සාලිලා සහ රිෂාඩ්ලා | Page 3 | සිළුමිණ

සාලිලා සහ රිෂාඩ්ලා

“අපිට රජයේ නීතියෙන් වැඩක් නැහැ. අපිට ඕන අපේ මුස්ලිම් නීතිය; ශරියා නීතිය; කාති උසාවි. අපි අවුරුදු 70 ගණනක් ජීවත්වුණේ අපේ නීතිය යටතේ. අනෙක් නීති අපිට අදාළ වෙන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළේ ISISත්‍රස්තවාදී නායකයකු නම් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකළේ නම් ගැටලුවක් නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා සහරාන්ව මෙහෙයවපු මෙහොමඩ් නවුෆර් මෙවැනි දෙයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නම් එය ද පුදුමයට කරුණක් නොවේ. රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එකම රටක් එකම ජාතියක් ගැන ප්‍රකාශ කරන විට වෙනම මුස්ලිම් නීතියක් රටට අවශ්‍ය බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිය.

හිටපු ආණ්ඩුකාරවරයෙකු වශයෙන් සිටි පුද්ගලයෙකු මෙවැනි බරපතළ ප්‍රකාශයක් සිදු කරනවා නම් ඔහු බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු සිදුකරද්දී කෙසේ කටයුතු කරන්නට ඇති ද කියා දැන් බරපතළ ප්‍රශ්නයක් මතු වී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි කටයුතු කළේය.

එම පත් කිරීම සිදු කළේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස ද අසාද් සාලිගේ මෙම පත් කිරීම අනුමත කර තිබුණි.

මෙවැනි ප්‍රකාශ අසාත් සාලි ඉතිහාසයේ සිට ම සිදු කර ඇත. එවැනි ප්‍රකාශ සිදුකර තිබියදීත් අසාද් සාලි මෙසේ සුරතල් කරමින් පසුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කළේ ඇයි?

එසේ සුරතල් කළේ අසාද් සාලිලාම පමණක් නොවේ.

විල්පත්තුවේ වන විනාශය ද යහපාලන ආණ්ඩුව කාලයේ දී ජයටම සිදු වූ අතර ඊට වගකිව යුත්තෙකු වූ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව යහපාලන ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

බදියුදීන්ගේ සිත රිදවීමට කිසිදු ආකාරයකින් ක්‍රියා නොකළ යහපාලන ආණ්ඩුව හැම විට ම කටයුතු කළේ රිෂාඩ් බදියුදීන්ව සතුටු කිරිමටය.

රටේ දේශීය ආර්ථිකය, දේශීය කර්මාන්ත නඟා සිටුවීමට අදාළ රාජ්‍ය ආයතන 48 ක්ම රිෂාඩ් බදියුදීන්ට ලබාදීමට පසුගිය යහපාලන ආණ්ඩුව ක්‍රියා කළේ රිෂාඩ් බදියුදීන් සතුටු කිරීමටය.

එදා රිෂාඩ්ට විල්පත්තුව විනාශ කිරීම සම්බන්ධයෙන් එක පිට එක චෝදනා එල්ල වෙද්දී ඒ ගැන වචනයකුදු කතා නොකරමින් රිෂාඩ්ව ආරක්ෂා කිරීමට සජිත් ප්‍රේමදාස සුවිශාල කාර්යභාරයක් සිදුකළ බව රහසක් නොවේ.

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී රිෂාඩ් වෙනුවෙන් මන්නාරමට ගිය සජිත් වේදිකාවේ සිටමින් රිෂාඩ් බදියුදීන්ගේ අතින් අල්ලාගෙන අත් ඔසවමින් රිෂාඩ්ව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේය.

එහෙම කරපු සජිත් දැන් පරිසරය ගැන කතා කරමින් තම පක්ෂය හරිත පක්ෂයක් බව ප්‍රකාශයට පත් කරන විට රිෂාඩ් බදියුදීන් ද සිටින්නේ සජිත්ගේ ම වේදිකාවේ වීම විශේෂත්වකි.

විල්පත්තු වන විනාශය සිදු කිරීම නිසා අධිකරණයෙන් දඬුවම් ලබා සිටින රිෂාඩ් තවමත් අධිකරණ නියෝගයෙන් කියවුණු විල්පත්තුවේ ගස් යළිත් සිටුවීමට කටයුතු කළා ද කියා දන්නේ ඔහුම පමණි.

ඒ නිසා අසාද් සාලිලා, රිෂාඩ් බදියුදීන්ලා, හිස්බුල්ලා සුරතල් කළේ කවුද? එම සුරතලුන්ගෙන් දේශපාලන වාසි ලබාගත්තේ කවුරුන් ද? එම සුරතලු‍න්ට අන්තවාදය පෝෂණය කිරීම සඳහා දේශපාලන රැකවරණය ලබාදුන්නේ කවුරුන් ද? යන කාරණා ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමු විය යුතුය.

ජාතිවාදය, අන්තවාදය වෙනම නීතියක් ගැන කතාකරන අසාද් සාලි පසුගිය කාලය පුරාවට ම නීතියට අභියෝගයක් වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේය.

එම ප්‍රකාශ නොඇසුණු ගණනට පසුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කළේ අසාද් සාලිගෙන් දේශපාලන රැකවරණය ලබා ගැනීමටය.

මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද ටික කෙසේ හෝ ලබා ගැනීමේ දැඩි වුවමනාවක් යහපාලන ආණ්ඩුවේ නායකයන්ට තිබුණි.

අසාද් සාලි සිතුවේ යහපාලන ආණ්ඩුව මෙන් වර්තමාන ආණ්ඩුව ද ඔහුගේ වෙනම නීති කතා අහගෙන නිශ්ශබ්ද ව සිටිනු ඇතැයි කියාය.

අසාද් සාලිගේ මෙම ප්‍රකාශයට එරෙහිව සමාජය තුළින් දැඩි විරෝධයක් එල්ල වූ අතර මුස්ලිම් ජාතික දේශපාලන මෙන් ම ඉස්ලාම් ආගමික නායකයන් කිහිපදෙනෙකු ද ඒ අතර සිටීම විශේෂත්වයකි.

අසාද් සාලිට එරෙහිව පැවැත්වුණු එක් විරෝධතාවක දී විරෝධතා පුවරුවක තිබුණු සඳහනක් මෙහිදී මතකයට නැගේ.

“මේ රටේ විධායක ජනාධිපති ගෝඨා ද? සාලි ද?” යනුවෙන් එම විරෝධතා පුවරුවෙන් ප්‍රශ්න කර තිබුණි.

මොකද රටක නීතිය වෙනස් කළ යුත්තේ රටේ විධායක ජනාධිපතිධුරය විසින් සහ පාර්ලිමේන්තුවේ මැදිහත්වීමෙන්ය.

නමුත් අසාද් සාලි වැනි දැඩි අන්තවාදී දේශපාලනඥයන්ට මෙසේ අන්තවාදය පැතිරවීමට ඉඩ ලබා දුනහොත් සිදුවන්නේ කුමක් ද?

එසේ අන්තවාදය පැතිරවීමට ක්‍රියාකළහොත් සහරාන්ලා, නවුෆර්ලා, ඊබ්‍රහීම්ලා තවත් පැටව් ගසනු ඇත.

අසාද් සාලි වැනි දැඩි අන්තවාදයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම ගැන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තවමත් මුනිවත රකින්නේ ඇයි?

මේ අවස්ථාවේදී අසාත් සාලිට පක්ෂව කතා කළහොත් තමාගේ සිංහල බෞද්ධ ඡන්ද පදනම තවත් පහළට යන බව සමහර විට සජිත් අවබෝධ කරගෙන තිබෙන්නට ඇත.

අසාද් සාලිට එරෙහිව කතා කළහොත් මුස්ලිම් ඡන්ද ප්‍රමාණයට යම් ආකාරයක බලපෑමක් වන බව සජිත් සිතනවා විය හැකිය.

මෙවැනි මුනිවත රැකීම් බොහොමයක් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී සජිත්ගෙන් සුලබව දැකගත හැකි වූ කාරණයකි.

ඔහුට අවශ්‍ය කපටිකමින් සිංහල බෞද්ධ මෙන් ම මුස්ලිම් ඡන්ද පදනම ද ආරක්ෂා කර ගැනීමටය.

නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජීවත්වන බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂයන් මේ රටේ 07 වැනි විධායක ජනාධිපති ලෙස පත්විය.

රටේ බහුතරයකගේ කැමැත්ත අනුව බහුතරයකගේ අභිලාෂයන් ඉටුකිරීම වෙනුවෙන් ආණ්ඩුවක් බලයට පත් වූයේ වසර ගණනාවකට පසුය.

රටේ බහුතරයකගේ කැමැත්ත ලැබුව ද සියලු‍ ජාතීන්ට සහ සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් යටතේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

එම ස්ථාවරය අභියෝගයට ලක් කිරීමට අසාද් සාලිලා වැනි යහපාලන සුරතලු‍න්ට නොහැකිය.

සාලිලා ඇතුළු යහපාලන සුරතලුන්ගෙන් කෙසේ හෝ ගොඩ ඒමට සජිත් පිලට වුවමනා වී තිබේ. රනිල් පිලට ද අවශ්‍යව ඇත්තේ ද එයයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සමගි ජන බලවේගයට ද අවශ්‍ය වී ඇත්තේ සුළු ජාතිකයන්ගෙන් තම ඡන්ද පදනම සුළු ආකාරයකට හෝ වැඩිකර ගැනීමටය.

එම නිසා විපක්ෂයේ මෙම දේශපාලන පක්ෂ සුළු ජාතිකයන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලන බව සුළු ජාතිකයන් ද සැලකිය යුතු ආකාරයකින් දනි.

යහපාලන ආණ්ඩුව සමයේදී නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් ජාතික තරුණයන් කටයුතු කළේ කෙසේ ද? කියා අමුතුවෙන් කිවයුතු නොවේ.

එම ප්‍රදේශවල තරුණයන් බොහෝදුරට යතුරුපැදිවල ගමන් කළේ ආරක්ෂිත හිස් ආවරණ (හෙල්මට්) නොමැතිවයි.

පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් බලා සිටියදීම මෙම මුස්ලිම් ජාතික තරුණයන් යතුරු පැදිවල ගමන් කළේ බොලිවුඩයේ සහ කොලිවුඩයේ චිත්‍රපට දර්ශන සිහිගන්වමිනි.

පොලිස් නිලධාරීන් තඹ ශතයකටවත් ගණන් නොගෙන මෙම මුස්ලිම් ජාතික තරුණ පිරිස් මෙසේ ක්‍රියා කළේ ඇයි?

මෙම තරුණයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවා නම් යහපාලන ආණ්ඩුව රැක ගැනීමට සිටි ඇතැම් මුස්ලිම් ජාතික දේශපාලනඥයන්ගෙන් බලපෑම් එම ආණ්ඩුවට අනිවාර්යෙන් ම එල්ල වන්නේය.

මේ නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් පොලීසියට උපදෙස් ලැබුණේ හෙල්මට් නොමැති මුස්ලිම් තරුණයන් දැක්කත් නොදැක්කා සේ සිටින ලෙසයි.

දැන් ආණ්ඩුවට චෝදනා කරමින් එකම නීතියක් ගැන කතා කරන සමහරුන් එදා යහපාලන ආණ්ඩුව කාලයේදී හෙල්මට් නොමැතිව නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් ජාතික තරුණයන් යතුරුපැදිවලින් ගමන් කරන විට සිටියේ කොහිද?

අසාද් සාලිට ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවෙන් චෝදනා එල්ල වී තිබේ.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි සිදුකර පිරිස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අසාද් සාලි පොලිසියට බලපෑම් සිදුකළ බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි විමර්ශනවලදී හෙළිවී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ 121 වැනි පිටුවේ සිට මෙසේ සඳහන් වේ.

මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ මැදිහත්වීම මෙන් ම වනාතවිල්ලුවේදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙම නිර්දේශය ඉදිරිපත් කරේ.

මොහමඩ් නෆීස් මොහමඩ් නෆ්රිත් සහ මොහොමඩ් නෆීස් මොහමඩ් නවිත් යන සැකකරුවන් දෙදෙනා නිදහස් කිරීම සඳහා පෙනී සිටීමට තමා සම්බන්ධ වූ බව අසාත් සාලි පිළිගත්තේය. ඔහුට අනුව මුස්ලිම් කවුන්සිලයේ හිටපු සභාපති එන්.එම්. අමීන් මේ සම්බන්ධයෙන් ඔහු සමඟ කතා කර තිබේ. 2019 ජනවාරි 23 වැනි දින ආරක්ෂක ලේකම් සමඟ රැස්වීමක් පවත්වා ඇති අතර, එම ප්‍රශ්නය අධ්‍යක්ෂ සී. අයි. ඩී. ශානි අබේසේකර වෙත යොමු කළවිට ඔහු පවසා සිටියේ “ඒ ගැන දැන් කතා කරන්න එපා, විමර්ශනය කරලා අවසන් වෙන්න ඕන” යනුවෙනි. කෙසේ වෙතත්, ඉහත දක්වා ඇති පරිදි, අතිගරු ජනාධිපතිතුමාගේ 2019 අප්‍රේල් 9වැනි දිනැති නියෝගය පරිදි එම සැකකරුවන් දෙදෙනාගේ මැදිහත්වීම පිළිබඳව පරීක්ෂණ කඩිනම් කර ඇත.

මාවනැල්ල සිද්ධිය පිළිබඳ විමර්ශනවලට ඔහුගේ මැදිහත්වීම පිළිබඳව අසාද් සාලිගේ ස්ථාවරය වූයේ උක්ත සිදුවීම පිළිබඳව ඔහුට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් ඔහුට ඒ දුරකථන ඇමතුම් ලැබුණු දින නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට නොහැකි බවත්ය.

පසුව අසාද් සාලි විසින් තාසිම් මවුලවි අමතා තත්ත්වය විමසූ විට මාවනැල්ලේ කිසියම් සිදුවීමක් සිදුවී ඇති බවට දෙවැන්නා පිළිතුරු දී ඇත. සිද්ධියේ ස්වභාවය තාසීම් මවුලවි ඒ වන විටත් නොදැන සිටි බවත් තාසිම් මවුලවි ඒ වන විට සිද්ධිය පිළිබඳව සෙවීමට මාවනැල්ල බලා ගමන් කරමින් සිටි බවත් බවත් ප්‍රකාශ කළේය.

අසාද් සාලි ඔහු පළමුවෙන්ම තාසීම් මවුලවි ඇමතූ දිනය මතක් කිරීමට අපොහොසත් වූයේ ය. කෙසේ වෙතත් තාසිම් මවුලවි විසින් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් තොරතුරු රැස්කර එය අසාද් සාලි වෙත ලබාදී ඇති අතර, ඔහු විසින් වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අමතා රැස්වීමක් ඉල්ලා සිටි අතර එය ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් යන අය සහභාගි වූහ.

මෙම රැස්වීම ආරක්ෂක ලේකම් කාර්යාලයේ දී 2019 ජනවාරි 3 වැනි දින පමණ පැවැත්විණි. මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වූ කරුණු පිළිබඳව පොලිස්පතිවයා රැස්ව සිටි පිරිස දැනුම්වත් කර ඇති අතර සැඟවුණු සැකකරුවන් දෙදෙනාගේ පියා විසින් සිය පුතුන්ට පොලිසියට භාර වෙන මෙන් ආයාචනා කරමින් වට්ස්ඇප් වෙත හඬපටයක් නිකුත් කර ඇති බව ද තාසිම් මවුලවි ප්‍රකාශ කර තිබේ. අවශ්‍යනම් තමාට අදාළ ප්‍රදේශයේ පල්ලිය සමඟ සම්බන්ධීකරණය කර සැකකරුවන්ගේ පියා සම්බන්ධීකරණය කළ හැකි බව තාසිම් මවුලවි ප්‍රකාශ කර ඇති අතර එය අනවශ්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අදාළ අවස්ථාවට සහභාගි වූ නියෝජිතන් ප්‍රකාශ කර තිබේ. මේ අතර පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් අමතා අසාද් සාලිගේ ජංගම දුරකථන අංකය ලබා දී ඇති අතර අවශ්‍යතාවයක් ඇත්නම් ඇමතීමට සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් දුරකථන අංකය සාක්ෂිකරු සමඟ බෙදා ගත්තේ ය.

තාසිම් මවුලවිගේ දුරකථන අංකයට වඩා පොලිස්පතිවරයා තම දුරකථන අංකය සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් වෙත ලබාදීමට හේතුව ලෙස අසාද් සාලි පෙන්වා දෙන ලද්දේ අවශ්‍ය නම් ඔහුට සමස්ත ලංකා තවුහිද් ජමාත් හා මුස්ලිම් කවුන්සිලය සම්බන්ධීකරණය කළ හැකි පුද්ගලයෙකු වන නිසාත් මෙවැනි බොහෝ අවස්ථාවන්හි මුල පිරීම තමන් විසින් සිදුකර ඇති නිසාවෙන් වන බවත්ය. තාසිම් මවුලවී මාර්ගයෙන් මාවනැල්ලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් බාරදීමේ අපේක්ෂාව තමන් විසින් පොලිස්පතිවරයා හරහා ප්‍රකාශ කළ බවට සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන්ගේ ස්ථාවරය අසාද් සාලි ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂිවලට අනුව, 2019 ජනවාරි 03වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමට පෙර 2018 දෙසැම්බර් 29වන දින අසාද් සාලි පොලිස්පතිවරයාට දුරකථනයෙන් අමතා තිබේ. පොලිස්පතිවරයා ලබාදුන් සාක්ෂිවලට අනුව මාවනැල්ල සිද්ධියට අදාළ සැකකරුවන් (සහෝදරයන්) දෙදෙනාව වෙනත් පුද්ගලයෙකුගේ, බොහෝදුරට තාසිම් මවුලවිගේ මැදිහත්වීම මත භාරදීම සම්බන්ධීකරණය කිරීමට තමන්ට හැකි බව පොලිස්පතිවරයාට දන්වා ඇත. අසාද් සාලි වෙත පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබා දුන්න ද පොලිස්පතිවරයාගේ මෙම ස්ථාවරය අභියෝගයට ලක් නොකළේය. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඔහු අසාද් සාලිට කතා කළ බව සාක්ෂි දුන් සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන්ගේ සාක්ෂි මඟින් තහවුරු වීම මත මෙම ස්ථාවරය සනාථ වේ. මාවනැල්ල සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සහෝදරයන් දෙදෙනා තාසිම් මවුලවි විසින් ගෙන එනු ලබන බවත් දිවා කාලයේ දී ඔවුන් භාරදෙන බවත් අසාද් සාලි ඔහු වෙත දැනුම් දුන්නේය.

අසාද් සාලි පොරොන්දු වූ පරිදි සැකකරුවන් එවැනි යටත් වීමක් සිදුනොවූ බව පරීක්ෂණ කොමිෂන් සභා වෙත ඉදිරිපත් වූ සාක්ෂි අනුව තහවුරු වේ. 2018 දෙසැම්බර් 31වැනි දින නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති රැස්වීමක දී සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් විසින් නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ උපදෙස් මත අසාද් සාලි මහතා අමතා සැකකරුවන් යටත්වීම සිදුනොවීමට හේතුව විමසීය. එම සංවාදය පහත පරිදිය.

සහකාර පොලිස් අධිකාරි තෙන්නකෝන් : අසාද් සාලි මහතා අර ඉදිරිපත් කරනවා කිව්ව ්ජජමිැා ලා ඉදිරිපත් කළේ නෑනෙ.

අසාද් සාලි : ආ තාම ඉදිරිපත් කළේ නැද්ද? පොඩ්ඩක් ඉන්නකො

සාලි ඒ පිළිබඳව මවිතය පළ කර බවක් මින් හැඟවේ.

යටත් වීම සිදු නොවීම ගැන සාලි පුදුමයට පත් වූ අතර පසුව මෙම දුරකථන ඇමතුම සම්මන්ත්‍රක ඇමතුම් මාදිලියේ (Conference call) තබා ගනිමින් වෙනත් අයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළේය. සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් පසුව ඇමතුම විසන්ධි කර ඇත. මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් දෙදෙනා යටත් වීමට තැත් කිරීමේ දී අසාද් සාලිගේ මැදිහත්වීම පිළිබඳව සොයා බැලීමේ දී, ඔහු 2018 දෙසැම්බර් 26වන දින දුම්මලසූරිය පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව සඳහන් කිරීම සුදුසුය. මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසුරිය පොලිසිය විසින් මොහොමඩ් අන්සාර්දින් ඉල්මි, මොහොමඩ් මන්සූර් මොහොමඩ් සොනාස්ඩින් සහ මොහොමඩ් අමීර් මොහමදු අයතුල්ලා යන අය උක්ත සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තමන් දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් බව අසාද් සාලිට මතක නැති බව ප්‍රකාශ විණි.

දුම්මලසූරිය පොලිසිය එවකට පොලිස් ස්ථානාධිපතිවරයාගේ සාක්ෂි වූයේ 2018 දෙසැම්බර් 26වන දින පෙරවරු 11.06 ට අසාද් සාලිගෙන් ඔහුට ඇමතුමක් ලැබුණු බවය. දුරකථන ඇමතුම තත්පර 13 ක් පැවතුන අතර අසාද් සාලි විසින් මෙම ඇමතුමේදී සිදුවීම පිළිබඳව විමසා ඇති අතර, සාක්ෂිකරු පිළිතුරු දී ඇත්තේ සිද්ධිය කෙටියෙන් විස්තර කිරීමෙනි. 2018 දෙසැම්බර් 26වන දින පෙරවරු 11.07 ට ඔහුගේ නිල ජංගම දුරකථන අංක 0718591272 මඟින් අසාද් සාලිගෙන් ඔහුට දෙවන දුරකථන ඇමතුමක් ලැබී තිබේ. තත්පර 83 ක් පැවති එම දුරකථන ඇමතුමෙන් ද අසාද් සාලි සිද්ධිය සම්බන්ධයෙන් යළිත් අවධානාත්මකව විමසීම් කර ඇති අතර පොලිසිය විසින් පවත්වනු ලබන විමර්ශනවල ස්වභාවය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. සාක්ෂිකරු විමර්ශනවල ස්වභාවයෙන් විස්තර කර ඇති අතර සිද්ධිය පිටුපස සිටින සැකකරුවන් හඳුනාගැනීමට පියවර ගෙන ඇති බව ද ප්‍රකාශ කළේය. අසාද් සාලි විමර්ශන කෙරෙහි දක්වන උනන්දුව විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිසියට පෙලඹවීමක් ලෙස තමා වටහාගත් බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඇතැම් පොලිස් නිලධාරීන් අසාද් සාලිගේ මෙම මැදිහත්වීම පොලිසිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග දැන ගැනීමට සහ ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීමට උත්සාහ කිරීමක් ලෙස සැලකූ බවට සාක්ෂි තිබේ.

දේශපාලනඥයකු වන අසාද් සාලි ඉහත සඳහන් කළ අවස්ථාවන්ට මැදිහත් නොවිය යුතුව තිබූ බව පරීක්ෂණ කොමිසමේ මතයයි. මෙවැනි ක්‍රියා පොලිසියේ ස්වාධීන විමර්ශනවලට බාධා වන බැවින් එවැනි ක්‍රියා සාපරාධී ක්‍රියාවන් බවට පත් කිරීම මඟින් දේශපාලඥයන්ගෙන් මැදිහත් වීම් අධෛර්යමත් කළ යුතුය.

ඉෂ්ෂාන් මියුනීදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට සිදු කළ මැදිහත්වීම හේතුවෙන් ඉහත තර්කය තවදුරටත් ශක්තිමත් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් නියෝජිතයෙක් විසින් පොලිස් පරීක්ෂණ සහ අත්අඩංගුවේ හෝ රඳවාගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් කෙරෙන ඕනෑම මැදිහත්වීමක් සාපරාධී ක්‍රියාවන් බවට ප්‍රකාශයට පත් කරමින් එවැනි ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස හඳුන්වාදීමට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.

මාවනැල්ල සහ වනාතවිල්ලු‍ව සිදුවීම් සම්බන්ධයෙන් ඉහත දක්වා ඇති නිගමනයට එළඹීම කෙරෙහි පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් වූ වාචික හා ලේඛනමය සාක්ෂි මඟින් ලබාගත් සාක්ෂි මෙන්ම විමර්ශකයන්ගේ සාක්ෂි ද දායක කරගෙන ඇත.

අසාත් සාලිගේ පිළිතුරුවලින් ඔහුගේ කෙරුවාව ගැන අවබෝධ කරගැනීම අපහසු නොවේ.

2019 වසරේ මාර්තු මාසයේ 06 වැනිදා සහරාන් තබා තිබූ සටහනකින් කියැවුණේ වහබ්වාදයේ මූලික අරමුණ මුස්ලිම් නොවන පිරිස් මරා දැමිය යුතුයි යනුවෙනි.

අසාද් සාලිලා වැනි අය සිදුකරන ප්‍රකාශ මඟින් මුස්ලිම් ජන සමාජය තුළ ගැටලු රාශියක් මතුවීම වැළැක්විය නොහැකිය.

එකම රටක එකම නීතියක් යටතේ ජීවත්වීමට මේ රටේ බහුතරයක් මුස්ලිම් ජනතාවට ද අවශ්‍යතාවක් තිබියදී එය වැළැක්වීමට අසාද් සාලිලා වැන්නවුන් කටයුතු කරද්දී ඔවුන් තවදුරටත් සුරතල් කිරීම තේරුමක් නැත.

යහපාලන ආණ්ඩුව කාලයේ දී සිදුවූයේ අසාද් සාලිලා සුරතල් කිරීමයි. නමුත් විමර්ශනවලට අනුව අසාද් සාලි අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරයි. තවත් අසාද් සාලිලා ඇති බව ද ආණ්ඩුවට මතක් කර දිය යුතුය.

මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් මුස්ලිම් නායකයන් රැසක් කටයුතු කර ඇත. තමාගේ බලය රැකගැනීම සඳහා 1989 දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ්ට ප්‍රතිශතය වැඩිකොට ලබාදුන් සමානුපාතික නියෝජනය නිසා සුළු පක්ෂවලට කේවල් කිරීමේ වැඩි හැකියාවක් ලබා දීම ද මෙම ජාතිවාදී අදහස්වලට තවත් රුකුලක් විය.

එකම රටක එකම නීතියක් ඇති කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගන්නා උත්සාහය දෙස රටම බලා සිටි.

Comments