
අද හරි වහරින් ද, (දන්තජ) ‘ල‘ යෙදිය යුතු තන්හි බොහෝ දෙනකු (මූර්ධජ) ‘ළ‘ යොදන වදන් කිහිපයක් විමසා බලමු.
‘අහල පහල‘ යන්නෙහි යෙදිය යුතු ‘ල‘ ද, ‘ළ‘ දැ යි කෙනෙක් අසති. දිය යුතු කෙටි පිළිතුර නම් වදන් දෙකෙහි ම යෙදෙන්නේ (මෙහි ලියා ඇති පරිදි) ‘ල‘ යනු යි. එ වුව ද ඉතා වැඩි දෙනකු ලියනුයේ (මූර්ධජ) ‘ළ‘ සහිත අහළ පහළ යන වැරැදි යෙදුම යි. ගිය සතියේ ද දැක්වුණු පරිදි, ‘හ‘ යන්නට පසු වැ ‘ළ‘ විනා ‘ල‘ නො යෙදෙති යි ඇතැමුන් දරන වැරැදි මතය මෙහි දී ද හේතුව විය හැකි යි.
මෙහි වදන් දෙක වෙන වෙන ම ගනිමු. ‘අහල‘ යන්නෙහි මුල් රුව ‘අසල‘ යනු යි. එහි නිෂ්පත්තිය (නිපැදෙන ආකාරය) මද විදියෙකින් දක්වනු ලැබේ. අසල යන්නෙහි ප්‍රකෘතිය (මූල රූපය) අසල් යනු යි. මෙහි (දන්තජ) ‘ල‘ යෙදෙන බව එයිනිදු පැහැදිලි වේ. ව්‍යවහාර සිංහලයෙහි (මූර්ධජ) ‘ළ‘ හල් වැ නොසිටින හෙයිනි.
ළඟ, සමීප යන අරුතින් සංස්කෘතයෙහි ද පාලියෙහි ද ආසන්න යනු යෙදේ. ඒ හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙනුයේ අසන් යනු යි. අසන් යන්නෙහි ‘න්‘ ‘ල්‘ බවට පත් වීමෙන් අසල් යන වදන නිපැදුණ හ යි යනු එක් අදහසෙකි. සංස්කෘතයෙහි අංශ යි ද පාලියෙහි අංස යි ද යෙදෙන වදන් හා අනුරූප වැ සිංහලයෙහි ‘අස‘ යි වදනක් යෙදේ. සමීපර්ථයෙහි ද එය යෙදේ. එයට, සිංහලයෙහි යෙදෙන ස්වාර්ථ (වදනෙහි අරුත ම දෙන, වෙනත් අරුතක් නොදෙන) ‘ල්‘ ප්‍රත්‍යයය එක් වීමෙන් ‘අසල්‘ යනු ඇති වුණු බව අනෙක් අදහස යි. කවර අදහසක් ඇත්ත වුව ද, අසල්, අසල, අහල යන තුනෙහි ම ‘ල‘ විනා ‘ළ‘ නොයෙදන බව තහවුරු වේ.
අසල, අසල් යන දෙ වදනෙහි තවත් අරුත් ඇති බව ද කිව යුතු යි. නොසැලෙන (අචල), පර්වතය යනු එයින් දෙකෙකි. පහල යන්නෙහි නිපැදියාව ද දෙ විදියෙකින්, දක්වනු ලැබේ. එහි ද මූල රූපය ‘පසල්‘ යනු යි. (පසල යනු වහරෙහි එ තරම් නො යෙදේ.) පැරැණ වහරෙහි පසල් දනවුව, පසල් ගම වැනි යෙදුම් දක්නා ලැබේ.
සංස්කෘතයෙහි ප්‍රත්‍යන්ත යැ යි ද පාලියෙහි පච්චන්න යැ යි ද යෙදෙන වදන් හා අනුරූප ව සිංහලයෙහි පසල් යනු යෙදෙති යි එක් අදහසක් වෙයි. සංස්කෘතයෙහි ප්‍රත්‍යාසන්න, පාලියෙහි පච්චාසන්න යනු හා අනුරූප ව, සිංහලයේ පසල් යනු යෙදෙති යි තවත් අදහසෙකි.
මේ කවර ලෙසකින් ඇති වුණ ද පසල්, පසල, පහල යන වදන්හි යෙදෙනුයේ (දන්තජ) ‘ල‘ ම බව නිසැක ය.
පහළ යැ යි (මූර්ධජ) ‘ල“ යොදා ලියන වදනෙකුදු ඇත. ඒ යෙදෙනුයේ පහල යන්නේ අරුතින් නො ව වෙනත් අරුත්වලිනි. පහළ යන්නෙහි එක් අරුතක් නම් ප්‍රකාශ කරන ලද යනු යි. එය ‘පහර‘ යන ක්‍රියා මූලයෙන් උපන් අතීත ක්‍රියා පදය යි. සංස්කෘතයෙහි ප්‍රහෘත, පාලියෙහි පහට යනු මේ හා අනුරූප වෙයි. අනෙක් අර්ථය නම් පහත, යට යනු යි. ව්‍යාකරණාකාරයෝ පා (පාද) + අළ (පෙදෙස) යැ යි එහි නිපැදියාව දක්වති. ඉස් + අළ > ඉසළ > ඉහළ වූවාක් මෙනි.
නිතර වරදවන තවත් වදනක් ‘රදල‘ යනු යි. බොහෝ දෙනකු ‘රදළ‘ යි (මූර්ධජ) ‘ළ‘ යොදා ලියති. නිවැරැදි වනුයේ (දන්තජ) ‘ල‘ සහිත රදල යනු ම ය. ඒ කවර හෙයින් දැ යි විමසා බලමු.
රදල යන්නෙහි ද නිපැදියාව දෙ විදියෙකින් දැක්විය හැකි . වඩාලාත් ප්‍රචලිත මතය වනුයේ රජ, කුල යන දෙ වදන එක් ව එය නිපැදුණු බව යි. ඒ රජ + කුල > රජ්කොල් > රජොල් > රදොල (රදොල්) > රදල යන පියවර ඔස්සේ ය. රජ්කොල්, රජොල්, රදොල් යන රූප මධ්‍යතන අවධියේ ශිලා ලේඛනවල දක්නා ලැබේ. රජොල් යන්න රාජාලයය (රජ නිවෙස) යන අරුතින් ද යෙදී ඇත.
රද (රජ) යන්නට ස්වාර්ථ තද්ධිත ‘ල‘ ප්‍රත්‍යය එක් වීමෙන් රදල යනු ඇති වූ බව අනෙක් අදහස යි. රාජකීය යනු එහි අරුත යි. රදල යනු මුලින් ම රාජකීයයන් ද පසු ව රජු ගේ දිසාවේ, නිලමේ ආදීන් ද හඳුන්වනු ව යෙදිණි. දැන් ඒ යෙදෙන්නේ එක්තරා කුලයක් (ගොවි කුලයේ ඉහළ යැ යි කියන කොටස) හැඳින්වීමට යි.
රාල යනු ද රදල යන්න ම කෙටි වීමෙන් ඇති වූවකි. එහි දු ‘ල‘ ම යෙදිය යුතු ය. බොහෝ දෙන ‘ළ‘ යොදා රාළ යැයි ලිවීම වැරැදි ය. රාලහාමි යන්නෙහි ද ‘ල‘ යෙදිය යුතු බව පොලිසියේ රාලහාමීන් වෙසෙසින් දත යුතු ය.