
- සම්බන්දන් හකීම් හමු වුණේ නව පෙරමුණක් හදන්නද?
- සැබෑ කම්කරු නායකයන් ගැන අග්‍රාමාත්‍යවරයා කීවේ මොනවාද?
වසරේ අග සීතල නත්තල උදාවෙමින් පැවතිය ද දේශපාලන උණුසුම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී සීතල වසර අවසානය ද යම් යම් ආකාරයට උණුසුම්වීමට පටන්ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර යම් යම් උණුසුම් මතවාද ඇතිවීම ද එක් පැත්තකිනුත් මහජන මන්ත්‍රණ සභාව මඟින් ආණ්ඩුව හා ආණ්ඩුව නියෝජනය කරනු ලබන ඇතැම් දේශපාලන පක්ෂ අතර ද යම් යම් උණුසුම් මතවාද ඇතිවීමට පටන්ගෙන තිබේ.
විමල් ගැහුවේ පී.බී. ට ද?
ඇමති විමල් වීරවංශගේ පී.බී. ජයසුන්දර ගැන තිබෙන විවේචනය බොහෝ කලකට ඉහත දී ආරම්භ වූවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් ධූරය හෙබවූයේ පී.බී. ජයසුන්දරය. එකලද ඔහුට විමල්ගෙන් දැඩි චෝදනා එල්ල වූයේය. පී.බී. කියන්නේ ආර්ථික ඝාතකයෙකු යැයි එදා විමල් වීරවංශ චෝදනා කළේය. විමල්ගේ දැඩි විවේචන හේතුවෙන් පී.බී. ජයසුන්දර එකල ජනාධිපති මහින්දට දුක කීවේය. මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පී.බී. ජයසුන්දර ඇගයීමකට පත් කළේය. ඔහු කීවේ "මමත් ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරන කොට ඇමතිවරුන්ට බණින්න යන්නේ නැහැ. ඒ වෙනුවට ලේකම්ට බණිනවා. මමත් එහෙම කරනවා." යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විහිළුවට මෙන් කීවේය.
මේ අතර ඉකුත් අඟහරුවාදා ඇහැලියගොඩ දී පැවැති රැස්වීමක දී ද විමල් නැවත වතාවක් පී.බී. ජයසුන්දර විවේචනය කළේය. "අපේ පුංචි බණ්ඩා ජයත් නැති සුන්දරත් නැති කෙනෙක්. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජය වෙලත් නැහැ. කිසිම සුන්දරත්වයක් වෙලත් නැහැ. අවුරුදු 20 කට වඩා පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය මෙහෙයවනවා." යැයි විමල් වීරවංශ ඇහැලියගොඩ දී කීවේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුව සමයේ දී වැඩිම කාලයක් භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළේ පී.බී. ජයසුන්දරය.
ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ගැන පවිත්‍රාගෙන් පැමිණිල්ලක්
ඇහැලියගොඩ දී පැවති මහජන මන්ත්‍රණ සභාවේ දී යුගදනවි තාප විදුලි බලාගාරයට අදාළ ගිවිසුම දැඩි ලෙස විවේචනය කරමින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් යම් අපහසුතාවකට පත් වී සිටින්නේ ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චිය.
පසුගිය 15 වැනි දා සවස පොල්හේන්ගොඩ කාලිංග මාවතේ ඉදිකරන ලද "කොළොම්තොට සරසවි උයන" මහල් නිවාස සංකීර්ණය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.
අග්‍රමාත්‍යවරයා එම ස්ථානයට පැමිණෙන විට අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට සූදානමින් සිටියේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසකි.
මෙහිදී පවිත්‍රා යම් අවනඩුවක් ප්‍රකාශ කළාය.
"බලන්නකෝ ඇමතිතුමා මගේ දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩට ඇවිල්ලා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් ආණ්ඩුව විවේචනය කරනවා. මේක කැබිනට් සාමූහිකත්වය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්. මේ විදිහට කැබිනට් සාමූහිකත්වය උල්ලංඝනය වෙනකොට අපි කියන්නේ මොනවා ද? යනුවෙන් පවිත්‍රා විමසුවාය.
මෙහිදී කැබිනට් සාමූහිකත්ව වගකීම ඉතිහාසය ගැන දීර්ඝ වශයෙන් කතාබහට ලක් කෙරිණ.
60,70 දශකවල පැවති සමගි, පෙරමුණු, සන්ධාන ආණ්ඩුව ඇතැම් විට පක්ෂ නායකයින්ගේ විවේචන, කැබිනට් සාමූහිකත්වය ඇතුළු එම ආණ්ඩුවලදී පැන නැඟුණු ප්‍රශ්න ගැනත් මෙහිදී කතාබහ විය.
ඒ කාලවලදී ඇතැම් වාමාංශික ව්‍යාපාරවල ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ එක් වීම අතරමඟ අම්බලම්වල නැවතුණු බවට ඒ කාලයේ ඇතැම් දේශපාලන විචාරකයින් හැඳින්වූ බවත් මේ ගමනේදී "අතරමඟ අම්බලම් නැහැ. ගමන කොහොම හරි යා යුතුයි." යනුවෙන් ප්‍රකාශ වූ බවට ද මෙහිදී කතාබහ කෙරිණ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා, පීටර් කෙනමන් වැනි ඒ කාලයේ ක්‍රියා කළ දේශපාලන චරිත සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.
සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.
වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නියැළෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ "ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන්" 2021 ඇගයීම් උලෙළට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය.
"ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන්" සම්මාන ප්‍රදානෝත්සවයේ දී කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් 09 දෙනෙකු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීහු දෙදෙනෙක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ඇගයීමට ලක්වූහ.
වෘත්තිය සමිති නායකයන් වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය) ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර (ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය), සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය), රෙන්ගයියා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), අරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඩීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) මහත්වරු සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස සේවයේ නිරතව සිට මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ සිටින මහින්ද මඩිහහේව සහ කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස සේවයේ නිරතව සිට රාජ්‍ය සේවයෙන් මේ වන විට විශ්‍රාම ලැබ සිටින ගුණසිරි වීරකෝන් මහත්වරු මෙහි දී අග්‍රාමාත්‍යතුමා අතින් ඇගයීම් සම්මාන ලබාගත්හ.
සුවහසක් වැඩකරන ජනතාවගේ සුබසාධනය ඉහළ නංවා තෘප්තිමත් ශ්‍රී ලාංකික ශ්‍රම බළකායක් බිහිකිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කම්කරු අමාත්‍යවරයාව සිටිය දී කළ යෝජනාවකට අනුව බිහි වූ ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් "ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන්" 2021 සමරු කලඹ මෙහි දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබීය.
වෘත්තිය සමිති සටන් කියන්නේ සීත කාමරවල ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගුටි බැට කන්නත් සිද්ධ වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්නත් වෙනවා. අද මෙතැන ඉන්න කම්කරු නායකයින්ට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපේ ලෙස්ලි දේවේන්ද්‍රට නම් මේ දේවල් ගැන අවුරුදු 57 ක විතර අත්දැකීම් තියෙනවා. මට මතක හැටියට ජේ.ආර්. ගේ කාලේ කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්න ගිහින් බොරු චෝදනාවලට පවා ලක්වෙලා අවුරුදු 12 ක්ම රැකියාව අහිමිවෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි අවුරුදු එකහමාරක් හිරබත් කන්නත් සිද්ධ වුණා. මෙතැන ඉන්න අනෙකුත් කම්කරු නායකයිනුත් මෙවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීල ඇති. හැබැයි ඒ දේවල්වලින් කම්කරු නායකයන් නිහඬ කරන්න කාටවත් බැරිවුණා.
එ.ජා. සහකාර මහලේකම්වරිය එන්නත්කරණ වැඩසටහන අගයයි
සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි. රැකියා අහිමිව හිරේ විලංගුවේ වැටෙමින් කොතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවුණත් ඒ සියල්ලක්ම විඳ දරාගෙන ඒ අය සටන් කරනවා. අපි විශ්වාස කරනවා අද මෙතැන ඉන්න කම්කරු නායකයනුත් වැඩකරන ජනතාව වෙනුවෙන් අවංකව සිය යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරපු අය කියලා." යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කළ කතාවට බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා පසුගිය 15වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූවාය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ක්‍රියාවලිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය. "ශ්‍රී ලංකාවේ ඉතා හොඳ එන්නත්කරණ වැඩසටහනක් තිබෙනවා" යැයි විග්නරාජා මෙහි දී පැවසුවාය.
බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර ඇති බොහෝ රටවලට සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ද මෙහිදී ඇය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් යළිත් වරක් වර්ධනය වීමට පටන් ගෙන ඇති බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී සඳහන් කළේය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක ක්ෂේත්‍රය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව මෙහි දී සාකච්ඡා විය.
සජිත්ගෙන් වෙනම භෝජන සංග්‍රහයක්
"මම හිතන්නේ එන්නත්කරණය සමඟ සංචාරකයන් නැවත පැමිණේවි යැයි විග්නරාජා විශ්වාසය පළ කළාය.
පශ්චාත් කොවිඩ් - 19 හි ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමින් විග්නරාජා මෙහි දී කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවට සහාය විය හැකි ක්‍රම රාශියක් පවතින බවයි.
පාර්ලිමේන්තුවේ අය-වැය විවාදය අවසානයේ දී කතානායකවරයා විසින් ලබාදෙන රාත්‍රී භෝජන සංග්‍රහයට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු සහභාගි වූයේ නැත. ඒ වෙනුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණි.
කතානායකවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවීමට ගත් තීරණය ගැන සියල්ලෝම සිටියේ පොදු අදහසකය. ඒ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් කතානායකවරයාගේ රාත්‍රි භෝජන සංග්‍රයත් අවශ්‍ය නැති බවය.
"කතානායක හරියට ආණ්ඩුවේ කතානායක වගේනේ වැඩ කරන්නේ. එයාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් අපි ඩිනර් එකට යන්න ඕනත් නෑ" එස්.එම්. මරික්කාර් කීවේය.
"ආණ්ඩු පක්ෂයේ සංවිධායක නැඟිටලා මොනවා හරි කියපු ගමන් කතානායකගේ තීරණයත් රිවස් වෙනවා. ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කතානායකගේ තීරණ ගැන එසේ විග්‍රහයක් කළේය.
මන්ත්‍රීවරු අසුන්ගෙන සිටි මේසයෙන් මේසයට ගිය සජිත් ඔවුන් සමඟ දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේය. බොහෝ දේශපාලන කරුණු ගැන ඔහු කතා කළේය.
"මහලේකම්තුමා අර සාකච්ඡා ටික කොහොමද?" සජිත් ඇසුවේය.
"මට දැන් කට්ටිය හොර හොරාට කතා කරනවා. මමත් එක එක තැන් දාගෙන ඒ අය හමුවෙනවා." මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
"ඒකේ ඩීටේල් අපිටවත් දැන්ම කියන්න එපා. අවශ්‍ය අවස්ථාවේ දී අපි අවශ්‍ය දේවල් කරමු." සජිත් කීවේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා දෙසට හැරෙමිනි.
"අපි අර අය හමුවෙන එකත් ඉක්මනට දාගනිමු. කණ්ඩායම් වශයෙන් හමුවෙමු." සජිත් රාජිතට යෝජනා කළේය.
ඒ මේසයේ සිටි අනෙක් මන්ත්‍රීවරු එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ මේ රහස් සාකච්ඡා මොනවාදැයි ප්‍රශ්න කරන්නට මෙනි. "ආණ්ඩුවේ කලකිරිලා ඉන්න මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයට අපිත් එක්ක එකතුවෙන්න පාරක් හදන්න ඕන. මහලේකම්තුමා ඒ වැඩකටයුත්ත කරගෙන යනවා. සිවිල් සංවිධාන එකතු කරගැනීමේ වැඩේ රාජිත සේනාරත්න ඇමැතිතුමා කරගෙන යනවා" සජිත් පැහැදිලි කළේය.
නීති සහාය මුලින්ම දුන්නේ එජාපය බව රංගේ කියයි
කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවැත් වූ සම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයට නොයන ලෙසට විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දැනුම් දී සිටිය ද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම කථානායකවරයාගේ රාත්‍රි භෝජන සංග්‍රහයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක, රවුෆ් හකීම් හා කින්ස් නෙල්සන් ඇතුළු පිරිසක් එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටීම විශේෂත්වයකි. එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සුපුරුදු පරිදි ඉකුත් අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමුවූයේ පක්ෂ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඊට පෙර දින නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විභාග වන නඩුවක සාක්ෂි දීමට ගොස් තිබුණි.
එම නිසා එදින රුවන් දුටු පක්ෂ නිලධාරීන් බොහෝ දෙනෙක් මුලින්ම කතා බහ කළේ ඔහු නඩුවේදි දුන් සාක්ෂිය ගැනය. නායක රනිල් වික්‍රමසිංහ ද එදින ඔහු සාක්ෂි දුන් ආකාරය අගය කළේය. "දේශපාලනඥයෙක් හැටියට හොඳ අත්දැකීමක් මේක." බොහෝ දෙනෙකු රුවන්ට කීවේ එවැන්නකි.
"ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා මිනිස්සු හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. හැබැයි ඔවුන්ට එකතු වෙන්න විකල්පයක් නෑ. අපි මේ හිඩැසින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ." අකිල විරාජ් ද එසේ කියමින් දීර්ඝ ලෙස පක්ෂ ප්‍රතිසංවිධානය ගැන අදහස් පළ කළේය.
"අපිට දැන් තුන් හතර ගොල්ලක් එක්කම හැප්පෙන්න තියෙනවා. මේකට මුහුණ දෙන්න හොඳ වැඩපිළිවෙළක් හදමු." රුවන් ද අකිලගේ කතාවට අලගු තැබීය.
"පාක්ෂිකයන්ගෙත් ලොකු උනන්දුවක් තියෙනවා. අනෙක ගෑස් පිපුරුම් ගැන නීති සහාය ලබා දෙන්න මුලින් ම ඉදිරිපත් වුණේ අපියි. ඒක දැකලා තවත් අය නීති සහාය දෙනවා කිව්වා. නමුත් අපි කියන දේට වඩා මාධ්‍යයෙන් යන්නේ එයාලා කියන දේ තමයි." රංගේ ද කතාවට එකතු වූවේය.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. සියලු දෙනාගේ අදහස් එකතු කොට නව වැඩපිළිවෙළක් සකස් කිරීමට මෙහිදි ඒකමතික තීන්දු වූවේය. ජනවාරි මස දෙවෙනි සතියේ සිට මෙම වැඩපිළිවෙළ සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් ආරම්භ කිරීමට ද තීරණය කෙරිණි. ඊට අදාළ සැලසුම් රැසක් ගැන ද නායකයා පිරිසට උපදෙස් දෙනු ලැබීය. තරුණ පිරිස එකතු කර ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන් සකස් වී තිබේ.
වජිරගේ ඩොලර් වීරයා රනිල්
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ වෘත්තීයවේදීන් අතර විශේෂ හමුවක් පසුගිය බදාදා දහවල් කොළඹ දී පැවැත්විණි. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී පැවැති මෙම හමුවේ මූලික අරමුණ බවට පත්ව තිබුණේ රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වය හා ඉදිරි පියවරයන් සම්බන්ධව සාකච්ඡා කිරීමය.
පැමිණ සිටි වෘත්තීයවේදීන්ගෙන් වැඩි දෙනෙක් පසුගිය මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය හැර අනෙකුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් උදව් කළ අය වීම විශේෂත්වයක් විය.
රටේ විදේශ සංචිත කඩා වැටීම, භාණ්ඩ ආනයනය සීමා කිරීම, ජීවන වියදම ඉහළ යාම ඇතුළු රට මුහුණ පා තිබෙන අර්බුද ගණනාවක් පිළිබඳව වෘත්තීයවේදීන් මෙහිදී අදහස් පළ කර සිටියේ උද්ගතව තිබෙන තත්ත්වයෙන් රට මුදාගෙන රට ඉදිරියට ගෙන යාමට නම් ලෝක විශ්වාසය දිනාගත් නායකත්වයක් රටට අවශ්‍ය බව පෙන්වා දෙමිනි.
රටේ මතුව තිබෙන එක් එක් ප්‍රශ්න සහ ඒවාට ඇති විසඳුම් පිළිබඳව වෘත්තීයවේදීන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව වජිර සිය කතාව ආරම්භ කළේ කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකයේ රටවල විදේශ සංචිත වර්ධනය කරගෙන තිබුණ ද ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය පහත වැටී රට අර්බුද ගණනාවකට තල්ලු වී ඇති බව පෙන්වා දෙමිනි. මේ තත්ත්වය හමුවේ ලෝක විශ්වාසය දිනා ගනිමින් විදේශ සංචිත නැවත ගොඩනඟා රට මුදාගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව ඔහු සිහිපත් කළේය.
"වෙනස්වන ලෝකය සමඟ ඉදිරියට යාමට නොහැකි නම් ඒ රටට අනාගතයක් නැහැ. කෝවිඩ් වසංගතය පැමිණෙන විටම ලෝකයේ රටවල පාර්ලිමේන්තු තුළ අලුත් නීතීරීතී සම්මත කර ගත්තා. අලුත් මුදල් රෙගුලාසි අනුමත කළා. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා රජය ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමුකර නැහැ.
ලෝකයේ ඇතිවූ කෝවිඩ් - 19 වසංගත කාල සීමාව තුළ දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙනවා. නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාවයි." යනුවෙන් ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන්ගේ විශේෂ රැස්වීමක් ඉකුත් ඉරිදා කොළඹ දී පැවැත්විණ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් එය විශේෂයෙන් රැස්වූ අතර වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය එහිදී දීර්ඝ වශයෙන් ඔවුහු සාකච්ඡාවට භාජන කළහ. පළාත් සභා ඡන්දය කල් දැමීම් මෙන්ම ආණ්ඩුවේ තීන්දු තීරණ නිසා ජනතාවට සිදුවන පීඩාවන්ට දැක්විය යුතු ප්‍රතිචාර ආදී බොහෝ මාතෘකා දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ සාකච්ඡා මේසයට බඳුන් වී තිබුණේය. එහිදී ඔවුහු විශේෂ තීන්දුවක් ගත්හ. "පළාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම තියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් රටට අවශ්‍යයි. රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග ජනතා විරෝධියි. අපි ඊට විරුද්ධයි. මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් හදන බවට පොරොන්දුවක් දුන්නා. ඒත් එවැන්නක් සිද්ධ වෙන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් කියන්නේය.
අභියෝග ජය ගැනීමට තරුණ ශක්ති
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයත්, ජාතික තරුණ සේවා සභාවත් මේ දිනවල සැරසෙන්නේ ජාතික යෞවන ක්‍රීඩා උලෙළටය. එය වඩාත් විචිත්‍රවත්ව පැවැත්වීමට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ද ඇතුළු සියල්ලන්ම උත්සුක වන්නේ අනෙකකට නොව ගියවර ද ක්‍රීඩා උලෙළ පවත්වාගත නොහැකි වූ හෙයිනි. මේ හේතුවෙන් ඇමැති නාමල් රාජපක්ෂට ද ගෙවා දැමීමට සිදුව ඇත්තේ අවිවේකී දින කිහිපයකි.
ක්‍රීඩා උලෙළේ සමාරම්භය මෙන් ම සමාප්තිය ද පෙර නොවූ විරූ අයුරින් සනිටුහන් කිරීම ඇමැතිවරයාගේ අරමුණ වී ඇත. කොතෙක් නම් ඉස්පාසුවක් නැති දිවියක් ගත කළ ද රටේ ප්‍රශ්න ගැන යොමු කරන අවධානය ද දශමයකිනිදු අඩු කිරීමට ඔහුට හැකියාවක් නැත. ඒ අනෙකක් නිසා නොව ඔහු වගකීම් රැසක් ම දරන කැබිනට් ඇමැතිවරයකු නිසාය.
ඉකුත් දින කිහිපයේම හෙතෙම තම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ප්‍රධානීන්ට දුරකතනයෙන් කතා කළේය. තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහට ද එලෙස දුරකතනයෙන් කතා කළ ඔහු ලබන වර්ෂයේ තරුණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පහදා දුන්නේ රටේ ආර්ථිකය ගැන ද යම් ඉඟියක් පලකරමිනි.
"දමිත! ඩොලර් හිඟයත් එක්ක මේ වෙද්දී රට දුවන්නේ ප්‍රශ්න ගොඩක් මැද. හැම අමාත්‍යාංශයකම වියදම් අඩු කරන්න කියල මුදල් ඇමැතිතුමා උපදෙස් දීල තියෙනවා. භාණ්ඩාගරයේ මුදල් බොහොම අරපිරිමැස්මෙන් තමා පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ. ලබන අවුරුද්දේ අපට භාණ්ඩාගාරයට මුදල් ඉතිරි කරල දෙන්න වෙනවා. ඔයාල දැන් පටන්ගෙන තියෙන 'තුරුණු ශක්ති' සහ 'hope for Sri Lanka' කියන වැඩසටහන් ඔය විදියටම කරගෙන යන්න. මොන ප්‍රශ්න ආවත් ඒවා අඩාළ කරගන්න එපා. ඒත් එක්කම පුළුවන් තරම් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ඒ අයගෙත් උදව් ඇතිව මේ වැඩසටහන් කරන්න බලන්න."යැයි ඇමැතිවරයා සභාපති දමිත වික්‍රමසිංහට උපදෙස් දුන්නේය.