ජෛව හොරුන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ ඓතිහාසික නඩු තීන්දුව | Page 3 | සිළුමිණ

ජෛව හොරුන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ ඓතිහාසික නඩු තීන්දුව

- ජෛව මංකොල්ලයට එරෙහිව වන ජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩි ම දඩමුදල නියම කෙරේ
- දඩ මුදල ලක්ෂ 86යි
- චෝදනා එකසිය දෙකකට වරදකරුවන් බව පිළිගනී

හෝර්ටන් තැන්න එහෙමත් නැත්නම් මහඑළිය කියූ සැණින් අපේ මතකයට එන්නේ මීදුමෙන් වැසීගත් සීත දේශගුණයෙන් පිරි මනරම් කඳුකර භූමියකි. ජෛව විවිධත්වය අතින් සිංහරාජයට නොදෙවෙනි වටිනා කමකින් යුත් මෙරට රක්ෂිත අතරින් මහඑළියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එනිසා මෙම රක්ෂිතයට සිදුවන බලපෑම්වල ද අඩුවක් නැත. මේ පිළිබඳව ආසන්නතම සිදු වීම වාර්තා වූයේ පසුගිය 2020 වසරේදීය. ඒ හෝටර්න් තැන්න රක්ෂිතය මූලිකව මෙරට විවිධ ප්‍රදේශවලින් ජෛව හා ශාක නියැඳි පන්සිය විසි නවයක් සමඟ රුසියානුවන් තිදෙනකු කොටු කර ගැනීමට හෝර්ටන් තැන්න වන ජීවි නිලධාරීන් සමත් වීමත් සමඟය.

වසර දෙකක් තිස්සේ ඇදී ගිය මෙම නඩුවට අවසානයක් ලබා දෙමින් වන ජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩි ම දඩමුදල නියම කර නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ විසින් විශිෂ්ට තීන්දුවක් 2022 ජනවාරි 21 වැනිදා ලබා දුන්නේය. ඒ අදාළ ජෛව සොරකමට චූදිතයන් බවට පත් වූ රුසියානු ජාතිකයන් තිදෙනාට එරෙහිවය.

මෙලෙස දඩ නියම වූයේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්(Ignatenko Alexander), රියාබෝ ආර්ටේම්(Ryabo Artem) සහ කිලෆයාන් නිකොලයි(Kilafyan Nikolai) නමැති රුසියානු ජාතිකයන් තිදෙනාටය. ඔවුන් වයස අවුරුදු තිහත් හතළිහත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ය. 

2020 වසරේ පෙබරවාරි මස සංචාරක වීසා ලබාගෙන සංචාරය කරන මුවාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි මෙම රුසියානුවන් තිදෙනා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හූනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, කෘමීන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ විසිතුනකට අයත් සතුන් පන්සිය විසිනව දෙනකු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් විශේෂ බහාලූම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොළක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 මාර්තු මස 03 වැනිදා අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණ යොමු කිරීමට පියවර ගෙන තිබුණි. මෙම නඩුව සලකා බැලූ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු ප්‍රබෝධ ජයසිංහ මේ විදේශිකයන් තිදෙනා 2020 මාර්තු මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

මෙම වැටලීම සිදු කර ඇත්තේ හොර්ටන්තැන්න වනෝද්‍යානයේ එවකට සිටි නියෝජ්‍ය භාරකරු ඊ.පී. දයාරත්න, එවකට සිටි වනසත්ව අඩවි සහකාර පී.එම්.පී. පනාවලගේ, වනසත්ව නියාමක කේ. පී. ප්‍රියදර්ශන, කේෂ්ත්‍ර සහායක එච්.පී.ටී. උදය කුමාර, රියැදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරීන්ය.

අනතුරුව 2020 අගොස්තු මස 27 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ පස් සාම්පලය හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයෙන් ලබා ගන්නා ලද එකක්ද යන්න පිළිබඳව පරීක්ෂා කර තහවුරු කිරීමක් ලබාගැනීම සඳහා එම පස් සාම්පලය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත් ප්‍රබෝධ ජයසිංහ නියෝග කර තිබුණි. එසේම නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති පරිගණක උපාංගය, (පෙන්ඩ්‍රයිව්) හා ජංගම දුරකතන කොළඹ පරිගණක අධ්‍යයන අංශය වෙත යොමු කර එහි ගබඩා වී ඇති තොරතුරු පිළිබඳව වාර්තාවක් ලබාගැනීමටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණි. මෙහිදී වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරී ඒ. පී. කේ. ටී. ජයවර්ධන අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතරුව මෙම නඩුව 2020 ඔක්තෝම්බර් මස 08 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

ඒ අනුව ඔක්තෝබර් මස අටවැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකාර රුසියානු ජාතිකයන් තිදෙනා විසින් විශාල ජාන කොල්ලයක් සඳහා මෙරට විශේෂිත සතුන් හා සත්ත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටි බවත්, එම නිසා මෙහි පවතින අභ්‍යන්තර කරුණු සොයා ගැනීම පිණිස විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බැවින්, සැකකරුවන්ගෙන් යළි ප්‍රකාශයක් ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි වනජිවි අඩවි ආරක්ෂක ඒ.පී.කේ.ටී. ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේම එකඟතාව මත රුසියානු ජාතිකයන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඔක්තෝබර් 16 දින නුවරඑළිය, ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යාන කාර්යාලයේදී සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට අවසර ලබා දී තිබුණි. සැකකාර රුසියානු ජාතිකයන් තිදෙනාට එදින පැමිණ අදාළ ප්‍රකාශ ලබාදෙන ලෙස පැවසූ මහේස්ත්‍රාත් ප්‍රමෝද ජයසිංහ, නඩුවේ සැකකාර විදේශිකයන් තිදෙනාගෙන් යළි ප්‍රකාශ සටහන් කර කඩිනමින් චෝදනා පත්‍ර ගොනු කර නොවැම්බර් 12 වැනිදා යළි නඩුව විභාගයට ගන්නා ලෙස හෙතෙම වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කළේය.

මෙලෙස පියවර ගණනාවක් ඔස්සේ වසර දෙකක කාලයක් සිදු කළ නඩු විභාගයෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා, වැසි වනාන්තර සහ අභයභූමිවලින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක සාම්පල සිය ගණනක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එකසිය දෙකකට වරදකරුවන් බව පිළිගත්තේය. ඒ අනුව එක් අයකුට රුපියල් විසිඅට ලක්ෂ අසූපන්දහ (28,85,000) බැගින් තිදෙනාට රුපියල් අසූහය ලක්ෂ පනස්පන්දාහක (86,55,000) දඩ මුදලක් ගෙවීමට පසුගිය 21 වැනිදා තීන්දු කෙරිණි.

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර පවසා සිටියේ, මිනිසුන්ට මෙන්ම සතා සිවුපාවුන්ටද එක ලෙස ජීවත් වීමේ අයිතිවාසිකමක් පවතින බවත් මෙවැනි ක්‍රියාවන් නිසා බොහෝ සතුන්ට ජීවිත අහිමිවන බවය. මෙවැනි කටයුතු නිසා මෙම සතුන් වඳවී යෑමේ තර්ජනය ඉහළ යන බවත්, එනිසා කුමන අරමුණකින් මෙවැනි ක්‍රියා සිදු කළද ඒවා අනුමත කළ නොහැකි බව පෙන්වා දුන්නේය. මෙම නඩු තීන්දුව මඟින් ඉදිරියේදී මෙවැනි ක්‍රියා සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ටද කිසියම් අනතුරු ඇඟවීමක් කර ඇති බවද හෙතෙම පැවැසීය.

ජෛව මංකොල්ලයක් යනු යම් රටක සිටින සතෙක් හෝ තිබෙන ශාකයක පඨක, ජාන කොටස්, ජෛව රසායනික සංඝටකයන් පිළිබඳව තිබෙන බුද්ධිමය දේපළ අයිතිවාසිකමක්, වෙනත් රටකින් හිමි කර ගැනීමය. එවැනි දෑ එකතු කිරීම හෝ නීතියට පටහැනි ආකාරයෙන් අපනයනය කිරීමට හෝ අපනයනය කිරීමට තැත් කිරීම යන මේ කිනම් හෝ ක්‍රියාවක් ඒ අනුව ජෛව මංකොල්ලයක් වේ. එසේම ලංකාවේ හමුවන ශාක හෝ සතුන්ගේ හෝ ඔවුන්ගේ කිසියම් කොටසක් නීති විරෝධී ආකාරයෙන් රටින් ගෙන යාම හෝ ගෙන යාමට තැත් කිරීම හඳුන්වනු ලබන්නේ ජෛව සොරකමක් ලෙසය. ජෛව සොරකම හා ජෛව මංකොල්ලය බොහෝ විට එකිනෙක හා බැඳී පවත්නා සංසිද්ධීන් දෙකකි. මෙවැනි අවස්ථාවක පළමුව සිදු වන්නේ ජෛව සොරකමය. එනම් ජීවියකු හෝ කොටස් නීති විරෝධී ලෙස අපනයනයකි. ඉන්පසු එම ජීවියාගෙන් හෝ ජීව කොටස්වලින් ලබා ගත හැකි ප්‍රයෝජනවත් කාර්යයන් හඳුනා ගැනීම සිදුවේ. මින් පසු එම ප්‍රයෝජනවත් කාර්යයන් ඉටු කරන ද්‍රව්‍යයන්, ගුණාංගයන් ආවරණය කරමින් වෙනත් රටවල් තුළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ලබා ගැනීම සිදු වේ. ඇතැම් විට ජීවියා හෝ කොටස් නීත්‍යනුකූල ලෙස සිදු කළ ද, ඒවා ජෛව මංකොල්ලයට ලක්වන අවස්ථා දැක ගත හැකි ය. මෙවැනි දෑ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත, වන සංරක්‍ෂණ ආඥා පනත, ධීවර හා ජලජ සම්පත් පනත ප්‍රධාන වේ.

කිසියම් හෝ අයකු මෙවැනි නියැඳි එකතු කිරීම පුද්ගලික එකතුවක් සඳහා හෝ විකිණීමේ අරමුණින් හෝ වෙනයම් කටයුත්තක් සඳහා සිදු කළ හැකි බවත්, එනිසා මෙලෙස නියැදි සමඟ හසු වූ පමණින් එය ජෛව මංකොල්ලයක් ලෙස හුවා දැක්වීම තමන් අනුමත නොකරන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සරත් කොටගම සිළුමිණට පැහැදිලි කළේය.

මේ නඩුව ගොනු කර තිබුණේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කිරීමක් ලෙස බවත්, ඔවුන් එය උල්ලංඝනය කර ඇති නිසා ඊට අදාළව දඩ මුදල් නියම කර ඇති බවත්, ඒ අනුව මෙරට නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන බවට ලැබුණු හොඳ නිදර්ශනයක් විදියටත් මෙම නඩු තීන්දුව තමන් දකින බවත් හෙතෙම පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ වන ජීවි දෙපාර්තමේන්තු ඉතිහාසයේ සිදු කළ ලොකුම දඩය හා වැඩිම දඩයක් නියම කළ සහ වැඩිම චෝදනා එල්ල වූ සිද්ධිය මෙය බව ජ්‍යේෂ්ඨ පරිසරවේදී නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන සිළුමිණ කළ විමසීමේදී කියා සිටියේය. මෙය වන ජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් බැලුවත් පොදුවේ ජෛව සොරකම හා ජෛව මංකොල්ලය පැත්තෙන් බැලුවත් ඉතාම සුවිශේෂී අවස්ථාවක් බව ඔහුගේ අදහසය.

සංචාරක වීසා මත මෙරටට පැමිණෙන ඕනෑම අයකුට නැරඹීම හා ආශ්වාදය ලබා ගැනීම හැර කිසිදු පර්යේෂණ කටයුත්තක නිරතවිය නොහැකිය. මෙවැනි වැරදි සඳහා අධිකරණය සක්‍රීයව කටයුතු කිරීම ඉතාම වැදගත්ය. මෙහි දී සවිස්තරාත්මක චෝදනා සීයකට වැඩි ප්‍රමාණයක් ගොනු කර තිබීම ද විශේෂය. අධිකරණ ක්‍රියාවලියේදී යම් තීන්දුවක් ලබාදීමට නම් ඉතා පැහැදිලි හා සාක්ෂි සහ­ිතව නිරවුල්ව කරුණු ගොනු කිරීම ඉතා වැදගත් වේ. මෙකී කාර්යයේදී අදාළ ආයතන තම රාජකාරිය ඉතාම ප්‍රශස්ත ලෙස සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් තමන්ට විවිධ බලපෑම් එල්ල වූ බව සඳහන් කරන ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන වන ජීවී දෙපාර්තමේන්තුවට මිස ජෛව හොරුන්ට හෝ මංකොල්ලකරුවන්ට නීති උපදෙස් ලබා නොදෙන බව තමන් පැවසූ වග අප හා අවධාරණය කළේය.

මින් පෙනී යන්නේ අදාළ දෙපාර්තමේන්තුවට කෙතරම් බලපෑමක් මොවුන්ගෙන් සිදුවීද යන්නයි. ජාත්‍යන්තර මට්ටමින් හා ජාතික මට්ටමින් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙම නඩුවට කිසිදු බලපෑමක් නොකිරීම සතුටට කාරණයකි.

ජෛව මංකෙල්ලයකට හෝ ජෛව හොරකමකට අදාළ නඩුවක් මෙතරම් දීර්ඝ කාලයක් ගතවූ ප්‍රථම වතාව ද මෙය වේ. මුලින්ම අදාළ චූදිතයන් තමන් වරදක් නොකළ බව පවසමින් නොයෙකුත් ආකාරයෙන් අභියෝග එල්ල කරමින් නිදොස් වීමට උත්සාහ කළේය. එසේ ම ජාත්‍යන්තර මට්ටමින් බලපෑම් කර විවිධ අයථා ක්‍රමෝපායන් මාර්ගයෙන් සමථයකට පත් කිරීමටද ඔවුන් උත්සාහ දැරුවේය. එහෙත් ඒ සියල්ලක් ම ව්‍යර්ථ විය.

බොහෝ කාලයක සිට මෙවැනි සිදුවීම් වාර්තා වන බව ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලක්සොබා සංරක්ෂකයෝ හි සභාපති සමන්ත ගුණසේකර සිළුමිණ කළ විමසීමේදී සඳහන් කළේය.

හෙතෙම පවසා සිටියේ “පසුගිය කාලෙත් මේ ආකාරයටම විදේශිකයෙකු සත්ත්ව නියැදි තොගයක් එක්ක හසු වුණා. පසුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. මේ සම්බන්ධයෙන් එරට ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් මගෙන් දිගින් දිගටම කරුණු විමසා සිටියා. ඔහු මේ රටේ පුවත්පත් බොහොමයක් මාහට ඊමේල් මඟින් යොමුකර අසා සිටියේ මෙය මේ ආකාරයට හුවා දැක්වීමට තරම් කාරණයක් ද කියලයි. “මේ පොඩි කුරුමිණියෙක් නෙ. මූ ටික දවසක් ජීවත්වෙලා මැරිල යනවනේ; සතකුගේ ජීවිතය ද මනුස්ස ජීවිතය ද වඩා වැදගත්; මේ නියම කළ දඩ මුදල වැඩියි“. ඔහුගේ අදහස වුණේ මෙය සාමාන්‍ය සිදු වීමක් ලෙස අර්ථකථනය කිරීම” බව හෙතෙම පැවැසීය.

මේ ආකාරයට හසුවන විදේශිකයන් අදාළ තානාපති කාර්යාලය මැදිහත් වී දඩ මුදල් ගෙවා නිදහස් කරගැනීම හරහා මෙය ඉතාම සංවිධානාත්මකව සිදුවන බරපතළ කාරණයක් බව හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

නවසිය අසූ ගණන්වල සිට මෑතක් වන තුරුත් මේ ආකාරයට සත්ත්ව හා ශාක නියැදි රැගෙන යන විදේශිකයන් වැඩි වශයෙන් හසු වී තිබුණේ යුරෝපා රටවලිනි. නමුත් මේ වන විට නැගෙනහිර යුරෝපීය රටවලින් වාර්තා වන පිරිස ප්‍රමාණාත්මකව වැඩි වී තිබේ. මෙලෙස ජෛව නියැදි රැගෙන යාම ප්‍රවණතාවයක් බවට පත්ව ඇත. මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මොවුන් මේ සතුන් රැගෙන යන්නේ අලෙවිය සඳහා බවයි. ඒ සත්ත්ව වර්ගීකරණය සඳහා නැගෙනහිර යුරෝපා රටවල හොඳ ඉල්ලුමක් පවතින බැවිනි. ඒ නිසා මොවුන් සත්ත්ව විද්‍යාඥයන් නොව සැපයුම්කරුවන්ය. මේ අය සතුන් ගැන දැනුමක් නොමැති අය නොවේ. දුර්ලභ සතුන් කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබීමෙන් ඔවුන් දැනුම්වත් පිරිසක් බව සනාත වේ.

වනජීවි නිලධාරීන් මේ අය අල්ලා ගන්නේ ඉතාම අඩු පහසුකම් යටතේ නිසා බොහෝ පිරිස් අල්ලා ගැනීම අපහසු කාරණයක් වී ඇත. අවශ්‍ය උපකරණ නොමැතිකම, නිසි පුහුණුවක් නොමැති කම, ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් සහ සහය අවම වීම ආදීය මීට හේතු වී තිබේ.

මෙම කටයුත්තේදී ප්‍රධාන චූදිතයා විද්‍යාඥයකු නම් ඔහුට මෙරටට පැමිණ අවසරයක් නොමැතිව මෙවැනි කටයුත්තක කළ නොහැකි බව තේරුම් ගතයුතුව තිබුණි. ඒ අනුවද ඔහු දැන දැනම කර ඇත්තේ නීති විරෝධී කාර්යයකි. එනිසා ඔහුට නිදහසට කරුණු පැවසීමට හෝ දඬුවම ලිහිල් කිරීමට හෝ ආයාචනා කළ නොහැකිය. එනිසා මේ ලබාදුන් දඬුවම වරදට ලබා දුන් දඬුවමකට එහා ගිය පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලෙස ඉතිහාසගත වේ.

Comments