ලොහාන්ගේ සිද්ධි­යෙන් වාසි නොගන්නා ලෙස ෆොන්සේකා කීවේ ඇයි? | Page 3 | සිළුමිණ

ලොහාන්ගේ සිද්ධි­යෙන් වාසි නොගන්නා ලෙස ෆොන්සේකා කීවේ ඇයි?

කොවිඩ් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ කතා බස් වෙමින් යම් යම් අවස්ථාවලදී දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වූ අතර පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රය දැඩි ලෙස උණුසුම් වූයේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ඉල්ලා අස්වීම හේතු කොටගෙනය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වූයේ පසුගිය 15 වැනි බදාදාය. වැලිකඩ හා අනුරාධපුරය බන්ධනාගාරවල සිදු වූවා යැයි කියන සිද්ධි සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගෙන තිබුණි.

මෙම බන්ධනාගාරවල ඇති වූවා යැයි කියන සිද්ධි සම්බන්ධයෙන් මාධ්‍යවල හා සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන කතා සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවට පත් කළ නොහැකි නිසා තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබුණි.

මෙම සිද්ධිය මුල් කරගෙන විපක්ෂයට යම් පණක් ලැබී තිබුණු අතර විපක්ෂයේ දේශපාලනඥයන් විසින් ලොහාන් රත්වත්තේව පතුරු ගසමින් තිබුණි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත්, හිටපු අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ලොහාන්ට එරෙහිව දැඩි ලෙස ප්‍රහාර ක්‍රියාත්මක කරමින් තිබුණි.

නමුත් සමගි ජනබලවේගයේ සභාපති හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් මේ සිදුවීම විවේචනය කළ ද මෙම සිදුවීම මුල්කරගෙන ජාතිවාදී වාසි ලබාගනිමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට මෙම සිදුවීම ගෙන යාමට ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ ජාතික සන්ධානය දරන උත්සාහයට එකඟ නොවන බවත් එවැනි උත්සාහයක් පරාජය කළ යුතු බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබුණි.

ලොහාන්ගේ ඉල්ලා අස්වීම සමාජ මාධ්‍ය තුළ ද දැඩි ලෙස ප්‍රචාරය වූ අතර එම ඉල්ලා අස්වීමට පක්ෂව ද විරුද්ධව ද අදහස් පළ වී තිබුණි.

ලොහාන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ආදර්ශයක් බව ද ඇතැම් මාධ්‍ය ජාලවල සටහන් වී තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සාකච්ඡාවක නිරත වී සිටින අවස්ථාවක අසන්නට ලැබුණු එක්තරා පුවතක් නිසා ජනාධිපතිවරයා තරමක් කලබලයට පත්විය. එම පුවත වූයේ රජයේ එක්තරා තරුණ රාජ්‍ය අමාත්‍යවරයකු වැලිකඩ හිරගෙදරට ඇතුළු වී කරනු ලැබූ කලබලයක් පිළිබඳ ආරංචියකි.

ඒ මොහොතේම ජනාධිපතිවරයා තම ආරක්ෂක අංශ ප්‍රධානියකු ලවා එම ආරංචිය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන්නට විය.

ඒ වනවිටත් එම පුවත අදාළ රාජ්‍ය ඇමතිවරයා ගේ නම් ගම් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා මඟින් ඒ මේ අත හුවමාරු වන්නට පටන් ගෙන තිබිණි. විපක්ෂය එම පුවත ප්‍රයෝජනයට ගනිමින් අදාළ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඒ තුළින් රජය වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.

අදාළ අමාත්‍යවරයා වූයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ හා මැණික්, ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේය.

ඒ වන විට ලොහාන්ට සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. එකක් මිතුරන් පිරිසක් සමඟ වැලිකඩ හිරගෙදරට ගොස් ඇමතිවරයකුට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙනි.

නාරාහේන්පිට බෝම්බය ගැන ජනපති පැයක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි

අපේ රටේ සමාජ මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබුණේ සුරූපී රූප රාජිනියක් ද තවත් මිතුරන් කිහිප දෙනකුද සමඟ ලොහාන් ඇමති බීමතින් මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදුණ බව වාර්තා කරමිනි.

අනිත් චෝදනාව ඊටත් වඩා බරපතළ එකක් විය. පසුගිය ඉරිදා දිනයේ අනුරාධපුරයේ බන්ධනාගාරයට ගොස් දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනෙක් හමුවී ඔවුන්ව දණ ගස්වා පිස්තෝලයක් රැගෙන ඔවුන්ට තර්ජනය කළ බව චෝදනා පත්‍රයේ සඳහන් විය. පිස්තෝලය අතට ගෙන සිරකරුවන්ට තර්ජනය කරමින් සිටියදී ලොහාන් අතින් පිස්තෝලය බිම වැටී ඇති බව ද සමාජ මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබිණි.

කෙසේ වෙතත් සත්‍ය පුවත හා සමාජ මාධ්‍ය මඟින් උත්කර්ෂයට නඟා තනන ලද පුවත අතර වෙනස ජනාධිපතිවරයා නිවැරදිව තේරුම් ගෙන තිබුණේ බුද්ධි අංශ වාර්තාවලට අනුව ය. ඒ කවරක් වුවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙහිදී බලවත් වරදක් කර ඇතැයි යන මතයේ ජනාධිපතිවරයා සිටියේය.

ඒ නිසා ඔහු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර හා ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග හා අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් එක්ව මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළහ. මේ නිලධාරීන්ට අමතරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු රජයේ සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරු පිරිසක් සමඟ ද ජනාධිපතිවරයා මේ පිළිබඳ සාකච්ඡා කළේය.

"කොහොමටත් මේ වැඩේ අපට අනුමත කරන්න බැහැ. විෂය භාර ඇමතිවරයා බන්ධනාගාරයට ගියා කියන එක ප්‍රශ්නයක් නොවෙයි. මේ ගැන මට දැඩි තීන්දුවක් ගන්නම වෙනවා."

මෙසේ අදහස් පැහැදිලි කිරීමෙන් අනතුරුව රට සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් අවධානයට ලක්විය. මේ වෙලාවේ මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරයට බලපාන අන්දම ගැන සාකච්ඡා විය. එය රට මත තැවරුණු කිසිවකින් වසා දැමිය නොහැකි විශාල කළු පැල්ලමක් බව බොහෝ දෙනෙකුගේ අදහස විය. මෙම 17 වැනිදා සිට ආරම්භ කෙරෙන ඇමෙරිකානු සංචාරයේදී බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය මතු කරන්නට ඉඩ ඇති බව සමහරු කීහ.

"ජාත්‍යන්තරය හමුවේ අපට දැන් තියෙන ප්‍රශ්න මදිවට මේ ප්‍රශ්නයත් අලුතෙන් එකතු වුණා"

"අපි කමිටුවක් පත්කරලා මේ පිළිබඳව තීන්දුවක් ගනිමු. කොහොමටත් මට දැඩි තීන්දුවක් ගන්න වෙනවා. ඒක කමිටුවකින් තීරණය කරන එක තමයි වඩාත් හොඳ." ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව ජනාධිපතිවරයා කමිටුවක් පත් කරන්නට සූදානම් විය. ඒ අතරතුර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථනයෙන් සම්බන්ධ වූයේය.

ජනාධිපති ගෝඨාභය ඒ මොහොත වන විට සිටියේ දැඩි කේන්තියකින් වුවත් ලොහාන් සමඟ කතා කිරීමට අකමැති වූයේ නැත. ඔහු මෙම සිද්ධිය ගැන කනගාටුව පළ කරමින් ජනාධිපතිවරයාගෙන් සමාව ගත්තේය.

සමාව ගැනීමෙන් අනතුරුව ඇමතිවරයා සියලු වැරදිවල වගකීම් බාර ගනිමින් ඉල්ලා අස් වන්නට සූදානම් බව ජනාධිපතිවරයාට කීවේය.

"ඉල්ලා අස්වෙන එක හොඳයි. කොහොමත් මම අස් කරන්න තමයි හිටියේ. ජනාධිපතිවරයා ලොහාන්ට කීවේය.

"ඒක තමයි මේ වෙලාවේ කළ යුතු එකම පිළියම. මේවා පිළිබඳ පරීක්ෂණ අපි අගමැතිතුමා ආවම කරලා ඉවර කරමු. ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු කීවේය.

බදාදා දහවල් වන විට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට සකස් කරන ලද ලිපියක් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබිණි.

රටේ දේශපාලන තත්ත්වය මෙසේ තිබිය දී රට තුළ කොරෝනා මර්දනය පිළිබඳ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව ගෙන ගිය ක්‍රියාන්විතය සතුටුදායක සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබිණි. මේ සතිය වන විට ශ්‍රී ලංකාව ද රටේ ජනතාවගෙන් හරි අඩකට වඩා එන්නත් දෙකම ලබා දී එන්නත්කරණය සාර්ථකව කරමින් සිටින රටවල් කිහිපය අතරට පැමිණ සිටියේ ය. ඊට සාපේක්ෂව රට තුළ කොරෝනා පැතිරීමේ වේගය අඩු වන්නට පටන් ගෙන තිබිණි.

මේ වන විට රට වසා දමා මාසයකටත් ආසන්න වෙමින් තිබූ අතර රටේ සෞඛ්‍ය අංශය එහි ප්‍රතිඵල අත්පත් කරගනිමින් තිබිණි. දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව රට වසා දැමූ දිනවල 200 ඉක්මවූ අගයන්වල පැවතියත් මේ සතියේ ආරම්භ වන විට එය තිබුණේ 130 ටත් අඩු අගයකය. දෛනික හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ද සතුටුදායක මට්ටමකින් අඩු වී තිබිණි. මේ තිබෙන තත්ත්වය තුළ රජය අවධානය යොමු කරමින් සිටියේ රට නැවත විවෘත කිරීම ගැනය.

ආර්ථිකය ශක්තිමත් කිරීමට බැසිල්ගෙන් අලුත් වැඩක්

අග්‍රාමාත්‍යවරයාත් විදේශ සංචාරයක නිරතව සිටි මෙම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට නැවතත් විවෘත කිරීමට ඇති ඉඩකඩ සොයා බලමින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ විමසමින් සිටින අතරතුර එක්තරා අන්දමක අනතුරුදායක පුවතක් ගැන තොරතුරක් ලැබුණි.

එම තොරතුර වූයේ කොළඹ ඉහළ පෙළේ පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ තිබී ජීව අත්බෝම්බයක් මුණ ගැසීමය. මෙම බෝම්බ සිද්ධිය නිසා ඒ විටත් එම රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් ඉමහත් කලබලයකට පත්ව සිටියහ.

ජනාධිපතිවරයාට මෙම ආරංචිය ලැබුණු මොහොතේම පොලිසිය, රහස් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවූයේය.

"මේක අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන බොහොම සැලකිල්ලෙන් කල්පනාවෙන් සිටිය යුතු අවස්ථාවක්. අපේ රටට විරුද්ධව අන්තර්ජාතිකවත්, ජාතිකවත් කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මකව ඉන්න වෙලාවක්. ඒක නිසා අපේ රටේ සුළු වරදක්වත් සිද්ධ වෙන්න බෑ. මේ අත්බෝම්බය පිළිබඳ සිද්ධිය කාගෙ හරි අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න. පැයක් ඇතුළත සිද්ධියේ ඇත්ත නැත්ත ගැන මට වාර්තාවක් ලබා දෙන්න.

කඩි ගුලක් ඇවිස්සුණාක් සේ ආරක්ෂක අංශ වැඩ පටන් ගත්හ. ජනාධිපතිවරයා නිරතුරුව ම සිය බුද්ධි අංශ ප්‍රධානියාට කතා කරමින් සිද්ධියේ අලුත්ම තත්ත්වය සොයා බලන්නට විය. ඒ කොතෙක් ද යත් පැය භාගයක් ඇතුළත ඔහු 11 වතාවක් සිය බුද්ධි අංශ ප්‍රධානියාට කතා කර තිබිණි. සිද්ධිය පිළිබඳ සියලු නිවැරදි තොරතුරු ජනාධිපතිවරයාට බාර දෙන්නට ඔහුට පැයක් ගත වූයේ නැත.

රෝහලේ ඉදිකිරීම් සඳහා කිළිනොච්චිය ප්‍රදේශයේ සිට පැමිණ කම්කරු අංශයකට එක් වූ තරුණයෙකු විසින් මෙම අත් බෝම්බය සඟවා තබා ඇති බව ආරක්ෂක අංශ සොයාගෙන තිබුණේ ඔහු පිළිබඳ සියලු වග විස්තර ද සහිතවය. රහස් පොලිසිය පරීක්ෂණ කටයුතු අරඹා තිබිණි.

"මේක යම් යම් දේශපාලන කුමන්ත්‍රණවලටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාලයක්. ඔය වගේ බෝම්බයක් රෝහලේ තිබී හමුවීම නෙමෙයි ප්‍රශ්නය. කොහොමද මේක රෝහලට ගෙනාවේ කියන එකයි. ඒකෙන් පේන්නේ එතන ආරක්ෂාව පිළිබඳ නොසැලකිල්ල. මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා රෝහලේ ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න. ඊට සමගාමීව රෝහල අවට ඉන්න අපේ ජාතික ආරක්ෂක අංශවල අයටත් උපදෙස් දෙන්න"

"එක් පැත්තකින් ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වෙනවා. අනිත් පැත්තෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. මේ වගේ වෙලාවක අපේ විරුද්ධවාදීන්ට අවශ්‍ය වෙන්නේ මොකක් හරි උණුසුම් සිද්ධියක්. අපි රටක් හැටියට මේ වෙලාවේ හුඟක් පරිස්සම් වෙන්න ඕන ඒකයි." එතන සිටි ඉහළ නිලධාරියකු කීවේය.

මේ අතර තවදුරටත් මේ ආකාරයෙන් රට වසා දැමිය යුතු ද නැති ද යන ප්‍රශ්නය රටේ දැඩි ලෙස සාකච්ඡා වන්නට විය.

කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සෞඛ්‍ය හා ආරක්ෂක ඒකාබද්ධ වැඩපිළිවෙළ තුළ රට තුළ කොරෝනා පැතිර යාමේ අවදානම ටිකෙන් ටික අඩු වන්නට පටන් ගෙන තිබිණි. සියලු සංඛ්‍යා ලේඛන සතුටුදායක අන්දමට අනිත් අතට හැරී පහත වැටෙමින් තිබියදී දේශපාලන බල අධිකාරියට අවශ්‍ය වූයේ රට විවෘත කිරීමට ය. රට විවෘත කර ප්‍රමාද වී තිබූ සියලු සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති පටන්ගෙන යළි රට යථා තත්ත්වයට පත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වූහ.

ඩයස්පොරා විරෝධයේදී එ.ජා.ප, ස.ජ.බ ගුටි කෙළියක

විශේෂයෙන් ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ ඉතා ඉක්මනින් රට විවෘත කර පොදු ජනතාව අතර මුදල් සංසරණය වන මාර්ග විවෘත කර, රටේ මූල්‍ය හා ආර්ථික කටයුතු වේගවත් කර සතුටුදායක ප්‍රතිඵල අත්පත් කර ගැනීමටය.

එහෙත් තවදුරටත් රට වසා තැබීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශවල යෝජනාව විය. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ පිළිබඳ දැඩිව සිටියේ ය. ඔවුන් මෙම කාරණාව පිළිබඳ විශේෂ සන්දේශයකින් රජයට දැනුම් දීමක් කළේය. රට වසා දමා මසක් සපිරෙන්නට පැමිණ තිබුණත් පූර්ණ අන්දමේ රට වසා දැමීමක් සිදු නොවූ බව ඔවුන්ගේ අදහස විය. එම නිසා ඉලක්කගත වේගයකින් කොවිඩ් පැතිරීම පාලනය නොවූ බව ඔවුන් කීය. මෙම වසා දැමීම ලිහිල් එකක් වුවත් එය තුළ ද යම් සතුටුදායක පාලනයක් සිදුව තිබෙන බව පිළිගත් ඔවුන් රජයෙන් තවදුරටත් ඉල්ලා සිටියේ මෙම ලිහිල් වසා දැමීම තුළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නට නම් ඔක්තෝබර් මාසය වන තුරුම මෙම වසා දැමීම දීර්ඝ කළ යුතු බවකි.

එහෙත් මෙම යෝජනාව පමණ ඉක්මවූ යෝජනාවක් බව දේශපාලන අධිකාරියේ මතය විය. මේ වන විට අවදානම් අඩවියක පසුවන මේ රටේ ආර්ථික සංවර්ධනය යළිත් සුපුරුදු මාවතට ඔසොවා තබන්නට නම් වහාම රට විවෘත කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ශක්තිය වර්ධනය කිරීම පමා නොකළ යුතු බව දේශපාලන අධිකාරියේ මතය විය.

අවසානයේ කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ කමිටු රැස්වීම තුළ මෙම කාරණාව මෙවර වඩාත් දැඩි ලෙස සාකච්ඡාවට ලක් වීමට නියමිත විය. ජනාධිපතිවරයා රටෙන් පිටත්ව යාමට පෙරාතුව මෙම කමිටුවට එක්වී තවදුරටත් රට වසා දමනවා ද, නැත්නම් රට විවෘත කර ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉක්මන් පියවර ගන්නවා ද යන කාරණා දෙක සම්බන්ධයෙන් ඉතා හොඳ සාධනීය තීන්දුවක් ගනු ඇති බව බොහෝ දෙනකුගේ විශ්වාසය විය.

නමුත් 17 වැනි සිකුරාදා කොවිඩ් කාර්යය සාධක බළකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කළේ ඔක්තෝම්බර් මස 01 වැනිදා දක්වා දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ය.

අග්‍රමාත්‍යවරයාට ඉතාලියේ දී ඉහළ පිළිගැනීමක්

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ අන්තර් ආගමික සමුළුවක ප්‍රධාන දේශනය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම ද දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කාරණයක් විය.

Zoom තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීමට හැකියාව තිබුණ ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය උපදෙස් අනුව මෙසේ ඉතාලියට පැමිණීම ගැන එරට ඇතුළු යුරෝපයේ රටවල් රැසකින් හිමි වූයේ ඉතා ඉහළ පිළිගැනීමකි.

අග්‍රාමාත්‍යවරයාගේ ගමන ගැන තවත් කණ්ඩායමක් දැඩි අවධානයකින් සිටි අතර ඒ වෙන කවුරුත් නොව යුරෝපයේ සිටි කොටි හිතවාදීන් හා ඔවුන්ට සම්බන්ධව ඇතැම් රාජ්‍ය නොවන (NGO) කණ්ඩායම් කිහිපයකි.

මෙවර ඔවුන්ගේ සටන් පාඨය වූයේ පාස්කු ප්‍රහාරයයි. වෙනදා ඊළම ගැන සටන් පාඨ ලියාගෙන පැමිණෙන කොටි ඩයස්පෝරාවේ පිරිස මෙවර එය පාස්කු ප්‍රහාරයට සීමා කර ගැනීමට තීරණය කළේ මෙරට විපක්ෂයේ දේශපාලනඥයන් පිරිසක් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

අගමැතිතුමා නැවතී සිටි හෝටලයට තරමක් දුරින් මෙම විරෝධතාව කර තිබුණේ සජබ, එජාප සහ ඩයස්පෝරාවයි. ඉතාලි පල්ලිවල පූජකයින් මෙයට සම්බන්ධ වී සිටියේ නැත. ඉතාලියේ ජනප්‍රිය ජනබලයක් තියෙන ෆාදර් ජෝ මේකට සහභාගී නොවුණ නිසාම කතෝලික ජනතාව සහභාගි වූයේ නැත.

එය ප්‍රචාරය කරපු අසේල හේවගේ මීගමු නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රීය. දැන් සජබ සංවිධායක ලෙස මිලානෝ නගරයේ කටයුතු කරයි. මීට අමතරව මෙය සංවිධානය කරන්න එජාප කණ්ඩායමකුත් එකතු විය. එහි ගැටුමක් සිදු විය. ඒ අයගේ උද්ඝෝෂණය පැවතෙද්දීම ගැටුම එළියට පැමිණියේය. අවසානයේ ගුටි කෙළියකින් එය අවසන් වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වූ ශ්‍රීලනිප ප්‍රධානීන් සහ සෙසු හවුල්කාර පක්ෂ නායකයන් විසින් වැදගත් තීන්දු රැසක්ම ගෙන ඇත.

සන්ධානය ශක්තිමත් කිරීමත්, අදට ගැළපෙන අයුරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කිරීමත් එහිදී සියලු දෙනාගේ කැමැත්ත අනුව තීරණය වී තිබේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයට යළිත් අළු ගසා දමා නැගිටීමට කාලය උදාවී ඇති බවද මෙහිදී මෛත්‍රීපාල සිරිසේන විසින් පවසා තිබේ. ශ්‍රීලනිප උප සභාපති තිලංග සුමතිපාල විසින් විධායක කමිටුවට ගෙන ආ රට ගොඩනැංවීම පිණිස සමාජීය, සංස්කෘතික සහ නව ආර්ථික ප්‍රතිපත්තිවලින් සමන්විත නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කිරීම පිළිබඳ යෝජනාව විධායක කමිටුවේ සියලු දෙනා විසින්ම ඒකමතිකව පිළිගෙන ඇති අතර, ශ්‍රීලනිප යෝජනා මෙන්ම සෙසු දේශපාලන පක්ෂයන්හි යෝජනාද ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට තීරණය කර ඇත.

ජනපතිගෙන් ප්‍රසන්නට ඇමතුමක්

ඉකුත් සඳුදා හවස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගෙන් ඇමතුමක් ලැබිණි.

"ප්‍රසන්න"

"ඔව් ජනාධිපතිතුමා"

"කටුනායක ගුවන් තොටුපොළේදී ලංකාවට පැමිණෙන සංචාරකයන් හා ශ්‍රී ලාංකිකයන් අපහසුතාවට පත්වීම වළක්වන විදියේ ක්‍රමයක් හදන්න ඕනේ"

"මම කොහොමත් හෙට කටුනායකට යන්න දාගෙන තියෙන්නෙ. හෙටම ඒ ගැනත් බලන්නම් ජනාධිපතිතුමා" යි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ රඳවා තබා ගැනීම වළක්වමින් කඩිනම් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ අරමුණෙන් නවීන තාක්ෂණයෙන් යුත් පර්යේෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ ඉදි කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මඟ පෙන්වීම අනුවයි. පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් නිකුත් කළ හැකි මෙවැනි නවීනතම පර්යේෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපළ පරිශ්‍රයක් තුළ ඉදි කෙරුණේ පළමු වතාවටයි. මෙම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණියේය.

ඉදිරි කාලය තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි හෙයින් ඒක ඉක්මනින් මෙම පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කළ යුතුව ඇතැයි එහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.

"දැන් සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොටත් දවසකට තුන් හාරසියයක් සංචාරකයෝ පැමිණෙනවා. ඉස්සරහට දෛනික සංචාරක පැමිණීම 1500 - 2000ත් අතර ප්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන්. දැන් යුරෝපීය රටවල ශීත සෘතුව පටන් ගන්නවා. ඒ නිසා මේක තවත් කල් දාන්න එපා" අමාත්‍යවරයා ගුවන්තොටුපළ සභාපතිවරයාට කීය.

ඒ අනුව එළැඹෙන විසි වැනිදා නව පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කිරීමට තීරණය විය.

ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් බව සජිත් කියයි

"ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල්. කෝවිඩ් මර්දන දොස්තරලා, සත්තු වත්තේ හා වී අලෙවි එකේ ප්‍රධානියා ඇතුළු අවංක අය ඉවත් වෙනවා." වි: නායක සජිත් කීවේ වීඩියෝ හරහා මන්ත්‍රීවරු සමඟ සාකච්ඡාවකදීය.

"ආණ්ඩුව රට ලොක්ඩවුන් කළේ එපා වාහෙට හොදි බෙදනවා වගේ. සංචරණ සීමා හරියට කළේ නෑ. රෝගය මර්දනය නොවුණේ ලොක්ඩවුන් දිගු කරන්න වුණේ ඒකයි." වෛද්‍ය රාජිත කී දේ කාගේත් අවධානයට යොමු විය.

"PCR හා ඇන්ටිජන් අඩු කරලා රෝගීන් අඩු බව පෙන්නන්නේ කාව රවට්ටන්නද" රාජිත වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

"ආණ්ඩුව ආ ගමන් ගජ මිතුරන්ට කෝටි 70,000 එනම් රුපියල් බිලියන 700 ක බදු සහන දීලා රටේ ආදායම භාගයක් අහිමි කරගත්තා. යහපාලනය ඉතිරි කරපු ඩොලර් සංචිත දිය කළා. ජනතාවට සහන හා ආර්ථිකය හදන්න බැරි නම් ගෙදර යන්න. මේක කරන්න අපිට පුළුවනි" සජිත් කීවේය.

නාමල් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සංවර්ධන අධීක්ෂණ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් දැනට රට පුරා ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරමින් සිටී. මේ නිසා දැඩි අවිවේකයකින් කාලය ගත කිරීමට නාමල් රාජපක්ෂට සිදු වී තිබේ.

සියක් නගර සංවර්ධන වැඩසටහන් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම පසුගිය දා නාමල් උතුරෙන් ආරම්භ කර රට පුරා අදාළ නිරීක්ෂණ කටයුතු සිදුකර එම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නාමල් තීරණය කොට ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සඳුදා දහවල් චීන තානාපති කාර්යාලයට පැමිණියේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ බාර ගැනීමටය.

එක්සත් ජාතික පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදුවිය.

මෙරට කොරෝනා රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් භාවිත කරන මෙම වෛද්‍ය උපකරණ බාරගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණි වජිර එහි උපදේශක චේන් ප්‍රමුඛ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ බැනරය ප්‍රදර්ශනය කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සීටීමට අමතක නොකළේය.

 

Comments