ආසි­යා ශාන්තිකර හොඳම මුදල් ඇමැති රවී බැඳු­ම්කර වංචා­වට රිමාන්ඩ් | Page 2 | සිළුමිණ

ආසි­යා ශාන්තිකර හොඳම මුදල් ඇමැති රවී බැඳු­ම්කර වංචා­වට රිමාන්ඩ්

හපාලන රජයේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා 2016 සිදුකරනු ලැබූ බව කියන බැඳුම්කර වංචාවට 23 වැනිදා තෙක් රිමාන්ඩ් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මොහු අපේ හිටපු මුදල් ඇමැති පමණක් නොව 2017 දි ආසියා ෆැසි‍ෆික් කලාපයේම හොඳම මුදල් ඇමැති ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අපේ රටේ මුදල් ඇමැතිවරයා වීමයි. රවී කරුණානායකට එම සම්මානය පිරිනමා ඇත්තේ 'ද බෑන්කර්' නම් සඟරාව විසිනි. එහිදී අධ්‍යනය කර ඇත්තේ පවතින තත්ත්වය කළමනාකරණය කර රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ගයි.

දැනට නිරෝධායනයේ සිටින රවින්ද්‍ර එස්. කරුණානායක උපත ලබා ඇත්තේ 1963 පෙබරවාරි 19 වැනිදාය. 2001, 2015, 2017, 2018 වසරවලදි ඔහු වෙළෙඳ, මුදල්, විදේශ හා විදුලිබල ඇමැති ලෙස කටයුතු කර තිබේ.

හිටපු ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සමීපතමයකු ලෙස දේශපාලනයට පිවිසි රවි කරුණානායක මහතා මුලින්ම පාර්ලිමේන්තුවට පත්වී ඇත්තේ 1999 දීය. ඔහුගේ මවුපියන් වන්නේ තිස්ස අනුරුද්ධ මහානාම කරුණානායක හා කාමලිකා කරුණානායකය. රවි දරු තිදෙනෙකුගේ පියෙකි. වෘත්තියෙන් විශේෂ වරලත් ගණකාධිකාරිවරයකු වූ රවි කාලයක් එජාපයේ ජනප්‍රිය දේශපාලනඥයෙකි. 1999 මහ මැතිවරණයේදි ඔහු එජාපයෙන් මනාප 425,000ක් ලබා යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය. කලක් එජාප උපසභාපති ධුරයක් ද හෙබවූ ඔහු 2019 යහපාලන රජයේ මුදල් ඇමැති ලෙස කටයුතු කරමින් 2016 මාර්තු මාසයේ සිදු කළ මහබැංකු බැඳුම්කර මගඩියේ ප්‍රථම බැඳුම්කර වෙන්දේසියේ රුපියල් කෝටි 3698ක් පාඩු කළ බවට නීතිපතිවරයා කළ පැමිණිල්ල අනුව රවි කරුණානායක රිමාන්ඩ් කර ඇත.

2016 මාර්තු 29 මාසයේදි සිදුවූ නඩුවට අදාළ දෙවැනි මහබැංකු බැඳුම්කර වෙන්දේසියේදි පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට අඩු මිලට බැඳුම්කර ලබාදීමට උදව් කිරීම මගින් රුපියල් කෝටි 3698ක් ජාතික ආර්ථිකයට පාඩු කරනු ලැබූ බවට රවි කරුණානායක මහතාට අධි චෝදනා බාරදී තිබේ. මේ පිළිබඳව නඩුව 17 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 8 දෙනකුට මේ බැඳුම්කර වංචාවට අදාළව අධි චෝදනා 32ක් යටතේ නඩු පවරා තිබිණි.

මෙම බැඳුම්කර වංචාව පිළිබඳ මීට පෙර කළ කොමිෂන් වලදි මේ බැඳුම්කර මිලදී ගත් සමාගම මගින් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට නිවසක් ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවට ද චෝදනාවක් ඇත. මේ නඩුව පසුගිය 17 වැනිදා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා විජයසුන්දර මහත්මිය ද පැවසුවේ පර්ටෂුවල් ට්‍රෙෂරිස් අධිපති අර්ජුන ඇලෝසියස් වෙතින් නිවස ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවයි.

ඒ අනුව ඔවුන් අතර රාජකාරියට වඩා එහා ගිය සම්බන්ධයක් තිබෙන බවත් රටේ මුදල් පිළිබඳ තීරණ ගන්නා පුද්ගලයකු වීම, රටේ මුදල් අවභාවිතය, මහජන කැලඹීමක් ඇතිවීම හා සමස්ත ශ්‍රී ලාංකික ආර්ථිකයට හා සමාජයට බලපාන වරදවල් රවි කරුණානායක ඇතුළු පිරිස කර ඇති බවත් මේ නිසා ඔවුන්ට ඇප දීමට තමා විරුද්ධ වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පවසා තිබේ.

මෙම විත්තිකරුවන් දෙදෙනා ආර්ථිකය පරිපාලනය කරන ප්‍රධාන පුද්ගලයන් දෙදෙනකු වන අතර ඔවුන් මහජන විශ්වාසය උපරිමයෙන් දිනාගෙන කටයුතු කළ යුතු අය බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. එහෙත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබෙන ආකාරය පිරික්සීමේදී ඔවුන් මහජන විශ්වාසය අපගමනය වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඇය ‍චෝදනා කර සිටියාය.

මෙම අපරාධය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වූ බවත් ඒ හේතුවෙන් රටේ පොලී අනුපාතය ඉහළ ගිය බවත් සඳහන් කළාය. මේ හේතුවෙන් විශාල මහජන කැලඹීමක් හටගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම මහජන කැලඹීම වර්තමානයේත් පවතින බවත් මෙම අපරාධයට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන ලෙස මහජනයා දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බවත් හරිප්‍රියා ජයසුන්දර සඳහන් කළාය.

17 වැනිදා කැඳවනු ලැබූ නඩුවට අදාළව රවි කරුණානායක ඇතුළු තවත් 8 දෙනෙකුට මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර ඇත.

ඒ අනුව නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන ඇලෝසියස්, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, එම සමාගමේ විධායක අධ්‍යක්ෂවරයකු වන කසුන් පලිසේන, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින් වන එස්. පදුමනාභන් සහ ඉන්දික සමන් කුමාර යන අයද 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට 17 වැනිදා නියම කෙරුණි.

අධිකරණ තොරතුරු අනුව මෙම බැඳුම්කර වංචා තුනක් නිසා රටට සිදුවී ඇති මුළු පාඩුව රුපියල් කෝටි 5266ක් බව නීතිපතිවරයා පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.

මේ අතර වංචාවට සම්බන්ධ තුන්වැනි විත්තිකරුවූ හිටපු මහබැංකු අධ්‍යක්ෂ අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දන්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය දැනුම්දී ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මිට පෙර අධිකරණයට දැනුම් දී ඇත.

ඊට අමතරව දැනට මලයාසියාවේ සැඟව සිටින ගාරදිය පුංචිහේවා නම් විත්තිකරුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් එම සිතාසි නිකුත් කරන ලෙසද ගරු අධිකරණය නියෝග කළේය. චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මේ නියෝගය කළේ පසුගිය 18 වැනිදා බැඳුම්කර වංචාවේ පළමු බැඳුම්කර නිකුතුව පිළිබඳව නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීමක් අනුව මේ සිතාසිය නිකුත් කළ අතර දැනට අර්ජුන් මහේන්ද්‍රන් විත්තිකරු ගෙන්වා ගැනීමට රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිංගප්පූරුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ අනාවරණය කළාය.

පළමු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 10.08ක් වටිනා බැඳුම්කර බැහැර කිරීමට අදාළව රුපියල් මිලියන 688ක් වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව පවරා ඇති බැඳුම්කර වංචාවට අදාළ මේ පළමු නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් නව චෝදනාවක් ඊට එක් කරන බව පැවසූ ජයසුන්දර මහත්මිය එම චෝදනාව ඉදිරියේදී අධිකරණයට ගොසු කරන බව කීවාය. ඒ පළමු නඩුවට අදාළව මේ වන විට විත්තිකරුවන්ට චෝදනා 23ක් ඉදිරිපත් කර ඇත.

මේ නඩුව නැවත මැයි මස 05 වැනිදා කැඳවීමට නියමිතය.

මහ බැංකුව 2016 මාර්තු 31 දින කළ බැඳුම්කර නිකුතුවෙන් රජයට රුපියල් කෝටි 1500 කට අධික පාඩුවක් කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව නීතිපතිවරයා පවරා තෙවැනි නඩුව සිකුරාදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවිණි නියමිතව තිබිණි. මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ හා මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එම නඩුව කැඳවනු ලැබූ අතර එය ජනවාරි 25වැනිදාට කල්ගිය බව අපේ උසාවි වාර්තාකරු කියයි.

අධිකරණයෙන් පවරා තිබෙන නඩුවලට අදාළව අධිකරණයෙන් ලැබෙන තොරතුරු අනුව 2015 පෙබරවාරි හා මාර්තු මාසවල සිදුකළ මහබැංකු බැඳුම්කර මගඩිය නිසා අපේ රටට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 5266කි.

මෙයට අදාළ ප්‍රථම බැඳුම්කර වෙන්දේසිය 2015 පෙබරවාරි 27 සිදුවී තිබේ. ඉන් රටට සිදුවී ඇති පාඩුව කෝටි 98ක් බව පැමිණිල්ල කියයි. ඊට පසු 2016 මාර්තු 29 දින බැඳුම්කර වෙන්දේසියෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 3198ක් බවද 2016 මාර්තු 31 සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ පාඩුව රුපියල් කෝටි 1568ක් බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මේ අනුව මෙම බැඳුම්කර වංචාවට අදාළ නඩු කිහිපයක් දැන් අධිකරණවල දිගටම විභාග වෙමින් පවතී.

2018 ඔක්තෝබර් මාසයේදී සිදුවූ දේශපාලන පරිවර්තන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ ආර්ථික විශේෂඥයන්ගේ ගවේෂණ අනුව බැඳුම්කර මගඩිය නිසා රටේ ජනතාවට රටේ ආර්ථිකයට මූල්‍ය ක්ෂේත්‍රයට සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 1000ක් (රුපියල් කෝටි ලක්ෂයක්) බවයි. එබැවින් මෙම නඩුවල තීරණ පිළිබඳව රටේ ජනතාව ඇස් දල්වා බලා සිටින බව කිව යුතුය.

Comments