
කතරගම යනු මෙරට සියලු ජාතීන් එක්ව වන්දනා මාන කරනා පුදබිමකි. සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනාටම අයත් වන්දනා ස්ථාන එහි ඇතුවාක් මෙන්ම එම සියලු ජන කොට්ඨාසයන්හි අතිබහුතර ගෞරව භක්තියක් කතරගම පුදබිමට හිමිව තිබේ. කතරගම පුද බිම හා බැඳුණු ඉපැරැණි චාරිත්‍ර විධි මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ කිරිවෙහෙර ද පිහිටීම නිසා මේ පින්බිමට ජනතාව ඇදී ඒම වැඩිවීමට හේතු වී තිබේ.
පෙරහර ඉතිහාසය දෙස බලන විට අපට පැහැදිලිව පෙනී යන්නේ කතරගම පෙරහරට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක් බවයි. රුහුණු මහ කතරගම දේවාලය ප්‍රධාන කරගෙන පවත්වනු ලබන පෙරහර තුනකි. ඒ අවුරුදු මංගල්‍යය පෙරහර, ඇසළ මංගල්‍යය පෙරහර හා ඉල්මහා කාර්තික මංගල්‍ය පෙරහර යි. එයින් කතරගම ඇසළ පෙරහරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ඇසළ පෙරහර මංගල්‍යය අරඹා දින 15ක් තිස්සේම එහි ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදු කරමින් දෙවියන්ට ඉමහත් භක්තියකින් යුතුව සැලකීම ඒ පෙරහරේ ප්‍රධාන අංගයකි.
කතරගම පෙරහරේ ප්‍රධාන අරමුණු 4ක් අපට පෙන්වා දිය හැකිය. එම අරමුණු අතර අපල උපද්‍රව දුරු කිරීම, දේවාශිර්වාදය ලැබීම හා රටට සෙත් පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම හා ස්වභාවික විපත්වලින් රට බේරා ගැනීම අයත් වේ.
පෙරහර ආරම්භය කප් සිටුවීමෙන් සිදු කෙරේ. ඇසළ මාසයේ පෙරහර කාල සීමාව පුරා කතරගම දෙවියන් කපෙහි වාසය කරන බවට විශ්වාසයක් ජනතාව තුළ පවතී. ඒ නිසා සිටුවන ලද කප් පූජා වස්තුවක් ලෙස සැලකේ. කතරගම පෙරහරට සම්බන්ධ චාරිත්‍ර අතර ගිනි පෑගීම, බිම පෙරළෙමින් චාරිත්‍ර හා බාර හාර ඉටු කිරීම, කටු ගැසීම ආදී දුෂ්කර කාර්යයන්හි නියැළෙමින් දෙවියන් ඉදිරියේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට බැතිමත්හු කටයුතු කරති.
දින 14ක් 15ක් පමණ පැවැත්වෙන මෙරට කෙටිම දුරක් ගමන් කරන පිළිගත් ප්‍රධානතම පෙරහර වන්නේ කතරගම පෙරහරයි.
එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් එකහමාරක් පමණ වන්නේය. පෙරහරේ පළමු පෙරහර හඳුන්වන්නේ මඟුල් පෙරහර නමිනි. එම පෙරහර පැවැත්වෙන දිනයේදී කැවුම් කොකිස් කිරිබත් සකස් කිරීම රජ කාලයේ සිට පැවත එන චාරිත්‍රයකි. කැවිලි සකස් කරන්නේ දේවාලයේ තේවාකරු වන ගම්පහ විදානේය. පෙරහර පටන් ගැනීමේ චාරිත්‍රය වන්නේ වත බැඳීමයි. වත බැඳීම යනු දේවාභරණ රැගෙන යන ඇතා පිට වස්ත්‍ර ඇතිරීමයි.
දෙවන දිනයේ පැවැත්වෙන්නේ අපූරු පෙරහරකි. එය වර්තමානයේ හඳුන්වන්නේ දෙවොල් පෙරහර නමිනි. එහෙත් එය දුවන පෙරහර නැත්නම් වේගවත් පෙරහර නම්වලින්ද හඳුන්වන අතර ‘හොර පෙරහර‘ නමින් හැඳින්වීමද විශේෂීය. හොර පෙරහර නමින් හඳුන්වන්නේ තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවියන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම එයින් සනිටුහන් කිරීමයි.
මහ පෙරහරේ දෙවියන් වැඩම කිරීම සිදු කරන්නේ මහ දේවාලයෙන් ලබාගත් පිරිත් පැන් දේවාලය පුරා ඉසීමෙන් අනතුරුවය. එහිදී දෙමළ ජනතාවගේ ‘හරෝ - හරා‘ නාදයෙන් මෙන්ම ඝණ්ටා නාදයෙන්ද පෙරහර අලංකාර වේ. පන්දම් එළියෙන් පෙරහර ආලෝකවත් කෙරේ. එසේම මල් ඉසින්නන් මාර්ගය පිරිසිදු කිරීමට කහදිය ඉසින්නන් මෙන්ම ස්තෝත්‍ර ද්‍රවිඩ ගීතිකා ද ඇතුළත් පෙරහරේ දිස්වන්නේ රජ පෙරහරක ස්වරූපයකි.
පෙරහරේ ඉදිරියෙන්ම යන්නේ ඉරහඳ නිරූපණය කරන සේසත් දරන්නන්ය. දිසා කොඩි දරන්නෝද එහි සිටිති. උඩරට, පහතරට, සබරගමු ආදි සියලු සාම්ප්‍රදායික නැටුම් මෙන්ම මොනර නැටුම් ආදීය මෙන්ම කාවාඩි නැටුම්ද මේ පෙරහර අලංකාර කරනු ලැබේ. එමෙන්ම ඇසළ පෙරහර අලි ඇතුන්ගෙන්ද අලංකාර වන්නකි.
දුරාතීතයේ සිට පැවත ආ කතරගම ඇසළ පෙරහර උත්සවය වර්තමානයේදී ද පුරා පහළොස් දිනක් අති උත්සවශ්‍රීයෙන් සමරයි. වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම උත්සවය සමරනු ලබන බවට මුඛ පරම්පරාගත පිළිගැනීමයි.
කතරගම පුදබිම තුළ දුටුගැමුණු රජසමයේ පටන් ආරම්භ වූ පුද පූජා සහ පුද සිරිත් වලට මුල් තැනක් හිමි වේ.
එළාර රජු සමඟ සටන්කොට ඔහු පරදවා එදා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යුද්ධයට යාමට පෙර කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කිරීම සඳහා කතරගම දේවාලය ඉදිකරවා පූජා කළ බව පැවසේ. එමෙන්ම දෙවියන්ට උත්සව පවත්වා දේවාලයේ කටයුතු වෙනුවෙන් සන්නස් සකස්කොට ඒ අනුව කටයුතු කරන ලෙස රජතුමා නියෝග කර තිබුණි.
මෙවර පෙරහර පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නා හිමියන් පැවසුවේ කතරගම දෙවියන් හා වල්ලිඅම්මාගේ මංගල්‍යය සිහිකරමින් රජකාලයේ සිට පැවැති පෙරහර මංගල්‍යයද මෙවරද සියලු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සිදුකරනු ලබන බවයි. උන් වහන්සේ පෙරහර හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන දීර්ඝ විස්තරයක්ද කළහ.
‘‘අවුරුදු 44ක් විදේශීයයන්ට යටත් වෙලා තිබුණු රට දුටුගැමුණු රජතුමා එක්සේසත් කිරීමට පෙර මාගම සිට යුද වදින්න ගිය රජතුමා කතරගම දේවාලයක් තැනීමට වූ පොරොන්දු අනුවයි කතරගම දේවාලය බිහිවන්නේ. එහිදී විශේෂයෙන්ම පෙන්වා දිය යුතු වන්නේ දුටුගැමුණු රජතුමා සිදු කෙළේ විදේශයෙන් පැමිණ සිංහල හා දෙමළ ජනතාවට සිදුවුණු අගතියෙන් ජනතාව බේරා ගැනීම බවයි. එම නිසයි ‘මුරුගන්‘ නමින් දෙමළ ජනතාව හඳුන්වන කතරගම දෙවියන්ට විශාල ගෞරවයක් හා භක්තියක් දක්වන්නේ. ඔවුන් දින ගණනාවක් පා ගමනින් පාද යාත්‍රාවේ පැමිණ කතරගම දෙවියන්ට ඒ ලෙසින් ගෞරව කරන්නේ ඒ නිසයි. 35,000කට අධික ජනතාවක් එලෙසින් පැමිණෙනවා. ඒ අලි කොටි ගැවසෙන වන සතුන් මැදින්. පාවහන් පවා නැතුව දුෂ්කරවෘත ගෙවමින් ඔවුන් සිදු කරන්නා වූ මේ මහත් වූ ගෞරව පූජාව මෙරට වෙනත් කිසිදු ආගමික් ස්ථානයක් වෙනුවෙන් සිදු කරන්නේ නැහැ.
දින 15ක් පමණ පවත්වන කතරගම පෙරහරට පූර්වයෙන් දේවාල මළුව හා මාර්ගවල සුදුවැලි ඇතිරීම විශේෂයෙන්ම සිදු කරන්නක්. එය දෙවියන්ට සිදු කරන්නා වූ ගෞරවයක්. ඒ වගේම ජනතාව දෙවියන් වෙනුවෙන් මළුවේ පෙරළෙමින් සිදු කරන්නා වූ බාරහාර වෙනුවෙන් ඔවුන්ට කිසිදු අපහසුතාවකින් තොරව එම කාර්යයන් සිදු කිරීම වෙනුවෙන් මේ සුදුවැලි ඇතිරීම සිදු කරනවා.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පවත්වනු ලබන මේ පෙරහරේ තවත් විශේෂ අංගයක් වන්නේ බස්නායක නිලමේවරයාගේ වලව්වේ තිබෙන ගොම මැටි ඇතිරූ විශේෂ කාමරයක සිට භික්ෂූන් වහන්සේ පිරිත් සජ්ඣායනා කිරීමයි.
විශේෂයෙන්ම හයවැනි පෙරහරට පෙර බස්නායක නිලමේ විසින් කරනු ලබන රාජකාරි රැසක් තියෙනවා. හයවැනි පෙරහර දින සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගන්නවා. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමා විසින් දරනවා. දානය දිනම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නමැති කොටසට අලුතින් අතු දමා වසරකට වරක් කරන චාරිත්‍රමය කටයුත්තද සිදු කරනවා. මෙය ඉතා වැදගත් අංගයක්. එහිදී ඖෂධ වර්ගවල අතු දැමීමයි සිදු කරන්නේ. මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ බස්නායක නිලමේවරයා සිය නිල ඇඳුම ඇඳ පෙරහරේ ගමන් කිරීමයි. ඔහු එසේ ගමන් කරන්නේ ඇතාට පෙරවීම විශේෂයි. මෙරට කිසිදු පෙරහරක නිලමේ ඇතාට පෙර ගමන් කරන්නේ නැහැ.
එමෙන්ම එදින දිවා කාලයේ කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාලිගයෙන් පිටතට ගෙන ප්‍රදර්ශනය කරනවා. දුටුගැමුණු රජතුමාට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන්නේ කඩොල් ඇතා බව අප කවුරුත් දන්නවා. පෙරහරේ ගිනි පෑගීම සිදු කෙරෙන්නෙ පෙරහර නිමවීමට දින 3කට පෙර සිටයි. එහිදී දේවාලය ඉදිරිපිට විශාල ගිනිමැලයක් දල්වා තමන් විසින් ප්‍රාර්ථනා කරනු ලබන දේ සිහිකර ගින්දර නිවුණු නමුත් ගිනි අඟුරු මතින් ගමන් කර ගිනි පෑගීමේ චාරිත්‍රය සිදු කරනවා.
අවසානයේදී කිරි වෙහෙරදී කිරි වෙහෙර විහාරාධිපති හිමියන් ඇතුළු සියලු පෙරහරට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුති කතාවක් බස්නායක නිලමේ විසින් සිදු කරනු ලබනවා. එය ‘රාජාසන කතාව‘ යනුවෙන් හඳුන්වනවා.
පසුදින දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන්නේ දිය කපන කපු මහතා විසින්. ඒ කිසිවකුට නොපෙනෙන සේ වල්ලිඅම්මා තොටුපොළින් දියට බැස දිය කපන තොටුපොළ දක්වා ගිහින්. සියලු වස් දොස් දුරු වී රටට සාමය සතුට උදාවනු පිණිසත් එමෙන්ම කතරගම දෙවියන්ට පින්දීමත් එයින් සිදු කරනවා.
සර්ව ආගමික පෙරහරක් ලෙස හඳුන්වන කතරගම දේවාල පෙරහරේ දුටුගැමුණු රජතුමාගේ අඩි 15ක පමණ උසින් යුක්ත රූපය පෙරහර ඉදිරියේ ගමන් කරවීමෙන් රජුට උපහාර කිරීමක් සිදු කරනවා.‘‘
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් පවසන්නේ ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර කතරගම පෙරහර මංගල්‍යය පැවැත්වීමට සිදුව ඇති බවයි.
‘‘කොහොමවුණත් පෙරහර මංගල්‍යයට අවශ්‍ය සියලු කටයුතුවලට කිරිවෙහෙර දායකත්වය ලබා දී තියෙනවා. විශේෂයෙන්ම රජකාලයේ සිට පැවතගෙන එන චාරිත්‍ර ඒ ලෙසින්ම සිදු කරනවා. එහිදී කිරිවෙහෙරට අයත් ප්‍රධාන කාර්යයක් වන්නේ පිරිත් නිලයේ රාජකාරි කටයුතු කිරීමයි.
විශේෂයෙන්ම පෙරහර නිමිත්තෙන් සති පිරිතක් සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙසින් පවත්වනවා. ඒ සතිපිරිත අප ජූලි 15 වැනිදා ආරම්භ කරනවා. මේ සියලු කටයුතු අපි සිදු කරන්නේ නිරෝධායන නීතිවලට අනුකූලව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව බව පැවසිය යුතුයි. ‘‘
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරයන් පවසන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත වුවද සම්පූර්ණ පෙරහර පවත්වනු ලබන බවයි.
‘‘කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට අයත් ප්‍රධානතම කාර්යය වන්නේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමයි. ඊට අමතරව පෙරහර පැවැත්වීම, දේවාලය හා ඊට අයත් අනෙකුත් සියලු දේ නඩත්තු කිරීම වැනි කාර්යයන් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම දේවාලයේ කපු මහත්වරුන් සමඟ මේ කටයුතු නිසි ලෙසින් අප කළ යුතු වෙනවා. එමෙන්ම මේ වන විට දේවාලයේ මූල්‍ය විගණන කටයුතු ආරම්භ කර තිබෙනවා.
කතරගම නඩත්තුවට අතීතයේ විශාල භූමි වපසරියක් ලබා දී තියෙනවා. දැනගන්නට ඇති පරිදි එය අක්කර 90,000ක්. කොහොම වුණත් දැන් කතරගම පුදබිමට අයත් අක්කර 35,000ක් තියෙනවා. ඒ භූමි වපසරිය නිසි පරිදි කළමනාකරණය කළොත් කතරගම නඩත්තු කිරීම අපහසු නැහැ.
දෙවියන් උදෙසා කළ යුතු සියලු වත්පිළිවෙත් නිසි ලෙසින්ම අප සිදු කරනවා. එයට සංචරණ සීමා තිබුණා කියා වෙනසක් නැහැ. උදෑසන 4.30ට, පෙරවරු 10.30ට වගේම පසවරු 6.30ට අපි සුවඳ පූජා, ශබ්ද පුජා, ආලෝක පූජා පවත්වා දේව දානය පුජා කරනවා. ඒ වගේම කිසිදු අඩුවක් නැතිව අපි මෙවර පෙරහරේ සියලු කටයුතු කරනවා‘‘
කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ.එම් නන්දසිරි පවසන්නේ මහජන සහභාගිත්වයෙන් තොරව මෙවර පෙරහර පැවැත්වෙන නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා රාජ්‍ය මට්ටමින් කළ යුතු සේවා අවම වී ඇති බවයි.
‘‘වෙනදා මෙන් නෙමේ මෙවර ජන සහභාගිත්වයක් නැති නිසා රාජ්‍ය සේවකයන් යෙදවීම 75%කින් පමණ අඩුවෙලා තියෙන්නෙ. ඒ වගේම ආරක්ෂක අංශවල අයත් ඉතාව අවම පිරිසක් පමණක් යොදා ගැනීමට තීරණය වී තිබෙන්නේ.
මෙවර උතුරේ සිට පැමිණෙන බැතිමතුන්ගේ පාද යාත්‍රාව සිදු කෙරෙන්නේ නැහැ. එම නිසා නවාතැන් ගන්නා ජනතාව වෙනුවෙන් සපයනු ලබන පහසුකම් අවශ්‍ය වන්නේ නැහැ. එසේම පෙරහර සමයේ සිදු කරන වෙළෙඳ බලපත්‍ර ලබාදීමත් අවශ්‍ය වන්නේ නැහැ.
නමුත් ලොකුම ප්‍රශ්නය තමයි පෙරහර නිසා වසරක්ම ජීවත් වෙන ජනතාව ගැන සොයා බැලිය යුතු වීම. ඇතැම් අය පෙරහර පවත්වන සති දෙකක පමණ කාලයේදී තමයි අවුරුද්දටම ඕන කරන ආදායම සොයා ගන්නෙ. පවුලේ අය ඔක්කොම එකතුවෙලා කරන ව්‍යාපාරයන් හරහා ඔවුන් සොයා ගත් ආදායම මෙ වන විට බින්දුවටම වැටිලා. ඒ ජනතාව වෙනුවෙන් කුමක් හෝ කළ යුතු වෙනවා. ‘‘
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක රංගනයන් පවසන්නේ මෙවර පෙරහරේදීද පසුගිය වසර් මෙන්ම චාරිත්‍ර වාරිත්‍රවලට පමණක් සීමා වීම නිසා ප්‍රාදේශීය සභාවෙන් කළ යුතු කාර්යයන් අවම බවයි.
‘‘කොහොම වුණත් අපි කතරගම පුද බිමේ අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා. දේවාල මළුවට ජලය ඉසීම, ඇතුළු පෙරහරට අවශ්‍ය සියලු කටයුතු අප විසින් සිදු කරනවා. පෙරහර බලන්න අවසර නැතත් ජනතාව කතරගමට පැමිණෙනවා. ඔවුන් කතරගම දේවාලයට මෙන්ම වැඩසිටිකන්ද, සෙල්ල කතරගම, සිතුල්පව්ව වැනි පුදබිම් කරා ගමන් කරන්නේ නගරය හරහා. එමනිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් අප සැලසිය යුතු වනවා. පෙරහර පවත්වන නිසා පස්වරු 3.00න් පසුව කතරගම දේවාල භූමියට ඇතුළුවීමට අවසර නැහැ. මේ සියලු ජනතාවට අවශ්‍ය ජලපහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියල්ල ලබා දිය යුතුයි. ප්‍රාදේශීය සභාවට ලැබෙන සියලු ආදායම් අහිමිවෙලා තියෙන්නෙ. ඒ වුණත් අවශ්‍ය සියලු කටයුතු කෙසේ හෝ සිදු කරනවා. දෙවියන් වෙනුවෙන් සිදු කරනු ලබන සියලු කාර්යයන් අපි නොපිරිහෙලා ඉටු කරනවා‘‘
දුටුගැමුණු රජ සමයේ සිට පැවැති කතරගම පෙරහරට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විශාල බාධා සිදුව තිබේ. ජනතා සහභාගිත්වය නොමැතිවීම පමණක් නොව කතරගම ජනතාවටද ඒ හරහා සිදුව ඇත්තේ දිවි රැක ගැන්මේ සටනට විකල්පයක් සෙවීමටය. කතරගම දෙවියන්ගේ අනුහසින් හෝ කොවිඩ් වසංගතය ඉක්මනින් දුරු වුවහොත් මේ සියලු කටයුතු යළි යථා තත්ත්වයට පත්වනු ඇත.
ජන සහභාගිත්වයෙන් තොරව නමුත් සියලු චාරිත්‍ර වාරිත්‍ර හා නැටුම් කණ්ඩායම්වලින් අලංකෘත කතරගම පෙරහර මංගල්‍යය මේ මස 10 වැනිදා ආරම්භ වන අතර එහි අවසන් පෙරහර 23 වැනිදා පුන් පොහෝ දින පැවැත්වේ. 24 වැනිදා දිය කැපීමෙන් මෙවර පෙරහර මංගල්‍යය අවසන් වනු ඇත.
සේයාරූ - විමල් කරුණාතිලක