
● කොරෝනා එන්නත ලබා දීම සම්බන්ධව රජයට නොයෙක් චෝදනා එල්ල වෙනවා. ඔබ වෛද්‍යවරියක් හැටියට කොරෝනා එන්නත ලබා දිය යුතු ආකාරය දකින්නේ කෙසේද?
රජයට බොරු චෝදනා නොකර වෛද්‍ය විද්‍යාත්මකව අපි මෙය දැකිය යුතුයි. රටක් හැටියට ජනතාවට මෙය මේ තරම් කෙටි කාලයකදී ලබාදීමට හැකිවීම පිළිබඳව අපි රජයට සහ ජනාධිපතිවරයාට ස්තුති වන්නට ඕන.
මෙම එන්නත ලබාදීම තුළින් රෝගය බෝවීම වළක්වා ගත හැකියි. ඒ වගේම මරණ වාර්තා වීම නතර කර ගත හැකියි. ක්‍රමක්‍රමයෙන් මෙය හැකිතාක් ලබාදීමෙන් රෝගය බෝවීම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට ද හැකි වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රථමයෙන් සැලසුම් කර තිබෙන්නේ ජනතාවට ඉතා සමීපව රැකියාවල නිරතව සිටින ඒ වගේම කොරෝනා මර්දනය සඳහා එක්වී සිටින සෞඛ්‍ය සේවා ආරක්ෂක අංශ ඇතුළු ආයතනවල පුද්ගලයන්ට ප්‍රථමයෙන් මෙය ලබා දීම. ඉන්පසු වයස අවුරුදු හැටට වඩා වැඩි වැඩිහිටි පුද්ගලයන්ට එන්නත ලබා දීම. ඒ වගේම ඉන්පසුව 30 සිට 60 දක්වා සෑම පුද්ගලයෙකුටම මේ එන්නත ලබාදීමට කටයුතු කිරීමයි. ඒ වගේම අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයකුටම මෙම එන්නත ලබාදීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙනවා.
● සාමාන්‍ය ජනතාවට කොරෝනා එන්නත ලබා නොදෙන බවත් මේ රටේ සෑම පුද්ගලයෙකුටම එය ලබා දීමට පියවර නොගන්නා බවටත් විපක්ෂය රජයට චෝදනා කරනවා?
අපි පැහැදිලිවම කියනවා මෙය මේ රටේ සෑම පුද්ගලයෙකුටම ලබා දිය යුතුයි. ඒ වයස අවුරුදු දහඅටට වැඩි පුද්ගලයන් සඳහායි. අපිට මෙම එන්නත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම කඩේකින් ටොෆි චොකලට් ගන්නවා වගේ ෆාමසියකින් බෙහෙත් ගන්නවා වගේ මේ එන්නත ගන්න බැහැ. මේ එන්නත සඳහා මුළු ලෝකයේම දැඩි ඉල්ලුමක් තිබෙනවා. අපි ඇණවුම් කරන ප්‍රමාණයෙන් අපිට ලැබෙන්නේ කොටස් වශයෙන්. මුළු ජනතාවටම මෙය ලබා දීමට හැකිනම් අපි රජයක් හැටියට එය සිදු කරනවා. එහෙත් අපිට එන්නත ලැබෙන ආකාරය අනුව තමයි ජනතාවට එන්නත් කිරීම සිදු කළ හැකි වන්නේ. එය තේරුම් ගත යුතු ක්‍රියාවක්.
● විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රජය මෙරටට ගෙන්වන ඇස්ට්‍රාෂෙනිකා එන්නත නුසුදුසු එන්නතක් බවයි. මෙය ඇත්තක්ද?
වයිරසයේ ස්වභාවය වෙනස් වන අවස්ථාවල එන්නත් වෙනස් විය හැකියි. නමුත් දැනට ලෝකය පිළිගත් මෙම එන්නත ඉතා හොඳින් ක්‍රියාත්මක වන එකක්. අනෙක් කාරණය තමයි විපක්ෂ නායකවරයා වෛද්‍යවරයෙක් හෝ විද්‍යාඥයෙක් නොවෙයි. ඔහු මෙවැනි ප්‍රකාශ හිතුමතේ ප්‍රකාශ කිරීම ඔහුගේ තනතුරටත් මදිකමක්. වගකිව යුතු තනතුරක් දරන පුද්ගලයකු ඉතා හොඳින් කරුණු දැනගෙන ප්‍රකාශ නිකුත් කරන්න කියන කාරණය මා මේ අවස්ථාවේ විපක්ෂ නායකවරයාට මතක් කර සිටිනවා.
● ආණ්ඩුව අර්බුදයකද තිබෙන්නේ?
ආණ්ඩුවේ කිසිම අර්බුදයක් නැහැ. අර්බුදයක් ඇති බව ප්‍රකාශ කරන්නේ විපක්ෂයට සම්බන්ධ පක්ෂ සහ මේ රටට වින කරන රාජ්‍ය නොවන සංවිධානයි. මේ රජය බිහි කරලා තිබෙන්නේ රටට ආදරය කරන දේශපාලන පක්ෂ රාශියක් එකතු වෙලා. මේ කණ්ඩායම ඇතුළේ පෞද්ගලික කතාබහ, පක්ෂවල ප්‍රතිපත්තිමය කතාබහ සිද්ධ වෙනවා. නමුත් අපි පවුලක් හැටියට ඉඳගෙන තමයි තීන්දු තීරණ ගන්නේ. පවුලක් ඇතුළේ සිදුවන යම් යම් ගැටුම්කාරි මතභේද සාමාන්‍ය දෙයක්. මේ තත්ත්වය පවුලෙන් පිට සිටින අය ගැටුමක් අර්බුදයක් හැටියට මවා පාන්නට උත්සාහ කරනවා. ඒක සම්පූර්ණ වැරැදි ප්‍රචාරයක්. එවැනි ප්‍රචාර තුළින් ශක්තිමත් අපගේ රජය වට්ටන්නට හැකියාවක් නොමැති බව මම පැහැදිලිව ඒ අයට කියන්න කැමතියි. පොඩි පොඩි මත ගැටුම් ආවම අපි ඒවා කතාබහ කරලා විසඳ ගන්නවා.
රජයක් හැටියට අපි දැන් මාස හයකට වැඩි කාලයක් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වසංගතයට මුළු ලෝකයම හිරවෙලා තිබෙන අවස්ථාවක අපි හිර නොවී ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ලබන වසරට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් සංවර්ධන කමිටු පත්කරලා ඒවා ක්‍රියාත්මක කරනවා. මෙය ඉතා සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
● මේ රජයට වැඩක් කරගන්න බැහැ; කරපු වැඩකුත් නැහැ. ජනාධිපති ගෝඨාභය සම්පූර්ණයෙන්ම ෆේල් කියන පාඨය අද විපක්ෂය රටපුරා ප්‍රසිද්ධ කරමින් යනවා. රජය සහ ගෝඨා ඇත්තටම ෆේල්ද?
රජයක් හැටියට අපි දැනට කරගෙන යන සියලුම වැඩසටහන් මේ වන විට ජනතාව හොඳින්ම දන්නවා. ජනතාව එය තේරුම් අරගෙන තිබෙන්නේ. මේ රටේ ලක්ෂ 69ක ජනතාව ජනාධිපති සහ අප පිළිබඳව තබා ඇති ඒ විශ්වාසය අපි රකිනවා. ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අපිට ජනතා සහතිකය හොඳටම ඇති. වෙනත් සහතික අවශ්‍ය නැහැ.
ඇත්තම විපක්ෂය මොකක් හරි ‘සෝලෝගන්’ එකක් අරගෙන යනවා. විපක්ෂය හැමදාම කරපු දෙයක්නේ. අපිට මතකයි 2014 රත්තරන් අශ්වයන් ඉන්නවා කිවා. රත්තරන් කඩු තිබෙනවා කිව්වා. ලැම්බෝ ගිනි වාහන තිබෙනවා කිව්වා. හොරකම් කරලා තිබෙනවා කිව්වා. නමුත් යහපාලන ආණ්ඩුව තිබිලා ඔවුන් පත් කරපු පොලිසියට බැරි වුණා. මේ කිසිවක් ඔප්පු කරගන්න. ඒ කියන්නේ ඒ සියලුම චෝදනා බොරු චෝදනා කියන එකයි.
මේ අය ආණ්ඩු කරන කාලේ රැකී රක්ෂා ලබාදීමට කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. කොට නම් කම්කරු උස නම් සිකුරිටි කිව්වා. සමෘද්ධිය ලබා දුන්නේ තමුන්ගේ හිතවතුන්ට. අපගේ යූඑන්පී පාක්ෂිකයන්ට අවුරුදු දහයකින් කිසිම දෙයක් ලැබිලා නැහැ කිව්වා. ඒ නිසා අපි ඔවුන්ට තමයි සලකන්නේ කිව්වා. බලයට ඇවිල්ලා දින සියයක් යනකොට මහබැංකුව මංකොල්ල කෑවා. ඔවුන්ගේ ගජ මිතුරන්ට රටේ දේපළ බෙදලා දුන්නා. තවත් පිරිසක් රටින් පිට කෙරෙව්වා. අදාළ නැති අමාත්‍යාංශවලට රුපියල් කෝටි ගණන් දීලා විශාල ගොඩනැගිලි කුලියට ගත්තා. උදාහරණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය. පාස්කු ප්‍රහාරය දැන දැන එය වළක්වා ගන්න බැරි වුණා. අහිංසක ජීවිත ඒ වෙනුවෙන් වන්දි ගෙව්වා. රටේ නීතිය දේශපාලන බවට පත් කරගත්තා. සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලනය මේ සෑම අංශයකින්ම රට විනාශ කරලා දැම්මා. ආණ්ඩුව ඇතුළේම ගැටලු ගොඩයි. ජනාධිපති අගමැති අතර ගැටුම් හට ගත්තා. ඇමතිවරු මන්ත්‍රීවරු කණ්ඩායම් කිහිපයක් බවට පත්වුණා. එහෙම කරපු නිසා ජනතාව රට සංවර්ධනය කරන්න පුළුවන් රටට ආදරය කරන්න පුළුවන් නායකයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කර ගත්තා.
● පාස්කු ප්‍රහාරයට අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
පාස්කු ප්‍රහාරයට අදාළව රජයක් හැටියට අපි නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් සිටිනවා. පාස්කු ප්‍රහාරයට අදාළ නීතිය ක්‍රියාත්මක නොකළේ පසුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුව ඇතැම් සැකකරුවන් නිදහස් කළා. චෝදනා එල්ල කරපු ඇතැම් කණ්ඩායම්වලට සුදුහුනු ගෑවා. දැන් තමයි මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වන විට ඒ සඳහා අප රජය පත්කළ ජනාධිපතිතුමා නම් කළ පාස්කු කොමිසම විමර්ශන අවසන් කරලා තිබෙනවා. ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ කොමිසමේ නිර්දේශ ජනාධිපතිතුමන්ට භාර දීලා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදි අදාළ නීතිමය පියවර ගනීවි. මේ වන විටත් ඊට අදාළ සැකකරුවන් කිහිපදෙනකුම අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. ඉදිරියේදි මීට අදාළ සැකකරුවන් සහ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට දඬුවම් ලබා දීමට හැකි වෙනවා.
● ඇමැති විමල් වීරවංශ සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් හටගෙන තිබෙනවා නේද?
මත භේද තිබෙන අවස්ථාවක ගැටුමක් අර්බුදයක් ලෙස මවා පෙන්වන්නට හදන පිරිසක් සිටිනවා. එහෙම ගැටුමක් නැහැ කියන එක පැහැදිලිව කිව හැකියි. ගෑනියි, මිනිහයි අතර අඬදබර තිබෙන්නේ බත් හැළිය ඉදෙනකම් කියලා අපි අහලා තිබෙනවා. මේ පවුලේ ප්‍රශ්නයක් කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.
● ඉන්දීය භාරතීය පක්ෂය ලංකාවේ දේශපාලනයට පැමිණෙන බවට එරට දේශපාලනඥයෙක් ප්‍රකාශ කර තිබෙනවා?
එය අපි හෙළා දකිනවා. එවැනි අවස්ථාවක් කිසිසේත්ම නැහැ. පුද්ගලයකුගේ මතයක් ඉන්දියානු රජයේ මතය නොවෙයි.