පවත්වන්න නියමිත වෙලා තිබුණි. ඒ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11 ක සාමාජිකයන් විසිනි. රැලියක් කිව්වම මතක් වෙන්නේ නුගේගොඩ තිබිච්ච මහින්ද සුළඟ රැලියයි. ඒ වගේම විමල් සුළඟ වගේ රැලියක් පැවැත්වීමට යම් සූදානමක් තිබුණ ද හදිසියේම මේ රැලිය අවලංගු කර තිබේ. මේ වන විට ඔවුන් සූදානම් වෙන්නේ මැයි දිනයට රැලියක් පවත්වන්නයි.

•අගමැතිට ආරාධනා

මේ දිනවල මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ඇතැම් පිරිස් ආරාධනා කරන්නේ ඉදිරියට පැමිණ ඇවිල්ලා ජනාධිපතිවරයාත් එක්ක එකතු වී මේ රට ඉදිරියට ගෙන යාමේ කටයුත්තට සහභාගි වන ලෙස කියාය. මේ ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා බොහෝම සාවධානව ඇහුම්කන් දී ඇති බව වාර්තා වේ. ඊට පිළිතුරු ‍ෙලස "ජනාධිපතිවරයාත් එක්ක රට ඉදිරියට ගෙනියන්න තමයි මං මගේ උපරිම සහයෝගය ලබා දෙන්නේ. ටිකක් ඉවසගෙන ඉමු කියලා." අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

• චන්ද්‍රිකාගේ හිත යන්නේ කාටද?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වත්මන් රජය වෙනස් කිරීමේ මෙහෙයුමකට සම්බන්ධ වී තිබේ. 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිනියගේ අදහස වී ඇත. හිටපු ජනාධිපතිනියගේ අදහස නම් 2024 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ වංචාව, දූෂණය නැති කෙනෙක් කියාය. දැනටමත් හිටපු ජනාධිපතිනිය ඒ වගේ කෙනෙක් තෝරාගෙන ඇති බව දේශපාලනයේ කතා වේ. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන කෙනෙකි. දේශපාලන පරපුරකින් ඔහු පැවතී එන බව කියවේ. ඔහුව ඉදිරියේදී පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කර ඔහුව ජනාධිපතිවරයා විදිහට පත් කිරීමට හිටපු ජනාධිපතිනිය මේ දිනවල සූදානම් වන බව වාර්තා වේ.

• සජිත් සමඟ ෆොනීත් දිව යයි

සජබ විරෝධතාව විපක්ෂ නායක කාර්යාලය අසලින් විරෝධතා ව්‍යාපාරය ආරම්භ වන විටම සජිත් පෙළපාළියට එක්විය. විපක්ෂ නායක කාර්යාලයට වී පෙළපාළියේ වැඩ කටයුතු ආරම්භ වන ආකාරය ගැන සොයා බලමින් සිටි ඔහු පෙළපාළිය ආරම්භයේ සිට අවසානය දක්වාම පයින් ගමන් කළේය.

ඇතැම් තැන්වලදී පෙළපාළිය පාලනය කරගැනිමට අවශ්‍ය වූ විට ඔහු දිවයමින් පෙළපාළිය මෙහෙයවූවේය. ඔහු සමඟ ගමන් කරමින් සිටි සරත් ෆොන්සේකාටද සජිත් සමඟ දිව යාමට සිදුවිය.

විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වූ පෙළපාළිය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එන විට මාලිගාවත්තේ සිට පැමිණි පෙළපාළියත් ක්‍රමයෙන් ඉදිරියට එමින් තිබුණේය. පෙළපාලි දෙකම එකම අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණිමට අවශ්‍ය වූ නිසා දෙපැත්තේම පෙළපාළි සංවිධානය කරමින් සිටි කණ්ඩායම් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ගමන් ගන්නා වේගය ගැන කතා බස් කරගන්නට විය. හරින් සහ නලින් බණ්ඩාර මාළිගාවත්තේ සිට පැමිණි අතර මනුෂ සහ මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණෙන පෙළපාළියේ ගමන් මඟ ගැන දැනුවත් කළේය.

• සජබ අනුරපුරේ රැලියට රාජිතගේ අකමැත්ත

මාළිගාවත්තේ සිට පැමිණි පෙළපාලිය කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිමට තරමක වේලාවක් ගත වූ නිසා විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණි පෙළපාලිය අරලියගහ මන්දිරය ඉදිරිපිට නරත වී ටික වේලාවක් විරෝධය දැක්වූවේය. ඉන් පසුව එම පෙළපාලියත් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ආරම්භ කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි විරෝධතා පෙළපාළිය ඇමතීමට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ වාහන දෙකක් ගෙනවිත් තිබුණේය. එක් වාහනයක වේදිකාවක් ද සකස් කර තිබුණි.

වේදිකාවට ගොඩවූ සජිත් ජනතාවට ආචාර කරන්න විය. වේදිකාව තිබූ උසට වඩා වැඩි උසකට නැඟීමට සජිත්ට අවශ්‍ය විය. ඒ අනුව එතැන තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර කිහිපයක් මතට නැඟුණ සජිත් විරෝධතාකරුවන්ට ආචාර කළේය. තවත් ටික වේලාවකින් වේදිකාව සකස් කර තිබූ වාහනයේ වහලය මතට ඔහු නැඟුණේ පැමිණ සිටින ජනතාවට හොදින් පෙනෙන ලෙසට ආචාර කරමිනි.

සමගි ජන බලවේගයේ විරෝධතාවය පසුගිය 15 වැනිදා පැවැත්වුණි. සමගි ජන බලවේගය මීට කලින් ලෑස්ති වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ පැවැත්වූවා වැනි රැස්වීමක් අනුරාධපුරයට ගොස් ලොකු රැලියක් කිරීමටය. හැබැයි මේකෙදි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියලා තියෙනවා "මිනිස්සුන්ට අමාරුයි, මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා ආයේ පාරක් රැලි තිය තිය මිනිස්සුන්ට කියන එකේ තේරුමක් නැහැ. මිනිස්සු දන්නවා දැන් මිනිස්සු විඳින අමාරුව මොකක්ද කියලා. ඒ හින්දා ජනතාවටයි, ආණ්ඩුවටයි තේරෙන්න විරෝධතාවයක් කරමු කියලා" රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා යෝජනා කර ඇත. මේ යෝජනාවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එකඟ වීමත් එක්ක ඉකුත් දා පැවති විරෝධතා රැලිය කොළඹ ද පැවැත්වීමට තීරණය විය.

• අභියෝගයට මුහුණ දෙන හැටි ජනපති කියයි

අද රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජයට උපදෙස් දීමට විශේෂ ආර්ථික උපදේශක සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ජනාධිපති අගමැති හා මුදල් ඇමති සාකච්ඡා කර පසුගිය සතියට පෙර සතියේ එම කමිටුව පත්කළ අතර එහි ප්‍රථම රැස්වීම කැඳවා තිබුණේ සඳුදා උදේ 11.30 ටය. සෞදි විදේශ අමාත්‍යවරයාගේ හමුව හේතුවෙන් එය මඳක් ප්‍රමාද විය. කෙසේවෙතත් ඒ සඳහා ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් කල්වේලා ඇතිව පැමිණ මඟ බලා සිටියහ.

ජනාධිපතිවරයා පත්කළ එම ආර්ථික සභාවට බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, රමේෂ් පතිරණ, බැසිල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අයත් වූහ. ඊට අමතරව මහ බැංකුවේ අධිපතිවරයා ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එම කමිටුවට අයත් වූහ. පෙර පැවති සාකච්ඡාව නිමා වී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ සඳහා පැමිණියේ එකටය. ජනාධිපතිවරයාගේ සිනා පිරි මුහුණෙන්ම ඊට පෙර පැවැති සාකච්ඡාව සාර්ථක වී ඇති බව ආර්ථික සභාවේ සාමාජිකයින්ට අවබෝධ වූහ.

මොනවද අලුත් දේවල් තියෙන්නෙ කියා අසමින්ම ජනාධිපතිවරයා සාකච්ඡාවට සූදානම් විය.

මුලින්ම ජනාධිපති කළේ රට අද මුහුණ පා තිබෙන අර්බුදය ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කිරීමය.

"මම මේ රට බාර ගත්තට පස්සේ අපට ජාතියක් හැටියට ලොකු ඛේදවාචක කීපයකටම මුහුණපාන්න සිදුවුණා. ගෝලීය වශයෙන් පැතිර ගිය කොවිඩ් අර්බුදයේ නරක බලපෑම අපේ රටට තදින් දැනෙන්න වුණා. ඒකෙන් රටත් ජනතාවත් බේරගන්න එක් පැත්තකින් අපිට මහන්සි වෙන්න වුණා; වගේම තවත් පැත්තකින් විශාල මුදල් සම්භාරයක් වියදම් කරන්න වුණා. ඒ අතරේ අපි ඉලක්ක කරගෙන හිටපු ආදායම් අපට ලැබුණේ නෑ. ඒ වගේම අපි අපේක්ෂා නොකරපු වියදම් දරන්න සිදු වුණා. කොටින්ම කියනවා නම් අපිට ආදායමට වඩා විශාල වශයෙන් වියදම වැඩි වුණා. අපි ආනයනයන්වලට ඩොලර් බිලියන 22 ක් පමණ වියදම් කරනවා. නමුත් අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 ට වඩා වැඩිවුණේ නැහැ. අපට වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක විතර හිඟයකට මුහුණ පාන්න වුණේ එහෙමයි. අපට අපේ විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ ටික හරියාකාරව ලැබුණ නම්, සංචාරකයන් පැමිණිලා අපි අපේක්ෂා කරපු ඩොලර් බිලියන 05 ක 06 ක ආදායම ලැබෙන නම් අපට මේ වගේ අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ."

ජනාධිපතිවරයා මෙහිදී තවත් සංඛ්‍යා ලේඛන රාශියක් ගැන විස්තර කියාගෙන කියාගෙන ගියේය. ඔහු නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට කීවේ තමන්ට මෙහිදී යම් සංඛ්‍යා ලේඛනයක් වැරදී ඇත්නම් එය නිවැරදි කරන ලෙසය.

රුපියල පා කිරීම, ඩොලරය පාලනය කිරීම, රටට ගෙන එන අනවශ්‍ය භාණ්ඩ සීමා කිරීම, විදේශ ප්‍රේෂණ රාජ්‍ය බැංකු හරහා ගෙන්වාගැනීම දිරිමත් කිරීම, ආයෝජන වැඩි දියුණු කිරීම හා ඒවාට පහසුකම් සැලසීම, දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීම හා සංචාරකයන්ට පහසුකම් සැලසීම ආදී කරුණු ගැන දීර්ඝ වශයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වූ බව සැල විය. ඒ අතර ඉන්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන පියවර ගැන ද කරුණු බොහෝ ගැඹුරින් මෙහිදී සාකච්ඡාවට ලක් විය. ජාතික ආර්ථික සභාවේ වැඩ කටයුතු ඉවර වී සාමාජිකයින් විසිර යන විට හවස 03.00 ද පසු වී තිබිණි.

• විරෝධතාකරුවන්ට දුන් නිදහස ගැන ජනපති කීවේ මොනවද?

ඒ අතර පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා තැනින් තැන මතු වී තිබෙන උද්ඝෝෂණයි. බොහෝ විට මෙම උද්ඝෝෂණ ජනතාව අතරින් පැන නගින ඒවාට වඩා සංවිධානාත්මක ලෙස යම් යම් පිරිස් යොදවා තැන තැන ඇති කරන උද්ඝෝෂණ බව ජනාධිපතිවරයාට වාර්තා විය. සමහර තැන්වල ජනතාව නීතිය අතට ගෙන කටයුතු කරන ආකාරය ගැන ද තොරතුරු තිබිණි. ගෑස් නැතැයි කියා ගෑස් සඟවා ඇති තැන්වලට බලහත්කාරයෙන් ඇතුළුවී ගෑස් ලබා ගැනීම් ගැන ද වාර්තා වී තිබිණි. ඉන්ධන පෝලිම්වල දී පොලිස් නිලධාරීන්ට පවා අභියෝග කරමින් ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පට ද ගණනාවක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබිණි. ජනපතිවරයා පොලිසියට හා ආරක්ෂක අංශවලට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

විපක්ෂය මෙම අවස්ථාවේදී බොරදියේ මාළුබානා බව නිලධාරීන් පෙන්වා දුන්නේය. ඒ වනවිට සමගි ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ බලවේගවල මෙහෙයවීමෙන් කොළඹට එන විරෝධතා පෙළපාළියක් ගැන ද ජනාධිපතිවරයාට කරුණු වාර්තා විය.

ඇතැම් ආරක්ෂක නිලධාරීන් පෙන්වා දුන්නේ විපක්ෂයේ සැලසුම ජනාධිපති කාර්යාලය හා ජනාධිපති මන්දිරය වටලන්නට ජනතාව පෙලඹවීම බවය.

ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ මතය වූයේ ජනාධිපති කාර්යාලය ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු දේශපාලන මර්මස්ථානවලට මෙසේ පෙළපාළිකරුවන් ළඟාවීම වැළක්විය යුතු බවය.

"නෑ. නෑ. උද්ඝෝෂණය කරන එක ජනතාවගේ අයිතියක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ. ඒ නිසා ඒ ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දක්වන විරෝධතාවලට වැට බඳින්න අපට බෑ. හැබැයි එකක් තේරුම් ගත යුතුයි. විරෝධතාවලට ඇවිල්ලා මහජන දේපළවලට හානි කරන්න එයාලට බෑ. ඒකට ඉඩ තියන්න එපා." "ඒගොල්ලන්ට ඕන ගැටුමක් ඇති කර ගන්න. ඒ නිසා මහජන දේපළවලට අත තියමින් ගැටුමක් ඇතිකර ගැනීමයි ඒගොල්ලන්ගේ සැලැස්ම" නිලධාරීන් පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේ හැකි තරම් දුරට ආරක්ෂක අංශ යොදවා මහජන දේපළ ආරක්ෂා කරගන්නට කටයුතු කරනවා මිස පහරදීම්වලට හෝ වෙනත් මර්දන කටයුතුවලට ඉඩ නොතබන ලෙසය. ජනාධිපති කාර්යාලය වටලන්නට පැමිණියත් ඊට ඇතුළු වන්නට ඉඩ නො දෙනවා මිස පහරදී පලවා හරින්නට කටයුතු නොකරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

•බැසිල්ගේ ඉන්දීය සංචාරය ඵල දරයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය අගහරුවාදා දවල් තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ගමනේ ප්‍රමුඛ අරමුණ වුණේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ අසල්වැසි ආර්ථික බලවතාගේ සහයෝගය දිනා ගැනීමයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ප්‍රාන්ත මැතිවරණ ව්‍යාපාරය නිසා මේ දවස්වල ඉතාම කාර්යබහුලයි. එසේ තිබියදීත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට තමන් හමුවීම සදහා වෙලාවක් වෙන්කර තිබීම කැපී පෙනුණ කාරණයකි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟත් එරට මුදල් අමාත්‍යවරිය සමඟත් සාකච්ඡා කළේය. ඊට අමතරව එරට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රාජ් කුමාර් සමඟ ද සාකච්ඡා කළේය. එහි අරමුණ වුණේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සඳහා අලුත් ද්විපාර්ශ්වීය සහයෝගීතාවක් ඇති කර ගැනීමයි. මුදල් අමාත්‍ය ලේකම් එස්.ආර්. ආටිගලත් මේ සංචාරය සඳහා එක්ව සිටියේය.

•රනිල්ට විදෙස් මාධ්‍යවලින් ඇමතුම්

විදෙස් මාධ්‍ය ආයතනවලින් මේ දිනවල එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඇමතුම් ලැබෙන්නේ සම්මුඛ සාකච්ඡා සඳහා වෙලාව ලබා ගැනීමටය. ඒ ඔහු රුසියානු - යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ හේතුවෙනි. මෙම යුද්ධයත් සමඟ ආසියාව ආර්ථික වශයෙන් පෙරට එන බව ඔහු කියා සිටියේය.

එසේම ඉන්දුනිසියාව ජී 20 සමුළුවේ සභාපතිත්වය දරන නිසා ඔවුන් මෙහි පෙරමුණ ගත යුතු යැයි ද කීවේය.

එම ප්‍රකාශය ඉන්දුනිසියානු මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඉන් එක් මාධ්‍ය ආයතනයක් රනිල්ගෙන් සම්මුඛ සාකච්ඡාවකට වේලාව ඉල්ලා තිබූ අතර ඉකුත් බ්‍රහස්පතින්දා නායකයා ඔවුනට වේලාව ලබා දුන්නේය. "ටෙම්පෝ" නැමැති මාධ්‍ය ආයතනය අදාළ සම්මුඛ සාකච්ඡාවට සූම් තාක්ෂණය ඔස්සේ නායකයාව ගෙන තිබුණි.

•ප්‍රවර්ධන වැඩසටහන්වලට එජාපය සැරසේ

"සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඉතාම සාර්ථකව පැවැත්වුණා. හොඳ ප්‍රතිචාරයක් අපට මේ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා." මහලේකම් රංගේ බණ්ඩාර නායකයා වෙත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේය.

නියෝජ්‍ය නායක රුවන් කොළඹ නගර කොට්ඨාසයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වූ අතර වජිර, සාගල, අකිල හා රංගේ ඇතුළු පිරිස සෙසු ප්‍රදේශවල ගමින් ගමට යමින් සාමාජිකයන් එකතු කර ගැනීමේ උත්සාහයේ නිරත විය.

•පක්ෂ, විපක්ෂ හැමෝගෙන්ම බන්දුලට සුබ පැතුම්

පසුගිය 16 වැනිදා ඇමති බන්දුල තමන්ගේ උපන්දිනය සැමරීමට පිංකම් මාලාවක් පවත්වන්නට කටයුතු කර තිබුණි. ඉන් විශේෂතම පින්කම වුණේ ඇමති බන්දුල තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින්ම ඉදිකරවපු චෛත්‍යය නිරාවරණය කිරීමය.

උදේම ජනාධිපතිතුමාගේ උපන්දින සුබපැතුමත්, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ උපන්දින සුබපැතුම් එක්ක ඇමති බන්දුල හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට යන්නට පිටත් වුණි. 

උපන්දිනයට සුබපතන්නට කතා කරපු ජනාධිපතිතුමා එදින ජාතිය ඇමතීම ගැනත් ඇමති බන්දුලට කීවේය. එතැනදි තමන් කතා කරන්නට බලාපොරොත්තු වෙන කරුණු කාරණා ගැනත් කෙටියෙන් කතිකා කර ගත්හ.

•රනිල්ගේ අත්දැකීම් ගැන වජිර කතා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුරාවට කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කළ අතර දෙහිවල, රත්මලාන සහ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසවල එම වැඩසටහන ක්‍රියාත්මක කළේ එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

පුරා දින 02ක් තිස්සේ ක්‍රියාවට නැඟුණ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන නිමාවට පත්කරමින් පාක්ෂිකයන් හමුවේ අදහස් දැක්වූ වජිර අබේවර්ධන කියා සිටියේ "වෙන කවරදාටත් වඩා එක්සත් ජාතික පක්ෂයේ නව පිබිදීමක් අද වනවිට ඇති වී තිබෙනවා. එජාප පාලනයක් යළි රට තුළ ස්ථාපිත කර ගැනීමට ජනතාව විශාල උනන්දුවක් ඇතිව කටයුතු කරන බව පසුගිය දිනවල අපට දැකගන්නට ලැබුණා.

Comments