සතුන් රකින අවිහිංසාවේ කෙටුම්පත | Page 3 | සිළුමිණ

සතුන් රකින අවිහිංසාවේ කෙටුම්පත

ප දෙවියන් බුදුන් අදහාගෙන හිටි සමාජයක මිනිස්සු ය. අපේ මුතුන් මිත්තන්ගේ ගෙවල්වල සිටියේ ගවයන් නොව, ගව දරුවන්ය. එය ගවයාත් පවුලේම සාමාජිකයෙක් ලෙස විනා සතෙක් සිවුපාවෙක් ලෙසවත් සැලකුවේ නැති සමාජයකි. සමාජ වටිනාකම්වලින් පාලනය වූ සමාජයක් ධර්මතා විරහිත තත්ත්වයකට පත්වන විට සියල්ල හසුරුවනු ලබන්නේ නීතිය විසිනි.

සතුන්ට හිංසා කිරීම වැළැක්වීම සඳහා සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පතකට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ මේ පසුබිමේදීය. සියවසකට එපිට නීතියක් සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත පිළිබඳ සංවාදය අවුරුදු 15ක් පුරා පැවතිණි. මීට දෙසතියකට පෙර ඊට කැබිනට් අනුමැතිය හිමි විය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සම්මත කරගෙන නීතියක් ලෙස බලාත්මක කිරීමට නියමිතව ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි කැපී පෙනෙන සාධනීය ලක්ෂණ තිබේ. වඩාත්ම වැදගත් වන්නේ "සත්ත්ව" සඳහා නීතිමය අර්ථ දැක්වීමයි. පැරණි නීතිය තුළ සත්ත්ව යන පදය නිරූපණය වූයේ භාණ්ඩයක අරුතිනි. සත්ත්ව යන්න ගෘහාශ්‍රිත හෝ අල්ලා ගන්නා ලද සතකු පමණක් නිර්වචනය වූයේය. නව කෙටුම්පත මඟින් මිනිසා මෙන්ම වෙනත් ඕනෑම ජීවියෙක් සත්ත්වයෙක්ය යන නෛතික අර්ථකථනය ලැබේ.

දැනට සතකු සම්බන්ධ ක්‍රෑරත්වයට එරෙහි දඬුවම රුපියල් 100 කට නොඅඩු දඩයක් හෝ මාස තුනකට නොවැඩි සිර දඬුවමකි. නව පනත් කෙටුම්පතින් එම දඩ මුදල රුපියල් 150,000 දක්වා වැඩි කිරීමටත් හිංසකයා වසර හතරක් දක්වා සිරදඬුවමකට යටත් කිරීමටත් යෝජිතය.

පනත් කෙටුම්පතින් නව වැරදි කිහිපයක් ද හඳුන්වා දී ඇත. එම නව වැරදි අතර සතුන් අතහැර දැමීම, සතකුට හිතාමතාම ආහාර සහ ජලය අහිමි කිරීම; පශු ශල්‍ය වෛද්‍යවරයකු විසින් හැරුණු විට වාත්තු කිරීම හෝ විෂබීජහරණය කිරීම; කුරුල්ලකුගේ පාද මුදු, දම්වැල, නූල, ලණුව හෝ කම්බි මඟින් බැඳ දැමීම, ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම වේ.

පනත් කෙටුම්පත නියාමනය නොකළ සුරතල් සතුන් අලෙවිසල් සඳහා දැඩි කොන්දේසි ද දක්වා තිබේ.“සත්ත්ව ඝාතනය මානුෂික ආකාරයෙන්" සිදු කළ යුතු බව එහි නියම කර ඇත. එය සත්ත්වයාට අවම දුක් වේදනා, කම්පන සහ වේදනාව ඇති කරවන්නක් විය යුතු බව දක්වා තිබේ. 

පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. ඔහු මේ පනත් කෙටුම්පත පසුගිය 10 දා ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබා ගත්තේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් කළ විමසීමක දී ඔහු අපට කීවේ සමාජයෙන් පැමිණි දැඩි ඉල්ලීම මත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බවය.

“මේ රටේ සත්තුන් බරපතළ ලෙස හිංසනයට ලක් වෙනවා. මේ පනත හදලා තිබුණේ 1907. සියවසකටත් වඩා පැරණියි. සමාජයෙන් විශාල ඉල්ලීමක් ආවා මේ පනත ගෙනෙන්න කියලා. අනතුරුව මා මේ සම්බන්ධව අධ්‍යයනයක් කළා. පසුව මෙය පෞද්ගලිකව අතට අරගෙන පනත සම්මත කරගන්න කටයුතු කළා. තව මාස තුනක් යනකොට මේ පනත සම්මත කරලා නීතියක් ලෙස ක්‍රියාත්මක කරනවා. පශු වෛද්‍යවරයෙක් යටතේ විශේෂ ඒකකයක්, පොලිස් ඒකකයක්, දත්ත රැස් කිරීමේ ඒකකයක් ඇතුළුව විධිමත් වැඩ පිළිවෙළක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා.“

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මේ පනත හරහා කෘෂිකර්ම ක්ෂේත්‍රයට හෝ ධීවර ක්ෂේත්‍රයට බලපෑමක් ඇති නොවන බවය. ඒ අනුව සාමාන්‍ය ජන ජීවිතය විෂයෙහි මේ පනත ඍජුව බලපාන්නේ නැත. ඉලක්කය සතුන් සම්බන්ධව ක්‍රෑරත්වයෙන් සැලකීම වැළැක්වීමය.

මෙම පනත‍් කෙටුම්පත සම්පාදනයේ දී විද්වත් වෘත්තික දායකත්වය දශක එකහමාරක් තිස්සේ ක්‍රියාකාරීව සැපයූ සත්ව සුබ සාධන මෙහෙයුම් කමිටුවේ නීතිඥ ලලනි පෙරේරා අධිකරණ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියකි. මෙම පනත පිළිබඳ අතීත සංවාදය ඇය අපට කීවාය.

“ සත්ත්ව හිංසනය පිළිබඳ පැවති ශත වර්ෂයකට වඩා පැරණි නීතිය සංශෝධනය කරන එක කාලීන අවශ්‍යතාවක්ව තිබුණා.

මෙම පනත් කෙටුම්පත සකස් කරන්නේ වර්ෂ 2002 දී නීති කොමිෂන් සභාව හරහා. ඒ අවස්ථාවෙ මා කටයුතු කළේ අධිකරණ අමාත්‍යාංශයේ නීති අතිරේක ලේකම් ලෙස. නීති කොමිෂන් සභාව මෙම කෙටුම්පත සලකා බලන අවස්ථාවේ දී නිතී නියෝජිතයෙක් නම් කරන්න කියලා කිව්වා. මාව තමයි නම් කළේ. අවුරුදු 20ක් 25ක් තිස්සේ මේ සත්ත්ව හිංසනය වැළැක්වීමේ පනත වෙනස් කරන්නේ කොහොමද කියලා හිතමින් සිටි අයෙක් ලෙස මා ඊට බෙහෙවින්ම කැමති වුණා.“

“නව කෙටුම්පත සකස් කිරීමේ දී නිරණායක කීපයක් සලකා බැලුවා. සතාගෙ අර්ථ නිරූපණය තමයි වැදගත්ම. පැරණි නීතිය යටතේ ගෘහස්ථ හෝ අල්ලා ගත් සතෙක් ලෙසයි සතාව අර්ථ නිරූපණය කර තිබුණේ. ඒ නීතිය යටතේ සතුන් භාණ්ඩ ලෙසයි සැලකුවේ. නමුත් පසුගිය වර්ෂ 25 -30 තුළදී තත්ත්වය වෙනස් වුණා. සතුන් ප්‍රාණයක් ඇති කොටසක් ලෙස සලකා බැලුවා. මේ සියල්ල අනුව තමයි සත්ත්ව සුබ සාධන පනත සකස් වුණේ. ඉතා පුළුල් පරාසයක සත්ත්ව හිංසනයත් නෛතිකව අර්ථ දක්වනු ලැබුවා“

මෙම කෙටුම්පත සම්පාදනයේ දී වැඩිම අභියෝගය පැමිණ තිබුණේ මස් පිණිස සතුන් ඇතිකරන ප්‍රජාවන්ගෙනි. අභියෝගත්මක වුවත් ප්‍රශ්න ඇතිකර නොගෙන තත්ත්වය විසඳාගත හැකි වූ ආකාරය ඇය අපට කීවාය. සත්ත්ව හිංසනය අර්ථ ගැන්වීමේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍ර පිළිබඳ කියැවෙන්නේ වෙනස් මානයකිනි. මේ පනත නෛතිකව බලාත්මක වනවිට එහි එක් ඍජු බලපෑම් පාර්ශ්වකරුවෙක් වන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවය. මේ පනත සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත බලපානු ඇත්තේ කෙසේ ද? එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ ආචාර්ය කේ.ඒ.සී.ඒ. කොතලාවල විමසුවෙමු.

“නව පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් සාකච්ඡා වෙලා එළියට ආපු පනත් කෙටුම්පතක්. ඉදිරිපත් වෙච්චි පනත් කෙටුම්පතට සාපේක්ෂව ඉතාම හොඳ තත්ත්වයක තිබෙනවා. සතත්ව හිංසනය සම්බන්ධව අප බලාපොරොත්තුවන බොහෝ කරුණු මේ පනත් කෙටුම්පතේ තිබෙනවා. “

දැනට සත්ත්ව නිෂ්පාදනය සඳහා නෛතික ප්‍රතිපාදන සැපයෙන්නේ වර්ෂ 1900ට පෙර බලාත්මකවන ගෝ ඝාතක පනත සහ වර්ෂ 1958 සත්ත්ව පනතය. නව පනත් කෙටුම්පත නෛතිකව බලාත්මකවන විට සත්ත්ව නිෂ්පාදන විෂයෙහි එය බලපානු ඇත්තේ කෙසේදැයි අධ්‍යක්ෂ ජනරාල්වරිය අපට කීවාය.

“ගෝ ඝාතක අපේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. පළාත් පාලන ආයතන හරහා තමයි එය ක්‍රියාත්මක වෙන්නෙ. ඔබ දන්නවා මේ ගෝ ඝාතක පනත සියවසකට වඩා පැරණියි. සත්ත්ව පනත දශක 7ක් පැරණියි. ඒ කාලයේ හැටියට සත්ත්ව ඝාතන ක්‍රම සහ ස්ථාන හැදිලා තිබෙනවා. මේ සමාජ වටපිටාව ඇතුළෙ සත්ත්ව ඝාතනාගාර විශාල පිරිවැයක් සහිතව නවීකරණය කරන්න පෙලඹවීමක් නෑ. ඒ නිසාම තාක්ෂණය භාවිත වෙන්නෙ නෑ. සත්ත්ව ඝාතනාගාරයක දී අවම හිංසනයට ලක් කිරීම පරමාර්ථ කරගන්නවා නම් නවීන තාක්ෂණය අත්‍යාවශ්‍යයයි. නෛතික තත්ත්ව වැඩි දියුණු කිරීමේ දී අපට තාක්ෂණික පැත්ත වැඩිකර නිෂ්පාදන කටයුතු කරන්න සිද්ධ වේවි. දැනටමත් දියුණු ලෝකය භාවිත කරන වැඩපිළිවෙළක් වෙත ගමන් කළ යුතු ආකාරය ගැන අපිට සැලැස්මක් තිබෙනවා.“ අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය නිලධාරී නීතිඥ චමරි කන්නන්ගර මෙම කෙටුම්පත නෛතිකව බලාත්මක වූ පසු ඉන් මේ රට තුළ ජීවත්වන සත්ත්වයන්ට ලැබෙන නෛතික ආවරණය අපට පැහැදිලි කළාය.

“ මේ නීතිය බලාත්මක වූ පසු මිනිස්සු හැර සියලුම සතුන්ට එයින් නෛතික ආවරණයක් ලැබෙනවා. ගොවිපළවල, සත්ත්වෝද්‍යානවල සතුන් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. එම සතුන්ට හිංසනයක් වෙන අවස්ථා සෑහෙන ප්‍රමාණයකින් වැළැකීමක් මේ ඔස්සේ සිද්ධ වේවි. පනත ප්‍රධාන පරිච්ඡේද ගණනාවක් ඔස්සේ පුළුල් විග්‍රහයක් සිද්ධ වෙනවා. සතුන්ට ක්‍රෑරත්වයෙන් සැලකීම කියන්නෙ කුමක් ද, ඒ අවස්ථා මොනවද කියලා නිර්ණය කරලයි තිබෙන්නේ.

සතුන් ප්‍රවාහනය කිරීමේ දී සැලකිය යුතු කරුණු, පරීක්ෂණ සහ ඉගැන්වීම සඳහා යොදාගන්නා සතුන් අවම හිංසනයකින් යුතුව පර්යේෂණ සඳහා යොදා ගන්නා අයුරු , සුරතල් සතුන් විකුණන ස්ථාන නඩත්තු කර පවත්වාගත යුතු අයුරු සහිත නිර්ණායක රැසක් පරිච්ඡේද වශයෙන් විස්තර කර තිබෙනවා. පනත බලාත්මක වූ පසු ඇමතිවරයා විසින් පත් කරන මණ්ඩලයක් ඔස්සේ රජයේ පශු වෛද්‍ය නිලධාරීන් සත්ත්ව සුබසාධන නිලධාරීන් ලෙස සම්බන්ධ කරගෙන පොලිසිය හා එක්ව ඉදිරි කටයුතු කරගෙන යෑමට නියමිතයි.“

ඔටාරා ගුණවර්ධන සත්ත්ව හිංසනයට එරෙහිව ප්‍රායෝගික වුණු අපේ රටේ සුසමාදර්ශයකි. ඇගේ ජීවිතයේ බොහෝ කාලයක් අවිහිංසාවාදී සමාජයක් වෙනුවෙන් කැපකිරීම් කර තිබිණි. සමාජ ක්‍රියාකාරිනියක ලෙස මේ පනත් කෙටුම්පත සම්බන්ධව ඇයගේ කියැවීම විමසුවෙමු.

“ අපේ රටේ සත්ත්ව හිංසනය සම්බන්ධව තිබූ බොහෝ පැරණි නීති පද්ධතිය අනිවාර්යයෙන්ම යාවත්කාලීන විය යුතුව තිබුණා. ඒ අර්ථයෙන් මේ පනත ඉදිරිගාමී පියවරක්. මෙහි අවශ්‍ය දේවල් තිබෙනවා. ඒ වගේම තව එක් කළ යුතු දෙවල් තිබෙනවා.

ඇත්තටම අපේ රටේ සත්ත්ව හිංසනය කියන එක දැන් ආකල්පමය වශයෙන් වෙනස් වෙලා. ඒ එක්කම ඒ හිංසනය වෙනත් මානයකට තල්ලු වෙනවා මා දකිනවා. ඉස්සර අසරණ වීදි සතකුට සලකනවාට වඩා වෙනස් විදිහකට තමයි දැන් සමාජය සලකන්නේ. එහෙත් ඒ යහපත් වෙනසට සමගාමීව තවත් පැත්තකින් හිංසනය වැඩි වෙලා. සුරතල් සතුන් අලෙවිකරන ස්ථානවල එම සතුන් යොදා ගන්නේ ජීවීන් කියන අර්ථයෙන් නොවෙයි; ලාබ උපයන භාණ්ඩ විදිහට. පැටවු බිහි කරන යන්ත්‍ර ලෙස. ඒ වගේම හරක්, කුකුළන් වගේ සතුන්ට සිද්ධ වෙන හිංසනය වැඩි වෙලා තිබෙනවා.

ඒ විතරක් නොවෙයි. අලින්ගේ මරණ වැඩිවෙලා. සත්වෝද්‍යානවල සතුන්ගේ ජීවිත හරිම පීඩාකාරියි. අපේ සතුට වෙනුවෙන් සමහර සත්තු කූඩු වෙලා අර්ධ ජීවිත ගත කරනවා.

මා හිතනවා මේ පනත් කෙටුම්පත සේම සමාජයක් විදිහට රටක් විදිහට මනුෂ්‍යත්වයේ නාමයෙන් අප වෙනස් විය යුතුයි. අපේ දෘෂ්ටිය වෙනස් කරගත යුතුයි. සතකුට සලකන විදිහෙන් තමයි ඒ සමාජයේ ශිෂ්ටත්වය ලෝකයට පෙනෙන්නෙ. ඒ වෙනස ඇති කරන්න රජය මැදිහත් විය යුතුයි. අප පුද්ගලයින් විදිහට රටක් විදිහට හදවතින්ම වෙනස් වීම අවශ්‍යයයි. අප ලෝකය ඉදිරියේ මනුෂ්‍යත්වය සඳහා විවර විය යුතුයි. “ ඔටාරා කියනු අසා සිටියෙමු.

අවසානයේ දී අවිහිංසාවාදී ජාතියක් අවිහිංසාව තුළ ශික්ෂණය කිරීම සඳහා නව නීති පද්ධතියක් රැගෙන ඒමට සිදුවූ බව මේ කතාවේ අවසානය ය. ඇත්තටම ලෝකය සත්ත්ව සුබ සාධනය පැත්තෙන් ඉන්නේ අපට වඩා ගවු ගණනක් දුරිනි.

අප අභ්‍යන්තරයෙන්ම වියැළෙමින් සිටින බව සියලුම මානයන්ගෙන් ප්‍රකාශ වී හමාරය. අලුතින් නීති රැගෙන විත් හෝ වියැළී යන මනුස්සකම පුනරුත්ථාපනය කරගත යුත්තේ එබැවිනි.

Comments