ජපන් ශ්‍රී ලාංකික මිත්‍රත්ව හස්තයේ අලුත්ම එළැඹුම සටහන් වෙයි | සිළුමිණ

ජපන් ශ්‍රී ලාංකික මිත්‍රත්ව හස්තයේ අලුත්ම එළැඹුම සටහන් වෙයි

ජපානයේ නිල සංචාරයේ දී ජනාධිපතිවරයා වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාග්න් හමුවූ අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනය අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරේ. හිරු නැඟෙන දේශය නමින් විරුදාවලිය ලත් ජපානය අද ආසියාවේ බලවත් රාජ්‍යයකි. එසේ වන්නේ රටේ පිහිටීම හෝ, භූමියේ ස්වභාවික සම්පත් නිසා හෝ නොව ජනතාවගේ කැපවීම හේතුවෙනි. ජපානය අවස්ථා දෙකකදී ආර්ථික අවපාතයකට මුහුණ දී ආර්ථික වර්ධනයක් අත්පත්කරගත් අතර බටහිර රටවලින් පිටස්තරව ඉහළම ආර්ථික සංවර්ධනයක් ලබාගත් මුල්ම රට වන්නේ ජපානයයි. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් නැත්තටම නැතිවී, විනාශ වී ගියද ජපානය එම අළු මතින් යළි නැඟී සිටියේය. මෙලෙස විවිධ වූ බාධා කම්කටොලු මැද ජපානය ආර්ථික, දේශපාලන හා සමාජයීය බලවතකු වූ ආකාරය මත ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ගත හැකි ආදර්ශ බෙහෝය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ජපාන නිල සංචාරය සිදු වූයේ ආර්ථික අවපාතය හමුවේ බිඳ වැටුණු ශ්‍රි ලංකාව යළි අළු මතින් නැඟී සිටින මොහොතකය. එමෙන්ම රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රධානම පියවරක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහන සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක වන මොහොතකය.

ජපානය කවදත් ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ 1952 වසරේදීය. ඒ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් වසර හතරකට පසුවය. ඒ අනුව ජපානය යනු ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රථමයෙන්ම ආරම්භ කළ රටවල් අතරින් එකක් වේ. ජපානය ශ්‍රී ලංකාව සමඟ 1952දී මිත්‍ර සබඳතා ආරම්භ කරන්නේ ඊට පෙර වසරේදී ශ්‍රී ලංකාව සමස්ත ලෝකය හමුවේ ජපානය වෙනුවෙන් සිදු කළ අභීත ප්‍රකාශයක කෘතවේදීත්වය සමඟිනි.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ශ්‍රී ලංකාවේ කොළඹ සහ ත්‍රිකුණාමලය නගර ඉලක්ක කර ගනිමින් ගුවන් යානා 38ක් යොදවමින් ජපානය මහා ප්‍රහාරයක් එල්ල කළේ ඊට වසර කිහිපයකට පෙරදීය. එහෙත් ඒ සියල්ලට වඩා හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරය බලවත් විය. අවසානයේ ජපානය යුද්ධයෙන් තමාගේ පාර්ශ්වයෙන් හානි සිදුවූ රටවලට වන්දි ගෙවීමක් කළ යුතු බවට ප්‍රකාශ වූ අතර ඒ වෙනුවෙන් 1951 වසරේදී ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සමුළුවක් ද සංවිධානය කෙරිණි. එම සමුළුවේදී ජපානය සමඟ මිත්‍ර සබඳතා යළි පවත්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව දීර්ඝ ව සාකච්ඡා විය.

එම සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එවකට අප රටේ මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා සමුළුව අමතමින් පවසා සිටියේ ජපානය සමඟ පැවති අතීත අඳුරු මතක සම්පූර්ණයෙන් අමතක කර යළි මිත්‍රත්වය පවත්වා ගත යුතු බවයි. එහිදී ඔහු ධම්ම පදයේ ‘නහී වේරේන වේරානී‘ ගාථාව උපුටා දක්වමින් සිදු කළ කතාව ජපාන ජනතාව පිළිගත්තේ ඉතා සුබදායී සිතකිනි. යුද්ධයේ අළු මතින් නැඟී සිටිමින් සිටී ජපානයට එම මිත්‍රත්වයේ දෑත මහඟු ශක්තියක් විය.

එදා දිගු වුණු ශ්‍රී ලාංකිකයන්ගේ මිත්‍රත්වයේ හස්තය ජපානය යළි කිසිදා අතහැර දැම්මේ නැත. ඔවුන් ඒ වෙනුවෙන් ලබාදුන් ත්‍යාග බොහෝ විය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මහරගම තරුණ සේවා සභාව මෙන්ම ජයවර්ධනපුර රෝහලද ජපාන රජය ශ්‍රි ලාංකිකයන්ට ලබා දුන් මිත්‍රත්වයේ ත්‍යාග අතර සුවිශේෂි ඒවාය.

එම මිත්‍රත්වය යළිත් තහවුරු කරමින් ජනාධිපති රනිල් වික්‍රසිංහයන් පසුගියදා සිදු කළ ජපාන සංචාරය ද ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රතිලාභ ගෙනු දෙනු ඇත.

ජපානයේ සහ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා පසුගිය 23 දා අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිය එක්දින සිංගප්පූරු නිල සංචාරයේ දී එරට ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනකු සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවන්ට එක් විය.

අනතුරුව ජනාධිපතිවරයා සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කළ අතර එහි සුවිශේෂී සිදුවීමක් වන්නේ ජනාධිපතිවරයා “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව” හෙවත් “නික්කෙයි” සමුළුව අමතා සිදු කළ දේශනය සියලු බලවත් රාජ්‍යයන්හි අවධානයට ලක්වීමයි.

සිය දේශනය පුරාවටම ජනාධිපතිවරයා විසින් ආසියාවේ වැදගත්කම සහ ශක්තිය පෙන්වා දුන් අතර ඒ අනුව ආසියාවේ ශක්තිය ලෝකය හමුවේ අවධාරණය කළ මෑතකාලීන එකම නායකයා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පත් විය.

ගෝලීය ආර්ථිකය තුළ ආසියාවේ සුවිශේෂී කාර්යභාරය සහ කලාපය මුහුණ දෙන අභියෝග ද එහිදී පෙන්වා දීමට අමතක නොකළ ජනාධිපතිවරයා ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබීය.

2048 වසරේ දී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළයි. ඒ වෙනුවෙන් පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති අතර එම වැඩපිළිවෙළට සිය සමීප මිතුරකු වූ ජපානයේ සහාය ලබා ගැනීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ විය.

එහිදී ජපානයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු හිටපු අග්‍රාමාත්‍යවරු දෙපළක් සමඟ එකම දිනකදී සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයාට අවස්ථාව සැලසිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා අතර නිල හමුව මැයි 25 දා ටෝකියෝ නුවරදී සිදු වූ අතර එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනරතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පුද කර සිටියේය.

එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ නව අවස්ථා පිළිබඳව නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහන පිළිබඳ එහිදී ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව කෙරෙහි ජපානය තුළ තිබු සැකය සහ අවිශ්වාසය දුරලීමට ද මෙම හමුව අවස්ථාවක් කරගත් ජනාධිපතිවරයා ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජපාන රජය වෙත සිය කනගාටුව පළ කළේය.

එපමණක් නොව විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බවත්, සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සහතිකයක් ජාත්‍යන්තරය හමුවේ තබමිනි.

එදිනම සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් (Lawrence Wong) සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට ටෝකියෝ නුවරදී එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කර සිටියේය.

එසේම ජපාන - ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී මැයි 25 දා පැවැත්වූ උදෑසන භෝජන සංග්‍රහයට සමගාමීව පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයන් දිරි ගන්වන ලෙස ද හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතර හමුවක් ද සිදු වූ අතර ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප මිත්‍ර සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ එහිදී අවධානය යොමු විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අතර හමුවක් 25 දා ටෝකියෝ නුවරදී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අනතුරුව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ (Taro Kono) ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

එමෙන්ම වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාග්න් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමඟ සාකච්ඡාවකට එක් වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

මේ අතර “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා"යන මැයෙන් මැයි 26 දා ටෝකියෝ නුවර දී පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා එක් විය.

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමේ සිය කැපවීම එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන්ට සුදුසු ව්‍යාපාර පසුබිමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑතකාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ නව ප්‍රතිසංස්කරණ පිළිබඳ කරුණු දැක්වීය.

අත්‍යාවශ්‍ය ආර්ථික හවුල්කරුවකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා එහි පෙන්වා දුන්නේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධානය කර තිබු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනය අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරිණි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ආර්ථික, සමාජයීය මෙන්ම දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇත.

සුසන්ති ප්‍රදීපිකා

Comments