සිළුමිණෙන් ප්‍රශ්න පහක් | Page 2 | සිළුමිණ

සිළුමිණෙන් ප්‍රශ්න පහක්

1. දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන කොමිසමක් අවශ්‍යද නැද්ද?

2. සීනි මිල අඩු කිරීමේ  වාසිය හෝ අවාසිය කාටද?

3. බස්නාහිර පළාත් පාසල්  විවෘත කිරීම සුදුසුද නැද්ද?

4. වාහන ආනයනයේදී කෝටා ක්‍රමය අනුගමනය කිරීම සුදුසුද නුසුදුසුද?

5. අන්තවාදින්ගේ පොත් තහනම් කිරීම සුදුසුද නුසුදුසුද?

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඒ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමඟ දේශපාලන කරලියේ වඩාත් උණුසුම් කතා බහට ලක්වූයේ මේ වාර්තාව පිළිබඳවයි. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් නොයෙක් අදහස් දක්වන්නට විය. දේශපාලන පලිගැනීම් පිළිබඳව කරුණු සෙවූ එම ජනාධිපති කොමිෂන් සභාවේ සහ රජයේ ආයතනවල 2015 සිට 2018 දක්වා කාලය තුළ සිදු වූ දුෂණ වංචා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ එම ජනාධිපති කොමිසන් සභාවේ නිර්දේශ බලරහිත කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු ඇත.

ඒ අතර පසුගිය සතියේ දේශපාලන කතිකා අතර මෙරටට ආනයනය කරන ලද සීනි ආනයනයේදී කෝටි 1600ක පාඩුවක් කතාබහක් ඇතිවිය. ඒ පිළිබඳව විවිධ පාර්ශ්ව නොයෙක් අදහස් දරති. එහි වාසිය ආනයන කරුවන්ට බවත් ඇතැමුන් සඳහන් කරන අතර ඇතැමුන් රජය පාර්ශ්වයට අත දිඟු කරයි. තවද වසරකට ආසන්න කාලයක් විධිමත්ව නොපැවැත්වූ බස්නාහිර පළාත් පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන්ද ජනතාව අතර නැවත වරක් නොයෙක් අදහස් පැතිර යයි. එහෙත් එහි නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය බව බොහෝ අයගේ අදහසයි.

එමෙන්ම වාහන මෙරටට ගෙන්වීමට සුදානමක් ගැන ද මේ අතර අදහස් හුවමාරු වෙයි. ඉදිරියේ දී වාහන ගෙන්වීම කෝටා ක්‍රමයට සිදු කෙරෙන බවද පැවසේ. ඒ සම්බන්ධයෙන්ද වාහන ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගිය දිනවල පැවැත්විණි.

තවද අන්තවාදීන්ගේ පොත්පත් ගෙන්වීම පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් අදහස් දරයි. ඒ අයගේ අන්තවාදී පොත් තහනම් කළයුතු ද නැතිද? යන්න පිළිබඳව නොයෙක් මතවාද පවතී.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නන් ලෙස අන්තවාදය හෙළා දැකිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ හතුරා ත්‍රස්තවාදය සහ අන්තවාදය බවත් ඇතැමුන්ගේ අදහසයි. පසුගිය සතියේ මෙරට දේශපාලනික වාද විවාද අතර වඩා සාකච්ජාවට ලක් වූ මෙම කරුණු පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ අදහස් මේ සාකච්ඡාවලින් පළ වෙයි.


විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

1.දේශපාලන පළිගැනීම් සඳහා කොමිෂන් සභාවක් හෝ කිසියම් සභාවක් කවුරු හෝ මොනයම් රටක හෝ ආණ්ඩුවක් පක්ෂයක් පිහිටුවනවා නම් ඒ සංකල්පය ඇතුළේම වරදක් සිදුව තිබෙනවා. දේශපාලන පළිගැනීම් සඳහා කොමිෂන් සභා පත්කරනවා කියන්නේම වරදක්. එයට හේතුව දේශපාලන පළිගැනීම කියන කාරණාව වරදක් නිසයි. ඒ නිසා එවැනි වැරදි ක්‍රියාවක දෙවැනි භාගයක් ගැන කතා කළ යුතුම නැහැ.

2.සීනි මිල සම්බන්ධයෙන් මම හිතනවා අදාළ ඇමැතිවරයා ලබන සතියේ වන විට නිල පැහැදිලි කිරීමක් සිදුකරයි කියා. බොහෝ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය ඇතුළත මතුවන සියලු තොරතුරු සත්‍යම නොවෙයි. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයක් ඇතිවුණාම වගකීමෙන් අධ්‍යයනය කර කතා කිරීමයි වැදගත් වන්නේ.

3.බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එය අධ්‍යාපන ඇමැතිවරයා හෝ අමාත්‍යාංශයේ පෞද්ගලික තීන්දුවක් නෙවෙයි. එය සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සිදුවන්නක්. ලෝකයේ කොවිඩ් වසංගතය පැතිරීමෙන් අනතුරුව අපේ රටට එහි බලපෑම සිදුවු පළමු වතාවේදීම එවකට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස මම පාසල් වසා දැමීමට තීන්දු කළා. බස්නාහිර පළාතේ මේ වනවිට එන්නත් කිරීම් කටයුතු සිදු කර තිබෙනවා. ඒ වගේම බොහෝ දුරට තත්ත්වය මර්දනය වෙලා තියනවා. දරුවන්ගේ අධ්‍යපන කටයුතු දිගින් දිගටම අඩාළ කරගන්න බැහැ. නමුත් ඒ තීන්දුව ගන්නේ අධ්‍යපන ඇමැතිවරයා නොවෙයි, සෞඛ්‍ය අංශයි. සෞඛ්‍ය අංශ කියනවා නම් මෙය අනතුරු දායක හෝ නැහැ, මේ හරහා පැතිර යාමට ඉඩක් නැහැ කියලා , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ තීන්දුවට යටත්ව තමයි අධ්‍යපාන අමාත්‍යාංශය මේ තීන්දු අරගෙන තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය වැරදි තීන්දුවක් ගනී කියලා මම කොහොමටත් විශ්වාස කරන්නේ නැහැ. මේ වන විට වසංගතය සමඟ අපි වසරක කාලයක් ගතකර තිබෙනවා. ඒ කාලය තුළ බොහෝ දේ පරිණාමය වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකී සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසුව මේ නිගමනයට පැමිණෙන්නට ඇති. ඒ නිසා බියක් ඇතිවීමට ඉඩක් නැහැ.

4.වාහන ආනයනය කරන්නන්ගේ සංගමය පවසන්නේ ඒ තීරණයට ඒ අයගේ එකඟතාවක් නැති බවයි. ඒ නිසා මෙය දෝලනය වෙන තත්ත්වයක තියෙන්නේ. මේ මොහොත වන විට එහි ස්ථාවරය පිළිබඳව කියන්න බැහැ. මේ වෙලාවේ තීන්දු තීරණ ගත යුතු වන්නේ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට අරගෙනයි. රුපියල අවප්‍රමාණය නොවන ආකාරයේ තීන්දු තීරණයි මේ අවස්ථාවේ අප ගතයුතු වන්නේ.

5.අන්තවාදින්ගේ පොත් පමණක් නොවෙයි සියලු දේවල් තහනම් කළ යුතුයි. අන්තවාදි හෝ ත්‍රස්තවාදි ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නන් ඇතුළේ කිසිදු ඉඩක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ පරම මිතුරා වන්නේ ඡන්දයයි. එම ප්‍රජාතන්ත්‍රවාදයේම පරම හතුරා ත්‍රස්තවාදය සහ අන්තවාදයයි. ඒ නිසා කුමන හිසකින් කුමන මුහුණුවරකින් ආවත් මතු වුවත් අප එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ත්‍රස්තවාදය පැරණි හෝ අලුත් විය හැකි වුවත් ඒ කුමන ත්‍රස්තවාදයක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජයක ත්‍රස්තවාදයට ඉඩක් තිබිය නොහැකියි. ගිනි අවිය ඇතුළේද පොත ඇතුළේද යන දේ නොවෙයි වැදගත් වෙන්නේ.

 


ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක

1.රටේ සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කර ගැනීම් සඳහා වෙනත් ආයතන නැති නම් ඒවගේ දේශපාලන පළිගැනිම් කොමිෂන් පත් කළාට කමක් නැහැ. ආණ්ඩුවට හිතෛෂීන් සහ මන්ත්‍රීවරුන්ට අසාධාරණකම් සිදුවුණා කියලා ආණ්ඩුව කොමිෂන් දානවා නම් එය විහිළුවක්. ඒ වගේ කොමිෂන් සභාවලට කියන්නේ කැකිල්ලේ කොමිෂන් සභා. එය විහිළුවක් විදිහටයි අපි දකින්නේ. පළිගැනීමක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියේ තිබෙන නීති ප්‍රමාණවත්. පවුලේ අයට සහ ඥාතීන්ට අවශ්‍ය දේවල් සිදු කිරීමට කැමැති කැමැති අය දාගෙන කොමිෂන් සභා පත් කළාට ඒවා කොමිෂන් සභා වෙන්නේ නැහැ. මේ කොමිෂමට කරුණු ඉදිරිපත් කළ අයගෙන් පේනවා ඒ සඳහා කරුණු ඉදිරිපත් කර තියෙන්නේ අදාළ පවුල්වල උදවිය බව. එයින් පැහැදිලි වෙන්නේ දේශපාලන ප්‍රභූන් නිදහස් කිරිමටයි මෙය සිදු කරන්නේ. මෙහි ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අප දකින්නේ නැහැ.

2. සීනි මිල නොවෙයි කොයි දේ වුණත් එහි අවසාන ප්‍රතිඵලය විඳින්න වෙන්නේ ජනතාවට. අනික් කාරණාව සීනි මිල අඩුවෙලා නැහැ. සීනි මිල අඩු කරනවා කියලා බදු වංචා කරලා කෝටි එක්දහස් පන්සීයක් පාඩුවීමේ පාඩුවත් ජනතාවටයි. වාසිය ඒ දුෂිත භාවයන් කරන ආණ්ඩුවේ ලොක්කන්ට සහ සිනි ගෙන්වන ලද මුදලාලිලාටයි. සීනි ආනයනයේදී බදු වංචාවක් සිදු වී තිබෙනවා. ආණ්ඩුවේ බලධාරියෙක් කියනවා බදු අඩු වැඩි වෙන කොට එක එක්කෙනාට වාසි අවාසි වෙනවා කියලා ඒ ආණ්ඩුවේ අය දන්නේ නැහැ කියලා. බදු අඩු වැඩි වෙනකොට රාජ්‍ය ආදායම අහිමි වෙන බව දන්නේ නැති නම් එවැනි ආණ්ඩුවක් මොකටද ? තමන්ට උදවු උපකාර කළ අයට වාසි ලබාදෙන්නයි ආණ්ඩුව මේ දෙවල් කරන්නේ. එහි පාඩුව රටටයි ජනතාවටයි. ඒත් මේ දේවල්වල පාඩු ගෙවන්න ඕන අදාළ නිළධාරින් සහ මුදලාලිලා.

3.පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අපිට පිළිතුරු දිය නොහැකියි. එය සෞඛ්‍ය විශේෂඥයන් තීන්දු කළ යුතු දෙයක් මිස දේශපාලනඥයන් තීන්දු තීරණ ගත යුතු දෙයක් නොවෙයි. අපි කියන්නේ දරුවන්ට රූපවාහිනියෙන් උගන්වන්න. එසේ නොමැතිනම් අන්තර්ජාල පහසුකම්, මාර්ගගත අධ්‍යපන ක්‍රමය සඳහා ලබා දෙන්න කියලා. රූපවාහිනි අද වන විට සියලු ගෙවල්වල තියනවා, ඒ මඟින් අධ්‍යපනය කිරීමට බොහෝ අයට පුළුවන්. ඒ ඒ ප්‍ර‌ෙද්ශවල සෞඛ්‍ය බලධාරින් විසින් දරුවන්ට පාසල් විවෘත කිරීම සුදුසුද නැද්ද තීරණය කරයි. පාසල් විවෘත කිරිම හොඳයි. අවුරුද්දක් විතර නිවෙස්වල දරුවෝ හිටියා. ඒ නිසා උපරිම ආරක්ෂාව ඇතිව පාසල් පටන් ගැනීම සුදුසුයි. ඒ සඳහා පළාතේ සෞඛ්‍ය බලධාරින් අවසර ලබාදිය යුතුයි. පාසල් විවෘත කරන්නට නොහැකි නම් කළ යුතු වන්නේ අන්තර්ජාල පහසුකම් ලබාදීමයි. පාසල් නඩත්තු කටයුතුවලට අති විශාල මුදලක් ඉතිරිවෙලා තිබෙනවා. සියලු සිසුන්ට අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඒ මුදලින් පුළුවන්. හොඳ ගුරුවරු මඟින් රූපවාහිනියේ හෝ උගන්වනවා නම් එයින් රටේ දරුවන් ඉගන ගන්නවා. පාසල් විවෘත කිරීම ගැන අපිට කියන්න බැහැ. සෞඛ්‍ය උපදෙස් අනුවයි මේ දේවල් කළ යුතු වෙන්නේ.

4.ආණ්ඩුව මේ වන විට ශ්‍රී ලාංකික විදේශිකයෝ ගෙන්වනු ලබන ජාවාරම් ක්‍රමය අනුගමනය කරන්නේ. අනෙක් දේවලුත් ඒ වගේ තමයි ඒ නිසා රටට ඩොලර් ගේන මිනිසුනුත් ජාවාරම් විදිහට ගෙන්වන ආණ්ඩුවක්. වාහන කෝටා ක්‍රමයට ගෙන්වීම මඟින් කුමන ක්‍රමයක් අනුගනමනය කරයිද කියලා අපි දන්නේ නැහැ. ආණ්ඩුවට කොටා ක්‍රමවේදයන්ට වාහන ආනයනය කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ.

5.ආණ්ඩුව මේ වන විට ශ්‍රී ලාංකික විදේශිකයෝ ගෙන්වනු ලබන ජාවාරම් ක්‍රමය අනුගමනය කරන්නේ. අනෙක් දේවලුත් ඒ වගේ තමයි ඒ නිසා රටට ඩොලර් ගේන මිනිසුනුත් ජාවාරම් විදිහට ගෙන්වන ආණ්ඩුවක්. වාහන කෝටා ක්‍රමයට ගෙන්වීම මඟින් කුමන ක්‍රමයක් අනුගනමනය කරයිද කියලා අපි දන්නේ නැහැ. ආණ්ඩුවට කොටා ක්‍රමවේදයන්ට වාහන ආනයනය කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු

1.දේශපාලන පලිගැනීම් සඳහා කොමිෂන් සභා පත් කිරීම කියන්නේ අමූලික බොරුවක්; විහිලුවක්; ප්‍රෝඩාවක්. ප්‍රධාන කරුණු තුනක් තියෙනවා රටක් ගොඩනැගෙන්නට. එකක් තමයි අධිකරණය. මේ වෙන්නේ අධිකරණයේ සැහැල්ලුවට ලක් කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. කොමිෂන් සභා නිර්දේශ ලබා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක අධිකරණයකට ලොකු පහරක්. විධායකය, අධිකරණය, ව්‍යවස්ථදායකය යන කුළුණු මතයි රටක් ගොඩනැගෙන්නේ. මෙයින් එම කුලුනක් අගෞරවයක් ලක්කිරීමක් වෙන්නේ. අධිකරණය කියන්නේ රටේ සාධාරණත්වය බලගැන්වෙන ආයතනයයි.

2.සීනි මිල අඩු කිරීමේ ක්‍රමවේදය කියන්නේ එක ප්‍රශ්නයක් විතරයි. බදු ආණ්ඩුවට අවශ්‍ය විදියට එකතු කරනවා, වැඩි කරනවා, අඩු කරනවා. එහි වාසිය වෙන කාටවත් නෙවෙයි. එක්තරා ව්‍යපාරිකයකුට පමණයි. මේ ව්‍යාපාරිකයන් මේ ආණ්ඩුවට බද්ධ වූ අය. ඔහුටයි මේ වාසිය යන්නේ. මෙය මහ දවල් හොරකමක්, මංකොල්ලයක්. බැඳුම්කර වංචාව ගැන කතා කරන මාධ්‍ය මේවා ගැන කතා කරන්න නැත්තේ ඇයි කියලා අපිට පුදුමයි.

3. මේ වෙලාවේ අපිට කියන්න තියෙන්නේ පාසල් පටන් ගන්න එක හොඳයි. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ ගත්තොත් කෙටිකාලයක් පමණයි දරුවන්ට පාසල් යෑමට හැකි වුණේ. ඒක නිසා මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. අපි එදා කියපු තාක්ෂණික පහසුකම් දරුවන්ට ලබා දීල තිබුණ නම් ඉතාම වටිනවා. ඒ නිසා මා කියන්නේ එසේ පහසුකම් ලබා දීලා අධ්‍යාපනය ලබන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කරන්න තිබුණා. එන්නත ලබා ලබාදීම ඉලක්ක සහගතව කරගෙන යාමට මේ ආණ්ඩුවට හැකි වන්නේ නම් කොහොමත් දරුවන්ගේ අධ්‍යාපනය පස්සට යනවට වඩා පාසල පවත්වන එක හොඳයි. මෙහි අවදානමක් නැතුවා නොවේ. එක් පාසලකින් මෙම රෝගය බෝවීමට පටන් ගත්තොත් ඒක මහ විශාල විනාශයක ආරම්භයක් විය හැකියි. ආණ්ඩුව කියන දත්තයන් නිවැරදි නම් පාසල් අරින එකේ ගැටලුවක් නැහැ.

4.අන්තවාදීන් යන එක නිර්වචනය කරන්නේ කොහොමද? අපි දන්නවා මුස්ලිම් ආගම සම්බන්ධයෙන් මුස්ලිම් කටයුතු අමාත්‍යංශයක් තියෙනවා .ඒක හරහා ඒවා හරි නියාමනයන්වලට ලක්වෙලා නම් අන්තවාදීන්ගේ පොත් කියලා දෙයක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් රෝමානු කතෝලික ක්‍රිස්තියානි කියලා ආගම් ගත්තත්, පාසල් විෂය ඇතුළෙත් නිසියාකාරයෙන් ළමයින්ට හැදෑරිය හැකි ක්‍රමවේදයක්අනුගමනය කරනවා නම් අන්තවාදී කියලා කතාවක් එන්නෙ නැහැ.

5.විදේශ විනිමය සම්බන්ධයෙන් කඩාවැටීමක් තියෙනවා. ඒ නිසා විදේශ සංචිත කඩාවැටීම සම්බන්ධයෙන් රැකීම සම්බන්ධයෙන් ආණ්ඩුව යම් පියවර අනුගමනය කළයුතුයි. අපිට මේ වෙනකොට දක්නට ලැබෙනවා රුපියල් අවප්‍රමාණවීමක්. රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක. ඉදිරියේ දී රටේ බදු ඉහළ යාමක් ජීවන වියදම වැඩිවීමක් ආදායම අඩුවීමක් ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටීමක් සිදුවිය හැකියි. මේ රජය ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ප්‍රතිපත්තිය අර්බුදකාරි අවුල්සහගත තත්ත්වයක් තියෙනවා.

Comments