ගෑස් පෙන්නන ගෑස් | සිළුමිණ

ගෑස් පෙන්නන ගෑස්

 

මේ වන විට මෙරට ජනතාවගේ ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙන්ම කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ගෑස් අලෙවිය සිදු කරනු ලබන්නේ ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් ද්විත්වය විසිනි. ඒ අතරින් ලිට්‍රෝ ගෑස් සමාගම පූර්ණ වශයෙන් රජය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර ලාෆ් ගෑස් සමාගම ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු වන ඩබ්. කේ. එච්. වෑගපිටිය සභාපති ධූරය හොබවන ලාෆ් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ සාමාජිකයකු ලෙස ක්‍රියාත්මක වේ.

මේ ගෑස් සමාගම් අතරින් වෙළෙදපොළ තුළ කැපී පෙනෙන වෙළෙඳ මෙහෙයුම් ක්‍රියාන්විතයක් සිදු කරනු ලබන්නේ මෙරට ගෑස් වෙළෙඳාමේ නිරතවී සිටින ප්‍රමුඛතම හා පැරණිතම ආයතනය ලෙස පිළිගැනෙන ලිට්‍රෝ ආයතනය වන අතර; එම සමාගම වසර 150 ක පමණ ව්‍යාපාරික ඉතිහාසයකට හිමිකම් කියයි. 1873 වසරේදී Colombo Gas and Water Company නමින් එය ආරම්භ වූ අතර ඔවුන් සිය ආරම්භක අවදියේ දී ගෑස් නිෂ්පාදන කරනු ලැබුවේ ගල් අඟුරු භාවිතයෙනි. පුරා වසර 101 තිස්සේ Colombo Gas and Water Company නමින් පැවැති ආයතනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ රජය විසින් 1974 වසරේදී ජනසතු සමාගමක් බවට පත් කෙරුණු අතර ඉන් අනතුරුව එය රාජ්‍ය අංශය යටතේ පාලනය වූ ලංකා ගෑස් සමාගම බවට පත් විය. අනතුරුව 1995 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ දී ලංකා ගෑස් සමාගමේ සියයට පනස් එකක කොටස් ලෝකයේ ප්‍රමුඛතම ගෑස් සමාගමක් වූ Royal Dutch Shell සමාගමට අලෙවි කළ අතර; එතැන් සිට එම සමාගම ෂෙල් ගෑස් නමින් මෙරට තුළ සිය ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන ලදී. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරයේ කටයුතු කළ අවදියේ එනම් 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී එතුමාගේ රජය විසින් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රමුඛ කටයුත්තක් ලෙස ෂෙල් ගෑස් සමාගම සතුව තිබූ සියයට 51 ක කොටස් අයිතිය රක්ෂණ සංස්ථාව හරහා රාජ්‍ය භාණ්ඩාගාරය විසින් මිල දී ගත් අතර එතැන් සිට ලිට්‍රෝ ගෑස් නමින් සිය වෙළෙද මෙහෙයුම් කටයුතු එම සමාගම විසින් ආරම්භ කරන ලදී.

මෙරට තුළ ගෑස් ඒකාධිකාරිය පවත්වා ගෙන ගිය බහු ජාතික ෂෙල් ගෑස් සමාගමට අභියෝග කරමින් ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු වන ඩබ්. කේ. එච්. වෑගපිටිය මූලිකව 2000 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලාෆ් ගෑස් සමාගම ආරම්භ වූ අතර; මේ වන විට ලිට්‍රෝ ආයතනය හැරුණු විට මෙරට වෙළෙදපොළ තුළ ගෑස් වෙළෙදාමේ නිරත එකම සමාගම වන්නේද එම ලාෆ් ගෑස් සමාගමයි. මෙම සමාගම වටා ද මේ වන විට සැලකිය යුතු ප්‍රතිශතයක පාරිභෝගික පිරිසක් ගොනු වී සිටීම විශේෂත්වයක් වේ. ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් මෙරට තුළ ගෑස් අලෙවිය තුළ ඉතා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ සමාගම් ලෙස හැඳින්විය හැකි වුවද මේ වන විට ලෝක වෙළෙඳපොළ තුළ ඇති වී ඇති අනපේක්ෂිත මිල වැඩිවීම් හමුවේ එම සමාගම් හි ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාමේ අසීරුතා රැසක් නිර්මාණය වී තිබේ. කොවිඩ් 19 නව කොරෝනා වයිරසය ද ගෝලීය වශයෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන වටාපිටාවක ගතවුණු මාස අට පුරා සෑම මසකම ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම අසීරුතා ඇති වී ඇති බවක් පෙනී යයි. එම මිල ඉහළ යෑම් හමුවේ මෙම සමාගම් දෙක ම දැඩි මූල්‍ය දුෂ්කරතාවක් වෙත තල්ලු වී ඇතැයි පැවසෙන අතර රජය මගින් නියම කර ඇති මිලට තවදුරටත් ගෑස් අලෙවි කළ නොහැකි බව එම සමාගම් හි අදහස වී තිබේ. දිගින් දිගටම පාඩු ලබමින් තවදුරටත් මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදී සිටීමට ඇති අපහසුව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් රජයට පෙන්වා දී ඇත. පවතින ලෝක වෙළෙඳ පොළ මිල ගණන් හමුවේ මෙරට භාවිතයට ගැනෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දමන්නැයි අවස්ථා ගණනාවකදී ම එකී සමාගම් රජයට යෝජනා කර තිබුණු අතර මීට මාසයකට ඉහතදී ද ගෑස් මිල ඉහළ දමන ලෙස මෙම සමාගම් ඉල්ලා සිටි නමුත් රජය ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීය.

පසුගිය කාලය තුළ ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ගණන් අවස්ථා කීපයකදීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු අතර විනිමය අනුපාතය, වෙනත් පිරිවැය වැනි කරුණු හේතුවෙන් තම සමාගම් ගෑස් අලෙවියෙන් විශාල වශයෙන් පාඩු ලබමින් සිටින බව ද තවදුරටත් වෙළෙඳපොළ තුළ ගෑස් අලෙවියේ යෙදීමට නම් මේ වන විට දේශීය වෙළෙදපොළ තුළ රුපියල් 1,493/-කට අලෙවි වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වත් ඉහළ නැංවිය යුතු බවද ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් ද්විත්වය විසින්ම රජයට යෝජනා කර තිබේ. ඒ අනුව එලෙස ගෑස් මිල ඉහළ දැමුවහොත් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක විකුණුම් මිල රුපියල් 2,243/-ක් දක්වා ඉහළ යනු ඇත. මේ වන විට මෙරටට ගෑස් ආනයනය කරනු ලබන්නේ සෞදි අරම්කෝ මිල දර්ශකයට අනුව වන අතර මෑතකදී ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 605 ක් දක්වා ඉහළ නංවා තිබීමද මෙරට තුළ ගෑස් වෙළෙඳාමේ නිරත වී සිටින ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් හි නොසතුටට හේතු වී තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 01 ක මිල ඇමරිකානු ඩොලර් 350 සිට ඩොලර් 625 ක් දක්වා ඉහළ ගොස් ඇතත් තවමත් දේශීය වෙළඳපොලේ තමන් ගෑස් අලෙවි කරන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඩොලර් 350 ට තිබියදී නියම කළ මිලට බවද නැව් ගාස්තු,වරාය ගාස්තු,ප්‍රවාහන වියදම් හා මෙහෙයුම් වියදම්ද දරා ගනිමින් තම ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාම සදහා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයක් අවම වශයෙන් රුපියල් 750 කින් වත් ඉහළ දැමිය යුතු බවද ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් රජයට පෙන්වා දී ඇත.

ගෑස් වෙළෙදපොළ ගෝලීය මිල ගණන් හමුවේ මිල වැඩි කිරීමකට අවසර ඉල්ලමින් පසුගිය මාර්තු 10 වැනි දින ලාෆ් ගෑස් සමාගම විසින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලිපියක්ද යොමු කර තිබුණු අතර පවතින වාතාවරණය තුළ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 2148/-ක් විය යුතු බවද එහි සදහන් කර තිබුණි. ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් මෙරට ගෑස් වෙළෙඳාමට එල්ල වී ඇති බාධා පිළිබඳව අදහස් දක්වන ලාෆ් ගෑස් සමාගම වැඩිදුරටත් පවසන්නේ වර්තමානය තුළ ඇති වී ඇති මෙම අනපේක්ෂිත මිල ඉහළ යාම් හමුවේ තම සමාගම මසකට රුපියල් බිලියනයකට වැඩි පාඩුවක් ලබනා බවයි. වසර 06 කින් පමණ ගෑස් සඳහා ප්‍රමාණවත් මිල වැඩිවීමක් ලැබී නැති බව ද මේ නිසා ඉතා ඉක්මනින් ගෑස් මිල ඉහළ දැමිය යුතු බවද එම සමාගමේ ස්ථාවරය වී තිබේ. මේ අතර ගෑස් වෙළෙදපොළ තුළ දැනට ඇති වී අති මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ ගෑස් හිඟයක් ඇති වී ඇති බවටද පාරිභෝගික ජනතාව මැසිවිලි නගති. ඉදිරි දින කිහිපය තුළ ගෑස් මිල ඉහළ යා හැකි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබියදී ඇතැම් කූට වෙළෙදුන් වෙළෙදපොළ තුළ කෘතිම ගෑස් හිඟයක් මවා පෙන්වීමේ අරමුණින් මෙම තත්ත්වය නිර්මාණය කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

තවදුරටත් මෙම ගෑස් හිඟය රට තුළ පැවතුණහොත් ඉදිරියට එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සව සමයේදී ගෑස් පරිහරණය කරනු ලබන පාරිභෝගික ජනතාව අපහසුතා හා දුෂ්කරතා රැසකට මුහුණ දෙනු ඇත.ගෑස් මිල ඉහළ යා හැකි ආකාරය පිළිබඳව රට පුරා කතා බහක් ඇතිවී ඇති වාතාවරණයක ඇති වී ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් පෙන්වා දෙන්නේ පාඩු ලබමින් දිගින් දිගටම තමන්ට මෙම ව්‍යාපාරය තුළ නිරත වී සිටිය නොහැකි බවත් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධව රජය ඉක්මන් පියවරක් නොගන්නේ නම් ඉදිරි මාස කීපය තුළ උග්‍ර ගෑස් හිගයක් ඇති වීම පාලනය කිරීම සඳහා තම සමාගම් වලටද කළ හැකි දෙයක් නැති බවත්ය.

 

Comments