දෙස බස රැස සුරැකි ශ්‍රීමත් ඩී.බී. ජය­ති­ලක | Page 3 | සිළුමිණ

දෙස බස රැස සුරැකි ශ්‍රීමත් ඩී.බී. ජය­ති­ලක

 

වුරුදු 22 කින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති වී රට පුරා බෞද්ධ පාසල් පිහිටුවීමටත් රටපුරා බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමටත් කටයුතු කළ මේ මහා පඬිරුවන අපේ රටට නිදහස ලබා ගැනීමටත් මහ මෙහෙයක් ඉටු කළේ ය.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ රත්මලානේ ශ්‍රී ධර්මරාජ නාහිමියන් මේ සුවිශේෂී පුද්ගලයාගේ උපන් වේලාව පිළිබඳ බලා පවසා ඇත්තේ “බාරෝ උඹට රජ වෙන්න වාසනාව තිබෙනවා“ යනුවෙනි.

මෙරට දෙස බස රැස සුරකිමින් රටට ජාතියට සුවිශේෂී මෙහෙවරක් කළ මේ දේශප්‍රේමියා අන් කවරකුවත් නොව මෙරට නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් කළ සර් ඩී. බී. ජයතිලක හෙවත් ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ය.

1868 පෙබරවාරි 13 වැනිදා කැලණියේ වරාගොඩ විසූ දොන් දානයෙල් ජයතිලක හා එළිසියානා ජයතිලකට දාව උපත ලබන දොන් බාරොන් ජයතිලක ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙන මඟිනි. පසුව ඒ පිරිවෙනින් ම සිංහල භාෂාව සංස්කෘතිය, පාලි භාෂාව, බෞද්ධ සාහිත්‍යය ප්‍රගුණ කර ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තේ ය.

ඩී‍. බී. ජයතිලකයන්ගේ ප්‍රධාන ගුරු හිමිපාණන් ලෙස කටයුතු කර ඇත්තේ එවකට ප්‍රධාන පැවිදි පඬිරුවනක් වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමිපාණන් ය.

පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ විභාගවලින් උසස් ලෙස සමත්වීමෙන් අනතුරුව මෙරට ඇතිවූ බෞද්ධ පුනරුදයත් සමඟ කොළඹ පරමවිඥානාර්ථ සමිතියට සම්බන්ධවී සිය බෞද්ධාගමික සහ දේශ හිතෛෂී වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ශ්‍රීමත් ජයතිලකයෝ කටයුතු කළහ.

ඒ අනුව අනගාරික ධර්මපාලතුමා හා ස්ටිල් ඕල්කට්තුමා යන දේශමාමකයන් හා ආගමික නායකයන් සමඟ එක්වී බෞද්ධ පුනර්ජීවනයක් රට තුළ ඇති කිරීමට කටයුතු කළේ ය.

ඒ අනුව පරමවිඥානාර්ථ සමාගම විසින් කොළඹ මහනුවර හා ගාල්ල යන ප්‍රදේශවල ආරම්භ කළ බෞද්ධ පාසල් සිංහල ජනතාව අතර ඉතා ජනප්‍රිය කරලීමට මූලික අඩිතාලම දැමීය.

මහනුවර ඉදිකළ ධර්මරාජ විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස අවුරුදු 22 දී ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් පත්වූයේ විද්වත් සැමගේ නිර්දේශ මත ය.

ඔහු කල්කටා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි හා ලතින් භාෂාව පිළිබඳව උපාධි ලබා ගැනීම සිදුකර තිබේ. ඊට පසු ‘සත්‍යෝදය‘ නමින් සතිපතා පුවත්පතක් මුද්‍රණය කිරීමටත් ඒ ඔස්සේ රටපුරා බෞද්ධ පුනර්ජීවනය හා භාෂා ඥානය වර්ධනය කිරීමටත් කටයුතු කළේ ය. පසුව එතුමා පරම විඥානාර්ථ සමිතිය විසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පතිවරයා ලෙස පත් කරන ලදී. 1904 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වීමට ද ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ට හැකිවිය. අනතුරුව ආනන්දය දියුණු කිරීමට වැඩසටහන් රැසක් ඉටු කළේ ය.

1898 දී මෙරට බොදු පුනරුදය වෙනුවෙන් බෞද්ධ තරුණ පරපුරේ උපරිම සහාය ලබාගැනීමට කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීමට ජයතිලක සූරීහු කටයුතු කළහ. එදා සිට ඔහු මිය යන තෙක් ම වසර 44 ක් එහි සභාපති ලෙස කටයුතු කරමින් මෙරට තරුණ පරපුර බුද්ධාගම කෙරෙහි ගෞරවය දැක්වීමට හා නැඹුරුවට අවශ්‍ය කටයුතු කළේ තරුණ පරපුරේ අනාගතය ද සුඛිත මුදිත කිරීමේ අභිලාෂයෙනි.

1902 දී පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත් 1908 දී එහි ප්‍රධාන ලේකම්වරයා ලෙසත් පත්වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන් සිංහල බස සොබාවිත කිරීම පිණිස සිංහල ශබ්දකෝෂයේ කටයුතු ද ඇරඹීමට කටයුතු කළේ ය.

අනතුරුව දම්පියා අටුවා ගැටපදය, සද්ධර්මරත්නාවලිය, සිකවළද විණිස වැනි සුවිශේෂී ග්‍රන්ථ සංශෝධනය කොට යළිත් මුද්‍රණය කළ මෙතුමා වසර 44 ක් ම තරුණ බෞද්ධ සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් මෙරට තරුණ පරපුරට බුදු දහමේ ආභාසය ‍උපරිම ලෙස ලබාදීමට කටයුතු කළේ ය.

1915 දී පමණ පැවැති රටට නිදහස ලබාගැනීමේ සටන්වලදී සිරභාරයට පත්වීමට ද ශ්‍රීමත් බාරොන් ජයතිලකට සිදු විය. බටහිර පාලනයෙන් රට බේරාගැනීම පිණිස කටයුතු කළ ජනතා ක්‍රියාකාරකයන් හා එක්ව පිහිටුවූ ජාතික සංගමයේ සභාපති ලෙස මෙතුමා කළ දේශප්‍රේමී වැඩපිළිවෙළ එකළ ජාති හිතෛෂීහු අගය කළහ.

1931 දී ඩොනර්මෝර් ආණ්ඩු ක්‍රමය යටතේ මෙරට පිහිටවූ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය ආසනයට මහජන ඡන්දයෙන් තේරූ පත්වූ මෙතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ලෙස ද පත් විය.

පසුව එම රජයේ ස්වදේශීය කටයුතු ඇමැති ලෙස ද රටට මහත් සේවයක් සිදු කළේ ය. 1936 දී ද දෙවන වරටත් කැලණිය ආසනයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමට ඔහුට අවස්ථාව ලැබිණි.

1943 දී බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට නයිට් නාමයක් ද පිරිනැමුණි. දොන් බාරොන් ජයතිලකයන් ගේ නම ඉන්පසු භාවිත කළේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක යන නමිනි.

එතුමා රටට, ජාතියට, ආගමට මෙන් ම නිදහස් සටන වෙනුවෙන් කළ ඇප කැපවීම නිසා මෙරට නිදහස් අරගලයට උරදුන් නායකයන් අපේක්ෂා කළේ එතුමා මෙරට ප්‍රථම අගමැතිවරයා ලෙස පත්වනු ඇති බවයි.

එසේ වුවත් විවිධ දේශපාලන මත ගැටීම් අනුව එතුමාට ලැබුණේ මෙරට අගමැතිකම නොව එකල ප්‍රබලම රාජ්‍යතාන්ත්‍රික තනතුරක් වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරයි.

මෙම සුවිශේෂී පඩිවරයාගේ 154 වැනි ජන්ම සංවත්සර සමරුව අදට (13) යෙදී තිබේ. ඒ වෙනුවෙන් හෙට එනම් 14 වැනිදා පෙරවරුවේ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඩී.බී. ජයතිලකයන් පිළිබඳ ප්‍රධාන සමරු උළෙල පවත්වන බව මහා භාරකාර තැන නීතිඥ ගනේෂ් ධර්මවර්ධන පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමරු වැඩසටහනට අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක යන අය ද එක්වනු ඇතැයි මහාභාරකාරතුමා පවසයි.

ඒ සමඟම මෙවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ජන්ම සංවත්සර සමරුවට සමගාමීව තවත් විශේෂ වැඩසටහනක් ද එක්කර තිබේ.

ඒ අනුව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පෙ.බ. 14 වැනිදා ප.ව. 2.00 ට වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පවසයි.

ඩී. බී. ජයතිලකයන්ගේ විවිධ විෂයානුබද්ධ ජාති හිතෛෂී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මහාචාර්යවරයා පැවසීය.

“එතුමා ආරම්භ කළ තරුණ බෞද්ධ සංගමයට සමගාමීව යන තරුණ පුරාවිද්‍යා සංගමයක් පිහිටුවීමටත් අපි එදින කටයුතු කරනවා. එහි ප්‍රධාන අරමුණ තරුණයන් අතරට පුරාවිද්‍යාව ගමන් කරවීමයි. ඒ සමඟම ඩී. බී. ජයතිලකයන් ආරම්භ කළ සිංහල ශබ්දකෝෂය මෙන් පුරාවිද්‍යා ශබ්දකෝෂයක් හැදීමටත් අපි එදින කටයුතු ආරම්භ කරනවා.

දැනට මහා භාරකාර තුමාගේ දෙපාර්තමේන්තුව ලෙස පවත්වා ගෙන යන එතුමාගේ මන්දිරය හා එතුමාගේ ජීවන කටයුතු පිළිබඳ ව නව පරිපූර්ණ ග්‍රන්ථයක් සකස් කිරීමටද 14 වැනිදා මූලාරම්භය සිදු කරනවා යැයි මහාචාර්ය අනුර මනතුංග පවසයි.

එමෙන් ම 14 වැනිදා සවස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී මෙතුමාගෙන් රටට ජාතියට ආගමට සිදුවූ සේවය පිළිබඳව නව පරපුරට පහදා දීමේ විද්වත් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් ද පැවැත්වේ.

එහිදී ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ගේ ආගමික මෙහෙවර පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානී මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමිපාණන් විශේෂ දේශනයක් පවත්වනු ලැබේ.

එමෙන් ම ඩී.බී. ජයතිලකයන් සිංහල ශබ්දකෝෂයේ උන්නතියට කළ මෙහෙය පිළිබඳව එහි වත්මන් කර්තෘ රෝහිණී පරණවිතාන ද, එතුමාගේ ජාතික මෙහෙවර පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින්ද දේශන පැවැත්වීමට නියමිත ය.

සිංහල භාෂාවට හා සිංහල සාහිත්‍යයට ජයතිලකයන් කළ සේවය පිළිබඳව මෙහිදී විශේෂ දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසිනි.

මේ වැඩසටහන රට ජාතිය ආගම වෙනුවෙන් ලාභ අපේක්ෂාවෙන් තොරව වැඩ කළ පුද්ගලයන් ඇගැයීම පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහාභාරකාර දෙපාර්තමේන්තුව සමඟ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක මූලාරම්භය බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

රට - දැය - සමය සුරැකීමට රටට වැඩ කළ ජාතික වීරයන් හා දේශමාමකයන් පිළිබඳව රටේ තරුණ පරපුර හා සිසු පරපුර දැනුම්වත් කිරීමට මේ අයුරින් මහා භාරකාර දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙන යන මෙම වැඩපිළිවෙළට ජාති හිතෛෂී, දේශ හිතෛෂී හැම‍ගේ පූර්ණ සහාය ලැබිය යුතු යැයි අපේ අපේක්ෂාවයි.

 

සේයාරූ - ගයාන් පුෂ්පික

Comments