Techno Green One ඉතා උසස් කාබනික පොහොරක් | සිළුමිණ

Techno Green One ඉතා උසස් කාබනික පොහොරක්

ලෝකයේ දියුණු රටවල් පවා බැර ලෝහ සහිත රසායනික පොහොර භාවිත කර හැදූ ආහාර සිය ජනතාවට නොදී, ප්‍රතිපත්තිමය වශයෙන් කාබනික වගාවන්ට පෙළැඹෙමින් සිටින යුගයක, අපේ රට ටික කලක් කාබනික ව වගා කර, යළි රසායනික පොහොර භාවිත කරන්නට පෙළැඹෙමින් සිටියි. එය ඛේදවාචකයක් බව නොබෝ කලකින් රටට දැනෙන්නට පටන් ගනු ඇත. එහෙත් එවිට රටෙන් භාගයක් රෝගීන් වී හමාර ය.

මෙවැනි පසුබිමක, තමන්ට පුළුවන් ආකාරයෙන් කාබනික ආහාර වගාව දිරිමත් කරමින් ඒ සඳහා අවශ්‍ය කාබනික පොහොර සහ යෙදවුම් නිෂ්පාදනය කරන අතළොස්සක් වූ කර්මාන්තකරුවන් පිරිසක් ද සිටිති. සම්පත් උයන්වත්ත යනු, එවැන්නෙකි. 

වසර 13ක් පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළෙන සම්පත් උයන්වත්ත මහතා, කාබනික පොහොර නිෂ්පාදනයට අත ගසනුයේ 2021 වසරේ රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය සඳහා සැපයුම්කරුවකු වශයෙනි.

ඒ අනුව, 2021 යල කන්නයේ සිට 2022 මහ කන්නයේ දක්වා කාබනික ඝන පොහොර ටොන් 50,000ක් සහ කාබනික දියර පොහොර ලීටර ලක්ෂයක් රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ සඳහා නිෂ්පාදනය කොට ලබා දී තිබේ. එතැන් සිට සමස්ත කාබනික පොහොර නිෂ්පාදකයින් හට මුහුණ දෙන්නට සිදු වූ බරපතළ කඩා වැටීමේ තත්ත්වයට ඔහු ද මුහුණ දෙමින් සිටියි.

එහෙත්, පවතින ඕනෑම අසීරු තත්ත්වයකට මුහුණ දෙමින් විකල්ප මාර්ග සොයා යමින්, තමන් අත ගැසූ මහපොළොව නිරෝගී කිරීමේ සහ මිනිසුන් හට වස විස නැති ආහාර වේලක් ලබා දෙනු වස් කාබනික ගොවිතැනට දායක වීමේ කාර්යය සඳහා ඔහු තවමත් කාබනික පොහොර නිෂ්පාදනයේ යෙදී සිටියි. සිය ව්‍යාපාරය පිළිබඳ ඔහු අදහස් පළ කළේ මෙලෙසිනි.

"අපගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ. කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ, රයිගම ගුංගමුව අක්කර 2 ක භුමි ප්‍රදේශයකයි. අප ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ, කාබනික ඝන පොහොර පෙලට්, පවුඩර් සහ ඉතා උසස් පත්‍ර පෝෂකයක් වන ෆිෂ් ටොනික් සහිත කාබනික දියර පොහොර යන තුන් වර්ගය යි.

ඇත්තටම අපගේ පොහොරවල විශේෂත්වය තමයි නයිට්‍රජන් ප්‍රතිශතය 3%-4%ක් වැනි ඉතා ඉහළ මට්ටමක පැවතීම. දියර පොහොරවලත් නයිට්‍රජන් සහ පොටෑසියම් ප්‍රතිශතය එලෙසම ඉහළ අගයක පවතිනවා. මේ නිසා පස පෝෂණය වන අතරම, ඉහළ අස්වැන්නක් නෙළා ගැනීමට හැකි වනවා. අපගේ පොහොර පාවිච්චි කළ ගොවීන්, වගාකරුවන් නැවත නැවතත් විමසීම් කර අපගේ කාබනික පොහොර ම ඉල්ලා සිටීම, ඊට හොඳම උදාහරණයක්.

මේ වන විට කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අපගේ පොහොර බෙදා හැරීම සදහාම සැකසුණු අලෙවි ජාලයක් තිබෙනවා. වී වගාවට විතරක් නෙවෙයි, හොඳ පත්‍ර පෝෂකයක් ලෙස සකසා ඇති අපගේ දියර පොහොර, තේ බුලත් සහ එළවළු වගාවටත් ඉතාමත් යෝග්‍යය යි. ඒ වගේම, පලතුරු සහ මල් වගාවටත් අපගේ මේ පොහොර දෙවර්ගය ඉතා හොඳ අස්වනු ලබා දෙනවා.

අපගේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ කුකුළු පොහොර සහ ගොම පොහොරත්, වල්සූරියකාන්ත, ගිණිසීරියා යන සත්ත්ව සහ ශාක කොටස්. ඒ වගේම, අපේ රටේ සාර්ථක ස්වාභාවික පොහොරක් වන එප්පාවල රොක් පොස්පේට් ඇතුළ අමුද්‍රව්‍ය ගණනාවක් මේ සඳහා යොදා ගන්නවා.

මේ ආකාරයට, සියලු ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඉතා උසස් ලෙස නිෂ්පාදනය කරන කාබනික පොහොර කර්මාන්තය සඳහා දැන් උදා වී තිබෙන්නේ ඒ තරම් හොඳ කලදසාවක් නෙවෙයි. රජය හිටි අඩියේ පොහොර ප්‍රතිපත්තිය හකුළා ගැනීම නිසා, අප නිෂ්පාදනය කළ කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයකුත් කාබනික ඝන පොහොර කිලෝ ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයකුත් අපගේ ගබඩාවල ගොඩගසා තිබෙනවා. දැන් අපිට කරන්නට වෙලා තිබෙන්නේ උඩුගම් බලා යෑමක්. දැන් අපිට වෙන විකල්පයක් නැහැ. ආරම්භයේ දී, රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළට පමණක් පොහොර හදන්නට ඔවුන් නිෂ්පාදකයින් පෙළැඹ වූ නිසා, වෙනත් වෙළෙඳ ජාලයක් හදා ගන්නට අප වගේම බොහෝ කාබනික නිෂ්පාදකයින්ට බැරි වුණා. නමුත් දැන් අපට සිද්ධ වෙලා තිබෙනවා, පුද්ගලිකව අලෙවි ජාලයක් හදාගන්න. මේ, ගොවීන් රසායනික පොහොරවලට යළි පෙළැඹෙමින් සිටින අවස්ථාවක් නිසා කාබනික පොහොරවල වටිනාකම හඳුනාගත් පිරිසක් පමණයි මේවා මහ පොළොවට, තමන්ගේ වගාවට සද්භාවයෙන් යොදන්නේ. අන්න ඒ ගොවි ජාලය ඉලක්ක කරගෙන අප දැන් අපගේ කාබනික පොහොර අලෙවි කිරීමේ කටයුතුවල නියැළෙනවා. නමුත් රජයේ කාබනික පොහොර සහනාධාර ප්‍රතිපත්ති වැඩසටහන විශ්වාස කර, රුපියල් මිලියන 15ක් යට කර විශාල කර්මාන්ත ශාලා හදා, මැෂින් මිලට ගෙන වැඩ පටන් ගත්තා. අද ඒ සියලු ආයෝජන ඔහේ නිකම් තබන්නට වෙලා. ඉස්සර අපේ කර්මාන්තශාලාවේ 40 දෙනෙක් වැඩ කළා. දැන් එය 20ට බැහැලා.

ඉස්සර මේ අවට ගම්මානවල දරුවෝ ගිණිසීරියා අතු ටිකක් හරි කපාගෙන ගෙන ඇවිත්, කිලෝ ගාණට අපට අලෙවි කර, ඒ මුදල්වලින් පොත් පත් ගත්තා. දැන් ඔවුන්ටත් ඒ අවස්ථා නැති වෙලා. විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් බොහෝ දෙනෙක් අප කර්මාන්තශාලාවේ වැඩ කළා. අද ඔවුන්ටත් රැකියා නැහැ. ඉතා සීමිත පිරිසකගෙන් තමයි දැන් මේ නිෂ්පාදන කාර්යය කරගෙන යන්නේ. මොකද, රුපියල් මිලියන 15ක් යට කර හැදූ කර්මාන්තය වසා දමන්නට බැරි නිසා, බොහොම අමාරුවෙන් ඇදගෙන යෑමක් තමයි දැන් තිබෙන්නේ.

ඒ නිසාම දැන් අපි කාබනික පොහොර පිටරට යවන්න පුළුවන් වැඩපිළිවෙළක් සොයා බලමින් ඉන්නවා. මේ වන විට ඇමෙරිකාවට කාබනික පොහොර ටොන් 2,500ක ඇණවුමක් අප වෙත ලැබී තිබෙනවා. ඒ ආකාරයට ටිකෙන් ටික අපනයනය ඉලක්ක කරගෙන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අප සුදුසු වටපිටාවක් සකස් කරමින් සිටිනවා. ඊට අදාළ ISO තත්ත්ව සහතිකය ලබා ගෙන තිබෙනවා. ප්‍රමිති සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ දිනවල අප සකසමින් සිටිනවා.

ඇත්තටම අපි කාබනික පොහොර නිෂ්පාදනය හා බැඳුණු හුඟක් දේ කරගෙන ආවා. රජයේ පොහොර වැඩපිළිවෙළ පිළිබඳ ලොකු විශ්වාසයක් තැබුවා. ජනතාව ලෙඩ කරවන රසායනික පොහොර භාවිතය ටිකෙන් ටික අඩු කර, ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතා රජය විසින්ම කාබනික පොහොර ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දීම පිළිබඳ අප සතුටු වුණා. නමුත්, රජය විසින් හඳුන්වා දුන් ඒ ප්‍රතිපත්තිය රජය විසින්ම හකුළා ගැනීම තුළ අපි අමාරුවේ වැටුණා විතරක් නෙවෙයි, මේ රටේ බහුතර ජනතාවගේ සෞඛ්‍යයත් යළි විශාල අවදානමකට ඇද දමා තිබෙනවා. වැඩිමහල් ගොවීන් බහුතරයක් වකුගඩු රෝගීන් සේ මිය යන්නට පටන් ගෙන තිබියදී ත්, ඔවුන්ගේ දෙවැනි පරම්පරාවත් එසේ රසායනික පොහොර භාවිතයට ඇබ්බැහි වූ හොත්, ඒ තරුණ ගොවීන්ට අත් වන්නේත් ඒ ඉරණමම යි. ඔවුන් රසායනික පොහොර භාවිත කර නිෂ්පාදනය කරන ආහාර හාල් ටික, එළවළු ටික කෑමට ගන්නා මේ රටේ දරුවන් පවා අනාගතයේ අකල් මරණවලට ගොදුරු වන්නට යළි ඉඩ සැකසෙනවා. එය ක්‍රම ක්‍රමයෙන් රට ගිළ දමන ඛේදවාචකයක් බව පාලකයන් තේරුම් ගත යුතුයි. හැබැයි මේ තීන්දු තීරණ ගන්නා අය තමන්ගේ දරුවකුට, වස විස සහිත රසායනික පොහොර යොදා හැදූ ආහාර ටිකකුත්, කාබනික ආහාර ටිකකුත්, යන දෙකෙන් එකක් තෝරා ගන්නට යැයි කී විට තෝරා ගන්නේ කුමක්ද? කාබනික ආහාර ය නේද? ඒ වගේ මේ රටේ පොදු මහජනතාව ගැනත් දරුවෝ ගැනත් හිතනවා නම්, මේ වගේ යළි රසායනික පොහොර යුගයකට ඔවුන් අත හිත දෙන්නේ නැහැ. කාබනික නිෂ්පාදකයෝ හැටියට අපි ඉන්නේ, මේ රට වෙනස් කරන්න පුළුවන් කියන තැන. ඒත් තීන්දු තීරණ ගන්නා අය, තමන්ගේ වාසියට රට ඛේදවාචකයකට හෙළා දමන එක වැරැදියි. ගොවීන්ට වුණත් මේ පිළිබඳ ජාතික වගකීමක් තිබෙනවා. වෙන රටවල නායකයෝ තමන්ගේ මිනිස්සු ගැන හිතලා කාබනික වගාවන්ට පූර්ණ වශයෙන් යොමු වෙද්දී, අපේ රට ඇයි මේ විදියට දැන දැන විනාශයකට රැගෙන යන්නේ? මේ ගැන මට තිබෙන්නේ විශාල කණගාටුවක්.

ඇත්තටම මම ව්‍යාපාරිකයෙක් වුණත්, මේ මහ පොළොවට සහ පරිසරයට ආදරය කරන පරිසර හිතකාමී මනුෂ්‍යයෙක්. මගේ පොහොර කර්මාන්ත ශාලාව හරියට පරිසර හිතකාමී හෝටලයක් වගෙයි. ඒ තරම් ලස්සනට මම එය පවත්වා ගෙන යනවා.

ඒ වගේම, අපගේ පරිසර හිතකාමී නිෂ්පාදන හා බැඳුණු සමාගම් තුනක් තිබෙනවා. ඇත්තටම අපගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ, Techno Industries නම්, කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදන ආයතනය යි. ඒ යටතේ කාඩ්බෝඩ් නිෂ්පාදන සහ ඇසුරුම් ද්‍රව්‍ය දේශීය සහ විදේශීය වෙළෙඳපොළට නිෂ්පාදනය කෙරෙනවා.

Techno Farm කියන්නේ, වගා කටයුතු සිදු කෙරෙන අපගේ අනෙක් ව්‍යාපාරයයි. ඒ යටතේ තණමල්විල අක්කර 100 ක TJC අඹ පැළ 10,000කින් යුතු අඹ වගාවක් සහ මුරුංගා වගාවක් සිදු කෙරෙනවා. ඒ දෙකම අපනයනය ඉලක්ක කරගෙන කෙරෙන වගා කටයුතු. මේවා සඳහා අප පාවිච්චි කරන්නේ, සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අපගේ ම Techno Green One කාබනික පොහොර යි.

මේ දිනවල මුරුංගා අස්වනු මාසෙකට කිලෝ 5,000කට වඩා ලැබෙන නිසා ඒවා දේශීය වෙළෙඳපොළටත් අප සපයනවා. ලබන වසර වන විට ඒ ප්‍රමාණය කිලෝ 25,000ක් වා වර්ධනය කළ හැකියි.

විශේෂයෙන් කියන්නට ඕනේ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකුහේවගේ මහතා නිතර අපව දිරිමත් කරමින්, මේ කාබනික පොහොර නිෂ්පාදනය කරගෙන යන්නට විශාල ධෛර්යයක් ලබා දෙනවා. එතුමාගේ විශාල කැපවීමක් සහ නියාමනයක් මේ කර්තව්‍යය කෙරෙහි තිබෙනවා. එය, හොඳ කාබනික පොහොරක් රටට ලබා දෙන්නට සියලු නිෂ්පාදකයින් පොළඹවන තත්ත්වයක්. ඒ වගේම, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජාතික පොහොර ලේකම් කාර්යාල ශාඛා දෙකේ නිලධාරිනුත් ඒ හා සමාන සහයෝගයක් අපට ලබා දෙනවා. වෙළෙඳපොළ අඩු වුණත් සද්භාවයෙන් ආරම්භ කළ මේ කර්මාන්තය අත්හරින්න හිතෙන්නේ නැත්තේ ත් ඔවුන් වැනි හොඳ මිනිසුන් නිසයි.

ඒ වගේම මගේ බිරිඳ ගයනි තරූෂා කරුණාරත්න, අපගේ සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා. මගේ පුතා, යෙහෙදු රන්ජුල උයන්වත්ත සහ දියණිය දිසඳි උයන්වත්ත, අප වගේම පරිසරයට ආදරය කරන දරුවන් දෙදෙනෙක්. අප කරන සෑම පරිසර හිතකාමී කාර්යයට ම මේ අය ලබා දෙන සහයෝගය පිළිබඳ මට තිබෙන්නේ විශාල සතුටක්. මම පානදුර අළුබෝමුල්ල ප්‍රාථමික විදුහලයෙන් පසු, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරුණු කෙනෙක්. නමුත්, පරිසර හිතකාමී නිෂ්පාදනවලට ඇති කැමැත්ත නිසා විශ්වවිද්‍යාලයට නොයා මගේ පරිසර හිතකාමී ව්‍යාපාර ආරම්භ කළා. එදා පටන් ගත් ගමන තමයි මේ තවමත් යන්නේ. ඒ ගමනේදී 306 A2 සිංහ දිස්ත්‍රික්කයේ මහවිල අළුබෝමුල්ල සිංහ සමාජයේ, සභාපතිවරයකු ලෙස කලෙක කටයුතු කළා. ඒ වගේම, අදත් ක්‍රියාකාරී සිංහ සාමාජිකයකු ලෙස හැකි උපරිම ආකාරයෙන් සමාජ සේවාවේ යෙදෙනවා. එය සතුටක්.

අපි මුදල් උපයනවා වගේම, උපන් රටටත් යමක් කළ යුතුයි. ඒ නිසා තමයි, සියලු බාධක සහ දුෂ්කරතා මැද මේ කාබනික පොහොර කර්මාන්තය අත් නොහැර ඇදගෙන යන්නේ..."

Comments