ඉදිරියේදී ජනතාවට ලැබෙන්නේ සහන පමණයි | සිළුමිණ

ඉදිරියේදී ජනතාවට ලැබෙන්නේ සහන පමණයි

- මහජනතාව කැමැති වුණත් නැතත් මේ  වන විට ක්‍රියාත්මක වන්නේ කුණු බක්කියට දාපු ලියවිල්ලයි 
- විරුද්ධ පක්ෂය ආරක්ෂා කිරීම අපේ වගකීමක්
- දුප්පතාගේ හිතවතා විය යුත්තේ ඔහු නැඟිට්ට විය හැකි පෝසතෙකුට පමණයි
- තරුණයන්ට රට යන්න පාර කැපුවේ එක්සත් ජාතික පක්ෂයයි 
- මානසික ත්‍රස්තවාදය දුරලන්න විකාශන නියාමන කොමිසම් සභාව පිහිටුවනවා

ආණ්ඩුවේ අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ලංකාව පත් කිරීමයි. මේ සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ඉදිරි ඉලක්ක මොනවාද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ තීන්දුවට පැමිණෙන්නේ එතුමාගේ වසර 55ක දේශපාලන අත්දැකීම් හා පළපුරුද්ද මුල්කර ගෙනයි. එතුමා එම ප්‍රකාශය කරන්නත් තමන්ගේ දේශපාලන දැක්ම අනුව තිර අදිටනින්. නිදහසින් පසු වසර 75ක් අපේ රටේ විවිධ දේශපාලනඥයන් විවිධ ඡන්ද පොරොන්දු දී රට විනාශයට පත් කළා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27-1 වගන්තිය අනුව රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම මෙහෙයවීම නිසියාකාරව ඉටු නොවූ බව හැමෝටම පේනවා. උදාහරණයක් ලෙස රටේ ප්‍රධාන ආයතන බොහොමයක් අද මහජනතාවට විශාල බරක් බවට පත්වී තියෙනවා. ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනාදි ආයතන සියල්ලම බංකොලොත් වෙලා. තවත් ප්‍රධාන ආයතනයන් දෙකක් වන මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශයත් බංකොලොත් වෙලා. මේ ආයතන සියල්ල බංකොලොත්භාවයට පත්ව ඇති මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසන්නේ 2048 වසර වන විට සංවර්ධිත රටක් බවට ලංකාව පත් වන්නට නම්, ලෝකය සමඟ තරග කරන රටක් බවට පත්වීමට නම්, ආසියාව සමඟ තරග කරන රටක් බවට පත්වන්නට නම් ඒ සඳහා අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්ති රාමුවකට අපි එකඟ විය යුතු බව. එමනිසා ජාතික ප්‍රතිපත්ති රාමුවකට පැමිණිය නොහැකි, එකඟ කරවා ගත නොහැකි, දේශපාලන සාකච්ඡාවකට පැමිණිය නොහැකි අය සිටිනවා නම් ගම් මට්ටමේ සිට මහජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කළ යුුතුව තිබෙනවා. ගම් මට්ටමේ ජනතාව එය ප්‍රතික්ෂේප නොකරන්නේ නම් සිදුවන්නේ පසුගිය කාලයේ ජනතාව තෙල් ගෑස් පෝලිම්වල දුක් වින්ඳා සේ ඉදිරියටත් දුක් විඳින්නට සිදුවන බවයි. එවැනි තත්ත්වයක් මතුවුවහොත් අපි ලොව කොන් වූ ජාතියක් බවට පත් වෙනවා. ඒ නිසයි, 2048 සංවර්ධන ඉලක්කය වෙත යාමට රජයක් වශයෙන් අප මේ වනවිටත් සැලසුම් සකස් කරමින් පවතින්නේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගෘහ සේවයට යෑමේ ක්‍රමය නැවතී, ලොව රටවල විවිධ ජාතීන් අපේ රටට පැමිණීමේ කාලය උදා කළ යුතුයි. ඒ වගකීම පෙරදැරිවයි අපි ක්‍රියාත්මක වන්නේ. එය කළ හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. එතුමාගෙන් ඒ ප්‍රයෝජනය ලබාගත යුතුයි.

නමුත් මේ සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය තවමත් ගොඩ නැඟී නැහැ නේද?

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ දේශපාලන පක්ෂවලට නෙමෙයි. එය කළ හැක්කේ මහජනතාවටයි. ඒ නිසා මහජනතාව ඒ සඳහා ක්‍රියාකළ යුතු වෙනවා. මහජනතාව ඒ පිළිබඳව ක්‍රියා නොකරන්නේ නම් එතැන ඇති වන්නේ ජාතික ඛේදවාචකයක්. ඡන්ද දායකයා ඡන්ද පොළට යන්නේ වෛරයෙන් නම්, ක්‍රෝධයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් හෝ කුහකකමින් හෝ අනෙකා පැරදවීමට නම් මේ ජාතියටම අනාගතයක් නැහැ. බුදු දහමේ සඳහන් පරිදි බඩගින්නේ සිටින කෙනකුට ධර්මය දේශනා කළ යුත්තේ කුසගින්න නිවීමෙන් අනතුරුවයි. එමනිසා ඡන්ද දායකයා ප්‍රථමයෙන් සුවපත් කළ යුතුයි. අනතුරුව ඡන්ද පොළට යාමේදී ශ්‍රී ලාංකිකයන් පිළිබඳ හැඟීම සිතට ගත යුතුයි. මහජනතාවට දේශපාලන පක්ෂ පාලනය කළ හැකියි. එසේම එය ප්‍රතික්ෂේප කළ හැක්කේ ද මහජනතාවටයි. මහජනතාව ඒ යුතුකම හරිහැටි ඉටු කරන්නේ නැතිනම් එහි ඵලවිපාකත් මහජනතාවම භාරගත යුතුයි. අද රටට ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය කර තිබෙන යුගයක්.

ඉන්දියාව, ජපානය ලෝක බලවතුන් වූයේ කෙසේද යන්න අපි සොයා බැලිය යුතුයි. එසේනම් ඇයි අපි බලවතෙක් නොවන තැනට පත්වුණේ යන්න විමසිය යුතුයි. ඒ පිළිබඳ දේශපාලන පක්ෂවලට කරුණු කියා දිය යුතුව තිබෙනවා.

ඔබ පවසන්නේ දේශපාලන පක්ෂ සියල්ල එකතු වී ජනාධිපතිතුමාගේ මේ ගමනට ශක්තියක් තවමත් ගෙන නුදුන් බවද?

ජනාධිපතිතුමාගේ ගමනට නොවෙයි එකඟ විය යුත්තේ, මේ සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවටයි. ඉන්දියාවේ නේරු අගමැතිවරයා 1952 ලෝක් සභාව අමතා පවසන්නේ තමාගේ අයවැයෙන් පර්යේෂණ සඳහා 12.5%ක් වෙන් කරන බවයි. ඔහු එවිට පැවැසූයේ ඒ අවස්ථාවේ තමන්ට ඉන්දියානුවන් බැන්නත් අනාගතයේ ඔවුන් ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරයි කියලා. ඉන්දියාව එදා බලවතෙක් වෙන්නේ නේරු අගමැතිතුමා ලෝක් සභාවේ ගත් වැදගත් තීන්දු තීරණ නිසා පමණයි.

විනාශ වූ රටක් ඉහළට ඔසොවා තැබීමේ ක්‍රියාන්විතයේදි පැමිණෙන අභියෝග මොනවාද යන්න සඳහන් කළොත්?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද මේ තැනට පැමිණියේ සියලු අභියෝගවලට මුහුණ දීමෙනුයි. අපි 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පැහැදිලිවම ජනතාවට යථාර්ථය පෙන්වා දුන්නා. නමුත් මහජනතාව අපිවත් ප්‍රතික්ෂේප කර ආණ්ඩුවත් නැතිකර පෙට්‍රල්, භුමිතෙල් පෝලිම්වල සිටගෙන නැවතත් අපිට බණින තත්ත්වයක් උදා කළා. එදා ඇති වූ අවාසනාවන්ත තත්ත්වය නැවතත් වෙනස්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා මහජනතාව යථාර්ථය හරියට තේරුම් ගත යුතුයි. මහජනතාව කැමැති වුණත් නැතත් මේ වන විට ක්‍රියාත්මක වන්නේ කුණු බක්කියට දාපු ලියවිල්ලයි.

වැටුණු තැනින් රට ගොඩ ගැනීමේ වෑයමේදී මේ වන විට අත්පත් කර ගෙන ඇති සාර්ථකත්වයන් මොනවාද යන්න පැහැදිලි කළොත් ?

ඒ සාර්ථකත්වයන් තමයි අද අපි හැමෝටම භුක්ති විඳින්නට හැකිවෙලා තියෙන්නේ. එදා බිඳ වැටුණු රට ක්‍රමක්‍රමයෙන් වෙනස් කරමින් අද මහජනතාවට මහපාරට බැස ඇවිදින්න පුළුවන් වාතාවරණයක් ඇති කර තියෙනවා. වාහනයකට නැඟ ගමනක් යා හැකි පරිසරයක් ඇති කර තියෙනවා. නැත්තටම නැතිකළ කෘෂිකර්මාන්තය නැවතත් ඇති කර එය සංවර්ධනය කරමින් පවතිනවා. රටක් වැටුණු පසු ජාතියේ වාසනාවට හොඳ නායකයෙක් ලංකාවේ ඉතුරු වී සිටියා. එය ජනතාවට ලැබුණු සම්පතක්. ඇමෙරිකාව, එංගලන්තය රටක් ලෙස ප්‍රමාණයෙන් විශාල විය හැකියි. නමුත් රනිල් වික්‍රමසිංහ නැමැති නායකයා ඒ සියල්ලටම වඩා විශාලයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ උස් හඬින් කතා කළ හැකි නායකයෝ ලොව නැහැ. එය ලංකාවට විශාල සම්පතක්. ඒ තත්ත්වය ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි විය යුතුයි. නමුත් ජාතියේ අවාසනාවට බොහෝමයක් දෙනා ඒ දෙස බලන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්. දුප්පතාගේ හිතවතා කවදාවත් දුප්පතෙක් වෙන්න බැහැ. දුප්පතාගේ හිතවතා විය හැක්කේ ඔහුව නැඟිට්ටවිය හැකි පෝසතෙකුට පමණයි. පෝසතුන්ට වෛර කිරීමේ ක්‍රමවේදය දුරලා සියලු දෙනා පෝසතුන් බවට පත් කරවීමේ ක්‍රමවේදයට යායුතුයි.

පීඩාවට පත් ජනතාව ඉදිරියේදි මීට වඩා සහන අපේක්ෂා කරනවා. වසර අග වන විට ජනතාවට සහන කාලයක් උදා වේවි ද?

බදු ආදියෙන් ජනතාවට පීඩනයක් දැනෙන බව අපි දන්නවා. වැරදි සමාජ ක්‍රමයක් පැවතුණ විට එය නිවැරදි කිරීමට යම් කාල සීමාවක් ගත වෙනවා. දිනෙන් දින හොඳක් මිසක නරකක් සිදු වන්නේ නැහැ. ඉදිරියේදී ලැබෙන්නේ සහන පමණයි. වෙන කිසිවක් නැහැ. වර්තමානයේ මේ සියල්ල හසුරුවන්නේ ජනාධිපතිවරයායි. ඒ නිසා ඉදිරිය ගැන කිසිදු සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැහැ.

විදත් විකාශන අධිකාරියක් පිහිටුවීමේ අණ පනත් ගෙන ඒමට රජය සැරසෙනවා?

ජාතික ආරක්ෂාව මෙහිදී වැදගත්. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය වැඩි දියුණු වී තියෙන්නේ අවි ආයුධවලට එහා ගිය තැන්වලින්. එමනිසා මානසික ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත් ලෝකයේ භාවිත කරන්නා සේම ලංකාවේත් භාවිත කළ යුතුයි. මානසික ත්‍රස්තවාදයට විසඳුම ඒ අය අත්අඩංගුවට ගෙන පුහුණු කර සමාජ ගත කිරීමයි. අමෙරිකාවේ පෙන්ටගනයට ප්‍රහාර එල්ල කිරීමට යන ගුවන් නියමුවා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට නොහැකියි. ඔහුගේ අතේ ඇත්තේ පාස්පෝට් එකයි, ඔහුගේ බෑගයයි පමණයි. ගුවන් යානය පදවන විටයි ඔහු මානසික ත්‍රස්තවාදියකු වෙන්නේ. මෙවැනි මානසික ත්‍රස්තවාදීන් ලොව සෑම තැනකම ඉන්නවා. ඒ අය හඳුනා ගෙන පුනරුත්තාපනය කර සමාජගත කිරීම රජයේ වගකීමක්. මේ නිසා මානසික ත්‍රස්තවාදය පරාජය කිරීමට පනතක් ගෙනෙන විට කලබල විය යුතු නැහැ. අද මාධ්‍යයට ලංකාවේ නීතියක් නැහැ. මාධ්‍යටත් නීතියක් අවශ්‍ය කර තිබෙනවා. ලංකාව සිංගප්පූරුවක් වනවා දකින්නට කැමැති නම් සිංගප්පූරුවේ ඇති මාධ්‍ය නීති රීති පද්ධති මෙහි ගෙන ආ යුතුයි. ලංකාවේ පනතේ එහි අඩංගු කොටස්වලින් කාලක්වත් නැහැ. තොරතුරු සන්නිවේදන මාධ්‍ය සංවර්ධන අධිකාරි පනත සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන විට ලංකාව විදත් විකාශන අධිකාරියක් පිහිටුවීමට මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. විනය ගරුක සමාජ සාධාරණත්වය හඳුනන මාධ්‍යවේදීන් සමාජය සුවපත් කළ යුතුව තිබෙද්දී වල්බූරු නිදහසක් කිසිම කොට්ඨාසයකට හිමි නොවිය යුතු බවයි, මගේ අදහස.

විපක්ෂය චෝදනා කරනවා 2015- 2019 දක්වා කාලය තමයි වැඩියෙන්ම ණය ගත් අවධිය බව. මේ නිසා රටේ ණය කන්ද දිනෙන් දින ගොඩ ගැසෙන බවටත් චෝදනා. මේ ණය කන්ද ලිහා ගත හැකිවෙයිද?

2015 සිට 2019 දක්වා වැඩිම ණය ගත්ත බවටත් කතා කියනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. 2015 - 2019 දක්වා කළේ 2004 සිට 2014 දක්වා ලොවට ඉදිරිපත් නොකර කපුටන් මෙන් තැන් තැන්වල සඟවා තිබූ ණය නැවත ලේඛන ගත කිරීමයි. එවිට වැඩිම ණය ගත්තේ 2015-2019 නෙමෙයි. හොරට සඟවා තිබු ණය අපි නිසියාකාරව හෙළි කළා. එය වාසියක් වුණා, මෙවර රට වැටෙන අවස්ථාවේ ඉක්මනින් ගොඩ ඒමට. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2015- 2019 කාල සීමාවෙදී 2004-2014 දක්වා තිබූ වංචනිකව සඟවා තිබූ ණය සියල්ල හෙළි කර තිබුණා. හෙළිකර ගන්න ඉතිරිව තිබුණේ 2021 හා 2022 කෙටි කාලයක ඒවා පමණයි. මහජනතාවට සහනයක් ලැබුණේ ඒ නිසයි. නොදන්නා අය 2015 - 2019 වැඩියෙන්ම ණය ගත්තා කීම බොරුවක්. අසත්‍යක්.

ආණ්ඩුව ඇතුළෙත් යම් යම් හැල හැප්පීම් තිබෙන බවට වාර්තා වෙනවා?

මිනිස්සු වැඩ කරන තැන්වල මත ගැටුම් තිබීම ස්වභාවික දෙයක්.

ඇමැතිකම් ලබා දීමේදිත් ආණ්ඩුවට අසීරුතාවලට මුහුණ දෙන්නට සිදු වුණා.?

අද මාධ්‍යයටත් ජනතාවටත් තියෙන ලොකුම ශෝකය තමයි මේ ඇමැතිකම් ශෝකය. අපි කලබල නොවී ජාතිය ගොඩ නඟමු.

පසුගිය කාලයේ විපක්ෂයෙන් කොටසක් ආණ්ඩුවට එකතු වන බවට විශාල රාවයක් පැතිර ගියා. නමුත් මේ වන තෙක් පිල් මාරු සිදුවුණේ නැහැ?

විරුද්ධ පක්ෂය ඔහොම තිබුණාවේ. විරුද්ධ පක්ෂය ආරක්ෂා කිරීම අපේ වගකීමක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබීමේ කටයුතු සූදානම්ද?

කවුරුත් ඒ ගැන කිසිදු බයක් තියා ගැනීමට අවශ්‍ය නැහැ. මේ සියල්ල හසුරුවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. එසේ නැතුව මහ බැංකුව හෝ මුදල් අමාත­්‍යාංශය නෙමෙයි. ඇත්ත වශයෙන් දක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් එතැන ඉන්නවා. කුමන දේශපාලන පක්ෂයක වුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අයට යායුතු ගමන් මඟ හෙළි පෙහෙළි කරමින් ඉන්නවා. තරුණ සේවා සභාව හදපු වෙලාවේ ලාංකික තරණ තරුණියන්ට එතුමා අනාගතය හැදුවා මිස තරුණ සේවා සභාව එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් කළේ නැහැ. ඔහුට අදත් දක්ෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. ඒ දක්ෂ හා පළපුරුදු දෙපාර්ශ්වයම එකතු කරගෙන එතුමා මේ ගමන යනවා. කවුරුත් සැක සිතන්න අවශ්‍ය නැහැ.

රට හැර යන තරුණ පිරිස් දිනෙන් දින වැඩිවෙමින් යනවා. මෙය සුබ ලකුණක් නෙමෙයි නේද?

ඒ පිළිබඳ කලබල විය යුතු නැහැ. රට යන්න පාර කපා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ 1977න් පස්සේ. ඊට පෙර රට ගියේ තෝරා ගත් පවුල් කිහිපයක ළමුන් විතරයි. අද ගමේ ගොවියාගේ දරුවෝ අමෙරිකාවට, කොරියාවට, එංගලන්තයට යැව්වේ එක්සත් ජාතික පක්ෂයයි. විදේශ රටවල සිටින අයට එය මතක නැහැ. දැන් රට හැර යාමට කලබල විය යුතු නැහැ. තාක්ෂණය මේ හරහා රටට එනවා. රටේ වැඩි පිරිසක් ලෝකය දැකීම ලංකාවට යහපතක් මිස අයහපතක් සිදු වන්නේ නැහැ. ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ නිසා ලොව රස්සා කරන පිරිස් ඉන් ඉවත්ව ලංකාවට එනවා. ලොව රස්සා නැති ළමයි ලංකාවේ වැඩට එනවා.

විපක්ෂය මැතිවරණයක් ඉල්ලනවා. ජනාධිපතිතුමාගේ ජනතා ප්‍රසාදය මැන බැලීමට මැතිවරණයක් තිබ්බොත් හොඳයි නේද?

ඉදිරියේදි මැතිවරණයක් පැවැත්වුවහොත් එතුමාට හිමි ජන ප්‍රසාදය බලාගත හැකි වෙනවා. බඩගින්න සුව කළ පසු සියලු මැතිවරණ පවත්වනවා.

සමගි ජන බලවේගයත් සමඟ සාකච්ඡා තවමත් සිදු වෙමින් පවතිනවාද?

සමගි ජන බලවේගයත් සමඟ සාකච්ඡා ජීවිත කාලයටම සිදු කෙරෙනවා. ඒවා සියයට දාහක් සාර්ථකයි. කිසිදු සැකයක් නැහැ

ඔබ හොඳින් අනාවැකි පවසනවා. ඉදිරිය ගැනත් අනාවැකියක් පැවැසීමට හැකිවෙයිද?

මම ජීවිත කාලයේ කිසිදු අනාවැකියක් පවසා නැහැ. මම කළේ දේශපාලන විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම පමණයි. මෙය මගේ දක්ෂකම නෙමෙයි. මම රනිල් වික්‍රමසිංහ නායකතුමා කියූ පොතක් කියවා ගත්තා පමණයි. එතුමා මට කිව්වා තමන් ලියූ ‘2021 ආර්ථික සැලැස්ම කියවා ගන්න, එවිට වජිර 2023 අපි තමයි පාලනය කරන්නේ කියලා. ‘මම එතුමාට එවෙලේ කිව්වා අපිට ඇත්තේ එක ආසනයනේ කියලා. එවිට එතුමා මට කිව්වා එය වැඩිත් එක්ක. හොඳටම ඇති කියලා.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments