
පච්ච කෙටීම යනු ශරීරයේ යම් ස්ථානයක් තෝරාගෙන ඒ මත නොමැකෙන ලෙස විවිධ රූප කෙටීම වේ. මෙය ලංකාවේ පැවති සිරිතක් හෝ සාම්ප්‍රදායක ක්‍රියාවක් නොවේ. පච්ච හෙවත් ටැටූ කෙටීම කවදා කෙලෙස ආරම්භ වීද යන්න නිශ්චිතව කිව නොහැකිය. එය රටින් රට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් ස්වරූපයෙන් ප්‍රභවය වී තිබේ. මේ හේතුව නිසාම පච්ච කලාවේ යම් විවිධත්වයක් විචිත්‍රත්වයක් දක්නට ලැබේ. එය ඇතැම් විට ගෝත්‍රය හෝ ආගමිකත්වය හඳුනා ගැනීමේ මාර්ගය විය. ඇතැම් තැනක සඳහන් වන්නේ පච්චා කලාව ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ. IV හෝ V සියවස්වල නැත්නම් නව ශිලා යුගයේදී බවය. එහෙත් පච්ච යන යෙදුම භාවිතයට පැමිණ ඇත්තේ 18 වන සියවසේදී පොලිනීසියානු භාෂාවෙන් නිපන් Tattawo යන වදනිනි. මෙකී නාමකරණය හා ටැටූ කලාව යුරෝපයට හඳුන්වාදී ඇත්තේ විදේශ වෙළෙඳ කටයුතුවල යෙදුණු නාවිකයන් විසිනි. මිසරයේ ඇති පිරමිඩ තුළ තිබී හමු වූ මමීවලද පච්ච කොටා තිබෙනු දැකිය හැකිය. සිත්ගන්නා කරුණ නම්, පච්ච කොටා ගැනීම තහනම් කර ඇති ඉස්ලාමීය සංස්කෘතියක් තුළ මුහුණේ පච්චා කොටා තිබීම ය. බොහෝ දෙනා පච්චා කෙටීම විලාසිතාවක් වශයෙන් සිදු කරයි.
1912 පමණ වන විට පච්ච කෙටීම උසස් මධ්‍යම පාන්තිකයන් අතර පමණක් නොව කම්කරුවන් අතරද මෝස්තරයක් වී තිබුණි. නමුත් කල්යත්ම මෙය එතරම් ශිෂ්ටසම්පන්න ක්‍රියාවක් ලෙස නොසැලකීම නිසා අභාවයට ගියේය. තරුණ වියේදී කොටන පච්ච අවුරුදු 30-35ත් අතර කාලය පසු වන විට මකාදැමීමටද ඇතැමුන් උත්සුක විය. ඒ සඳහා පච්චය ඇති ස්ථානවල ඌරු මස් බැඳ කුණුවී පණුවන් දමනතුරු තිබෙන්නට සලස්වා පසුව ඒමත ඇතිවන තුවාලයට පිළියම් කිරීම මඟින් පච්චය ඉවත් කිරීමට පෙලඹිණි. ඇත්තෙන්ම පච්චය කෙටීම මෙන්ම ඒවා මැකීමද වේදනාකාරී ය.
1956 දී පමණ ධීවර ජනතාව අතර පච්ච කෙටීම ජනප්‍රිය කලාවක් බවට පත් ව තිබේ. වයස 18 පමණ වූවන් තමන්ට යමක් කමක් කළ හැකි පුද්ගයකු සේ පෙන්වීමට පච්ච කෙටීමට උනන්දු වී ඇති අතර, තම ස්වාධීනත්වය පෙන්වීමට කාන්තාවන්ද පච්ච කෙටීමට පෙලඹී ඇත. මොසො පච්ච කෙටීම එක් පාර්ශ්වයකට පමණක් පොදු දෙයක් යැයි කිව නොහැකිය. ලංකාවේ පච්චා කෙටීමේ කලාව අරාබි වෙළෙඳුන් හා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ මෙරටට පැමිණි නාවිකයින් සහ සොල්දාදුවන් නිසා ප්‍රචලිත වූ බව පැවසේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ඒ. ඩී. රන්ජිත් කුමාර තම අත්දැකීම් ආශ්‍රයෙන් පවසා සිටියේ "කොස්ගස් හන්දියේ ජයසේන අයියා නමින් ප්‍රකටව සිටි ගණන්කාරයා පච්ච කොටාගෙන සිටි අයකු බවයි.
"මිනිහ අඳින්නේ කොට කලිසමක්. මිනිහගේ කලව දෙකේ දෙපැත්තෙන් ගෑනු දෙන්නෙක් අත් උඩට ඔසවන් වැඳගෙන ඉන්න ආකාරයෙන් පච්චා කොටා තිබුණා. මේ ගැන ඇහුව්වම " දන්නැද්ද අයිසේ තරුණ කාලේ කරපුවනේ. ඔය දෙපැත්තේ ඉන්න ගෑනු දෙන්නා වැඳන් ඉන්නේ තම ලිංගයට බව" ඔහු පවසා තිබුණි. මේ කාලේ පොලීසියට ගෙනිච්ච ගමන් කමිසය ගලවලා කූඩුවට දානවා. මේ අයගේ ඇඟවල්වල ඒක ඒක පච්ච කොටල තිබුණා. ඒනිසා ඔවුන් පහසුවෙන් හඳුන ගන්න හැකියාවක් ලැබුණා. ඔය කාලේ චිත්‍රපටි නළුවකු වූ පියදාස ගුණසේකර තම බිරිඳගේ නම තම අතේ කොටාගෙන තිබුණා. නළුවන්ගෙන් පච්ච කොටා තිබුණේ ඔහු පමණක් බවයි මගේ මතකය. ටයිටස් තොටවත්ත මරුසිරාගේ කතාව පාදක කර ගනිමින් 'මරුවා සමඟ වාසේ' නමින් සිනමාපටයක් නිර්මාණය කළා. එය මෙවැනි පුද්ගලයන් සමාජය තුළින් නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණය සමාජමය කතිකාවට රැගෙන ආවා සිනමා පටයක්. එහි එක් තැනක සිරිපාල ලෙස රඟපෑ විජය කුමාරතුංග මෙහෙම කියනවා. "පච්චේ මගේ පපුවේ කොටපන් 'අම්මා බුදුවේවා!' කියලා. පස්සේ තවත් දර්ශනයකදි ඔහු කියනවා "පච්චේ කොටපන් 'මරුවා සමඟ' වාසේ' කියලා. මෙන්න මේ ජවනිකාවත් එක්ක මිනිස්සුන්ට මරු සිරා වෙන විදියකට දැනෙන්න ගන්නවා. ඇන්ටන් ජෝන් අහනවා "එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ" කියලා. මේ විදියට මරුසිරාව වෙනම අර්ථයකින් සමාජ ගතවෙනවා. මේ චිත්‍රපටිය ජනප්‍රිය වීමත් එක්ක පච්චා කෙටීමේ යම් ප්‍රවණතාවක් ඇති වෙන්න ඇති. මොකද ගොඩක් අය "අම්මා බුදුවේවා කියලා" පච්ච කොටල තිබුණා. නමුත් ස්ත්‍රීන් නම් ඒ කාලේ පච්චා කොටා තිබුණේ නැති තරම්.
නමුත් 60 දශකයේදී පච්චා කෙටීම ඉතාම ජනප්‍රිය කලාවක් බවට පත්ව තිබුණි. චණ්ඩින්, අයිආර්සීකාරයන් ලෙස එකල සමාජය විසින් හැඳින් වූ අය අතර පච්චා කෙටීම ප්‍රවණතාවක් ලෙස දක්නට ලැබුණි. මේ අය අතර පීඩිත කුලවල අය මෙන් ම උසස් කුලවල අය ද විය. මේ පුද්ගලයන් තම බාහුවේ, උරහිසේ, පිටේ, පපුවේ, කකුලේ, පිට අත්ලේ පච්චා කෙටීම සාමාන්‍ය සිරිතය. පච්චි මෝස්තර ලෙස හදවත්, අස්ථි කැබලි කතිරය සේ යොදා ඇඳි හිස්කබල්, හිස් කබල් පසාරුකරගෙන යන කිණිසි, අත්වල හා කකුලුවල වෙලී සතුටුවන නයි පොළගුන් කුරුසයේ ඇණ ගසා සටින යේසුස් වහන්සේ,රෝසමල්, නාගයන්, කොටියන්, කිණිස්සවටා එති නාගයන් සහ නිරුවත් නාරි රූප ඒ අතර විය. හැමෝම පාහේ කොටා තිබුණේ මේ මොස්තර ය. පච්චා කෙටීමට සඳහා ඉඳිකටු සහ සායම් ලෙස බුලත් කහට, පහන් දැලි යොදා ගැනිණි.
බොහෝ විට පච්චා කොටා ගැනීමේ අභිප්‍රාය වූයේ තමන්ගේ තත්ත්වය පෙන්වීම, නිර්භීතකම, ආකර්ෂණය, ආගම සංකේතමකව දැක්වීම, ආදර ප්‍රකාශනයක්, නොමැකෙන සලකුණක්, කිසියම් දඬුවමකට යටත් කළ විට සහ පුද්ගලයන් වෙන්ව හඳුනා ගැනීමට ආදී වශයෙනි.
ඉෂී තෝමස් ටැටූ නිර්මාණයක යෙදෙන අයුරු
ලංකාවේ නූතන පච්චා කලා ශිල්පියකු වන නිර්මාල් රුවින්ද ඩයස් ප්‍රකාශ කළේ ලෝකයේ සෑම රටකම පාහේ ටැටූ කලාව ඉතාම ජනප්‍රිය කලාවක් බවයි. විශේෂයෙන් ඇමරිකානු රටවලත්, යුරෝපීය රටවලත්, ජපානය, තායිවානය සහ කොරියාව වැනි රටවල වැඩි ව්‍යාපෘතියක් පවතින බවත් පච්ච කලාව ඉගෙනීමට පාසල්ද එරටවල ඇති බවත් තමන්ද පසුගිය කාලයේ එවැනි පාසලක අධ්‍යාපනය ලැබූ බවත් නිර්මාල් පවසයි. මේ වන විට නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ගායකගායිකාවන් හා වෛද්‍ය, ඉන්ජිනේරු හා විධායක ශ්‍රේණියේ වෘත්තින්වල නියුතු පුද්ගලයන් ද පච්චා කෙටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත් මෙනිසා මෙම කලාව වඩා ජනප්‍රිය වී ඇති බවත් ඔහුගේ අදහසයි.
පච්චා කෙටීමේදී සම තුළට වර්ණ ඇතුළ් කිරීමක් සිදු වේ. මේ පච්ච සඳහා ස්වභාවික හා කෘතිම වර්ණ විශාල වශයෙන් යොදා ගන්නා අතර විශාල වර්ණ පරාසයක මේ වර්ණ භාවිත කළ හැකිය. මේ සඳහා සෞඛ්‍යාරක්ෂිත ස්වභාවිකව නිපදවනු ලබන ඉන්දීය සායම් වර්ගයක් යොදා ගන්නා අතර, විශේෂිත උපකරණයක් මඟින් මේ වර්ණ සම්මත පින්තාරු කරයි. මේ යන්ත්‍රයට සවිකරන ලද කටුවක් තුළින් සම තුළට තීන්ත ගැල්වීම සිදු කරයි. කටුවක් එක් අයකුට පමණක් භාවිතා කරන නිසා තව කෙනෙකුගේ රෝගයක් වෙනත් අයකුට සම්ප්‍රේෂණය වීමේ ඉඩක් නැත. මේ නවීන උපාංග වඩා සෞඛ්‍යාරක්ෂිතය. පච්ච සඳහා ලොව පුරා විවිධ මිල ගණන් අය කරනු ලබයි. එය තීරණය වනු ලබන්නේ පච්ච අඳින්නාගේ පළපුරුද්ද හා පච්චයේ සංකීර්ණත්වය මතය. විශේෂයෙන්ම ඒ සඳහා ගතවන කාලය බොහෝදුරට මිල ගණන් තීරණය වීමේදී බලපාන බව අප සමඟ අදහස් දැක් වූ පච්චා කලාශිල්පීනියක වන ඉෂී තෝමස් පැවසීය. ඇය මේ කලාවට පැමිණ ඇතිතේ තමන් කුඩා කල පටන් දුටු පියාගේ සිතුවම්කරණය නිසාය. ඇය උසස්පෙළ ලියූ සැණින් පුංචි පච්චයක් කොටාගෙන තිබුණි. එදින ඇති වූ ආශාව අද මෙරට ප්‍රචලිත ටැටූ ශිල්පිනියක් බවට ඇයව ඔසවා තබා ඇත.
කොවිඩි හේතුවෙන් තමන්ගේ ව්‍යාපාරයටද විශාල බලපෑමක් එල්ල වී ඇති බව මේ දෙදෙනාම පවසති. මෙනිසා වෙනදා මෙන් පාරිභෝගිකයන් තමන් සොයා නොයෙන බවද ඔවුන් පැවසූහ.
පච්චා කෙටු පසු මෙහි පසු ආරක්ෂාව ගැනද සැලකිලිමත් විය යුතුය. ඊට හේතුව වන්නේ පච්චා කෙටීමෙන් විවිධ ශරීරාබාධ ඇති විය හැකි නිසාය. එවැනි දෑ වළක්වා ගැනීමට සඳහා භාවිතයට ගන්නා කටු එක වරක් පමණක් භාවිත කිරීමටත්, අනිකුත් උපාංග ද එලෙසම හොඳින් පිරිසිදුව තබා ගැනීමත් කළ යුතුය. පච්ච කෙටූ පසු සම සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු සම ආරක්ෂා කරගත යුතුය. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තිබේ. පච්චයක් කෙටූ පසු එය වෙළුම් පටිවලින් වෙලා දිනක් තැබිය යුතු බව කෙනකු පවසන විට තව කෙනෙක් පවසන්නේ එය පැය දෙකක් හෝ තුනක් වෙළා තබා ගලවා දැමිය යුතු බවයි. එහෙත් සමහරක් පවසන්නේ සති දෙකක් හෝ තුනක් යන තුරු හොඳින් උණු වතුරෙන් එම ස්ථාන තැවිය යුතු බවයි. ඇත්තෙන්ම සමේ සිදුරු වැසෙන තෙක් එය අවට හොඳින් තවමින් ප්‍රවේශම් කළ යුතුය. ඒ නිසා මෙවැනි දෑ සිදු කර ගැමේදී ඒ පිළිබඳව පළපුරුද්දක් හා දැනුමක් ඇති අය වෙත යාම වඩාත්ම යෝග්‍යවේ.