ජවිපෙ කැරැලිවල කාන්තාවෝ | Page 3 | සිළුමිණ

ජවිපෙ කැරැලිවල කාන්තාවෝ

ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට ජවිපෙ නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

22 කොටස

පූර්ණකාලීන ජවිපෙ කාන්තා ක්‍රියාකාරීන් සඳහා විජේවීර විසින් පවත්වන ලද ප්‍රථම කඳවුර 1970 මුල් භාගයේදී තංගල්ල විජේවීර ගේ නිවසේ පැවැත්විණි. දවස් තුනක අධ්‍යාපන කඳවුරක් වූ එයට සේපාලි, සම්පතී, කමනි, ධම්මිකා, අම්බලන්ගොඩ ශාන්ති ද සිල්වා, යසෝමා, කුසුමා ඇතුළු අය සහභාගි වූහ. ඔවුනට පැවරුණු වගකීම වූයේ භාරදෙන දිස්ත්‍රික්කවලට ගොස් පූර්ණකාලීනව කාන්තාවන්ට ජවිපෙ පන්ති පැවැත්වීමය.

එක්සත් ජාතික පක්ෂය මඟින් ලක්වනිතා කාන්තා සංගමය අරඹන ලද්දේ 1976දීය. ශ්‍රීලනිප කාන්තා සංවිධානය නිල වශයෙන් ශ්‍රීලනිප ආරම්භ කළේ 1983දී ය. ජනතා විමුක්ති පෙරමුණේ කාන්තා සංවිධානය පළමුවරට සිය වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නේ 1978න් පසුවය. සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුව 1982 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුවද ජවිපෙ සමඟ කාන්තාවන් ගේ ක්‍රියාකාරකම් ආරම්භ වන්නේ 60 දශකය අවසානයේදීය.

කාන්තා විමුක්තිය ලැබිය හැක්කේ අන්තවාදී හුදකලා අරගල තුළින් නොවේ. ‍වමේ ව්‍යාපාරයට අනුව ජනතාවගේ විමුක්තිය තුළ කාන්තා විමුක්ති ය නියෝජනය වේ.

ලාංකේය කාන්තාවන් ගේ අරගල ඉතිහාසය සොයා යෑමේදී ජවිපෙ ප්‍රථම කැරැල්ල වන 1971 කැරැල්ලද 2වන කැරැල්ල වන 1986 සිට 1990 කැරැල්ලටද කාන්තාවන් ගේ සුවිශේෂ දායකත්වයක් හිමිවිය. දෙවැනි කැරැල්ලට කාන්තා සහභාගිත්වය 71 අප්‍රේල් කැරැල්ලට වඩා විශාලය.

ජවිපෙ ප්‍රථම කැරැල්ල පැවති 1971 අප්‍රේල් අත්අඩංගුවට පත්ව පාවාදීමකින් තොරව මරණය වැලඳගත් මෙන්ම දුක් වේදනා සහිතව සිරගත වූ කාන්තාවන් රැසක්ද විය. ඉන් කිහිප දෙනෙකු අතවරවලට පවා ලක්වී තිබූ අතර වෙනත් තාඩන පීඩන වලටද ගොදුරු විය. දූෂණයට ලක්වූ දෙදෙනෙකු ගේ කුස තුළ තිබූ දරු කලලයන් බන්ධනාගාර නිලධාරිනියන්ද මැදිහත් වී ඉවත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබිණි.

එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කළ බවට නඩු පැවරූ 22‍න් 7 දෙනෙකුම කාන්තාවන් විය. එම කාන්තාවන් 7 දෙනා ගෙන් 6 දෙනෙකුම උපාධි අපේක්ෂිකාවන් ‍වේ. ඔවුන් නම් ලීනා අයිරින්, ලීලා සෙනෙවිරත්න, යූ. ඒ. නන්දසීලී, බී. ඒ. හේමශ්‍රියා යන අයයි. රොස්මිඩ් නඩු විභාගයේදි එම 22 ගෙන් 15 දෙනෙකු වරද පිළිගත් අතර 7 දෙනෙකු එසේ පිළිගත්තේ නැත. එසේ පිළි නොගත් අය අතර සෝමවංශ අමරසිංහ සමඟ එකල 20 හැවිරිදි වියේ පසුවූ උණ්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලී නොහොත් යූ. ඒ. නන්දසීලිද විය. නන්දසීලි ජවිපෙ සමඟ අවසානය දක්වා රැදී සිටි අතර ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරියක් වශයෙන්ද කටයුතු කළාය. හේමශ්‍රියාද 1988 දක්වාද ජවිපෙ සමඟ රැදී සිටියාය. ලීනා අයිරින් කැරැල්ලෙන් පසු වසර ගණනාවක් ජවිපෙ ක්‍රියාකාරි සිට ඉන් ඉවත්ව කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය නම් රාජ්‍ය නොවන සංවිධානය සමඟ බද්ධ විය. රාජගිරියේදී 1987දී රිය අනතුරකට ලක්ව මියයන විට ඇය දෙදරු මවකි.

කතරගම අවුරුදු කුමාරිය ලෙසින් 1970 අප්‍රේල් 17 අ‍භිෂේක ලැබූ ප්‍රේමවතී මනම්පේරි ජවිපෙ කැරැලි ක්‍රියාකාරිනියක් ලෙස හැඳින්වුණු අතර ඇය 1971 ‍අප්‍රේල් 16 කතරගමදී අත්අඩංගුවට පත්වී අප්‍රේල් 17 තිරස්චීන ලෙස ඝාතනය කරන ලදි.

ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලේදී කාන්තාවන් 600කට ආසන්න පිරිසක් තම දායකත්වය ලබා දෙන ලදී. මියගිය කාන්තාවන් සංඛ්‍යාව 20ක් පමණ වේ. එහෙත් කැරැල්ල නිමවීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් සංඛ්‍යාව 2,000කට ආසන්නය. ඉන් 400ක් පමණ රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඔවුන් අතර කාන්තා කැරලිකාරිනියන් ගේ දෙමාපියන්, පවුල්වල සොයුර සොහොයුරියන්, හිතවතියන්ද විය.

චන්ද්‍රා ජයන්ති පෙරේරා හෙවත් චන්ද්‍රක්කා ජවිපෙ සමඟ සම්බන්ධ වූයේ 1967දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙනි. පස්වැනි විත්තිකරු වූ සුනන්ද දේශප්‍රිිය‍ගේ නැඟණිය වන කමණි, සම්පතී අමරසේකර, ධම්මිකා ද සිල්වා, සේපාලි අම්බලන්ගොඩ ඇතුළු කාන්තාවන් රැසක් එකල ජීවත්වූ දිස්ත්‍රික්කයෙන් පිටත පූර්ණකාලීනයන් වශයෙන් කටයුතු කළහ.

විවියන් ගුණවර්ධනලා සමඟ එකට වමේ දේශපාලනය කළ වනාතමුල්ලේ සීලවතී ද සිල්වා හෙවත් ඔස්මන්ගේ අම්මා ජවිපෙ එදා විශේෂ චරිතයක් විය.

අප්‍රේල් කැරැල්ලේ පරාජයෙන් පසු බටපොළ අතුල සමඟ සිංහරාජ වනයට පසු බසින ලද 100ක ගේ කණ්ඩායම පසුව 25 දෙනෙක් දක්වා අඩු වූ අතර එයටද තරුණියන් 4 දෙනෙක් ඇතුළත් විය. එහි නායකත්වය ගත්තේ ලෙස්ලි ‍සිල්වාය. කෑගල්ලේ කැරලි නායක සරත් විජේසිංහ ගේ කනිටු නැඟණිය වන හේමාලි විජේසිංහද ඇතුළත් වූ එහි සුජාතා හඳගම, පුෂ්පා, ලීලා, පේරාදෙණිය සරසවියේ සිසුවියක් වූ මර්වින් ධර්මසිරි හෙවත් අත්තනගල්ලේ ධර්මා යන තරුණියන් 4 දෙනාද විය.

මුළු ශ්‍රී ලංකාවේම 71 කැරැල්ලට සහභාගි වී විල්පත්තුවේ සිටියදී දිවි පිදූ ළාබාලතම සාමාජිකාව වූ දොළොස් හැවිරිදි අනුරාධපුරයේ ස්වර්ණලතා පෙරේරා හෙවත් චූටි නංගීද එම කණ්ඩායමට අයත් විය. විල්පත්තුවේ සිටියදී ඇය වැඩිවියට පත් වූවා ය. පුත්තලම කැලේදී ජුලියට් සහ ධර්මා සමඟ උයමින් සිටියදී ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයෙන් චූටි නංගී, ධර්මා සහ ආනන්ද ගම‍ගේද මිය ගියේය. ජුලියට්ද තුවාල ලැබීය. කෑගල්ල සහ කුරුණෑගල කණ්ඩායම් ඒකාබද්ධ වී විල්පත්තුව හරහා සිංහරාජයට පලායද්දී ලොකු අතුල ගේ නැඟණිය වූ පියසීලි ජයසිංහ, පෙම්වතිය වූ ධම්මිකා සමඟ ආරියවතී සහ පුෂ්පාද කැරලිකාරියන් වශයෙන් එම කණ්ඩායමට එක්වි සිටියහ. බුලත්කොහුපිටියේ මල්ලිකා කෑගල්ලේ සිටම ඉතිරි වූ කැරලිකරුවන්ට නායකත්වය දෙමින් දින කිහිපයක්ම සටන් කළාය.

දිවුලපිටිය පොල්වත්තක පිහිටි ජවිපෙ කඳවුරේ සිටි එකම කැරලිකාරිය වූයේ ලීලාවතී ය. කඳවුරේ නායක ගාන්ධි සමඟ අවසානයේදී වෙස්වලාගෙන පලායෑමේදී අත්අඩංගුවට ගත් ඇය මීගමු‍වේ පුනරුත්ථාපන කඳවුරකට යොමු කරන ලදී. පොල්ගහවෙල වයලා කහගල්ල 12 හැවිරිදි වියේ පසු වූ අතර කැරලිකාරියක වූ ඇය 1971 මැයි 14 අත්අඩංගුවට ගත්තේ පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඇයගේ නිවස මුළුමනින්ම ගිනිබත් කළ අතර එක් සොහොයුරකුද කැරැල්ලේදී ඝාතනයට ලක්විය. කහගල්ලේ වයලා අමානුෂික වධබන්ධනවලට ලක්වූ අතර වැඩිවියට පත් වූයේද මව සමඟ බන්ධනාගාර ගතව සිටියදීය. වසර 5කට පමණ පසු ඇය නිදහස ලැබුවාය. ඇයගේ එක් සොහොයුරෙකු වූයේ කැරැල්ලේදී ඝාතනයට පත් පොතුහැර ජවිපෙ ප්‍රාදේශීය නායකයෙකු වූ ජිනදාසය.

හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලට එක්වූ කැරලිකාරිනියන් අතර දෙනියායේ කිරිවැල්දොළ කුසුමා බුද්ධිකෝරාල, අනුරාධපුර තඹුත්තේගම පුංචිමැණිකා, ජයසිරිපුර රෝහිණී, ගලෙන්බිදුණුවැව ගෝමරංකල්ල අනුලා, කෑගල්ලේ ලීලාවතී සේනාරත්න, අනුරාධපුරයේ වජිරා සෙනෙවිරත්න, බුලත්කොහුපිටියේ මල්ලිකා, සුජාතා මේදිස්, ඌරුබොක්කේ ලිලී, දම්පහළ චන්ද්‍රා ගමගේ, කිරිඇල්ලේ සුමනා, කෑගල්ලේ විනීතා ප්‍රනාන්දු, ඇල්පිටිය තල්ගස්වල ලීලාවතී ඩබ්ලිව් සෙනෙවිරත්න, වලස්මුල්ලේ සීතා පේදුරුආරච්චි, ඩේසි රත්නායක, මීරිගම පද්මිණී පල්ලියගුරු, ගොකරැල්ලේ සුධර්මලතා, රත්නපුර ඇග්නස් තොටගමුව, ඕලකුඹුරේ නන්දාවතී, බටපොළ චිත්‍රා ළමාහේවා, දෙනියායේ ඇලිස්, ඌරුබොක්කේ දෙකන්දණ්ඩේ කුසුමා මනම්පේරි, පරපේ කරුණාවතී, ලීලා, රාණි ඇතුළු පිරිසක් ද වේ. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලත් රාජාංගනයේ කරුණාවතී 1971 පෙබරවාරි කොළඹ හයිඩ්පාර්ක්හි පැවති ජවිපෙ රැස්වීමට යෑමට නිවසින් අවසර නොදීම නිසා වස පානය කර සිය දිවි නසා ගත්තාය. ඇය ටික්කා ගුණරත්න ගේ ඥාති සොහොයුරියකි.

ජවිපෙ 1983 ජූලි තහනමින් පසු නිල වශයෙන් සමාජවාදී කාන්තා සංගමයේ ක්‍රියාකාරිත්වය ඇන හිටියේය. එහෙත් දෙවන කැරැල්ලේදී ක්ෂේත්‍රයන්හි වැඩ කිරීම සඳහා කාන්තා සාමාජිකාවන් සහ ආධාරකාරියන් විශාල පිරිසක් ජවිපෙට 1986 සිට 1990 දක්වා යොමු විය. සමාජවාදී කාන්තා සංගමය විසින් සෙබළිය නමින් පුවත්පත් රෝනියෝ කර භූගත පුවත්පත් ලෙස බෙදාහැරිය අතර මර්දනකාරි වටපිටාව තුළ 1986 සිට 1990 කාලය තුළ උපක්‍රමශීලි ලෙස ක්‍රියාශීලිවීමට 2වැනි කැරැල්ලේ තරුණියෝ කටයුතු කළෝය.

දෙවැනි කැරලි සමයේ 1986 සිට 1990 දක්වා සහභාගි වූ පූර්ණකාලීන කාන්තාවන් සංඛ්‍යාව 800ක් පමණ වන අතර අර්ධකාලීනව සහ හිතවත් මට්ටමින් ජවිපෙ වෙත සහාය ලබා දුන් කාන්තාවන් සංඛ්‍යාව 5,000ක් පමණ වේ. එහිදී ඝාතනයට හෝ අතුරුදන් වූ කාන්තාවන් ගණන 2,000කට ආසන්නය.

ජවිපෙ 2වැනි කැරැල්ලට සහභාගි වූ දැනට ජීවත්ව සිටින කාන්තාවන් දේශපාලන හේතුමත හිරේ ගියද ඒ පිළිබදව ආවර්ජනය කිරීමට ඇතැමෙක් අකමැතිය. ඒ සිය දරු පවුලේ අනාගතය වෙනුවෙන් වගකීම් කරට ගෙන ඇති හෙයිනි. ඔවුන් බොහොමයකගේ ස්වාමි පුරුෂයන් වී ඇත්තේ ජවිපෙ හිටපු හෝ සිටිනා ක්‍රියාකාරීන්ය. ඇතැම් කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන්ද 2 වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්විය. එවිට ඔවුන්ගේ සැමියන් බවට බොහෝ විට පත්වූයේ ඝාතනයට පත්වූ සැමියා ගේ සොහොයුරෙකු හෝ ඥාතියෙකු හෝ ජවිපෙ සාමාජිකයෙකුය. දෙවැනි කැරැල්ලේදී කාන්තා අංශයේ බහුතරයම වාගේ සිටියේ අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි රැකියා අපේක්ෂිත තරුණියන්, විවිධ රැකියාවල නිරතවී සිටි පහළ මධ්‍යම පන්තික තරුණියන්, කුල පීඩිත කොටස්, කර්මාන්ත සේවිකාවන් සහ කාර්මික විද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන සහ පාසල්වල අපොස උසස් පෙළ පන්තියේ සිසුවියන්ය. එය සංකේතාත්මක වශයෙන් උපාධි අපේක්ෂිකාවන්ට වඩා අතිශයින් වැඩිය. තරුණියන් විශාල වශයෙන් පූර්ණකාලීනව එක්වී සිටියේ මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයන් ගෙනි.

නුවර කලාපයේ සන්නද්ධ සහ දේශපාලන නායකයා වූ ජවිපෙ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර පැවැත්වූ අධ්‍යාපනික කඳවුරුවලට පමණක් සහභාගි වූ නුවර දිස්ත්‍රික්කයේ තරුණියන් සංඛ්‍යාව 500කට ආසන්නය.

මධ්‍යම පළාතේ බඹරැන්ද සහ නකල්ස් කන්දේද හුළුග‍‍ඟේ එගොඩද නුවර දිස්ත්‍රික් සන්නද්ධ නායකයා වූ දෙහිගම විසින් පවත්වන ලද දින 7 අවි පුහුණු කඳවුරුවලට තරුණියන් රැසක්ද සහභාගි විය. එහිදී අවි පුහුණුව ලබාදෙන ලද්දේ ආරක්ෂක හමුදාවේ කලක් සේවය කළ නුවර නැඟෙනහිර සන්නද්ධ නායකයා වූ ප්‍ර1සාද්ය. නුවර කලාපය ආසන වශයෙන් නැඟෙනහිර, බටහිර, දකුණ ලෙස තුනකට බෙදා තිබූ අතර එහි කාන්තා නායිකාවන් වූයේ සුගන්ධිකා, රම්‍යා සහ ගාල්ලේ අක්කාය.

කාන්තා අංශයේ ක්‍රියාකාරිකයන්ට සිදු වූයේ ජවිපෙ සහ එහි සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අයට අවශ්‍ය තොරතුරු ලබා දීම, ප්‍රථමාධාර ලබාදීම, උද්ඝෝෂණ ව්‍යාපාර සහ හර්තාල් සංවිධානය කිරීම, පන්ති පැවැත්වීම, ව්‍යාපාරයට සාමාජිකාවන් බඳවාගැනිම, අත්අඩංගුවට ගත් සාමාජිකයන් ගේ පවුල්වල අය පිළිබදව සොයා බැලීම, කැරලිකරුවන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී ඇඳුම්, තොප්පි, බඳපටි, සපත්තු, ඖෂධ බෑග් සකස් කිරීම, දිසා සංවිධානයේ සිට කොට්ඨාස දක්වා කටයුතු වලදී සහාය වීම ඇතුළු කටයුතුය. එමෙන්ම විජේවීර ගේ සහ ගමනායක ගේ දේශන අඩංගු කැසට් පට පිටපත් කර බෙදා හැරීමේ වගකීම ඔවුන් වෙත පැවරිණි. මෙම කථා විවිධ තේමාවන් ඔස්සේ කැසට් පට 46ක් මඟින් 1986 සිට 1989 කාලය තුළ එළි දක්වා තිබුණි. මෙය සාර්ථක විකල්ප සන්නිවේදන ක්‍රමයක් බවට ප්‍රචලිත විය. එමෙන්ම රණහඬ නම් ජවිපෙ මඟින් පවත්වාගෙන ගිය විකල්ප ගුවන්විදුලි සේවයට වැඩසටහන් සම්බන්ධීකරණය සහ නිර්මාණයේදී කාන්තා ක්‍රියාකාරිකයන් සහාය විය. රණහඬ ගුවන් විදුලිය සති අන්තයේ උදේ 7 සිට ක්‍රියාත්මක වූ අතර සඳුදා හැර සතියේ අනෙක් දිනවල රාත්‍රී 7 සිට මෙගා හර්ට්ස් 4.432 කෙටි තරංග 1 ඔස්සේ විකාශනය වූ අතර විජේවීරද සිය බලවේගයන් එහිදි ඇමතීය. දෛනික ප්‍රවෘත්ති, විප්ලවීය ගී, සටන්බිමේ සිටි කැරලිකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රවෘත්ති ඇතුළු වැඩසටහන් කිහිපයක් එමඟින් විකාශනය වූ අතර ඒවා සම්පාදනය කිරීමටද කැරැල්ලේ කාන්තාවන් එක්විය.

කාන්තා ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගාල්ල කරාපිටිය රෝහල අසලදී දකුණු පළාතේ කාන්තා නායිකාවන් අතර සිටි දොඩම්ගස්ලන්දේ අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා හෙවත් දීපිකා මුතුහෙට්ටි සහ හිනිදුම තලන්ගල්ලේ චාමිනි මුතුහෙට්ටි හෙවත් වරුණි 1988 දෙසැම්බර් 8 පැහැරගෙන යනු ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ 1986/87 කණ්ඩායමේ කෑගල්ල ගලිගමුවේ පදිංචි අස්විනී ඉරේෂා පොල්ගම්පොළද එසේ පැහැරගෙන ගිය සරසවි සිසුවියන් කිහිප දෙනා අතර වේ. ජාතික තලයේ වගකීම්වල නිරතව සිටි ඉරේෂා ඝාතනයට ලක්වූයේ 1989 දෙසැම්බර් 30 මොරටුව සරසවිය අසලදී පැහැරගෙන යෑමෙන් අනතුරුවය. මෙම ක්‍රියාකාරීන් විවිධ අමානුෂික අතවරයන්ට මුහුණ දුන්නද කැරැල්ලේ කිසිවෙකු පිළිබදව හෙළිදරව් නොකරම ඝාතනයට ලක් විය.

දෙවැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයන් ලෙස සරසවි ශිෂ්‍යාවන් සිය ගණනාවක් කටයුතු කළ අතර පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ දීපානි චන්ද්‍රසේකර, ශාස්ත්‍ර පීඨයේ නන්දා අලූත්ගේ, රුහුණු සරසවියේ ජයනි ඇතුළු කිහිපදෙනෙක් එහි මුල්තැන ගනු ලැබීය. කැරැල්ලේ කාන්තා ක්‍රියාකාරින් වූ අකුරැස්සේ ඉන්ද්‍රානි, ගාල්ලේ මනෝරි, නුවර සේපාලි, පද්මශාන්ති, දයානි හේමලතා, අමරසීලි හේරත් ඇතුළු නායිකාවන් ගණනාවක්ම 1989 අවසානයේදී වධබන්ධනයන්ට සහ අතවරයන්ට ලක්ව ඝාතනයට ලක්විය.

එමෙන්ම දීපිකා, ඥාණසීලි, අරුණි සහ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ අනෝජා සිරිදේවද අවසන් මොහොත දක්වා කැරැල්ල අත හැර නොගිය අතර අවසානයේදී ඝාතනයට ලක්විය. ගම්පහ දිස්ත්‍රික් නායිකාවක් වූ රමේෂා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමෙන් පසු 1989 මාර්තු 21 ඝාතනය කර දිවුලපිටිය මඩම්පැල්ලේ මහමඟ දමා තිබිණි. මීගමුව මහේස්ත්‍රාත් සුනිල් රාජපක්ෂ විසින් කරන ලද පරික්ෂණයකින් අනතුරුව කොච්චිකඩේ පොලිසිය මඟින් සිරුර භූමදානය කරන ලදී.

කාන්තා ක්‍රියාකාරින් අවි පැහැරගැනීම්වලදී සන්නද්ධ අංශයට සෑම ස්ථානයකදීම වාගේ සහාය විය. කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට 1987 ජූලි 08 පහරදී ආයුධ පැහැර ගැනීමේදී ඝාතනයට ලක්වූ තිදෙනා අතර මේධානිද විය. මහනුවර දළදා මාලිගයේ මුරපොළවල්වලින් සහ පන්නල අවි ලබාගැනීමේ ප්‍රහාරය ඇතුළු ප්‍රහාරයන් කිහිපයකටම කාන්තාවන් එක්ව තිබිණි. දළඳා මාලිගා අවි පැහැර ගැනීමේදී පද්මා චාන්දිනී හෙවත් තනූජා අත්අඩංගුවට පත්විය. පල්ලෙකැලේ ප්‍රහාරයට හසලක නිල්මිණී හෙවත් සන්ධ්‍යා එක්ව තිබිණි.

කළුතර සොරණාතොටවත්ත වධකාගාරයේ රඳවාගෙන සිටි කාන්තාවන් 15ක් පමණ දෑස් පමණක් බැද කාමරයක බිම වාඩිවී සිටියේ නිර්වස්ත්‍රවය. වේයන්ගොඩ නයිවලදී එක් ස්ථානයකදී කැරැලිකරුවන් ගේ ප්‍රහාරයකින් පසු 65 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගෙන් 33 දෙනෙකු පසුව ඝාතනයට ලක් විය. ඉන් 14ක් කාන්තාවන්ය.

යටාරෝ වධකාගාර ඇතුළු ස්ථාන කිහිපයකම පැහැරගෙන එනු ලැබූ තරුණියන්ට බොහෝ දෙනෙකුට තිරස්චීන වධ බන්ධනවලට තරුණයන්ට මෙන් මුහුණදීමට සිදු නොවූවද අමානුෂික අතවරවලට මුහුණදීමට සිදුවිය. ඇතැම් අවස්ථාවන්හිදී වධකාගාරවලදී සමූහ දූෂණයට පවා ලක්වූ බවට චෝදනා ඇත.

ඇතැම් තරුණියන් පැහැරගෙන විත් ආරක්ෂක අංශවලට අයත් නිල සහ නිල නොවන කඳවුරු සහ වධකාගාරවල රඳවා සිටියේ ලිංගික වුවමනා සපුරා ගැනීමේ අරමුණිනි. එම තරුණියන් බොහෝ දෙනෙකු අවසානයේ ඝාතනය විය. තිසාවැව හමුදා කඳවුර සහ කොළඹ යටාරෝ කඳවුරට එවැනි බරපතළ චෝදනා ඇත.

කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීමට නිවෙස්වලට ගිය අවස්ථාවන්හිදී ඔවුන්ගේ බිරිඳටත් දියණියන්ටත් අතවර කළ අවස්ථා ගණනාවක්ද වාර්තා විය. කුරුණෑගල බඩල්ගමුව රක්ෂිතයේ 1989 ජූලි 18 කාන්තාවන් 27ක් වෙඩි තබා ඝාතනය කර පුලුස්සා දමා තිබිණි. ඔවුන් වැහැර කඳවුර මගින් අත්අඩංගුවට ගෙන සිටි අයයි. මීරිගම කොටකදෙණියාවේ තැපැල් කාර්යාලය අසල 1989 අවසාන භාගයේදී ඝාතනයට ලක්වූ කාන්තාවන් 7ක් එකට ගොඩගසා පුලුස්සා දමා තිබිණි.

ගල්කිස්ස පොලිසිය මඟින් 1989 නොවැම්බර් 9 කැරැල්ලේ කාන්තා නායිකාවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අතර දෙහිවල පදිංචි ඉංග්‍රිසි ගුරුවරියක වූ පළාතදූවේ හිල්ඩා මතඟවීර හෙවත් කුමුදු, පළාත් පාලන ලිපිකාරිනියක වූ නාත්තන්ඩියේ හෙට්ටිආරච්චිලාගේ අමරසීලි හේරත් හෙවත් චාන්දනී, කිරුළපනේ දයානි හේමලතා දිසානායක හෙවත් අනූෂා, මාතලේ කූඹියන්ගොඩ කන්දෙගෙදර දිසානායක ආරච්චිලාගේ පද්මා සේනාරත්න හෙවත් නිශාන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගනු ලැබීය. කයිකාවල විදුහලේ අධ්‍යාපනය ලත් නිශාන්ති හෙට්ටිආරච්චි කලක් කුරුණෑගල දිස්ත්‍රික්්කයේ ගොකරැල්ල කලාපයේ එනම් පොල්ගොල්ල සිට මැල්සිරිපුර දක්වා දේශපාලන අංශයේ කලාප නායිකාවකි. පසුව 1988 පෙබරවාරි 3 ඇය බස්නාහිර කලාපයේ නායිකාවක් ලෙස අනුයුක්ත විය. සැමියා බණ්ඩාරය. අත්අඩංගුවට ගැනීමෙන් පසු නිශාන්ති පසුව ඝාතනයට ලක් වූ අතර පසුව ඇයගේ සිරුර මොරටු මුහුදු වෙරළේදී හමුව තිබිණි.

කැරැල්ලේ පරාජයෙන් පසුවද 1990 අප්‍රේල් මස ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරින්ගේ පොලිස් බැරැක්ක වධකාගාරයේ කාන්තා දිස්ත්‍රික් නායිකාවන් සිවුදෙනෙකු ඝාතනයට ලක්වූ අතර ඔවුන් නම් අකුරැස්සේ සේනානි හෙවත් සේනාධීර, මාතලේ විජය විද්‍යාලයේ ආදි සිසුවියක් වූ සාගරිකා, පාර්ලිමේන්තුවේ බෝම්බ ගැසූ බවට චෝදනා ලත් අජිත් කුමාරගේ බිරිඳ වන නැඳුන්ගහහේන ඇඹරළුවේ සන්ධ්‍යා සේපාලි ‍ෙහවත් රේනුකා සහ මහනුවර අරුප්පල ශානිකා වීරසිංහ වේ. ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධව සිට කැරැල්ල අවසානයේ පුනරුත්ථාපනයට රජය මඟින් යොමු කළ සංඛ්‍යාව 11,658කි. ඉන් 7,218ක් රජයේ නිවේදන අනුව නම් කරන ලද ස්ථානවලට හෝ පොලිසිවලට භාරවූ අය වේ. සෙසු 4,440 විවිධ හේතු මත සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසි සහ හමුදා කඳවුරුවලද, රැඳවුම් කඳවුරවලද රඳවාගෙන සිට ජීවිතය බේරාගැනීමට ‘වාසනාවන්ත’ වූ අය වෙති.

රජයේ තරුණ පුනරුත්ථාපන (ප්‍රතිසංවිධාන) කාර්යාලයේ නිල වාර්තාවට අනුව පුනරුත්ථාපනයට යොමුකළ කාන්තාවන් සිටියේ 102කි. ඔවුහු කැලණිය රන්මුතුගල බන්ධනාගාර නිවාසයේ සහ තවත් ස්ථාන කිහිපයක නේවාසිකව සිටියහ. පුනරුත්ථාපනයට යොමු කළ කාන්තාවන් ගේ ප්‍රතිශතය සියයට 1 වඩා අඩුය. කැරැල්ලේදී සැකපිට අත්අඩංගුවට ගත් සහ පැහැරගෙන යනු ලැබූ සෙසු කාන්තාවන්ට අත් වූයේ මරණයයි. එසේ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වූ කාන්තාවන් ගණන 2,000කට ආසන්නය.

ජවිපෙ කාන්තා අංශය 1970 සිට ඉතා ක්‍රියාකාරී වුවද කැරලි දෙකේම කාන්තා සාමාජිකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතියද ජවිපෙ ආරම්භයේ සිට 2වැනි කැරලි සමය නිමාවූ 1990 දක්වා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හෝ මධ්‍යම කාරක සභාවේ කිසිදු කාන්තා නියෝජනයක් නොතිබිණි. අවම වශයෙන් දිස්ත්‍රික් දේශපාලන ලේකම් වශයෙන් හෝ 2වැනි කැරලි සමයේ කාන්තාවක් නියෝජනය වූයේ නැත.

 

Comments