පිළිකා කාරක පොල්තෙල් ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | Page 3 | සිළුමිණ

පිළිකා කාරක පොල්තෙල් ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

1 මීට පෙරත් මේ ඇෆලටොක්සීන් පිළිකා කාරක විෂ වර්ගය පරීක්ෂණයට ලක් කර තිබෙනවා. එහිදී දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1992 ගැසට් නිවේදනය අනුව බිලියනයකට කොටස් 30 කට වඩා වැඩි නම් ප්‍රතික්ෂේප කිරීම සිදුවෙයි. එම ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබීම නිසා මීට පෙර අවස්ථාවකදීත් කන්ටේනරයක් හරවා යවා තිබෙනවා. ඒ නිසා මෙය පළවැනි වතාවට සිදු වුණු දෙයක් නෙවෙයි. නමුත් මෙහිදී අලුත්ම තත්ත්වයක් යුරෝපීය සංගමය දැන් පවසන ආකාරයට එම ප්‍රමාණය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් බිලියනයකට කොටස් 30 ප්‍රමාණයේ සිට 10 දක්වා අඩු විය යුතුයි. එම නිසා ලෝක තත්ත්වයත් එක්ක නැවත චක්‍රලේඛ සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. මෙය හඳුනා ගැනීම කර තියෙන්නෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා අදාළ අංශ මඟින්. ඒ නිසා මේක රජයේ නියාමනය යටතේ සිදු වන කාරණයක් ලෙස හඳුනාගෙන ප්‍රතිඅපනයනය කරන්න කටයුතු කරනවා.

2. හැබැයි දෙවැනි වාර්තාවත් ඉල්ලීමේ නිදහසක් ආනයනකරුවන්ට තිබුණා. දෙවැනි වාර්තාවත් ප්‍රතික්ෂේප වීමෙන් පසුව තමා ප්‍රතිඅපනයනය සිදු කරන්නේ. දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප වූ ඒවා ප්‍රතිඅපනයනය කිරීම සිදු වෙනවා. මෙතන තියන ගැටලුව තමයි වරායේ රජයේ ගුදම්වල මේ රටට ගෙන සියලුම දේවල් ගබඩා කර තැබීම සඳහා පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පෞද්ගලික ඒවාටත් ලබා දෙනවා. එසේ කරන්නේ විශාල ප්‍රමාණයකට රජයේ ගුදම් ඉඩ නැති නිසයි. ඒ නිසා ඒ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් සිදු වෙනවා.

3. මේවා සම්බන්ධයෙන් දැනට තිබෙන නීතිමය තත්ත්වය යටතේ නීතිමය බලය තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ආහාර දෙපාර්තමේන්තුවටයි. සහතිකය නිකුත් විය යුතු වන්නේ ඒ සම්බන්ධ පූර්ණ අධිකාරි බලය හිමි ආහාර දෙපාර්තමේන්තුවෙන්. පාරිභෝගික සේවා අධිකාරියට කටයුතු කරන්න වෙන්නේ සෞඛ්‍යය අමාත්‍යාංශයට අදාළ නිර්ණායකවලට පටහැනිව වෙළෙඳාම හෝ ආනයනය සිදු වෙනවා නම් පමණයි. සෞඛ්‍යය අමාත්‍යාංශය තමයි මේ සම්බන්ධ පූර්ණ බලධාරියා. සෞඛ්‍යය අමාත්‍යාංශය යටතේ තිබෙන ආහාර පිළිබඳව අංශය තමයි මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වග කිව යුතු වන්නේ.

4. වසර 1000කට වඩා වැඩිපුර පොල්තෙල් පරිභෝජනය වුණත් පොල් තෙල් සම්බන්ධයෙන් ඇෆ්ලටොක්සීන් කියල විෂ වර්ගයක් තිබෙන බවට ලෝකයම කතාබහ වෙන්නේ 1970 දී. 1970 න් පස්සේ ඇති වුණු ලෝක තත්ත්වයන් එක්ක සමහර රටවල් මේ පිළිබඳව උනන්දුවෙන් සොයා බලා තිබෙනවා. එහෙම උනන්දුවෙන් සොයා බැලූ එක රටක් තමයි ලංකාව. ශ්‍රී ලංකාව එක්දහස් නවසිය අසූ ගණන්වල කරපු පර්යේෂණවල ප්‍රතිඵල හැටියට තමයි 1992 දී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය ආහාර පනතට ඇතුළත්කර තිබෙන්නේ.

ඒ අනුව පොල්තෙල් කොටස් බිලියනයකට ඇෆ්ලටොක්සීන් කොටස් 30 ක් දක්වා ඇතුළත් වීම සෞඛයට හානිකර නැහැ. නමුත් ලෝකයේ මේ සම්බන්ධයෙන් දැනුම්වත් වීම මේ වනවිට වර්ධනය වෙමින් තිබෙනවා. පොල්තෙල් අවුරුදු දහස් ගණනක් පරිභෝජනය කළ ද්‍රව්‍යයක්. මේ පොල්තෙල් කෑවා කියලා ඉතිහාසය පුරාම කිසිවෙකුට මේ වගේ විශේෂිත පිළිකා තත්ත්වයක් ඇති වෙලා නෑ. ලංකාවට ගෙනෙන සෑම කන්ටේනරයක්ම පරීක්ෂාවට ලක් කරනු ලබනවා. සෑම කන්ටේනරයකටම සෞඛ්‍ය අමාත්‍යාංශය සහතිකයක් ලබාදීමෙන් පසුවයි නිදහස් කෙරෙන්නේ.

5. විකල්පයක් අැතිවෙන්න පොල් තෙල් හිඟයක් ඇතිවෙන්න ඕනේ. එහෙම හිඟයක් ගැන අනියත බියක් ඇති කරගතයුතු නැහැ. පොල් තෙල් පාරිභෝජනය කිරීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගතයුතු නැහැ. ඒ නිසා පොල් තෙල් හොදින් පාරිභෝජනය කළහැකියි. ආනයනික පොල් තෙල් හොඳ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ වගකීම් දරනවා.

 

ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

1. අපේ රටේ ප්‍රමිති ආයතනයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ, පාරිභෝගික සේවා අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ ලංකාවට විෂ ආහාර ඒම වළක්වන්න නීති තිබෙනවා. ඒ සඳහා යාන්ත්‍රණයක් තිබෙනවා. මේ ආහාර ගෙන්වන සියලුම ව්‍යාපාරික වළල්ල ආණ්ඩු සමඟයි කටයුතු කරන්නේ. මොන නීති තිබුණත් යාන්ත්‍රණ තිබුණත් ඒවාට හොර පාරෙන් අවසර ලබා දී තිබෙනවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමියත් කියනවා, සමහර දේවල් හෙළිදරව් කළොත් සමාගම් වැටෙයි කියලා. මේක නිලධාරියෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේවා රටේ ඉහළම තැන්වල අනුමැතිය අවසරය සහිතව වෙන දේවල්. අපිට එක නිලධාරියෙක් අල්ලලා දඬු කඳේ ගහන්න පුළුවන්කමක් නැහැ. මේවාට අවසර ලබා ගත යුතු තැන්වලට හෙංචයියෝ දාගෙන, රටේ ජනතාවට වස කවන්නේ පාලකයෝ. ඒකයි ඇත්ත.

2. ප්‍රතිඅපනයන කිරීම සඳහා බහාලුම් තැබීමට ස්ථානයක් නැතිකම නොවෙයි මෙතන වෙලා තියෙන්නේ. අපේ රට අද පත් කරලා තියෙන තත්ත්වය බැලුවාම මේ රටට ගෙන්නන භාණ්ඩ ඔක්කොම රේගුවේ තියන්න හැදුවොත් රටෙන් බාගයක් දෙන්න වෙනවා රේගුවට. ඒ මොකද අවුරුද්දකට ඩොලර් බිලියන 20 ක බඩු ගෙන්වනවා. ඒක ඇතුළේ ආහාර ද්‍රව්‍යත් අඩංගුයි. ඒ නිසා මේවා පරීක්ෂා කරන තුරු රේගුවේ තියන්න බැහැ. ඉඩම පෞද්ගලික ද ගුදම පෞද්ගලික ද රජයේ ද කියන කාරණාව නෙවෙයි, ඒ හැම එකටම නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ පරික්ෂා කරන ආයතන ගණන වැඩි කරන්න පුළුවන්. අපේ රටට අවුරුද්දකට භාණ්ඩ 5000 කට වැඩියෙන් ගෙන්වනවා. එකෙන් ප්‍රමිති ආයතනය සෞඛ්‍යය අමාත්‍යාංශය යන සියල්ලම පරික්ෂා කරන්නේ භාණ්ඩ 1200 ක් විතරයි. කළ යුතු වන්නේ ප්‍රතිඅපනයනය කිරීම නොවෙයි, විනාශ කිරීමයි. පිළිකා කාරක පොල් තෙල් ඇතුළු මේ ආහාර විනාශ කරන්න බැරි ඇයි?

3. අපේ රටේ ආහාර පරීක්ෂා කිරීම සඳහා වන රාජ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. සමහර ඒවා කුඩා මට්ටමෙන් වන අතර ඒ අතර සම්බන්ධීකරණයක් නෑ. ප්‍රමිති ආයතනය, සෞඛ්‍යය අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, විශ්වවිද්‍යාල පරීක්ෂණාගාර ආදී පරීක්ෂණාගාර ගණනාවක් අපේ රටේ තිබෙනවා. මම දන්න තරමින් මේවා එක එක අමාත්‍යාංශවලට බෙදලා තිබුණට මේවා අතර කිසිම සම්බන්ධීකරණයක් නෑ. ආයතන අතර නිර්ණායකත් එකිනෙකට වෙනස්. උදාහරණයක් හැටියට ඇෆ්ලටොක්සින් සම්බන්ධයෙන් තිබෙන නිර්ණායකය, ප්‍රමිති ආයතනයේ කිලෝග්‍රෑම් 1 කට මයික්‍රෝ ග්‍රෑම් 10 යි, සෞඛ්‍යය අමාත්‍යාංශයේ මයික්‍රෝ ග්‍රෑම් 30 යි, ඒ කියන්නේ ප්‍රමිති ආයතනය වගේ 3 ගුණයක් තිබුණොත් තමයි සෞඛ්‍ය අමත්‍යාංශය කියන්නේ ඒක විෂයි කියලා. මේ ආයතන අතර යම් එකඟතාවක් තියෙන්න ඕනේ. මෙච්චර කල් අපේ රටේ තාක්ෂණ අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ, සෞඛ්‍යය අමාත්‍යාංශ තිබුණා. ඒ එකක්වත් මේවා ගැන බලලා නැහැ. මේ ප්‍රශ්නයට ආණ්ඩුව ඇතුළු පහුගිය ආණ්ඩු සියල්ලෝම වග කියන්න ඕනේ. සාමාන්‍ය මිනිසුන්ට ඇමැතිවරුන්ට වගේ පෞද්ගලික වතු නැහැ. මිනිස්සුන් පාරිභෝජනයට අවශ්‍ය ආහාර ගන්නෙ මාර්කට් එකට ගිහිල්ලයි. ආහාර සුරක්ෂිතතාව කියන්නේ ජාතික ආරක්ෂාවේ කොටසක්.

4. කවුරු හරි හිතනවා නම් මේ පිට රටින් ගෙන එන ඒවයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා, එහෙම එකක් නෑ. ඒ දිලීරය පිටරටින් එන කොප්පරාවල තියෙන්නෙත් පුළුවන්, ලංකාවේ කොප්පරාවල තියෙන්නත් පුළුවන්. දේශීය ආහාරවලත් තියෙන්න පුළුවන්. මේක හැමතැනම පැතිරිලා තියෙන්නේ. ඒක නිසා දැන් කතා කරන්න ඕනේ පාරිභෝගිකයාට නෙවෙයි, මේ රටේ පුරවැසියාටයි.

5. අපිට දැන් මේ මොහොතේ විකල්ප සාකච්ඡා කරන්න බැරි වෙයි. රටේ පොල් තෙල් කර්මාන්තය බිඳ වට්ටලා, ඒක පරීක්ෂා කරන ක්‍රමවේද බිඳ වට්ටලා, ආනයනික පොල් තෙල් මත යැපෙන්න සිද්ධ වුණහම මේ ප්‍රශ්නේ එනවා. දැන් ආණ්ඩුව තීරණයක් අරන් තිබෙනවා කොප්පරා ගෙන්න. පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් තිබෙනවද කියලා සාම්පල් පරික්ෂාවෙන් අඳුරගන්න පුළුවන් වුණත්, කොප්පරා ගේන එකෙන් සාම්පල පරීක්ෂා කරලා ඇෆ්ලටොක්සින් හෝ දිලීර හඳුනා ගන්න අපහසුයි. ඇත්තටම කොප්පර ගෙන්වීම කියල කියන්නේ ඇෆ්ලටොක්සින් මේ රටට ගෙන්වීමට පහසු කිරීමක්. මේ වෙලාවේ ප්‍රශ්නය කට ගාවටම ආවට පස්සේ එහෙම විසඳුම් යෝජනා කරන්න බෑ.

 

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරාළ

1. මෙවැනි පරික්ෂණ සම්බන්ධයෙන් වෙනම ආයතන පිහිටවල තියෙද්දිත් ඒ ආයතනයේ වගකීම හැටියට ඒ කටයුත්ත සිදු කළා කියන විශ්වාසයයි අපිට තියෙන්නෙ. නමුත් මේ වෙනකොට මේ රටේ තියෙන හැම තත්ත්වයක්ම රටේ ජනතාවට අවුල් සහගත තත්වයක් ඇතිවෙලා තියෙනවා. කිසිම ආයතනයක වැඩපිළිවෙළක් නැහැ. තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්නේ නැති ඇමති මණ්ඩලයක් සහ රජයක් දැන් පත්වෙලා ඉන්නේ. ඒ නිසා බොරු මත රට තුළ පතුරවන්න නැතිව මේ වෙච්ච දේ ගැන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු සියලු දෙනා ඒ වගකීම බාර අරගෙන කටයුතු කරන්න ඕනි. වියත් මඟ වගේ වැඩ පිළිවෙළවල් මීට කලින් මේක ගැන ක්‍රියාත්මක වෙන්නේ තිබුණානේ.

2. එහි වගකීම අදාළ ආයතන දරන්නට අවශ්‍යයි. ප්‍රති අපනයන බහාලුම් සම්බන්ධයෙන් අදාළ ආයතන සහ රජයත් ඊට වගකිව යුතුයි. මේ සිදුවීමේදී නම් අධ්‍යක්ෂ ජනරාල්තුමිය තනතුරුවලට පත්වෙලා දැන් කාලයක් වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ දැන් මේවා ගැන කතා කරලා වැඩක් නෑ. ඒක එයාගේ පැත්තෙන් දකින රාජකාරි කඩාවැටීමක් හැටියටයි මා දකින්නේ.

3. අදාළ හැම ආයතනයකටම වගකීමක් තිබෙනවා.පාරිභෝගික අධිකාරිය තමයි වෙළෙඳපොළට ගිහිල්ලා මේවා හොයා ගන්න ඕනේ. මේ රටට ගේන හැම දෙයක්ම සම්බන්ධයෙන්ම ඒ SLS ආයතනයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේවා එකක්වත් එක ආයතනයක වගකීමක් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. මේ වගේ වෙලාවක විශේෂයෙන්ම මේ රටේ හැමදේකටම හොඳ වැඩ සටහනක් තිබෙනවා. සෞඛ්‍ය අංශයෙන් බැලුවොත් අපිට ඉතාම හොඳ සෞඛ්‍ය පද්ධතියක්, සේවාවක් තියෙනවා. ඒ වගේම විශාල ශ්‍රම බළකායක් මේ සඳහා වෙන් වෙලා තියෙද්දි, ඔය එක්කෙනෙකුටවත් වගකීම තව කෙනෙකුට පටවන්න බෑ. රටට මුහුදෙන් හෝ අහසින් ගේන හැම දෙයක්ම පරික්ෂා කිරීම, වෙළෙඳපොළේ තිබෙන භාණ්ඩ පරීක්ෂා කිරීම යනාදී වගකීම් ඒ ඒ අදාළ ආයතන බාරගෙන තම තමන්ගේ වගකීම හරි හැටි ඉෂ්ට කළ යුතුයි.

4. රජය නියෝජනය කරන කෙනෙක්ගෙන් තමයි අහන්න ඕනේ ඒ කාරණාව. ඇත්තටම අපේ රජයක් තිබුණා නම් අපට ඒ ගැන වගකීමක් තිබෙනවා වගේම ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. මේක පළවැනි එක නෙවෙයිනේ.දැන් මේ ආණ්ඩුව ඇවිත් මාස කීයක් වෙනවද? පාරිභෝගිකයා අසරණ වෙනකොට ඔය සියලුදෙනාම ඒ සඳහා වග කියන්න ඕනේ. සිංහල අවුරුද්ද කියන්නේ අපි ඔක්කෝටම තෙල් අවශ්‍ය වෙලාවක්. මේ අවුරුද්දකට සැරයක් අලුත් වෙන වෙලාවේ, සිංහල, හින්දු ජාතිකයන් හැටියට බෞද්ධයන් හැටියට, හැම ගෙදරකම කැවුමක් කොකිස් එකක් බැදගන්න තෙල් අවශ්‍ය වෙනවා. දැන් ඒ සඳහා පිළියමක් අනිවාර්යෙන්ම මේ ආණ්ඩුවට නැහැ. මහා සිංහල බෞද්ධයන් වෙනුවෙන් ආව ආණ්ඩුවට අවුරුද්දකට සැරයක් සමරන අලුත් කිරීම අද කරන්න බැරි තත්වෙකට පත් කර තිබෙනවා. මේක පාරිභෝගිකයාට පමණක් නෙවෙයි, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන සියලුදෙනාටම මෙය බලපානවා.

5. විකල්පය නේ 69 ලක්ෂයක් දීලා පත් කරගෙන තියෙන්නේ. දැන් අපි හිතන්නේ ඒ විකල්පය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙහි වගකීම ආණ්ඩුව බාර අරගෙන එය වහාම නිවැරදි කළ යුතුයි. අඩුම තරමේ සිංහල අලුත් අවුරුද්දට තව දවස් දින කිහිපයක් තියෙනවා.

ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නඟන්න ඕනේ. වෙළඳ පොළේ තෙල් ගැන නිසි අධීක්ෂණයක් කළ යුතුයි. දේශීයව නිෂ්පාදනය කරන පොල්තෙල් තියනවා. මේවාට විකලපය ආණ්ඩුව නිසිලෙස හොයා ගන්න ඕනේ.

 

Comments