දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ බලාපොරොත්තුවයි | Page 2 | සිළුමිණ

දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ බලාපොරොත්තුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක අනූප පස්කුවල්

ගෙවුණු වසරක කාලය තුළ ජන ජීවිතය නඟා සිටුවීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවද?

කවුරු කුමන අවලාද නැඟුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ "සෞභාගයේ දැක්ම" ප්‍රතිපත්තිය මේ මහපොළව මත පැළ කිරීම ගත් සියලු උත්සාහයන් කොවිඩ්-19 වංගතය වැනි ඉතාම දුෂ්කර අවදියක වුවත් විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. 1978 සිට මේ දක්වා පසුගිය රජයන් මහා පරිමාණ ඉලක්කයන් පූර්ණය කර ගැනීමට උත්සාහ කළත් "සෞභාගයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික අරමුණ වුණේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිම තුළින් සතුටින් සිටින පවුලක් සහ ඵලදායී පුරවැසියෙක් නිර්මාණය කිරීමයි.

මේ රජය බලයට පැමිණියේ අන්තවාදය බෙදුම්වාදය සහ කුඩු ඇතුළු පාතාලය රජ කරන තත්ත්වයකයි. අද වන විට එය සහමුලින්ම පාහේ මැඬ පැවැත්වීමට රජයට හැකි වී තිබෙනවා. ඒ සඳහා දක්ෂ අවංක සුදුසුකම් සහිත වගකිව හැකි නිලධාරීන් පිරිසක් පත් කර තිබෙනවා. එසේම අන්තවාදී බෙදුම්වාදී ආගමික ක්‍රියාකාරකම් පරාජය කිරීම සහ පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම වෙන කවර රජයකටත් වඩා හොඳින් ගෝඨාභය රාජපක්ෂ රජය ඉටු කර තිබෙනවා. කාර්ය සාධන බළකාය පත් කර නැගෙනහිර පළාත තුළ පමණක් පුරාවිද්‍යාත්මක ස්ථාන 570ක් සොයාගෙන ඒවා රැක ගැනීමට හා සංරක්ෂණය කිරීම පියවර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර වගේම සෑම පළාතකම පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන ආර්ක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන තෙක් රටට පැමිණි ලොකුම අභියෝගය කෝවිඩ්-19 යයි. ඉන් ඇති කළ ආර්ථික ප්‍රතිවිපාක බොහෝයි. එනමුත් මේ රජය බෙදුම්වාදී ත්‍රස්තවාදය පෙන්නා කිසිවක් නො කළ රජයන් මෙන් කොවිඩ් - 19 පෙන්නා කටුව අස්සට රිංගුවේ නැහැ. එහෙම වුණා නම් රටේ ආර්ථිකය පහළටම වැටිලා අපට පරාජය උරුම වෙන්න ඉඩ තිබුණා. එහෙම නොවුණේ නිවැරදි දැක්මක් සහිතව රට නිවැරදි දිසාවට ගෙනගිය නිසයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පරිපාලන අංශ ඒකාබද්ධ කර කඩිනම් ආරක්ෂිත ක්‍රමවේද සකස් කළා. එමඟින් කොරෝනා වයිරසය පැතිරීම වැළැක් වූවා පමණක් නෙමෙයි නැවත රට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තා. පුරන් කුඹුරු ලක්ෂ ගණනක් අස්වැද්දීමට පියවර ගත්තා. අද සමහරක් සහල් මිල අඩු කරන්න කියන ගමන් ගොවියට හොඳ මිලක් දෙන්න කියනවා. සහල් ගොවියා පවතින්න නම් සහල්වලට හොඳ මිලක් තිබීම අවශ්‍යයි. මේ වනවිට ඊට හොඳ මිලක් ලැබී තිබෙනවා. අද සිගරට්ටුවක මිල රුපියල් 65ක්, බීඩි මිටියක් 100ත් 125ත් අතර මිලකටයි අලෙවි වන්නේ. එනිසා සහල් කිලෝවක් රුපියල් 100-110 වීම ගැටලුවක් නෙමෙයි. ඒ වගේම තේ මිල, රබර් මිල, පොල් මිල හොඳ තත්ත්වයක තිබෙනවා. ඒවගේම ධීවරයන්ටත් හොඳ මිලක් ලැබිල තියෙනවා. අනෙක් අතට ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන අයවැයෙන් ලබා දී තිබෙනවා. එනිසා ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකිවී තිබෙනවා. උපාධිධාරී තරුණ තරුණියන්ට වගේම දිළිඳු පවුල්වල අයට රැකියා ලබාදී තිබෙනවා. වසරක් තුළ අප මේ සියල්ල සිදු කළේ කෝවිඩ් වසංගතය විසින් දරුණු ප්‍රතිවිපාක ආර්ථිකයට එල්ල කර තිබියදීයි.

හිතුමතේ රක්ෂිත කැලෑ එළි කර පරිසරය විනාශ කරන බව රජයට චෝදනා නැ‍ඟෙනවා?

ඉතාම මෑත උදාහරණයක් ලෙස පඬු කරඳ ශාකය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය සලකා බැලමු. අධිවේගී මාර්ගය තනන අවදියේ මා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර විශේෂඥයා ලෙස කටයුතු කළා. මීරිගම කුරුණෑගල මාර්ගය තැනීමට ප්‍රථම පාරිසරක ඇගයීම් වාර්තාවක් සකස් කිරීම සඳහා ඊට සම්බන්ධ සියලුම ආයතනවලින් තෝරාගත් කණ්ඩායමක් පත් කළා. ඊට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යංශය, මහා මාර්ග අමාත්‍යංශය ආදී සියලු ආයතන අයත්. කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර ආදී විශ්වවිද්‍යාලවලින් මේ සම්බන්ධයෙන් දැනුමැති මහාචාර්යවරුන් පිරිසක් හා වන සම්පත් නිලධාරීන් එකාබද්ධ කර සිදු කළ මේ අධ්‍යයන වාර්තාවේ මෙවැනි ශාකයක් පිළිබඳව සඳහන් වුණේ නැහැ. එහෙම නම් එහි වගකීම බාරගන්න ඕන රජය නෙමෙයි; මෙම වාර්තාව සැකසූ විද්වත් කමිටුවයි.

මේ අයගේ වගකීම වන්නේ ගහක් හොයාගෙන ඒ ගහ ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නෙමෙයි; ඉන් එහාට ගොස් මේ රටේ වඳවී යන ශාක සහ රතු දත්ත පොතට ඇතුළත්ව ඇති ශාක ඇත්නම් ඒවා හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීම සඳහා පියවර ගැනීමයි. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන්කරගෙන ඒවා වැවීමට කටයුතු කිරීමයි. එහෙම නැතුව රජයට ඇඟිල්ල දිගු කර මාධ්‍ය ඉදිරියට යෑම නොවෙයි.

රජයේ බලාපොරොත්තුව වන්නේ දියර කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමයි. ඒ සඳහා කිරි ගවයන් ලක්ෂ අටක් සෑදීම අපෙක්ෂාව වී තිබෙනවා. උන්ට උලා කෑමට අඩුම වශයෙන් තණ බිමි අක්කර ලක්ෂයක් පමණ ඕන. අප මෙය තේරුම් ගෙන කටයුතු කළොත් වසරකට කිරිපිටි සඳහා පිටරටවලට ඇදී යන දේශීය විනිමය රුපියල් බිලියන 55ක් ඉතිරි කරගන්න පුළුවන්. එනිසා අපි අපේ නිලධාරීන් අමාත්‍යවරුන් අදාළ විෂය සම්බන්ධයෙන් දැනුමැති විශේෂඥයන් මේ ස්ථානවල තණ බිම් ඇති කරන්න කටයුතු කළ යුතුයි. තණ බිම් කියන්නෙත් වනාන්තර විශේෂයක්. ලෝකාන්තය ඒ ආකාරයේ තණ බිමක්. එනිසා යම් ස්ථානයක තණ බිමක් ඇති කිරීමෙන් එය වන බිමක් නොවන්නේ නැහැ. එය වනානතරයට අයත් පරිසර පද්ධතියක්. මේ සඳහා පශු සම්පත්, වන ජීවී, වන සංරක්ෂණ, ඉඩම් සහ වැවිලි යන අමාත්‍යංශ සියල්ලක්ම ඒකාබද්ධව සැලසුම් සකස් කළ යුතුයි.

'ගම සමඟ පිළිසඳරක්' වැඩ සටහන හරහා රජය අපේක්ෂා කරන ඉලක්ක මොනවද?

'ගම සමඟ පිළිසඳරක් වැඩ සටහන' හරහා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ඉලක්කය වී ඇත්තේ දුප්පත්, එදා වේල සොයාගත නොහැකි, කෘෂිකර්මාන්තයේ යෙදෙන, විශ්‍රාම වැටුප් නැති, මාසික වේතනයක් නොලබන ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දීමයි. සතුටින් සිටින පවුලක් නිර්මාණය කරන්න නම් සාමාන්‍ය ජනයාගෙ, ගොවියාගෙ, කම්කරුවාගෙ, ධීවරයාගෙ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමුකර ඊට පිළිතුරු ලබාදිය යුතුයි. ඉඩම් නැති අයට ඉඩම් ඔප්පුවක් ලබාදිය යුතුයි. ඔවුන් නිවසන්නේ ලඳු කැලෑ ඉඩම්වල නම්, වසර 25-30ක් එවයි ජීවත් වෙනව නම් ඒ අයට ඔප්පුවක් ලබාදිය යුතු බවයි. එහෙම නොකළොත් මේ අය තවතවත් ඉඩම් පුළුල් කරමින් වනාන්තර තුළට ගමන් කර ඉඩම් අල්ලා ගන්නවා. එය වැළැක්වීමට නම් ඔප්පු ලබාදී එය නතර කළ යුතුයි. ඉන් සිදු වන්නේ වනාන්තරය ආරක්ෂා වීම මිස විනාශ කිරීම නෙමෙයි. ගම සමඟ පිළිසඳරක් වැඩ සටහන්වලදී ගෝඨාභය රාජපක්ෂයන් පවසන මෙවැනි අදහස් ඇතැමුන් දේශපාලන වාසි තකා වරදවා අර්ථකථනය කරනවා. ගෝඨාභය රාජපක්ෂයන් යනු ප්‍රශ්නයක් දුටු විට අහකබලන නායකයකු නෙමෙයි. හමුදා නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති ඔහු ප්‍රශ්නයක් පැනනැඟුන විට එය හඹා ගොස් ඊට ස්ථිර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

රටේ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට විජාතික සමාගම්වලට විකුණමින් බලවත් රටවල බල අර්බුදයක ගොදුරක් බවට පත් කිරීමට මේ රජය කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා.

ඔය කියන්නේ නැඟෙනහිර ජැටිය පිළිබඳව නම් ඒක ගැන අහන්න ඕන අද ඔය කිඹුල් කඳුළු හෙළන ඒ ගිවිසුම් අත්සන් කළ යහපාලන රජයේ නායකයන්ගෙන්. වත්මන් ගෝලීය තත්ත්වය තුළ රාජ්‍යකට හුදෙකලාව පවතින්න බැහැ. පැවති රජය අත්සන් කළ ගිවිසුමක් නව රජයක් පැමිණි ගමන් වෙනස් කරන්න බැහැ. එය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට නරක ආකාරයට බලපානවා. නමුත් මං සතුටුයි කියන්න මේ රජය නැඟෙනහිර ජැටිය සම්බන්ධ ගැටලුව ඉතාම සුහදව රාජ්‍යතාන්ත්‍ර­ිකව විසඳා ගෙන තිබෙනවා.

අප මේ රට බාරගන්නා විට එම්. සී. සී ගිවිසුම හරහා මේ රටේ ආර්ථික මර්මස්ථාන වගේම ජාතික ආරක්ෂාව, ඉතාම නරක තැනට ගමන් කරමිනුයි තිබුණේ. අප රජය බලයට පත් වී ආචාර්ය ගුණරුවන්ගේ මූලිකත්වය යටතේ මේ සම්බධයෙන් අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් සකසා එය අපට සුදුසු නැති බව අවබෝධ කරගෙන එම ගිවිසුම අත්සන් නොකිරීමට පියවර ගත්තා. එමඟින් සිදු වීමට ගිය විශාල විනාශයක් වැළකී ගියා. අද කටමැත දොඩවන විපක්ෂනායකවරයා එදා සිටියේ මේ ගිවිසුම අත්සන් කරන ස්ථාවරයක.

අප පසුගිය රජය විසින් ගෙනගිය විදේශීය ආයෝජන මත පදනම් වුණු ආර්ථිකයක් වෙනුවට දේශීය නිෂ්පාදන හා සේවා මත ගොඩනැඟුණ දේශීය ආර්ථිකයක් ඇති කිරීමට සියලු සැලසුම් මේවනවිට දියත් කරමින් තිබෙනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි නැවත අපට ලැබීමට නියමිතයි. ඒවගේම චීන වරායත් නැවත ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ආරම්භ කර තිබෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියයි. පසුගිය යුද කාලයේ චීනයෙන් අපට විශාල සහයක් ලැබුණා.

ඒ නිසා ඔවුන් සමඟ සමීප සම්බන්ධයක් ගොඩනැඟුණා. එවගේම පකිස්ථානය සහ ඉන්දියාව වැනි රටවල් එක්කත් අපට හොඳ සබඳතා තිබෙනවා. ආර්ථික සංවර්ධන කටයුතු සඳහා අපට මේ රටවල් උදව් කළත් අප කිසිම රටකට යුදමය වශයෙන් අප රට යොදා ගැනීමට ඉඩ තබන්නේ නැහැ. චීනයත් සමඟ කුමන ප්‍රතිපත්තියක කටයුතු කළත් චීනයේ යුද කටයුතු සඳහා මේ භූමිය හෝ බිම් අඟලක් හෝ යොදා ගැනීමට ඉඩ නොදෙන බව ස්ථීරවම කියන්න පුළුවන්.

Comments