FCID ගිය විජේවීර, මහින්දට කියපු ඉල ඇදෙන කතාව | සිළුමිණ

FCID ගිය විජේවීර, මහින්දට කියපු ඉල ඇදෙන කතාව

ලන්ඩනයේදී ජනපතිට ලෝක නායකයන්ගෙන් පැසසුම්

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ආරාධනයකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ රටින් පිටව ගියේ පැරිස් නුවර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම ඇතුළු යූරෝපා සංචාරයක් වෙනුවෙනි. සෙනසුරාදා අලුයම මෙරටින් පිටත්වීමට පෙර ජනපති රනිල් ඔහු ඇමැතිධූර දරන මුදල් අමාත්‍යාංශයේ වගකීම් ශෙහාන්ටත්, ආරක්ෂක අමාත්‍ය ධූරයේ වගකීම් ප්‍රමිතටත් භාර දුන්නේය.

පළමුව ලන්ඩනය බලා පිටත්ව ගිය ජනපති රනිල් ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ සැසිවාරයට සහභාගී වූවේය. ලන්ඩනය බලා පිටත්ව ගිය ජනපති මුලින්ම මුණ ගැසුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ය.

මාස කිහිපයක් තුළ ලංකාව පැවැති තත්ත්වයෙන් වෙනස්වීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ මහලේකම්වරිය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ආරම්භ කෙරෙන ඩිජිටල්කරණ වැඩසටහන් ගැන ද ජනපති දැනුම්වත් කළාය. දේශගුණික විපර්යාස ගැන ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ගැන ද ඇය සිය ප්‍රසාදය පළ කළේ ජනපති රනිල්ට ය.

ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ 40 වැනි සංවත්සරයට සමගාමීව පැවැති වාර්ෂික සංසඳයේදී ජනපති රනිල් කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මුණගැසී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම ගැන මෙන්ම දේශගුණික විපර්යාස හා සංහිදියාව ගැන ද අදහස් හුවමාරු කර ගනු ලැබීණ.

මෙම සමුළුව නිමවා ජනපති රනිල් පිටත්ව ගියේ කලක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍යගේ නිවසටය. ඒ ඔහු සුදානම්කර තිබූ උපන්දින සාදයකට එක්වීම සඳහාය.

ජනපති රනිල් ලන්ඩනයෙන් පැරිස් වෙත

මෙයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මෙන්ම සිටින මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටි බව ආණ්ඩු පක්ෂ දේශපාලඥයන්ට ද දැනගන්නට ලැබුණි. ලන්ඩනයේ සිට ජනපති රනිල් පැරීසිය බලා පිටත්ව ගියේ ඉකුත් බදාදාය. ප්‍රංශයට පැමිණි ජනපති රනිල් ඇතුළු දූත කණ්ඩායම 22 හා 23 දා පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේදි කරන කතාව වෙනුවෙන් සුදානම් වූවෝය.

ජනපති රනිල් පැරිස් සිට මෙරට තතු විමසයි

මේ අතරවාරයේ ඔහු ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙමින් තොරතුරු විමසුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙනි. ජනපති ලේකම් පවතින තත්ත්වය දැනුම්වත් කළ අතර එහිදි කාරණා තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.

ඒ දුෂණ මර්දන පනත, රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීම ගැන මෙන්ම තායිලන්තයෙන් මෙරටට ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු නැවත එරටට ගෙන යාමේ සිද්ධිය ගැනය.

“ රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයට පත් කළේ ඇයි?“

රෝහිත බෝගොල්ලාගමගේ පත්වීම සම්බන්ධයෙන් ජනපති ලේකම්ගෙන් තොරතුරු විමසා සිටියේ එහි පැමිණි සුසන්ත පුංචිනිලමේ හිටපු මන්ත්‍රීවරයාය.

“ජනාධිපතිතුමාගෙන් මේ ගැන විමසූ හැමෝටම එතුමා කාරණා කිහිපයක් කිව්වා. එකක් තමයි මේ පත් කිරීමේ නිර්දේශය එන්න ඕනේ විදේශ ඇමැතිතුමාගෙන් කියන කාරණය. අනෙක් පැත්තෙන් බැලුවාම බෝගොල්ලාගම කියන්නේ හිටපු විදේශ ඇමැති කෙනෙක්. ඉතින් ඔහුට තිබෙන සම්බන්ධතා ප්‍රමාණය වැඩියි. යුරෝපා සංගමයේ මතවාදය හැදෙන්නේ මෙතන. ඒක අපිට වැදගත්.” ලේකම් සමන්ගේ පිළිතුර විය.

“බෝගොල්ලාගමට විරුද්ධව විශාල මඩ ප්‍රචාරයක් යනවා.” ඒ මතු කිරීම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්නගෙනි.

“ඔව් මෙතන දෙපැත්තක් තියෙනවානේ. විදේශ සේවයේ නිලධාරීන් පහතට දානවා නොවෙයි. නමුත් මෙතන ජනාධිපතිතුමාගේ මතය හොඳින්ම දන්නේ රෝහිත බෝගොල්ලාගමයි.” ජනපති ලේකම් තමන්ට ලැබුණු තොරතුරු හෙළි කළේ එලෙසිනි.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් තවත් බරපතළ කාරණයක් මතු කළේය. ඒ මෙරටට තායිලන්ත රජයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු රටට අහිමි වීමේ පුවතකි.

ජනපති රනිල්ට පැරිසියේදී IMF වෙතින් ප්‍රසාදය

පැරිසියේ සිටින ජනපති රනිල් බදාදා පෙරවරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ පැට්‍රිෂියා ජෝජිවා මුණ ගැසී සාකච්ඡා කළේය. මෙරට ආර්ථික ක්‍රියාවලිය ගැන සතුට පළකළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකාව දිගටම මෙරටට උදව් කරන බව කියා සිටියාය.

ජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරස්, ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ලේකම්, නෙදර්ලන්ත නියෝජ්‍ය අගමැති මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද මුණ ගැසී සාකච්ඡා කළේ සිකුරාදා ය.

අරලියගහ මන්දිරයේදී කවියෝ, දිනේෂ්ට කවියෙන්ම අමතති

අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් සංවිධාන කරන සංකථන මණ්ඩපය සාහිත්‍ය කලා සභාව මෙවර බ්‍රහස්පතින්දා මාතෘකාව කරගෙන තිබුණේ සාගර පලන්සූරිය නැතහොත් කවුරුත් දන්නා කේයස් කොළඹ යුගයේ කවියා පිළිබඳවය. දිනේෂ්, මෙවර සංකථන මණ්ඩපයට එක්වූයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ ප්‍රධාන දේශනයක් පවත්වමින් සිටිද්දීය. "අපේ අගමැතිතුමා වගේ කෙනෙකුට මිසක් මේ වගේ සාහිත්‍ය දරු පරපුර වෙත උරුම කරන්න අදහසක් පහළ වෙන්නේ නෑ," උන් වහන්සේ පැවසුහ. "කේයස්ගේ පරිසර වර්ණනා, සාහිත්‍ය සමුළු ඉක්මවා, පරිසර සමුළුවල සාකච්ඡා විය යුතුයි" කි දිනේෂ් විශේෂ මතකයක්ද අවධි කළේය.

"සාගර මැතිතුමා හොරණ මන්ත්‍රීවරයා ලෙස විපක්ෂයේ සිටියදී, පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්දයකදී, එවකට අගමැතිතුමා කාමරයට කැඳවා, -හෙට අධ්‍යාපන ඇමැති කරනවා, ඔබ මගේ පැත්තට ඡන්දය දෙන්නැයි කිවා. තනතුරුවලට ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ කියා, ඔහු ඇවිත් පාර්ලිමේන්තු පුටුවේ වාඩි වුණා" ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 74 වැනි උපන්දිනය යෙදී තිබුණු පසුගිය 20 වැනි අඟහරුවාදා දේශපාලඥයන් රැසක්ම ගෝඨාභය රාජපක්ෂට සුබ පැතීම පිළිබඳව පසුගිය සතියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් විය.

මහින්ද‍ගෙන් ගෝඨාභයට ඇමතුමක්

20 වැනිදා උදෑසනින්ම හිටපු ජනාධිපතිවරයෙකුගෙන් තවත් හිටපු ජනාධිපතිවරයෙකුට දුරකතන ඇමතුමක් ලැබුණේය. ඇමතුම දුන්නේ 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඇමතුම ලැබුණේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. සුපුරුදු පරිදි මහින්ද අයියා ගෝඨාභය මල්ලීට සුබ උපන්දිනයක් කියමින් සුබ පතා කෙටි කතා බහක නිරත විය.

මිරිහානේ ගෙදරට මන්ත්‍රීවරුන් විශාල පිරිසක්

එදින නාරාහේන්පිට ගෞතම විහාරයේ ආගමික වතාවත් වලට සහභාගී වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, සිය බිරිඳ අයෝමා රාජපක්ෂ සමඟ නැවත මිරිහානේ පැඟිරිවත්ත මාවතේ පිහිටි සිය පෞද්ගලික නිවසට පැමිණෙන විට සවස 6 පසු වී තිබුණි. ඔවුන් පැමිණෙන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම නිවසට පැමිණ සිටියේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සුබ පැතීමටය.

උපන් දින කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ බොහෝ වේලාවක් කතා බස් කළහ. රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබු අතර සංගීත රාවයක්ද එක් පැත්තකින් ඇසෙන්නට විය.

සංගීත භාණ්ඩ සපයා තිබුණේ ලොහාන් රත්වත්තේය. අනෙකුත් බොහෝ දේවල් සංවිධානය කර තිබුණේ ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. සංගීත රාවයට සම්පත් අතුකෝරාළ, චාමර සම්පත් දසනායක, සමන්ප්‍රිය හේරත් ඇතුළු මන්ත්‍රීවරු රැසක් ගී ගයන්නට වුහ.

මන්ත්‍රීවරුන් මහින්දව වටකරගත්තේ ඇයි?

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දිවා ආහාරය ලබාගන්නා විට ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් රැසක්ම ඔහු වටකරගෙන කතාබහ කරමින් දිවා ආහාරය ලබාගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මේ කතාබහේදී දිවා ආහාරයටත් වඩා රසවත් සිදුවීම් හෙළි වීම විශේෂත්වයකි. මේ නිසාම පක්ෂ බේදයකින් තොරව ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සමඟ දිවා ආහාරය ලබාගැනීමට වැඩි උනන්දුවක් දක්වති.

විජේවීරට ටයි ගැටය ගැහුවේ කවුද?

පසු දිනක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනයේ දිවා ආහාරය පරිදි ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ කතාබස් කරමින් සිටියහ.

මේ අවස්ථාවේදී මාතෘකාව වී තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) පිළිබඳවයි.

“මේක මාර වැඩක්නේ. දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි. කලාකරුවෝ, සංගීත ශිල්පීන්, නැට්ටුවොත් FCID එකට කැඳවලා තිබුණා” යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කීවේය.

“ඇයි සර්, මාමයි, බෑනයි දෙන්නගේ බෑනවත් කැඳවලා තිබුණා” යනුවෙන් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේ බන්දුල විජේවීර ගැනය. “බන්දුල විජේවීර FCID එකට ගියාට පස්සේ මරු වැඩක් වෙලා තියෙනවා” මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. “සර්.ඒ මොකක්ද?“ යනුවෙන් කිහිපදෙනෙක්ම විමසා සිටියේ මහත් කුතුහලයකිනි.

“බන්දුල විජේවීර FCID ගිහිල්ලා කට උත්තර දීලා මාව බලන්න ආවා. මිනිහ ගිහිල්ලා තියෙන්නේ බෑනා වගේ සරමයි කමිසයි ඇඳගෙන නෙවෙ. කලිසමයි කමිසයි ඇඳගෙන ටයි එකක් අතේ තියාගෙන මිනිහ FCID ගිහිල්ලා. ටයි එක දාගන්න බැරිවෙලා මෑන් ටයි එක අතේ තියාගෙන ගිහිල්ලා තියෙන්නේ එතන ඉන්න කෙනෙකුට කියලා ටයි එක දාගන්න.

FCID යන හැමෝම වැදගත් විදියට ටයි එකක් දාගෙන යන නිසා FCID එකට යන්න වාරේ එනකම් හිටපු කිහිපදෙනෙක්ම ටයි දාගෙන ඉදලා තියෙන්නේ. FCID එකට යන්න හිටපු කෙනෙකුට බන්දුල විජේවීර කියලා තියෙනවා ටයි එක දාලා දෙන්න කියලා. ඒ මනුස්සයා කිව්වලු හිටගෙන ටයි එක දාන්න බැහැ. හාන්සි වුණොත් ටක් ගාලා ටයි එක දාලා දෙන්නම් කියලා. කොහොම හරි ටයි එක දාගන්න ඕන නිසා බන්දුල විජේවීර පුටුවේ අමාරුවෙන් හාන්සි වෙලා වගේ ඉන්නකොට අර මෑන් ටක් ගාලා ටයි එක දාලා තියෙනවා. මිනිහට ස්තූතියි කියලා බන්දුල FCID එක ඇතුළට ගිහිල්ලා කට උත්තරය දීලා ආපහු එන ගමන් ටයි එක දාපු මෑන් ඉන්නවාද කියලා මිනිහට බලන්න හිතිලා.

හිටගෙන නැතුව හාන්සිවෙලා ටයි එක දැම්මේ මොකද කියලා මිනිහට අහන්න ඕන වෙලා අර මෑන් ගැන අහලා තියෙනවා, එතන හිටපු තව කෙනෙකුගෙන්.

එයා වැඩකරන්නේ මල් ශාලාවක කියලා ප්‍රසිද්ධ මල් ශාලාවක නමක් කියලා තියෙනවා.

එතකොට බන්දුල දැනගෙන තියෙන්නේ මල් ශාලාවේ අර මෑන් මළ මිනිවලට ඇඳුම් අන්දලා ටයි දාන එක්කෙනෙක් කියලා. ඒකනේ බන්දුල විජේවීරට හාන්සි වෙන්න කියලා ටයි එක දාලා තියෙන්නේ” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියපු කතාවට විනාඩි කිහිපයක් යනතුරු සියල්ලන්ම සිනහවූයේ බඩවල් අල්ලාගෙනය.

ජේ.වී.පී. පිනුම් ඉවර බව ප්‍රසන්න කියයි

පසුගිය ඉරිදා ඇමැති ප්‍රසන්න ගම්පොළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලයට සහභාගී විය. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න එය සංවිධානය කර තිබූ අතර හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ඇමැති කංචන විජේසේකර, රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

නොසීතූ තරමේ ජන සහභාගීත්වයක් තිබූ බැවින් සංවිධායක අනුරාධ ජයරත්න ඇතුළු පිරිස දැඩි උද්දාමයට පත්ව සිටියහ.

“මම හිතුවේ නෑ මෙච්චර සෙනඟක් එයි කියලා ” රාජ්‍ය ඇමැති අනුරාධ, ඇමැති ප්‍රසන්නගේ කනට කෙඳිරුවේය.

“බය වෙන්න එපා මල්ලි. මිනිස්සු ඉන්නේ අපිත් එක්ක. පහුගිය ටිකේ අපි නැතිවුණ නිසා තමයි ජේ.වී.පී එක ගමේ පිනුම් ගැහැව්වෙ. අපි ගමට බැස්සොත් මේ ගේම නතිං. මිනිස්සුන්ට පොහොට්ටුව අමතක නෑ, අමතක කරවන්නත් බැහැ” ඇමැති ප්‍රසන්න කීය.

“ඇත්තම කිව්වොත් මම බයේ හිටියෙ. මිනිස්සු ආවේ නැත්නම් මාර සවුත්තුවනේ” රාජ්‍ය ඇමැති අනුරාධ කීවේය.

“මල්ලී දේශපාලනය කරනකොට කවදාවත් හාෆ් ඩේ වැඩ කරන්නෙපා. ෆුල් ටයිම් වැඩ කරන්න. නිතරම මිනිස්සු ළඟට ගිහිල්ලා, ඒ අයත් එක්ක ඉන්න.මමනම් එහෙමයි” ඇමැති ප්‍රසන්න, අනුරාධට දේශපාලන ටියුෂන් පංතියක් ඇරඹීය.

අනුරාධට ප්‍රසන්නගෙන් ටියුෂන්

“ඒක ඇත්ත, අපි මිනිස්සු ළඟට ගියේ නැත්නම් ඒ දේශපාලනඥයා ඉවරයි” හිටපු ඇමැති මහින්දානන්ද ද කතාවට හවුල්විය.

“දී.මූ ජයරත්න කියන්නේ මිනිස්සු අතර හිටපු නායකයෙක්.මට මතකයි 94 ශ්‍රී.ලංකා එක බලයට ගේන්න අපේ තාත්තලත් එක්ක එතුමා වැඩ කරපු හැටි. ගමේ මිනිහට ඒ ඉතිහාසය අමතක නෑ ” ඇමැති ප්‍රසන්න කීය.

“මේ ගමේ හැම මනුස්සයකුටම අගමැතිතුමාව තවම මතකයි. එතුමා මේ පැත්තට සෑහෙන්න වැඩ කළා” අනුරාධ කීවේ සංවේදීවය. “ඒක තමයි මම කියන්නේ, අපිට ඕනම තැනක තාත්තගෙ නම කියල කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මමනම් ඕනම තැනක ආඩම්බරයෙන් කියනව මම රෙජී රණතුංගගෙ පුතෙක් කියලා”

මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයාට අනුර යාපාගෙන් සහතික‍යක්

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිට අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි මුණ ගැසුණි.

" පසුගිය දවසක ඇ‍ෙමරිකානු ජනාධිපති ජෝ බ්‍රයිඩන් බිම ඇඳ ගෙන වැටුණු වෙලාවේ මට ටක් ගාලා මතක් වුණේ නෙවිල් කියමින්” අනුර යාපා කතාව ආරම්භ කළේය.

“ඒ මොකද සර්” යනුවෙන් විමසා සිටියේ නෙවිල්ය. “නෙවිල් ඔයා වගේ කෙනෙක් ළඟ හිටියනම් ජෝ බ්‍රයිඩන්ට ඔහොම වැටෙන්න ‍දෙන්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඔයා ආරක්ෂා කරන විදිහ අපි හොඳටම දන්නවා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය කොටි සංවිධානය කී පාරක් බැලුවද මහින්ද මහත්තයට කරදර කරන්න. ඒත් නෙවිල් මහින්ද මහත්තයව ආරක්ෂා කළා. රට බේරා ගත්තු නායකයා ආරක්ෂා කිරීම ඔයාට කොච්චර අභිමානයක්ද” යනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය. “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂා කිරීම මං හැමදාමත් උපරිම ආකාරයෙන් කරනවා” යනුවෙන් නෙවිල් වන්නිආරච්චි මඳක් සිනහ වෙමින් පැවසීය.

වජිරගෙන් ගෝඨාභයට ගෙයක්

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සතියේ දිනක පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම හමු විය.

මධුර විතානගේ, සහන් ප්‍රදීප්, ගුණතිලක රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් වජිර අබේවර්ධන සමඟ කතා කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිබඳවය.

“ඔබතුමා පත්තරයකට කියලා තියෙනවා දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තව අවුරුදු තුන හතරකින් මේ රටේ මිනිසුන් අත වනනවා කියලා. මොකද්ද ඒ කතාව” යනුවෙන් විමසුවේ මධුර විතානගේය.

“මම කියපු කතාව සම්පුර්ණයෙන් ඇත්තක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තය විදේශීය කිසිම බලපෑමකට යටත් වුණේ නැහැ. ඒ මහත්තයා යටත් වුණේ මේ රටේ ජනතාවට විතරයි. ලේ බිඳුවක්වත් සොලවන්නේ නැතුව ජනතා මතයට ගරු කරලා ඔහු ජනාධිපතිධූරයෙන් ඉවත් වුණා. ඒක නිසා අනිවාර්යයෙන්ම තව අවුරුදු තුන හතරක් යන කොට මේ රටේ මිනිසුන් ගෝඨාභය රාජපක්ෂට අත වනන්නට පටන් ගන්නවා. ගෝඨාභය මහත්තයට ඉන්න ගෙයක් දෙන එකට සමහරු එක එක ඒවා කියනවා. මගේ ගෙදර හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දෙන්න මං සුදානම්. මන් නිතරම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රැකගත යුතුයි කියන්නෙත් මේ නිසයි. මොකද අද ජාත්‍යන්තර බලවේග වලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිසරදයක් වෙලා. ඔවුන්ට අවශ්‍ය වෙන්නෙ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට පඹයෙක් වගේ කෙනෙක් පත් කර ගන්නයි.”යනුවෙන් වජිර අබේවර්ධන කියපු කතාවට සියලු දෙනාම අසාගෙන සිටියේ දැඩි අවධානයකිනි.

විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව ගත් තීරණ

විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව පසුගිය සතියේ ද රැස්විය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර සිදු ඇති ගිවිසුමේ බරපතළ ගැටලු පිලිබදව ය.

කලබලයට හා තම තමන්ට හිතු මතේට අයි. එම්. එෆ්. එක කියන කියන ‍ෙකා්න්දේසිවලට එකඟ වූ තත්ත්වයක් තුළ රටට සිදුව ඇති බව එහිදී සියලු දෙනාගේ අදහස විය.

"දැන්වත් කළබලකාරී තීන්දු තීරණ නොගෙන විපක්ෂයට සියලු කරුණු කාරණා හෙළිදරව් කරන්න ඕන" මහාචාර්ය ජී.එල් පීරිස් කීවේය. "අපි කියන්නේ විපක්ෂයත් ආණ්ඩුවත් එකම හඩින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීමට එක්වෙමු. පක්ෂ පාට ආගම් ජාති භේදයකින් තොර පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකම හඬින් මේක කීවනම් අපිට රට වෙනුවෙන් සෑහෙන්න ජයග්‍රහණ ගන්න පුළුවන්." එහෙම කීවේ නාලක ගොඩහේවා ය. "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි බලපෑමක් සිදු කර විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාගේ තැන්පතු රැකගන්න පුළුවන් " එරාන් කීවේය. හරි දේට හරි කිව්වට වැරදි දෙයට එකග නොවන බවත් විවිධ උප්පරවැට්ටි එකඟතාවලට හිර නොවී තමන් ගත්ත අමනෝඥ තීරණ අමනෝඥ ලෙස සලකා අලුත් ආකාරයට ඉදිරියට යන්න එකතු වන ලෙසත් මෙරට ජනතාවගේ තැන්පතුවල වටිනාකම් සුරක්ෂිත කිරීමට සූදානම් නමුත් ආණ්ඩුව කියන කියන දෙයට අත් ඉස්සීමට සූදානමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් පැවසීය.

ගුවන් සේවයට ලී ක්වාන් යු දුන් පාඩම අජිත් රාජපක්ෂ හෙළි කරයි 

පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඇති වූ කතා බහකදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අපුරු පැහැදිලි කිරීමක් කළේය.

“දැන් බලන්න මේ වගේ ෆ්යිට් එකක ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ අපකීර්තිය රටටම බලපානවා. රටක ගුවන් සේවය ඒ රටේ අනන්‍යතාවයක්. කොහොම හරි ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගන්න හද‍නකොට මේ වගේ දේවල් වෙන කොට ඒක කොච්චර අවාසනාවක්ද? මට මතකයි එක පාරක් සිංගප්පුරුවේ අගමැති ලී ක්වාන් යු මහත්තයගේ කාලේ එක දවසක් සිංගප්පුරුවේ ගුවන් නියමුවන් ස්ට්‍රයික් එකක් ආරම්භ කළා. ඒ වෙලාවේ ලී ක්වාන් යු දැඩි ක්‍රියා මාර්ග ගත්තා. සමහර අවස්ථාවලදී අලුතින් ගුවන් නියමුවන් බඳවා ගත්තා. බඳවා ගෙන සිංගප්පුරු ගුවන් සේවය වැටෙන්න දුන්නෙ නැහැ. අද ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවයක් බවට ‍Singapore Air Line පත් වෙලා තියෙනවා.” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කළ පැහැදිලි කිරීම සියලු දෙනාම පිළිගත්තා.

රනිල්ගේ විශාලත්වය වජිර පෙන්වයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පසුගිය සති අන්තයත් සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩකටයුතු වෙනුවෙන්ය.

එහිදී අදහස් දැක්වූ වජිර කියා සිටියේ ලෝකයේ කිසිඳු නායකයෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් ජ්‍යෙෂ්ඨ නොවන බවත් ලෝකයේ වෙනත් නායකයන්ට නොලැබෙන පිළිගැනීමක් එතුමන්ට ලැබෙන බවත්ය.

එංගලන්තය, ඇ‍ෙමරිකාව වැනි රටවල් කොතරම් විශාල වුණත් ඊට වැඩිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශාලයි. එය දැන් අපිට ඔප්පු වෙමින් තිබෙනවා. ඊයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එංගලන්තය බලා පිටත් වුණා. එහිදී ලෝක නායකයන් බොහෝමයක් එතුමන්ව ඉතා හරසරින් පිළිගෙන තිබුණා.”යනුවෙන් වජිර පැවසීය.

Comments