1965 ට ඇමතුම් 2,000 ක් | Page 2 | සිළුමිණ

1965 ට ඇමතුම් 2,000 ක්

සර 2 ක් හරියාකාරව වෙසක් සැමරීමට නොහැකි වූ ජනතාවට තෙවැනි වරටත් වෙසක් සැමරුමට සිදු වූයේ සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව නිවසේ සිටය. 2019 වසරේ වෙසක් නිසියාකාරව ජනතාවට සැමරීමට නොහැකි වූයේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටලුවක් හේතුවෙනි. ඊට හේතු වූයේ 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල වුණු පාස්කු ප්‍රහාරයයි. 

කෝවිඩ් - 19 හෙවත් කොරෝනා ලෝක වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල වෙසක් සැමරීමට රටේ ජනතාවට සිදුවූයේ සෞඛ්‍ය උපදෙස් අනුවය.

පසුගිය සතිය තුළ රටපුරා සංචරණ සීමා පනවා ජනතා ඒකරාශි කිරීම් සීමා කිරීමට රජයට සිදු වූයේ සෞඛ්‍ය උපදෙස් අනුවය.

දේශපාලන ක්ෂේත්‍රයේ ද බොහෝ කාරණා සීමා වූයේ මෙම සංචරණ සීමා හේතුවෙනි.

නමුත් අත්‍යවශ්‍ය කාරණා ගැන යම් යම් සාකච්ඡා කිරීමට සිදුවූ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව දේශපාලන ක්ෂේත්‍රයේද යම් යම් සාකච්ඡා සිදුවූ බව රහසක් නොවේ.

රජයක් ලෙස යම් යම් තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට , කැබිනට් අමාත්‍යවරුන්ට යම් යම් සාකච්ඡාවලට සහභාගිවීමට සිදුවූ අතර ඔවුන් එම සාකච්ඡාවලට සහභාගි වූයේ සෞඛ්‍ය උපදෙස් අනුවය. ඇතැම් සාකච්ඡා පැවැත්වුණේ Zoom තාක්ෂණය ඔස්සේය.

සජිත්ට කොවිඩ් හැදුණේ කොහොමද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිය ජලනි ප්‍රේමදාසට කොවිඩ් ආසාදනය වීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ තවත් සිදුවීමකි.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නම් සියලුම දේශපාලන කටයුතු සිදු කරනු ලබන්නේ Zoom තාක්ෂණය ඔස්සේ ය.

රනිල් වික්‍රමසිංහ නිවසේ සිටම අනෙකුත් පක්ෂ ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදෙමින් නිතරම කියා සිටින්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසයි.

නිවසේ සිට බොහෝ දෙනකු පරිස්සමෙන් සිටිය ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාටත් පසුගිය සතිය තුළදී අත්‍යවශ්‍ය කාරණාවලට අදාළ සාකච්ඡාවලට සහභාගිවීමට සිදුවිය. එම සාකච්ඡා ද පැවැත්වුණේ සෞඛ්‍ය උපදෙස්වලට අනුවය.

ජනාධිපතිවරයා මිරිහානේ නිවසේ සිටම වැඩ

දැඩි ලෙස සංචරණ සීමා පනවා හුදෙකලා නීති රීති බල පවත්වනු ලැබූ පසුගිය සති අන්තය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද සංචරණ නීති රීති අකුරටම පිළිපදිමින් මිරිහානේ පිහිටි සිය නිවසටම වී ගත කළේය.

තම නිවසටම වී ජනාධිපතිවරයා සිටියත් කොරෝනා මර්දන වැඩසටහන් සහ අයහපත් කාලගුණය රටට බලපාන ආකාරය කෙරෙහි ද ජනාධිපතිවරයා විසින් අවධානය යොමු කරන ලදී.

පොදුජන ආරක්ෂක සහ පොදුජන අවශ්‍යතාව කෙරෙහි නිරතුරුවම අවධානය යොමු කරමින් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, දේශපාලන අධිකාරිය, නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් මහජන සුබසාධනය පිළිබඳ පෞද්ගලිකවම සොයා බැලීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

මේ අතර හදිසි කැබිනට් පත්‍රිකාවක් මඟින් රජයට පසුගියදා ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව පත් කෙරුණු දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සෙවීමේ කාර්යය සාධක බළකායේ හදිසි රැස්වීමක් පසුගිය 24 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම විෂය පථයට සම්බන්ධ රේඛීය අමාත්‍යාංශවල අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අදාළ නිලධාරීහු මෙම රැස්වීමට පැමිණ සිටියහ.

ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, සී.බී. රත්නායක, මහින්දානන්ද අලුත්ගමගේ, චමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු දේශපාලන නි‍යෝජිතයෝ පිරිසක් ද ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වසරකට ෂොපින් බෑග් බිලියනයක්

“අපි මේ කාර්ය සාධක බළකාය ඔස්සේ වැඩ කරන්න පටන් අරගෙන. දැන් බලන්න බලශක්තිය පරිසර සංරක්ෂණය, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, කාබනික වගාව, තිරසර සංවර්ධනය වගේ ක්ෂේත්‍ර 19 ක් ගැන විවිධ ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අරගෙන තියෙනවා. මං අහන්නේ මොනවාද දැන් අපි කරපු වැඩවල ප්‍රගතිය” යනුවෙන් ජනාධිපතිවරයා විමසුවේය.

“ඇත්තටම මේ ප්ලාස්ටික් භාවිතාය අපිට බරපතළ ප්‍රශ්නයක්. ලන්ච් ෂීට් භාවිතයත් ඉතාම ඉහළයි. වසරකට විතරක් ෂොපින් බෑග් බිලියනයක් විතර එළියට එනවා.” යනුවෙන් පිළිතුරු ලබාදුන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීරයි‍.

“කඩවලින් බඩු ගන්නකොට ෂොපින් බෑග් නොමිලේ දෙනවානේ. බැරිද ඒවා පාලනය කරන්න” යනුවෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී.

“අපි ඒ සඳහා ඉතාම හොඳ වැඩපිළිවෙළක් යෙදුවා ජනාධිපතිතුමා. ඒත් මේ ගාල්ලේ පැත්තේ නීතිඥයෙක් උසාවි ගිහිල්ලා නඩුවකින් දිනලා උසාවි නියෝගයක් ගත්තා වෙළෙඳ සැලකින් යම් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් ඒ සඳහා බෑග් එකක් නොමිලේ ලබාදිය යුතුයි කියලා. හැබැයි ඒක ගැන අලුතෙන් උසාවිය මඟින් කරන්න පුළුවන් මොනවාද කියලා අපි සොයා බලමින් ඉන්නේ.”

අනිත් එක තමයි අපි පරිසර හිතකාමී බෑග් පාවිච්චි කරන පාරිභෝගිකයන් දිරිමත් කරන්න සුපිරි වෙළෙඳ සල් එක්ක කතා කරලා වැඩසටහනක් හදන්න ඉන්නවා. අඩුම තරමින් ෂොපින් බෑග් ප්‍රතික්ෂේප කරලා කල් පවතින රෙදි බෑග් එකක් පිට පිට දහවතාවක් ෂොප් එකට ගෙනාපු කෙනෙකුට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරිකමක් නැහැනේ” යනුවෙන් මහින්ද අමරවීර විසින් පෙන්වා දෙන ලදී.

“ඒක හොඳ යෝජනාවක්. ඒත් එක්කම මේ යෝගට් කෝප්ප, හැඳි, බීම බට වගේ දේවල් පරිසරයට මහා විනාශයක් කරනවා.

ප්ලාස්ටික් පාවිච්චි නොකර කඩදාසිවලින් ඔය දේ කරන්න පුළුවන්නේ. මම පිටරටවල ඕන තරම් දැකලා තියෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා අදහස් කිහිපයක් එක් කළේය.

“අපි දැන් කොම්පැනි කිහිපයක් එක්ක ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා, ජනාධිපතිතුමා” යනුවෙන් මහින්ද අමරවීර ඊට ප්‍රතිචාර දැක්වීය‍.

කාබනික පොහොර ඇති තරම් නිපදවයි

“එතකොට දැන් අර කාබනික පොහොර නිෂ්පාදන කටයුත්ත ගැන මොනවද තියෙන අලුත් තොරතුරු” යනුවෙන් ජනාධිපතිවරයා විසින් තවත් කාරණයක් විමසන ලදී.

“අපි දැන් මහවැලි කලාපවල ඒ වැඩේ පටන් අරගෙන තියෙනවා. මහවැලි අධිකාරිය යටතේ කලාප දහයක් නම් කරලා වෙන් කරලා කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළා. හැබැයි ඉතිං ඒවට ටිකක් කාලය ගතවෙනවා” යනුවෙන් පිළිතුරු ලබාදුන්නේ චමල් රාජපක්ෂ යි.

ඒ සමඟම පළාත් පාලන ආයතන සමඟ එකතුවී කැළි කසළ යොදාගෙන කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ගැන ද අදහස් මතු විය.

මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර්. අපි ජනතාවත් සහභාගි කරගෙන කොයි තරම් වෙරදාලා හැදුවත් අපිට කාබනික පොහොර නිපදවන්න පුළුවන් වෙන්නේ රටේ අවශ්‍යතාවෙන් 30% ක් විතරයි. ඉතිරි ටික අපිට මහ කන්නයේ වගාව එනකොට පිටතින් ගෙනෙන්නම වෙනවා” යනුවෙන් පැහැදිලි කළේ මහින්දානන්ද අලුත්ගමගේය‍.

“. අපි මේ රටේ ඇති කරන්න යන්නේ හරිත ආර්ථිකයක්. ඉතින් අපි හරිත ආර්ථිකයක් සම්බන්ධයෙන් ආයතන රාශියක් එක් කරගෙන ප්‍රසම්පාදන ක්‍රමයක් හදන්න ඕන. මේක එක තැනකින් කෙරෙන දෙයක් නෙවෙයි‍. පරිසරය, පොහොර, කාබනික වගාව, ප්ලාස්ටික්, පොලිතින් අත්හැරීම, පුනර්ජනනීය බලශක්තීන් නිපදවීම, කාබනික ද්‍රව්‍ය සඳහා වෙළෙඳපොළ ආදී හැම ව්‍යාපෘතියක්ම මේක උඩට ගන්න ඕන. අපිට ඒ සඳහා තමයි රටට හොඳ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙන්නේ. ඒ වගේ ම ඒ පිළිබඳව මහජනතාවට අධ්‍යාපනයක් මඟින් මතයක් ඇති කරන්න ඕන” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ස්ථිර අධිෂ්ඨානයකින් යුක්තව සියල්ලක්ම එකට සම්බන්ධ කර ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ගැන සාරාංශයක් ඉදිරිපත් කළේය.

මෙහිදී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ද කතා බහක් ඇති විය‍. සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම තව තවත් ප්‍රචලිත කිරීමට ඇති වැඩපිළිවෙළ ඩලස් අලහප්පෙරුම පැහැදිලි කරන ලදී.

ඉන්පසුව ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා

“අපිට පුළුවන් විශාල වහලවල් තියෙන ආයතනවලට සූර්ය තාප විදුලි බලය සඳහා යොදාගන්න. ඔය සමහර හමුදා කඳවුරුවල විශාල වහලවල් තියෙනවා. ආරක්ෂක හේතූන් මත විදුලිය වැඩියෙන් පාවිච්චි කිරීම නිසා හමුදා කඳවුරුවල විදුලිබිල ඉතාම ඉහළයි. ඒ වගේ තැන්වලට සූර්ය විදුලි බලය හොඳ විසඳුමක්. අපට පාසල්වල වුණත් මේක කරන්න පුළුවන්.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනපතිවරයාගේ නිවසේ වහලෙත් සෝලා පැනල්

“පුනර්ජනනීය බලශක්තිය ගැන අපිට ලොකු ‍ටාගට් එකක් තියෙනවා. 2025 වනවිට අපි ඩීසල්වලින් නිපදවන විදුලිබලය 5% දක්වා අඩු කරනවා.

2030 වන විට 1% දක්වා අඩු කරනවා. ඊට සාපේක්ෂව අපි පුනර්ජනනීය බලශක්තිය 80% ක් දක්වා වර්ධනය කරන්න ප්ලෑන් කරනවා. සූර්ය බලශක්තිය අපිට ඉතා ඉහළට ගේන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රාත්‍රි කාලයට ප්‍රයෝජනයට ගන්න බැරිවෙන එක.” යනුවෙන් පැවසුවේ ඩලස් අලහප්පෙරුමයි.

“ඒක තමයි බරපතළ ප්‍රශ්නය. මගේ ගෙදරත් සෝලා පැනල් එකෙන් දවල්ට කරන්ට් එක ගන්නවා. හැබැයි ඒ කරන්ට් එක රෑට තියාගන්න බැටරියක් හයි කරලා නැහැ. ඒත් මං ගොඩක් රටවල දැකලා තියෙනවා, බැටරිය භාවිතයෙන් විදුලිබලය රාත්‍රි කාලයට ඉතුරු කරගන්න හැටි” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.

“පොඩ්ඩක් බලන්නකෝ ඒ ජාතියේ බැටරි නිෂ්පාදනය කරන්න අපේ අයට බැරිද කියලා.

දැනට හම්බන්තොට පැත්තේ කට්ටියක් බැටරි හදනවා. මම දන්නවා. හැබැයි ඒ සියල්ල එයාලා පිටරට යවනවා” මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.

“මං දන්නවා, ඒ පැක්ටරිය. බටඅත තියෙන්නේ. මට පුළුවන් ඒ ගොල්ලන්ව ඩලස් ඇමැතිතුමාව සම්බන්ධීකරණය කරලා දෙන්න. අපේ රටටත් වුවමනා බැටරි නිෂ්පාදනය කරන්න” යනුවෙන් පවසමින් එම වගකීම භාරගත්තේ මහින්ද අමරවීරය.

“අපේ රටේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 12 කට අපි විදුලිය ලබාදෙන්නේ රුපියල් 3.50 ගානේ පාඩුවට. ලක්ෂ 27 කට රුපියල් 5.60 ගානේ දෙනවා” යනුවෙන් ඩලස් අලහප්පෙරුම කීවේය.

“අන්න ඒ පවුල් හඳුනාගෙන එයාලට අපිට සෝලා පැනල් එකක් ගහලා දෙන්න පුළුවන්නේ... හැබැයි බැටරියක් දෙන්න ඕන. නැත්තං වැඩක් නැහැ” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“මම තව කියන දෙයක් තමයි, අපි කාබනික බෝග ද්‍රව්‍ය වවනවා වගේම ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් හදාගන්න ඕන. යුරෝපයේ එහෙම වෙළෙඳපොළක් තියෙනවා. මට ස්විස් තානාපතිතුමිය කිව්වා, ඒ සම්බන්ධයෙන් ඒ ගොල්ලන්ට පුළුවන් අපිට උදව් කරන්න කියලා. ඒගොල්ල අපට ඒ සඳහා‍ තාක්ෂණය, අවශ්‍ය ද්‍රව්‍ය දෙනවා. අපේ නිෂ්පාදන එයාලා ගන්නවා... අන්න ඒ වගේ හුවමාරු වැඩසටහනක් අපි හදා ගමු, යනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“මම එතුමියත් එක්ක කතා කරලා සම්බන්ධීකරණය කරන්නම් සර්” යනුවෙන් පැවසුවේ මහින්දානන්ද අලුත්ගමගේය.

මෙරට වන වියන 30% කින් වැඩිකිරීම සඳහා ඇති වැඩපි‍ළිවෙළ ගැන ද මෙහිදී සාකච්ඡා විය. මේ සඳහා අලුතින් වනය වගා කළ යුතු බවට යෝජනා වී තිබුණි.

“මේ ගැන මම මෙතනදී පැහැදිලි කිරීමක් කරන්න ඕන. වන වගාව ආරම්භ කරන්න ඕන කියලා කියන කොට අපේ නිලධාරීන් කරන වැඩක් තමයි හේන් ගොවියෝ හේන් ගොවිතැන් කරන ඉඩම් ටික අල්ලගෙන ඒවායේ පැළ සිටුවන්න යනවා.

මිනිස්සු වගා කරපුවම අල්ලන්න යන්න එපා. ඒ වෙනුවට ඔය වනාන්තරවල ඇතුළේ ඕන තරම් හිස් ඉඩ අවකාශ තියෙනවා. ඒවා වවන්න. ඒ වගේම ආක්‍රමණික ශාක වඳ කරලා ඒවයි කැලෑව සිටුවන්න.

ඒත් එක්කම මම කියන්න සිටියේ ඔය ෆයිනස් වවන ඉඩම්වලත් පුළුවන් නම් වනාන්තර වර්ගවල ගස් වවන්න. එහෙම නැතුව මම කියපු ගමන් ගිහිල්ලා අර මිනිස්සු අවුරුදු ගාණක් කොට කොට හිටපු හේන් ටික අල්ලගෙන කැලෑ වවන්න ඕනෙයි කියලා අනවශ්‍ය ලෙඩ දාගන්න නිලධාරීන් යවන්න එපා. ප්‍රශ්නය මිනිස්සුන්ගේ පැත්තෙන් බලන්න පුරුදු කරන්න.” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන විට අමාත්‍යවරුන් සතුට පළ කළේ ජනාධිපතිවරයා ජනතාවගේ පැත්තෙන් සිට ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙනි.

පසුගිය 24 වැනි සඳුදා හවස ජනාධිපති කාර්ය සාධක බළකායේ විශේෂ රැස්වීමක් පැවැත්වුණේ කොරෝනා රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

නිතරම ඊට සහභාගි වන සෞඛ්‍ය නිලධාරීන්ට හා ආරක්ෂක බලධාරීන්ට අමතරව දේශපාලනඥයන් ලෙස අමාත්‍යවරු කිහිප දෙනෙක් ද මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

මාතලේට සහන මලු 60,000 ක්

“දැන් අපි දවස් ගානක්ම රට වහලා තිබ්බා. මොකක්ද දැන් තිබෙන අලුත්ම තත්ත්වය. ඕගොල්ලන් මොකද කියන්නේ ඒ ගැන” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ගෙන් අසා සිටියේය.

මෙහිදී මුලින් ම අදහස් ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි.

“අත්‍යවශ්‍ය බඩුවල කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඇති තරම් හාල් තොග තිබුණා. දිසාපතිවරුන් හරහා ‘සහන මල්ලේ’ වැඩ කටයුත්ත ඉතාම හොඳට කළා.

මාතලේ දිසාපති මාතලේ දිස්ත්‍රික්කයට විතරක් සහන මලු 60,000 ක් කතා කරලා ඉල්ලුවා. හැබැයි ලොකු ලූනුවල පොඩි අඩුපාඩුවක් තිබුණා‍. මොකද දේශගුණික තත්ත්වය හොඳ නැති නිසා නැව් එන එක ප්‍රමාද වුණා... හැබැයි හිඟයක් ඇතිවුණේ නැහැ” යනුවෙන් බන්දුල ගුණවර්ධන විසින් පැහැදිලි කරන ලදී.

“අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිම ගැටලුවක් තිබුණේ නැහැ සර්... මහල් නිවාසවල ඉන්න අයගේ ප්‍රශ්න ගැන බලන්න අපි වෙනම අවධානය යොමු කළා. කිසිම ගැටලුවක් වුණේ නැහැ. හැබැයි ඉස්සරහට ගැටලු වෙන්න ඉඩ තියෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ ප්‍රකාශ ක‍ළ විට “ඒ මොකක්ද? යනුවෙන් මඳක් කුතුහලයෙන් විමසුවේ ජනාධිපතිවරයා ය.

“වැස්ස වැඩි නිසා ගංවතුර ගලන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු අවතැන් වෙනවා. එතකොට තමයි මිනිස්සුන්ට සහන සලසන එකෙයි කොවිඩ් නීති අකුරට පිළිපදින එකෙයි පරස්පරතා මතුවෙන්නේ” යනුවෙන් පැහැදිලි කරන ලද්දේ නාමල් රාජපක්ෂ විසිනි.

නාමල් ප්‍රශ්නයත් සමඟම ඊට සුදුසු උත්තරයක් කියමින් ලොකු පැහැදිලි කිරීමක් කළේය.

ජනපතිගෙන් ප්‍රසන්නට හදිසි ඇමතුමක්!

සංචරණ සීමා පැනවීම නිසා එළවළු හා පලතුරු ප්‍රවාහනය හා අස්වනු නෙළීම ගැන ද නාමල් ඉතා හොඳින් අවධානය යොමුකර ඇති බව ඔහු කරන ලද විස්තරයෙන් පැහැදිලි විය.

“ඇත්තටම මෙතනදි අවශ්‍ය වන්නේ ගොවි ජනතාව අසරණ නොකර ගොවියාගේ අස්වැන්න මිලට අ‍රගෙන රටපුරා ඒවා බෙදාහරින ක්‍රමයක් සංවිධාන කිරීම තමයි” යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.

“කොළඹ ටිකක් අඩුවුණා තමයි... හැබැයි අත්‍යවශ්‍ය පළාත්වල අපි ඒක අකුරටම කළා. අපි මේ වැඩපිළිවෙළ 25 වැනිදායින් පස්සේ මීටත් වඩා හොඳට ව්‍යාප්ත කරලා ක්‍රියාත්මක කරනවා” යනුවෙන් ද නාමල් රාජපක්ෂ විසින් පැහැදිලි කරන ලදී.

“මිනිස්සුන්ගේ මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් තිබුණොත් දැනුම් දෙන්න තැනක් තිබෙනවාද? යනුවෙන් විමසුවේ ජනාධිපතිවරයාය.

“ඒක ගැන තමයි සර්, මං විස්තර කරන්න හැදුවේ‍. රටපුරාම හදිසි අවශ්‍යතා දැනුම් දෙන්න අපි ජනතාවට හදිසි දුරකතන අංකයක් හඳුන්වලා දුන්නා. එහෙම කරලා Call Center එකක් පටන් ගත්තා. මීට පැය 2 කට කලින් තමයි ඒ Call Center එකේ වැඩ පටන් ගත්තේ. ඒකේ අංකය 1965. දැන් මේ වෙනකොට එතැනට කෝල් දෙදහකටත් වඩා ඇවිත් තියෙනවා. අපි එතනින් කරන්නේ ජනතාවගේ අවශ්‍යතා වහාම හඳුනාගෙන විසඳුමක් ලබාදෙන්න හැකි ඉක්මනින් ළඟම තියෙන සම්බන්ධීකරණ කාර්යාලයකට ප්‍රශ්නය යොමු කරන එක” යනුවෙන් නාමල් රාජපක්ෂ පැහැදිලි කළේය.

ඇමති සරත්ගෙන් යෝජනාවක්

“බොහොම හොඳයි. ඒත් ප්‍රශ්නය යොමු කරලා විතරක් මදි” යනුවෙන් ජනාධිපතිවරයා අතුරු ප්‍රශ්නයක් යොමු කළේය.

“ඔව් සර්... එතැන ඉඳලා අපි පසු විපරමකුත් කරලා බලනවා ඒ අවශ්‍යතාව ඉටු වුණා ද කියලා. ජනතාවගේ ප්‍රශ්න වගේ ම නිලධාරීන්ගේ ප්‍රශ්න ගැනත් දැනුම් දෙන්න මේ අංකයට කතා කරන්න කියලයි අපි උපදෙස් දුන්නේ” යනුවෙන් නාමල් රාජපක්ෂ කියා සිටියේය.

මේ අතර මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීර‍සේකර කැබිනට් මණ්ඩලයට අමුතු යෝජනාවක් කළේ ය. ඒ පසුගියදා එංගලන්තයේ කළ එල්.ටී.ටී.ඊ. සමරුවක් පිළිබඳවය. සමාජ මාධ්‍ය මඟින් පවා ප්‍රචාරය කෙරුණු මේ සමරුව පිළිබඳව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කරන ලෙස ඇමැති සරත් වීරසේකර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කර ඇත.

පසුගිය සඳුදා උදෑසන ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන් සමඟ ඩී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියේ කොවිඩ් අරමුදල සඳහා මුදල් පිරිනැමීමටයි. මේ අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙනි.

“ඔව් සර්... මෙතන නාමල් රාජපක්ෂ ඇමැතිතුමාත් ඉන්නවා. කියමින් විශේෂ දුරකතන ඇමතුමක් බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට හැඟවූ ප්‍රසන්න, නාමල් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරියගේ කාර්යාල කාමරයට යාබදව පිහිටි තවත් කාර්යාල කාමරයකට ගමන් කළහ.

විනාඩි 15 ක පමණ කාලයක් එහිදී අමාත්‍යවරුන් දෙදෙනා හා ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදය සිදුවූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිය ජලනි ප්‍රේමදාසට කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගැනීමට ලැබුණේ පසුගිය 21 වැනි සිකුරාදා ය.

සජිත්ගේ සුවදුක් අගමැති මහින්ද විමසයි

20 වැනි බ්‍රහස්පතින්දා ජලනි ප්‍රේමදාසට උණ සෑදී තිබූ අතර ඇය පවත්වාගෙන යනු ලබන සැලොන් ජලනි යන රූපලාවණ්‍යාගාරයේ කිහිප දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී තිබුණි.

ජලනිට උණ සෑදීම නිසා බ්‍රහස්පතින්දා PCR පරීක්ෂණයක් මඟින් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගැනීමට ලැබුණු නිසා සිකුරාදා දිනයේ වහාම PCR පරීක්ෂණයකට මුහුණදීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබුණි. එම PCR පරීක්ෂණයෙන් තමාට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කරගත් සජිත් තම බිරිය සමඟ කොළඹ ඇස්වාට්ටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ක්‍රියාකර තිබුණි.

සජිත් සහ බිරිය ජලනිට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් පසුව විපක්ෂයේ මෙන් ම ආණ්ඩු පක්ෂයේ ද බොහෝ දෙනෙක් සජිත්ට දුරකථනයෙන් කතා කරමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබුණි.

‍මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ද සජිත්ගේ ජංගම දුරකථනයට කතා කරමින් සැපදුක විමසා සිටි අතර අවශ්‍ය දෙයක් තිබෙනවා නම් තමා දැනුම්වත් කරන ලෙසට ද දැනුම් දුන්නේය.

තමාගේ සැපදුක විමසීම ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ස්තුති කිරීමට ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අමතක නොකළේය.

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, දොස්තර රාජිත සේනාරත්න, සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජේ.සී. අලවතුවල ඇතුළු පිරිසක් කො‍රෝනා මර්දන එන්නත ලබාගෙන තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් කොරෝනා මර්දන එන්නත ලබාගෙන තිබුණේ නැත.

Comments